කොළොම්පුරේ අවුරුදු සද්දේ


 

අලුත් අවුරුද්දට සූදානම් වෙන ජනතාව වැඩිපුරම ගැවසෙන නගරය මොකක්ද කියලා ඇහුවොත් පිටකොටුව කියලා ඔබට නිතැතින්ම කියවේවි. අවුරුද්දේ ගෙදරට ගෙන යායුතු දේවල්වලින් බොහෝමයක් එකම තැනකින් පහසුවෙන් රැගෙන යන්න පුළුවන් නිසා බොහෝ දෙනා පිටකොටුවට එනවා. ඒ අතරින් පිරිසක් දුරගමන් බස් රථය එන තෙක් කොළඹ රැඳෙන අය. අනෙක් අය දුම්රිය එන තෙක් කල් මරන අය. තවත් අය කාලාන්තරයක් තිස්සේ කොළඹ පිටකොටුවට එන අය, තවත් අය නිශ්චිතවම ඉලක්ක කරගත් භාණ්ඩ කිහිපයක් පමණක් මිලදී ගන්න එන අය. ඒ අතර අහම්බෙන් වගේ පිටකොටුවට එන අයත් නැතුවාම නොවෙයි. මේ කොයි කාගේත් බලාපොරොත්තුව පහසු මිලට හොඳම දේවල් රැගෙන යෑමයි. ඒ අරමුණින් පිටකොටුවේ සැරිසරන පිරිස් අතරට අපිත් පිවිසුණා.


 මේ දවස්වල අවුරුදු කොහොමද? වෙළඳාම සරුද? ලෑලි තට්ටුව පුරා නොයෙක් වර්ගයේ රසකැවිලි අතුරා තිබුණු පුංචි කඩයක වෙළෙඳාම් කරන රුවන් ලක්මාල් මහත්මයාගෙන් අපි ඇහුවා. කේක් ටිකක් නම් වැඩිපුර විකිණෙනවා. පහුගිය අවුරුදුවල තරම් කට්ටිය රසකැවිලි මිලදී ගන්න එන්නේ නැහැ. සුපිරි වෙළෙඳසල්වල පැකට් කරලා තියෙන රසකැවිලි තමයි කට්ටිය අරන් යන්නේ. අපෙන් රසකැවිලි ගන්න පුරුදු වුණු පිරිසක් ඉන්නවා. ඒ අය කොහොමත් මෙතැනට ඇවිත් පුරුදු විදිහට මිලදී ගැනීම් කරනවා. රටඉඳි, මුද්දරප්පලම්, බූන්දි, මුරුක්කු, තල, අලුවා, බිස්කට් වර්ග, කේක්, දොදොල් ආදී රසකැවිලි බොහෝමයක් එහි දිස්වුණි. කොළඹ පිටකොටුවේ රසකැවිලි වෙළෙඳසල් පෙළ පසුකරමින් අපි රෙදිපිළි වෙළෙඳසල් පිහිටි ප්‍රදේශයට ගියෙමු.


 “රෙදිපිළි මිලදී ගන්න එන බොහෝමයක් දෙනා අපෙන් ඉල්ලන්නේ අඩුම මිලට. අපිත්  පුළුවන් උපරිමයෙන් අඩුකරලා තමයි මිල නියම කරන්නේ. නමුත් අපිත් අවුරුදු කන්නේ මේ ව්‍යාපාරයෙන් ලැබෙන සල්ලිවලින් තමයි. මෙදා පාර අවුරුද්ද කලින් වෙන අවුරුදුවලදි තරම් වැඩි ව්‍යාපාර සරුවක් නැහැ. මීට පෙර අවුරුදුවල අප්‍රේල් අවුරුදු කාලේ පටන්ගන්නේ මාර්තු මාසේ මැද. ඒ වෙද්දීත් සෙනඟ තොගේට ඇඳුම් ගන්න එනවා. දැන් නම් ඒ තරමට කට්ටිය එන්නේ නැහැ. නිමිඇඳුම් ගන්න රෙදි සාප්පුවලටම යන පිරිස වැඩිවෙලා. බස් එකේ කෝච්චියේ යන අතරතුර ඇතැම් අය ඇවිත් රෙදි මිලදී ගන්නවා. වැඩිපුර විකිණෙන්නේ බැනියම්, කමිස, සරොම්, කුඩා දරුවන්ගේ ඇඳුම්, ලේන්සු ඇඟ පිසින තුවා ආදිය. මීට අවුරුදු පහ හයකට කලින් පිටකොටුවේ තිබුණු බිස්නස් එක ආයේ කවදාවත් තිබෙන එකක් නැහැ. දැන් දැන්  පිටකොටුවේ රෙදි වෙළෙඳාමේ ආධිපත්‍යය තියෙන්නේ බලය තියෙන පිරිසකට විතරයි. ඒ අය ප්‍රධාන පාරේ පවා ව්‍යාපාර කටයුතු කරනවා. ඉක්මනින් ගම් බිම්වලට යන්න බලාගෙන එන අය ඇතුළේ කඩවල්වලට එන්නේ නැහැ. ළඟපාත තිබෙන කඩයකින් මිලදී ගැනීම් කරගෙන යනවා. ඒකෙන් අවාසිය වෙන්නේ අපිට. අප සමඟ අදහස් දැක්වූ පවුසාර් මහතා සඳහන් කළේය.


 පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ වෙළෙඳ සංකීර්ණයේ කඩපේළි පසුකරමින් යන අපට සිංහල, මුස්ලිම්, දෙමළ ජාති භේදයකින් තොරව ව්‍යාපාර කටයුතු කරන රෙදිපිළි ව්‍යාපාරිකයන් රැසක් හමුවිය. ජාති, වර්ග භේදයක් නැතිව ඒ සියලු දෙනා ජීවත්වීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටිති’ මෙතන අපට ඉඩකඩ මදියි. අඩි දහයක පහළොවකවත් ඉඩක් තිබෙනවා නම් සෙනඟ තෙරපෙන්නේ නැතුව නිදහසේ බඩුමුට්ටු ගන්න එන අයට පහසුව සැලසෙනවා. නමුත් වගකිව යුතු බලධාරින් කවුරුත් අපේ සුබසාධනය ගැන සොයා බලන්නේ නැහැ. නියමිත දිනයට කඩ කුලිය ලබාගැනීම විතරයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේ රස්සාව කරන්නේ ජීවත්වෙන්න. මුදල් උපයාගන්න පුළුවන් විදිහේ වෙනත් රැකියාවක් තිබෙනවා නම් අදම වුණත් මේක අත්හැරලා දාලා යන්න අපි සූදානම්. 


වසර දහයකට වැඩි කාලසීමාවක් සිට කොළඹ කොටුවේ රෙදිපිළි වෙළඳාමේ නිරතවන ගාල්ලේ පදිංචි වී.එස්. ග්‍රේස් මහත්මිය අප සමඟ පැවසුවේ තවත් වෙනස්ම කතාවකි. “මේ රස්සාවට ගැහැනු අය බොහෝමයක් කැමැති නැහැ. දුක්විඳින්න වෙනවා. නමුත් මම නම් පුළුවන් විදිහට රැකියාව කරගෙන යනවා. මගේ දරු පවුල ජීවත් කරන්න ඒ හැර මට කරන්න කිසිවක් නැහැ. තිබෙන්නේ පුංචි ඉඩකඩක් පමණයි. සමහර වෙලාවකට මිනිස්සු අතරේ තෙරපිලා තෙරපිලාම අපි හෙම්බත් වෙලා. ඇඟ පුරා දාදිය විසිරෙනවා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කැලණිය එfඬ්රමුල්ලේ. උදේට පිටකොටුවට එනවා. ව්‍යාපාර කරලා ආයෙත් ගෙදර යනවා. මාසෙකට මහනගර සභාවට රුපියල් පන්දහසකට වැඩි මුදලක් ගෙවනවා. අපි බදු ගෙවලා කඩවල් කරගෙන යද්දී පිටකොටුවේ ඇතැම් අය මහ පාරේ ව්‍යාපාර කටයුතු කරනවා. පිටකොටුවේ ව්‍යාපාරිකයෝ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. 


කෙළවර එක පෙළට චීන පන්නයේ සෙල්ලම් බඩු ඇසිරූ වෙළෙඳසල් කිහිපයකි. මහ කඳු තරම් උසට සෙල්ලම් බඩු ගොඩගසා තිබුණ ද ඒවා මිලදී ගැනීමට පැමිණෙන පිරිස වෙනදා මෙන් නැති බව සෙල්ලම් බඩු වෙළෙඳසලක හිමිකරුවෙක් වන නෙස්නි මහතා අපි සමඟ සඳහන් කළේය. “අවුරුදු කාලෙට සෙල්ලම් බඩුගන්න එන පිරිස අඩුවෙලා. දැන් දැන් කට්ටිය හැමෝම වෙළෙඳසල් ඇතුළෙන් බඩු මිලදී ගැනීම්වලට තමයි පෙළඹෙන්නේ. අපි පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට ප්‍රවේශ වූයෙමු. අවුරුදු කාලේට නිවසට අවශ්‍ය දේවල් අතර නැතුවම බැරි බුලත් අතට අද වෙද්දී පවතින කාලගුණ තත්ත්වය නිසා අත්වී ඇත්තේ දුක්ඛිත ඉරණමකි. “මේ දවස්වල බුලත් ටිකක් ගණන් වැඩියි. වහින්නේ නැති නිසා බුලත් වැල් මැරෙනවා. විකුණන්න ගේන ටිකත් මැළවිලා යනවා. ඉතින් මේ දවස්වල බුලත් ව්‍යාපාරයට නම් සරුවක් නැහැ.” අප සමඟ අදහස් දැක් වූ ව්‍යාපාරිකයෙක් සඳහන් කළේය.


