(මනෝප්රිය ගුණසේකර)
තෝරු මෝරු ඉන්දැද්දී අල්ල ගන්නේ හාල්මැස්සෝ විතරයි.
අල්ලස් ගැන සියලුදෙනා පැවසූ කරුණු හිරු දුටු පිනි බවට පත් කරමින් පසුගිය දිනෙක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් තෝරු දෙන්නෙක්ම එක දැලට අල්ලා ගත්හ. මුහුදු හුළඟ වදින කොළඹ අග නගරේ තරු හෝටලයක රථ ගාලේදී එලූ මෙම දැළට පැටලැවුණේ එසේ මෙසේ තෝරු දෙන්නෙක් නොව රටේ මහ උත්තමයාගේ කාර්ය මණ්ලයේම ප්‍රධානියා ලෙස කටයුතු කළ තෝරු දෙන්නෙකි.
ඒ නිකම්ම නොවේ ලංකාවට ආයෝජන ගෙන එන විදේශිකයෙකුගෙන් අල්ලස් ඉල්ලා ලබා ගනිද්දී මෙම තෝරු දෙන්නා අල්ලස් දැළට කොටු වී තිබිණි.
කැබිනට් අනුමැතිය යටතේ ඉන්දීය ජාතික ආයෝජකයෙකුගෙන් කෝටි ගණනින් අල්ලස් ඉල්ලා ලබා ගනිද්දී මෙලෙස අල්ලස් දැළට පටලැවුණේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ය.
කොළඹ 07 රොස්මිඩ් පෙදෙස, අංක 27/9, ලිපිනයේ සිය ව්‍යාපාරික කටයුතු කරගෙන ගිය එම්.ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයාට කන්තලේ සීනි සමාගමේ භූමිය කැබිනට් අනුමැතිය මත මීට ටික කලකට ඉහතදී ලැබිණි.
නමුත් එහි ඇති ගොඩනැගිලි හෝ යන්ත්‍ර සූත්‍ර ඔහුට නොලැබුණ හෙයින් එම ගොඩනැගිලි හා යන්ත්‍ර සූත්‍ර ඔහුට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා සැකකරුවන් ඇමතුවේ එම දේපළ ගන්නා ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කර ගැනීම සඳහාය. ඒ මීට මාසයකට පමණ ඉහතදීය.
‘ඔයා බය වෙන්න එපා. අපිට සලකනවා නම් අපි ඒක කරලා දෙන්නම්’ අනිත් පසින් පිළිතුරු ලැබිණි.
හරි මං එකඟයි, මේ වැඩේ කොහොමද කරන්නේ?
‘මිලියන 540ක් දෙන්න. අපි වැඩේ කරල දෙන්නම්’ මුල්ම ඇමතුමෙන් ලොකු ලංසුවක් ඉදිරිපත් විය. ‘මං කල්පනා කරලා බලලා කියන්නම්, ගාන නම් වැඩියි’ ඉන්දීය ජාතිකයාගෙන් පිළතුරු ලැබිණි.
කිහිප වරක් කල්පනා කළ ඔහු මේ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුලු නිලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂණ සියතට ගත්හ.
එතැන් සිට අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් පිට ඉන්දීය ජාතිකයා කටයුතු කළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා සමග නිරන්තරයෙන් සංවාදයේ යෙදුණු ඔහු ඒ සියලු දුරකතන සංවාද පටිගත කළේය.
මුලින් ඉල්ලූ රුපියල් කෝටි 54ක මුදල රුපියල් කෝටි 10 දක්වා අඩු විය. හැබැයි මුලින්ම ඒ මුදලින් රුපියල් කෝටි 2ක අත්තිකාරමක් අපිට ඕනෑ. තෝරුන්ගෙන් ලැබුණු ඉල්ලුමට ඉන්දීය ජාතිකයා අල්ලස් කෙමිසමේ දැනුම් දීම මත එකඟ විය.
අල්ලස් කොමිසමේ නොමැති රුපියල් කෝටි 02ක මුදලක් කොමිසම විසින් සරිකර ගත්තේය.
වැටලීමට සියල්ල සුදානම් කෙරිනි. දිනය, වේලාව හා ස්ථානය ලහි ලහියේ සුදානම් විය. පසුගිය 03 වැනිදා සවස 4.30ට කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රථ ගාලේදී අපි හමුවෙමු.
