දහතුන් වැනි වියේ පසුවන ඇයට අපි සුදාරි යැයි කියමු. තවමත් දහතුන් වැනි වියේ පසුවන ඇය පාසල් යන්නීය. පාසල් නිවාඩුව මාර්තු මාසේ දී ලැබුණ නිසා දැන් සතියේ දින හතම ගෙවන්නේ ගෙදරය.
සුදාරිගේ අම්මා සහ තාත්තා අවුරුදු දෙකකට පමණ පෙර සිට විරසකව වෙන්ව සිටිති. සුදාරිගේ අක්කා විවාහ වී සිටින්නීය. ඒ නිසා සුදාරි ජීවත් වෙන්නේ අම්මා සමගය. අවුරුද්දකට වරක් දෙකක් මහ ට්‍රැක්ටරයේ තැටි නගුලෙන් පෙරළෙන මහ පොළොව අලුත් වී ඒ මත පැළවෙන භවභෝග මෙන් සුදාරිගේ ජීවිතය ද අලුත් වෙයි. වෙනස් වෙයි.
එකම මහ පොළොවේ සිදුවන මේ මහා වෙනස සුදාරිගේ ජීවිතයට ද සම කළ හැකිය. අටවැනි පන්තියේ ඉගෙන ගන්නා සුදාරි අවුරුද්දේ වැඩි කාලයක් ගිනිගහන අව්ව පායන මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමක දෑතේ සවියෙන් ගොවිතැන් බත් කරන පරපුරක අලුත් පුරුකකි.
සුදාරි උපතින්ම අංග සම්පූර්ණ දරුවෙකු නොවූවාය. ඇය සෙසු දරුවන්ගෙන් වෙනස් ය. එවැනි දරුවන් මන්දමානසික දරුවන් ලෙස සමාජය විසින් හඳුන්වනු ලබයි. සුදාරිත් එසේමය. ජීවිතය ගැනවත්, සමාජය ගැනවත්, නෑදෑ හිතමිතුරන් ගැනවත් සුදාරිට හරිහමන් අවබෝධයක් නැත.
පියා නැති ලෝකය සුදාරිට පාළුවක් තනිකමක් නොදැනුණේ ඇයට ඒ ගැන වැඩි අවධානයක් නොතිබූ නිසාය.
පහුගිය කාලේ තිබුණ පළාත් පාලන ඡන්දෙදී සුදාරිගේ ගමේ අවට ප්‍රදේශවලත් තාප්ප බිත්ති ලයිට් කණු පුරාවට පාප්පවල බලයෙන් ඇලවුණ පින්තූරවල මද සිනා පෑ චරිත සුදාරිගේ ජීවිතයට බලපෑම් කරාවි කියා කුරා කූඹීයෙකුවත් නොසිතන්නට ඇත.
එහෙත් මේ මන්ද මානසික දැරිය මාස කිහිපයක් තිස්සේ සෙල්ලම් බඩුවක් කරගත් නරුමයන් කිහිප දෙනෙක් ගැන තොරතුරු සෙවනගල පොලීසියට වාර්තා වුණේ කොරෝනා වසංගතය සමග ක්‍රියාත්මක වුණ ඇඳිරි නීති මැදය.
සෙවනගල අයත්වන්නේ තණමල්විල ප්‍රාදේශීය සභාවටය. හැබැයි සෙවනගල පොලීසිය අයත් වන්නේ ඇඹිලිපිටිය කොට්ඨාසයටය. කලකට ඉහතදී කාකි ඇඳුමේ බලය පෙන්නූ හයියක්කාරයන්ද මෙල්ල කළ පොලිස් දරුවන් සිටි සෙවනගල පොලීසියේ අද ඉන්නේ යෞවනය නොඉක්මවූ හැඩකාර වැඩකාර පොලිස් නියමුවෙකි.
පිපෙන්නට ඇති වන මලක් තළාපෙළා රොන් අරගත් දෙබරු කැළක් ගැන තොරතුරු සෙවනගල පොලීසියට දැනගන්නට ලැබුණු වහාම අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකර ගන්නට පොලීසිය පිඹුරුපත් සකස් කළේය.
මාස කිහිපයක් තිස්සේ හපකළ සුදාරි නම් මල් කැකුළ හම්බන්තොට මහ රෝහලට යැවිණි.
සුදාරිගේ ජීවිතය වැනසූ ගණන පහක් යැයි සැකකෙරිණි. ඔවුන් ඒ බත් බැලයන් යැයි සමාජයේ කතා බහ විය. මාස දෙක තුනක් තිස්සේ වරින්වර ඇය අපයෝජනය කර ඇති නරුමයන්ට, ඇයට වඩා වැඩි වයසේ දරුවන් සිටින බව හැමෝම දැන සිටියහ. මේ නරුමයන් අතරින් දෙදෙනෙක් පමණක් පොලීසියට කොටුවෙද්දී අනෙක් තුන් දෙනා පැනගත් බවට කතා බහ පැතිර ගියේය.
ඒ වනවිට ගම හදන්න පුංචි ආණ්ඩුවට ගමේ නියෝජිතයා ලෙස පාලක පක්‍ෂයෙන් ගිය මහජන නියෝජිතයා ඇතුළු සැඟව සිටි සැකකරුවන්ට ගැලවීමක් නම් නොවීය. පොලීසියේ අලුත් ලොකු මහත්තයා දවසට කිහිප සැරයක් මේ අපරාධකරුවන්ගේ ගමේ කරක්ගැහීම ඔවුන්ට තිබූ ලොකුම ගැටලුව විය. එහෙත් ගම්මුන්ට තිබුණ ලොකුම බලාපොරොත්තුව එය විය.
ඇඳිරි නීතිය නිසා අතුරු පාරවල් ඔස්සේ පොලීසියට වසන් විය හැකිව තිබුණේ මේ ගම්පියසේ දී පමණක් විය. ඒ නිසා පොලීසිය රාජකාරිය අතහැරියේ නැත. සෙවනගල අලුත් ලොකු මහත්තයා වන සුභාෂණ වන්නිආරච්චි මහතා සෙසු නිලධාරීන්ද උනන්දු කරවමින් ගමේ කවුරුත් කතා කරන දේශපාලකයා සොයන්නට පටන් ගත්තේය.
අවසානයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දීම සැකකරුවන් තිදෙනා පොලීසිය විසින් නීතියේ රැහැනට හසුකර ගැනිණි. සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් ද ලබාගනිමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ්භාරයට පත් කරන්නට සෙවනගල පොලීසිය කටයුතු කළේය.
අජිත්ලාල් ශාන්තඋදය සහ
දාපනේ ජයන්ත නානායක්කාර