1936 ජනවාරි 24 දා කෝට්ටේ තලපත්පිටිය ගමේ මධ්‍යම පාන්තික ගුරු පවුලකට දාව උපන් කන්දෙ කුමාර හපුදොර ගමගේ ජෝතියරත්න විජයදාස මහතා පාසල් අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේය. එතැනින් පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ද, එතැනින් එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයටද බැඳුණු ඔහු ලංකා සිවිල් සේවයට එක්වන්නේ 1960 දීය. එහෙත් ඔහු අදත් ජනප්‍රිය හිටපු අග්‍රාමාත්‍ය සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හිටපු ලේකම්වරයා ලෙසය. ඩඞ්ලි සේනානායක අගමැති වූ යුගයේ ඔහුගේ ප්‍රියතම දිසාපතිවරයා වූයේ පොළොන්නරුව මහා දිසාපති කේ.එච්.ජේ. විජේදාස මහතාය. විජේදාස මහතා “ඉරිදා ලංකාදීප” යට පසුගියදා අදහස් දැක්වූයේ මෙසේය.
ප්‍ර- ඉන්දියාව අපට සමීපම අසල්වැසි රටක් එහෙත් 1987 දී ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කර තිබෙනවා යුක්තිය ශක්තිය යයි ලොවට හඬගා කියූ ජවහර්ලාල් නේරු තුමාගේ මුනුබුරා වන රජිව් ගාන්ධි එම පිළිවෙත කඩමින් ලංකාවටද එරෙහිව ආක්‍රමණශීලි පැසිස්ට්වාදී පිළිවෙතක් අනුගමනය කරන බව. මෙවැනි බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයක් කිරීමේදී ඊට පෙර ජනපති ප්‍රේමදාස මහතා මේ ගැන කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළාද?
උ- එතුමා ඒ ප්‍රකාශය කළේ ඔත්තු සේවා වාර්තා අනුව ඉන්දියාව ත්රස්තවාදීන්ට පුහුණුව, සල්ලි දෙන බව එතුමා ලංකාවේ විතරක් නෙමෙයි විදේශවලදිත් කිව්වා ඒවා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්න අවශ්‍යතාවක් නැහැ. හැමදාම හමුදාවෙන්, පොලිසියෙන් රහසිගත වාර්තාවලින් ලැබෙන දත්ත මම හැමදාම එතුමාට දුන්නා.
ප්‍ර- 1987 දී ඉන්දියාවෙන් යාපනයට එවන ආධාර විසකෑමක් යයි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ කතරගමදී. සිංහල ජනකායක් හමුවේ කතා කළ එතුමා ඉංගිරිසියෙන්ද කතා කර තිබෙනවා. එම කතාව කන්දසාමි දෙවියන්ට වැටහීමට නම් එතුමා කතා කළ යුතුව තිබුණේ දෙමළ භාෂාවෙන්. ඉන්දියන් ආධාර භාරගෙන බෙදා දීමට එදා ආණ්ඩුව තීරණය කර තිබුණා නේද? එතුමා කතරගමදී සිංහල ජනයා හමුවේ ඉංග්‍රීසියෙන් කතා කළේ ඉන්දියා සහනාධාර ප්රශ්නය ගැන කැබිනෙට්ටුවේදී කට ගසා පැරදී තම මතවාදය කැබිනෙට්ටුවට දැනෙන්නට යයි කීම එතුමා පිළිගත්තාද?
උ- ඔය සිදුවීම මට එතරම් මතක නැහැ. ඉන්දියන් සහනාධාර ප්රශ්නය පැන නැගුණේ ගුවනින් අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරපු අවස්ථාවේ. ශ්‍රී ලංකාව ස්වාධීන, ස්වෛරී රටක්. ඉන්දියාවට බෑ ඒ ස්වෛරී බව ආක්‍රමණය කරන්නට.
ප්‍ර- ජපන් රූපවාහිනියට ප්‍රේමදාස මහතා 1987 ජූලි 21 වැනිදා ප්‍රකාශ කර තිබෙනවා දෙමළ ප්‍රශ්නයට කුමන විසදුමක් වුවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතු බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට බැරි බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය අදටත් වලංගුද?