 වෙනදා අවුරුදු කාලෙට කෙසෙල් බිස්නස් එක බොහෝම සරුයි. ඒත් දැන් කෙසෙල් මිල බොහෝම වැඩියි. ඒ නිසාම බිස්නස් අඩුවෙලා. දැනට අවුරුදු විසිපහක් තිස්සේ මම මේ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ කාලේ හොඳට බිස්නස් තිබුණා. ඒත් දැන් පාරිභෝගිකයෝ කෙසෙල් මිලදී ගන්න එන්නේ නැහැ. මේ විදිහට ව්‍යාපාර අඩුවෙලා තිබෙන්නේ අවුරුදු තුනක විතර ඉඳලා. ඒ කාලේ මේ වෙද්දී අපි ඇඳුම් පැලඳුම් ගන්නත් ගිහින්. ඒත් දැන් දැන් අපිට අවුරුදු නැති තත්ත්වයටම පත්වෙල. වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අවුරුද්දට පොල් ගන්න එන අයට එලෝ පොල් පෙනෙන බව අප සමඟ කතා බහ කළ ව්‍යාපාරිකයෙක් සඳහන් කළේය.


 අපි සාමාන්‍යයෙන් හැමදාම පොල් ගේනවා. අවට හෝටල්වලට ආපනශාලාවලට පොල් තොග අරන් යනවා. දවසට පොල් ලොරි දෙකක් ගෙනාවා කොහොම හරි පොල් ගෙඩි හාරදහසක් විතර දවසට විකිණෙනවා. මේ දවස්වල පොල් අවාරේ මිලදී ගන්න එන අයත් ආපසු හැරිලා යනවා. ගෙන්වන මිල තවත් අතරමැදි වියදම් සියල්ල එක්ක තමයි අපිත් මිල නියම කරන්නේ. මම අවුරුදු තිහක් තිස්සේ පොල් ව්‍යාපාරය කරගෙන යනවා.


 අවුරුද්දට නැතුවම බැරි අච්චාරුවට අවශ්‍ය රතුළුෑණු, අමු මිරිස් ආදිය රැගෙන යෑමට එළවලු වෙළෙඳසල් පිහිටි ප්‍රදේශයට කිහිප දෙනෙක් පැමිණෙමින් සිටියහ. ඉස්සර තරම් වෙළෙඳාම සරු නැහැ. දැන් මම ව්‍යාපාරයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. එන්න එන්නම වෙළෙඳාම අඩුවෙනවා මිසක වැඩි වෙන්නේ නැහැ. ඉස්සර අවුරුදු කාලෙට සෙනඟ ඉවරයක් නැහැ. මිනිස්සු දැන් ලේසියට සුපිරි වෙළෙඳාම්වලින් මිලදී ගැනීම් කරනවා.


අවුරුදු කාලෙට අත්‍යවශ්‍ය හාල්, සිල්ලර, අල, පරිප්පු, සැමන්, සීනි පොල්තෙල් ආදිය විකුණන ව්‍යාපාරික නිශාන්ත මහතා අප සමඟ දැක්වූ අදහස් මෙසේය. අද කාලේ සුපිරි වෙළෙඳසල්වලට යන පිරිස වැඩිවෙලා. සුපිරි වෙළෙඳසල්වල සීනි කිලෝ එක දෙන්නේ අඩුවට. ඉතින් කට්ටිය සුපිරි වෙළෙඳසලෙන් සීනි ගන්නවා. නමුත් ඇති තරම් මිලදී ගන්න බැහැ. ඒවා සීමිත ප්‍රමාණයි. අපි වගේ ව්‍යාපාරිකයෝ භාණ්ඩ විකුණන්නේ හරියට කිලෝ මැනලා සාධාරණ මුදලට. අල, පරිප්පු, පොල්තෙල් ඕන දෙයක් තෝරලා බේරලා මිලදී ගන්න පුළුවන්. අද වෙද්දී මැනිං මාර්කට් එකට එන සෙනඟ අඩුවෙලා. ඒකයි අපට තියන ප්‍රශ්නය. අතමිට සරුවෙනවා නම් කව්රුත් වැඩිපුර මිලදී ගැනීම් කරනවා. ඉතින් මොනවා කරන්නද? ඔහු අපි සමඟ පැවසුවේය. අප අවුරුදු සමයේ වෙළෙඳපොළ සවාරියට සමු දුන්නෙමු.

සටහන
සමන්තිකා මාධවි/ධනු විජේරත්න
ඡායාරූප --ඇලෙක්සැන්ඩර් බාලසූරිය