තෝරුන්ගේ ඉල්ලීමට ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා සිය කැමැත්ත පළ කළේය. ඔවුන් එහි යෑමට මත්තෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විවිධ වෙස් ගෙන එහි ගොස් සිය ගොදුර එනතුරු රැකවල් කළහ.
විනාඩියෙන් විනාඩිය ගොදුර නිලධාරීන්ගේ තොණ්ඩුව ඇටවු කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථ ගාල දෙසට එන්නට විය. සියල්ලෝ සුදානමින්ය. ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමේ උපාය දූතයා සමඟ තෝරුන් දෙන්නා දෙසට පියවර මැන්නේය.
තෝරුන් යළිත් වරක් හඬ අවදි කරමින් ‘අපි කියපු ගාන ගෙනාවද?’
‘ඔව්’ එහෙනම් ගන්න බලන්න විධානය නිකුත් විය.
ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා සිය අතේ තිබූ මුදල් අඩංගු බෑගය සැකකරුවන් අතට පත් කළේය. ඒ උපාය දූතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරියාගේ දැනුම් දීම මතය.
තෝරු දෙන්නාගේ දෑස් විදුලි කොටන්නාක් මෙන් විය. ඔවුන් දෝතින්ම සර්පයාව බදා ගත්හ. ප්‍රීතිය මුසු හිනාව ඔවුන් ඇස් අන්ධ කොට තිබිණි. ඒ ආසන්නයේ විවිධ කර්තව්‍යයන් වල නියැළෙමින් හොර ගල් අහුලමින් සිටි නිලධාරීන් ඒ දෙසට කිට්ටු කරන්නට විය. නමුත් තොරුන්ට ඒ කිසිවක්ම පෙනුනේ නැත. නිලධාරීන් දඩයමට කිට්ටු ෙවන තුරුම ඔවුන්ට මේ පිළිබඳව කිසිම හෝඩුවාවක් දැනුනේ නැත.
එකවරම අල්ලස් කොමිසමේ නිලධාරීන් තොරුන්ගේ දෑත් වලින් අල්ලා ගන්නා විට සිදුවූයේ කුමක්දැයි ඔවුන්ට තේරුම් ගන්නට වේලාවක් නොවීය. අල්ලස් ගන්නා ආකාරය ගැන හෝ අල්ලස් ගන්නා පගා මරුවන් අල්ලා ගන්නා ආකාරය කියා දෙන ආචාර්ය හෝ මහාචාර්ය උපාධි නැතත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සිය ගොදුරු පැන යෑමට නොහැකි වන සේ තදින්ම අල්ලා ගත්හ.
තෝරු අන්ද මන්ද වූහ. හිනා වෙනවාද? අඬනවාද? යන්න ඔවුන්ට හිතා ගැනීමට අපහසු විය. ඔවුන් පගාවට ගත් රුපියල් කෝටි දෙකක මුදල ගනිද්දීම හෝටලයේ රථ ගාලේදී කොටු විය.
‘සර් දඟලන්න ශබ්ද කරන්න එපා. අපි අල්ලස් එකෙන්’ ‘දැන් අපිත් එක්ක යන්න එන්න’
රටේ ප්‍රධානියාගේ කාර්ය මණ්ඩලයේම ලොක්කා වූ තෝරා පිංසෙන්ඩු ෙවන තරමට අසරණ විය. නිලධාරීන්ගේ අණට කීකරුව ඔවුන් කියන ආකාරයෙන් කටයුතු කරමින් අල්ලස් කොමිසම වෙත ගමන් කළහ.
එහිදී තෝරුන්ගෙන් කටඋත්තර ලියාගත් නිලධාරීහු හෝටලයේ රථ ගාලේදී තෝරුන් විසින් ගණන් කළ මුදල් යළිත් ගණන් කළහ.
අවසානයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකකරුවන් දෙදෙනා රාත්‍රී 11.00ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම විය.
ආචාර්ය අයි.එච්.කේ. මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති අතර පී. දිසානායක මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කර ඇති බව තතු දත්තෝ තොරතුරු හෙළි කළහ.
මෙම අල්ලස් සිද්ධියට සම්බන්ධිත බොහෝ පිරිසක් ඇති බව දැනුම් දුන් නිලධාරීහු ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද දැනුම් දුන්හ.