උ- මේ ප්රශ්නය ගොඩින් බේරගන්න එතුමට ඕනෑ වුණා. ඒකයි යුදමය විසඳුමකට නොගිහින් සාමකාමීව බේරගන්න ගියේ. එතුමා ත්රස්තවාදීන්ගේ ප්‍රශ්නවලට ඇහැම්කන් දෙන්න හිතුවා. නමුත් එතුමම දීපු ආයුධවලින් එතුමම මැරුම් කෑවා.
ප්‍ර- 87 වසරේදී ජපානයේදී පැවැත්වූ ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සම්මේලනයේදී විවෘත කරන ලද්දේ ආර්. ප්‍රේමදාස මහතා විසින්. එතුමා එහිදී හෙට උදාවන ලෝකයට අවශ්‍ය නිවාස සහ නගර ගොඩනැගීම මැයෙන් දේශනයක් පැවැත්වූ අතර එම අවස්ථාවට ඔබ ද සහභාගි වී තිබෙනවා. අද සාමසර කන්ද නාය ගොස් වසරක් පිරී අනාථ වූ පිරිස් තවමත් කඳවුරුවල. වසර 30 කට පෙර ප්‍රේමදාස මහතා ප්‍රායෝගිකව ඉටුකළ ක්‍රමවේදය අදට අදාළ කරගත හැක්කේ කෙසේද?
උ- එතුමාගේ ප්‍රතිපත්තිය වුණේ නිවාස ලක්ෂය, දස ලක්ෂය, පහළොස් ලක්ෂය වගේ ඉලක්කයක්. ඒවා එක්ක සාමසර කන්ද වගේ ස්වභාවික විපත් සන්සන්දනය කරන්නට බැහැ. ඒ පැතිවල තියෙන්නේ තේ වතු, පොල් වතු, රබර් වතු, නිවාස යෝජනා ක්‍රමයකට ඉඩමක් පවරා ගැනීමට අතිවිශාල මුදලක් වැය කළ යුතුයි. එය රාජ්‍ය තාන්ත්‍රිකව විශාල ක්‍රමවේදයක්. මුදල් ගෙවා ඉඩම් අත්පත් කරගැනීමේදී තමන්ට ලැබුණු වන්දි ප්‍රමාණවත් නැහැ කියලා ඉඩම් හිමියෙකුට වාරණ නියෝග පවා ගන්ට පුළුවන්. අවුරුද්දක් නෙමෙයි අවුරුදු ගාණක් වුවත් මේ ප්‍රශ්න විසඳන්නට ස්ථීරව යන්න පුළුවන්.
ප්‍ර- ඔබේ “සිංහල ජාතිය පාවා දීම” :ඊැඑර්ම්ක දf ඔයැ ීසබය්ක් භ්එසදබ* උඩරට ගිවිසුම රට පාවාදුන් මුල්ම අවස්ථාව ලෙස දක්වනවා. දෙවන අවස්ථාව ලෙස 1987 ඉන්දු ලංකා ගිවිසුම ලෙසත් එහි සඳහන්. 2002 අවබෝධතා ගිවිසුම රට පාවා දුන් පස්වැනි අවස්ථාව බව ඔබ කියනවා. ප්රභාකරන් ඇතුළු ත්රස්තවාදීන් ඝාතනයකොට සංවත්සරය එළඹෙන්නේ මේ මැයි මාසයට. එය සමරන්නේ නැතිවීම තවත් පාවාදීමක් ලෙස ඔබ දකිනවාද?
උ- මේක ඒ පැත්තෙනුත් අවුස්සනවා. මෙහෙත් අවුස්සනවා. උතුරේ මේක සමූල මිනිස් ඝාතනයක්. මෙහෙ උත්සව තියනවා. මේ මරාගත්ත ඒවා සමරන්නේ නැතුව යටපත් කරන එකමයි හොඳ.
ප්‍ර- ප්‍රේමදාස මහත්තයා කැබිනට් මණ්ඩලයේදී ඔහු කොටි ප්රශ්නය ගැන දරපු ස්ථාවරය දැනුම් දුන්නද?
උ- කැබිනට් මණ්ඩලයේ කවුරුත් ප්‍රශ්නයට විසඳුම දැනගෙන හිටියේ නෑ. ප්‍රේමදාස මහත්තයගේ කාරණය තමයි එකම තීන්දුව වන් මෑන් ෂෝ. කාගේවත් කැබිනට් එකේ අයගේ විසඳුම් අහන්න ප්‍රේමදාස මහත්තයට නම්‍යශීලි බවක් තිබුණෙත් නැහැ. බාගෙදා ප්‍රේමදාස යුගයේ කැබිනට් රැස්වීම සම්ප්රදාය රැක්මක් විතරක් කීවොත් නිවරැදියි.
