කුහුඹු නිවාසයක්
වසර මිලියන ගණනකට පෙරාතුව මිහිමත සිය අණසක පතුරුවාගෙන සිටියේ ඩයිනෝසරයෝය. නමුත් ඩයිනෝසරයන් හදිසියේම වඳවීයාමෙන් වසර ලක්ෂ ගණනකට පසු මිනිසා මිහිමත සිය අණසක පතුරුවන්නට විය.
මිනිසා කෙදිනක හෝ මිහිතලයෙන් සමුගතහොත් මේ පොළෝ තලයේ අණසක පතුරුවනු ඇත්තේ කුහුඹුවන් බව විද්‍යාඥයෝ කියති. එයට ඔවුහු විද්‍යාත්මක කරුණු ද ගෙනහැර දක්වති.
ඔවුන් පවසන්නේ මිනිසා සමුගත් පසු කුහුඹුවන් අණසක පතුරන බව වුව ද මිනිස් වර්ගයා සිටිය දී ම ගාල්ලේ ගම්මානක සිය අණසක පතුරුවන්නට කුහුඹු විශේෂයක් සමත්ව සිටියි. එයින් පෙර කී විද්‍යාඥයන් පවසන දේ සත්‍යයක් යැයි වැටහේ.
මේ ගම්මාන ගාල්ලේ කුරුන්දකන්ද ගම්මානයයි. අදවනවිට කුහුඹුවන් නිසා තම නිවෙස්වල ජීවත්වීමට නොහැකිව ගම හැරදමා යන්නට පවා ගම්වැසියන්ට සිදුව තිබේ.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුන්දකන්ද ගම්මානය මායිම්වන්නේ කුරුන්ද කන්ද රක්ෂිතයටය. ඒ රක්ෂිතයේ සිටි කුහුඹු විශේෂයක් දැන් ගම ආක්‍රමණය කරමින් සිටියි. ගැමියන් පවසන්නේ මාස කිහිපයක සිට වර්ධනය වූ කුහුඹුවන් දැන් නිවෙස්වලට ම පැමිණ සිටින බවයි.
ගස්වල කූඩු තනාගෙන ජීවත්වන මේ කුහුඹුවන්ට ගැමියන් පසන්නේ කාකයෝ යනුවෙනි. තරමක් විශාල ක`ඵ පැහැති මොවුන් ගස්වලත් විවිධ අහුමුළුවලත් කූඩු තනති. ඒ කූඩුවක් යනු දහස් ගණනක් කුහුඹුවන් ජීවත්වන සුවිසල් ජනපදයකි. අඟල් කිහිපයක කුඩා කූඩුවක සිට අඩි කිහිපයක් විශාල කූඩු දක්වා විවිද ආකාරයේ විවිද හැඩයේ කූඩු එහි මේ ගමේ දක්නට ලැබෙයි.
ගමේ පදිංචිකරුවකු වන එම්.ටී.අරුණසිරි මහතා (48) මෙසේ කීවේය.
දැන් අපිට කූඹි නිසා ගෙවල්වල ඉන්නත් බැරිවෙලා තියෙන්නේ. හැම ගහකම, සෑම අහුමුල්ලක ම මුන් කූඩු හදනවා හැමතැනම යනවා. කිසිම විදියකින් මර්ධනය කරන්න බැරිවෙලා. ගෙවල් ඇතුලටත් එනවා. බිත්තිදිගේ, බිම දිගේ යනවා. යන හැමතැනම ලොකු කලු පැල්ලමක් හිටිනවා. පේලි පේලි යනවා. අළු දාලා නවත්තන් හැදුවා. හරියන්නේ නැහැ. කෘමි නාශක දැම්මා. එතකොට එතන ඉන්න අය මැරෙනවා. නමුත් තවත් තැනකින් මතුවෙනවා. අපි වගාකරන හැම ගහකම කූඩු හදනවා. මේ කූඹි නිසා දැන් අපිට ගෙවල් අතහැරලා යන්න සිදුවෙලා. දැන් මුන් එන්න අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවා. දැන් මාස කිහිපයක ඉදලා තමයි මේ තරම් කරදරයක් ඇතිවුණේ.
මානෙල් චන්ද්‍රා මහත්මිය (52)
මේ කූඹි නිසා අපිට ගෙවල් අතහැරලා යන්න සිදුවෙලා තියෙන්නේ. පුදුම කරදරයක්. ගෙවල් ඇතුලේ ඉන්නත් බැහැ. කෑවොත් පුදුම විෂක් තියෙන්නේ. පුපුරු ගහනවා. බෙහෙත් ගන්න වෙනවා. කූඹි ආවට පස්සේ ගමේ අයට සෙම් අමාරුව වැඩි වුණා. දොස්තරලත් කියන්න ගත්තා කූඹි නිසා සෙම වැඩිවෙනවා කියලා. දැන් ගමම ලෙඩ වෙලා. හැම ගෙදරක ම කූඹි. වයරින් පවා කාලා. හැම දේම විනාශ වෙනවා. මේක මර්ධනය කරන්න පියවරක් ගත්තේ නැතොත් අපිට ගම අතහැරලා යන්න වෙනවා.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුහුඹු විශේෂයක් මෙලෙස අවට නිවාසවලට තර්ජනයක් වන ආකාරයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් දැනටමත් පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ගමගේ මහතා කියා සිටියේය.
ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. “කුරුන්දකන්ද සහ කුරුන්ද ග්‍රාමසේවක වසම්වල නිවාස විස්සකට තිහකට පමණ මේ කූඹි තර්ජනය තියෙනවා. වනජීවී නිලධාරීන් පැමිණ මේ ගැන සොයා බැලුවා. කෘමිනාශකයක් මගින් සතුන් විනාශ කරන්නත් හැකි බව සාකච්ඡා කළා. එයට අවශ ප්‍රතිපාදන වෙන්කර ඉතා ඉක්මණින් සතුන් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.”