ප්‍ර- ඔබ රට පාවා දීම් ගැන කර ඇති සඳහන්වල දෙවැනි සහ තුන්වන පාවාදීම්වල සිදුවූ වකවානුවල ඔබ ප්‍රධාන නිලධාරියෙක් බැවින් ඔබත් රට පාවා දුන් පුද්ගලයකු නේද?
උ- පුද්ගලයෙකු වශයෙන් ගත්තොත් මම රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ තමයි මේ ප්රශ්නය සම්බන්ධයෙන් ළඟින්ම කටයුතු කළේ.
ප්‍ර- ඔබ ප්‍රේමදාස ජනපතිගේ ලේකම් වශයෙන් සිටියදී තමයි එල්ටීටීඊ යට ආයුධ පවා ජනපති දුන්නේ. කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැහැදිලිවම ඔබ එයට එරෙහි වුණේ නැද්ද?
උ- මම විරුද්ධ වුණත්, බලලෝභයෙන් එතුමාට ඒවා තේරුණේ නැහැ. එතුමාගේ එකම අරමුණ ඉන්දියන් හමුදාවට ගහන්න වුණත් ප්රභාකරන් වඩා උපක්රමශීලි වුණා.
ප්‍ර- 1989 පෙබරවාරි, 1990 මාර්තු, 1991 මාර්තු කැබිනට් තුනේම ආරක්ෂක ඇමැති ජනපති ප්‍රේමදාස. එල්ටීටීඊයට ආයුධ දීම ගැන ජනපති ප්‍රේමදාස කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළාද?
උ- එහෙම කිව්ව නම් කැබිනට් එක විරුද්ධ වෙනවා. එහෙනම් එතුමා තවමත් ජීවතුන් අතර. මේ මොනවා කතා කරනවද? එයාගේ තනි මතයට ඔක්කොම සිද්ධ වුවේ. මං කලිනුත් කිව්වා ‘වන් මෑන් ෂෝ’ ඒක පුද්ගල රංගනය. විධායක ජනපති කැබිනට් මණ්ඩලයට වග නොකියන නිසා ඒ යුගයේ මහා විනාශයක් වුණා. හරාරේ නොබැඳි සමුළුවේදී ප්‍රේමදාස මහත්තයා රජිව් එක්ක කොටි ප්‍රශ්නෙට ආවේගශීලීව පැටළුණා.
ප්‍ර- 1983 දී ඔබ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාසගේ ලේකම්වරයා ලෙස සිටිත්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා තමන් ජනාධිපති වු විට ජනාධිපති ලේකම් ධුරය භාරගන්නා ලෙස ඉල්ලා සිටියද?
උ- මම කොබ්බෑකඩුව මහතා හමුවෙන්න ගියේ ප්‍රේමදාස මහත්තයාට කියලා. ගිහින් ආපුවාම විස්තරේ අහලා ප්‍රේමදාස මහත්තයා කිව්වා “එහෙම වුණොත් අපිට සහයෝගයෙන් වැඩ කළ හැකි. මම විපක්ෂයේ ඉන්නකොට විවේචනය නොකරපු අගය කරපු එකම පුද්ගලයා කොබ්බෑකඩුව විතරයි කියලා ප්‍රේමදාස මහත්තයා කිව්වා.
ප්‍ර- කැබිනට් මණ්ඩලයේ අර්බුදකාරී අවස්ථාවල අගමැතිවරයකු ලෙසත් ජනාධිපතිවරයකු ලෙසත් ආර්. ප්‍රේමදාස මහතාගේ හැසිරීම කෙබඳුද?
උ- ඒ වෙලාවට හිටියේ ගල් ඉබ්බෙක් වගේ අඬු ඔක්කොම ඇතුළට දාගන්නවා. මුහුණෙන් අර්බුදකාරී බව පෙන්නන්නෙවත් නැහැ. තමා කලබල වෙලා ඉන්න බව අභිනයෙන්වත් පෙන්නන්නේ නැහැ. කේන්තියක් හිත ඇතුළේ කැකෑරුණත් වෙන වෙලාවටත් වඩා තැන්පත් බවක් පේන්න තියෙනවා. අර්බුදයට විසඳුම එතුමා උපක්රමශීලීව හිතින් හදාගන්න බව මම අභිනයෙන් දැනගන්නේ දකුණත ඇඟිලි කරකවන කොට. දෝෂාභියෝගය ආවහම නම් එතුමා හොඳටෝම කලබල වුණා.