කොඩ කෑරලා හෙවත් දුඹුරු කෑරලා
වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යානභාරකරු කසුන් තරංග මහතා මෙසේ කීවේය
“හායකයෝ කියා හඳූන්වන කුහුඹු විශේෂයක් තමයි මේ පැතිර සිටින්නේ. මේ සතා ආරක්ෂිත සත්ත්ව විශේෂයක් නොවන නිසා ගැමියන්ටම පාලනය කළ හැකියි. අපිට මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳූමක් දිය නොහැකියි. මේ සතා ගස්වලපවා පැතිරී විශාල ගහණයක් දක්නට ලැබෙනවා. ඒ නිසා පාලනයත් අපහසුයි. කෘමිනාශක යොදා තාවකාලිකව මර්ධනය කළත් එය ස්ථිර විසඳූමක් නොවේවි. ජෛවපාලන ක්‍රමයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වනවා. ”
පරිසරවේදීන් මේ කුහුඹුවන් ගැන පවසන්නේ අපූරු කතාවකි.
ගැමි වහරේ “කාකයන්” “ගෙරි” “හාකන්” ලෙස හඳූන්වන මේ කුහුඹුවෝ මුළු ලෝකය පුරාම විසිරී පැතිරී සිටිති. ක්‍රෙමටොගාස්ටර් ලෙස හඳූන්වන මේ කුහුඹු ඝනයට ලෝකය පුරා කුහුඹු විශේෂ 420ක් පමණ අයත් වෙති. ඇතැම් රටවල මේ කුහුඹු විශේෂ හඳූන්වන්නේ ශාන්ත වැලන්ටයින්ගේ කුහුඹුවන් යනුවෙනි. ඒ ඔවුන්ගේ උදරය මිනිස් හදවතේ හැඩය ගන්නා බැවිනි. කෙසේ වෙතත් පොදු නමක් වන්කේ ඇක්‍රොබැට් යන්නයි. මේ කුහුඹුවෝ බඹරුන් මෙන් කූඩුවක් සාදති. ඒ ගොම සහ මැටි මිශ්‍රණයකිනි. කුහුඹු ජනපදයේ නායකත්වය දරන්නේ කුහුඹු රැජිනයි. අන් සියලු කෘමි විශේෂ සමග සටන් කර ඔවුන්ගේ ආහාර ද කොල්ල කා කෑම රැස්කිරීම මේ කුහුඹු ජනපදයේ සිරිත වී ඇත.
මේ කුහුඹුවන් නිසා ජීවිතය ගැටගහගන්නා අපූරු සත්ත්ව විශේෂයක් ද සිටියි. ඒ කුරුළු විශේෂයකි.
ශ්‍රී ලංකාවේ දී කොඩ කෑරලා හෙවත් දුඹුරු කෑරලා ලෙස හඳූන්වන මේ කුරුළු විශේෂය ඉංග්‍රීසි බසින් රුෆොස් වුඞ්පෙකර් ඍමදෙමි උදදාචැජනැර ලෙස හැඳීන්වේ. සත්ත්ව විද්‍යාත්මකව හඳූන්වන්නේ සෙලිඅස් බ්‍රැචියුරස් ක්‍ැකැමි ඉර්ජයහමරමි යනුවෙනි.
මේ කුරුළු විශේෂය දකුණු හා ගිනිකොන දිග ආසියාවේ දක්නට ලැබෙන දුඹුරු පැහැති කෑරල විශේෂයකි. ශ්‍රී ලංකාවේ පහතරට සහ කඳූකරයේ මීටර 700ක් පමණ දක්වා ඉහළ කොටසේ කැලෑ පෙදෙස්වල ජීවත්වන මේ කෑරලුන් බිත්තර දමන්නේ ඉහත සඳහන් කළ කුහුඹුවන්ගේ ජනපද තුළය. මේ සොබා දහමේ අපූරු මිත්‍රත්වයකි.
කුහුඹුවන් විසින් සාදන ලද පාපන්දුවක් තරම් වූ ජනපදයක් තෝරාගන්නා කෑරලා මේ කූඩුවේ එක් බිත්තියක් හාරා කුහුඹුවන් සිටිය දී ම තම බිත්තර ඒ තුලට දමයි. මේ කුහුඹුන් තම මිත්‍ර කිරිල්ලියට කිසිදු හානියක් නොකරයි. කිරිල්ලියගේ බිත්ත්රයට හෝ ඇයට කිසිදු හානියක් නොකරන කුහුඹුවෝ කිරිල්ලියට බිත්තර රකින්නට ඉඩ දෙන්නේ පුදුම ආකාරයකිනි. කොඩ කෑරලාගේ බිත්තරය ද සුවිශේෂීය. එය අන් කුරුල්ලන්ගේ මෙන් වර්ණයක් නොගන්නා විනිවිද පෙනෙන බිත්තරයකි. ඇය වරකට බිත්තර 2-3ක් දමන්නීය.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි වූ කොඩ කෑරලුන්ගේ ඝහන ඝනත්වය පසුගිය කාලයේ ඉතා සීග්‍රයෙන් අඩු වූයේ මේ කුහුඹුවන්ගේ ජනපද අඩුවීම හේතුවෙනි. ඒ නිසාම කොඩ කෑරලා වර්තමානය වනවිට මෙරට දුර්ලභ කුරුල්ලකු බවට පත්ව සිටියි.
සජීව විජේවීර සහ හබරාදූව නිමල් අල්ගෙවත්ත