ප්‍ර- කැබිනට් මණ්ඩලයේ අවුල් සහගත අර්බුදකාරී අවස්ථාවල රහස් සාකච්ඡාවලට ප්‍රේමදාස මහතා පැමිණියේ ඔබේ කුටියට බව කියනවා. උතුරේ සහ දකුණේ භීෂණය උත්සන්න වූ අවස්ථාව, ඉන්දියන් සාමසාධක හමුදාව රටින් පිටකිරීම, දෝෂාභියෝගය වැනි අවස්ථාවල වැදගත් තීන්දු තීරණ ගන්නේ ඔබේ කාමරයේදීද?
උ- ඒ කාරණය ඇත්ත. එතුමා යම් දැඩි තීරණ ගැනීමේදී රැස්වුණේ මගේ කාමරයට තමයි. දෝෂාභියෝගයේදී නීතිපතිත්, චොක්සිවත් ගෙන්නුවේ මගේ කාමරයට. එතැනදි ගත්ත වැදගත් තීන්දුව තමයි පාර්ලිමේන්තුව කල් තැබීමේ ගැසට් එක මට භාර දෙන තීන්දුව ගත්තේ. ඒ ගැසට් එකෙන් 1991 අගෝස්තු 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් 24 වැනිදා කැඳවනතෙක් පාර්ලිමේන්තුව කල් තැබෙන බව ප්‍රකාශයට පත් කළාම දෝෂාභියෝගය මෙහෙයපු උදවිය අන්ද මන්ද වුණා.
ප්‍ර- ඔබ ප්‍රියකරන්නේ අගමැති ප්‍රේමදාසටද ජනපති ප්‍රේමදාසටද?
උ- එතුමා සමඟ මම අවුරුදු 14 ක් ගැටුම් නැතුව වැඩ කළා. තම මතය වැරදි හෝ නිවැරදි හෝ වුවත් එම මතයේ ඇලී ගැලී සිටීම ඔහුගේ ස්වභාවයයි. එතුමා තමන් සිතූ දේ ඒ ආකාරයටම කරන පුද්ගලයෙක්. මම වඩාත් ප්‍රිය කරන්නේ අගමැති ප්‍රේමදාසටයි.
ප්‍ර- උඩරටට වැඩි සැලකිල්ලක් දක්වපු ඩිංගිරි බණ්ඩාර විජේතුංග වැඩබලන ජනාධිපති ලෙස ඒක ඡන්දයෙන් තෝරාපත් කර ගත්තම ඒ යෝජනාව සම්මත කළේ සිරිමාවෝ මැතිනිය. නමුත් එතුමියට 1994 දී අගමැති ධුරයට පත් කිරීමට විජේතුංග මහතා කෘතවේදී නොවූවේ මන්ද?
උ- සිරිමාවෝ මැතිනියට ප්‍රත්‍යුපකාර කරන්න තමයි විජේතුංග මහත්තයා 1994 දී එතුමියව අගමැති කරන්න හැදුවේ. ඒත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ මැදිහත් වීමෙන් චන්ද්‍රිකා අගමැති වුණා.
ප්‍ර- කැබිනට් ඇමැතිකම් දීපු කී දෙනෙක් ජනපති ප්‍රේමදාසට දණ ගහලා වැන්දද?
උ- මම නම් ලේකම් හැටියට කිසිදාක එතුමට වැන්දේ නැහැ. සිංහල අවුරුද්දට බුලත් දීලත් නැහැ.
ප්‍ර- දහවැනි පාර්ලිමේන්තුවේ 1989 පෙබරවාරි මුල්ම කැබිනට් රැස්වීමේ වූ ආරාවුල ඔබට මතකද?
උ- කැබිනට් රැස්වීමට කලින් පිංතූරයක් ගත්තා ඒක සිරිතක්. සාමූහික ඡායාරූපයට කැබිනෙට්ටුවේ නැති කෙනෙක් පැමිණියත් ප්‍රේමදාස මහත්තයා ඒක වැළැක්වූවේ අපූරු විදිහට. මේ පාර්ශ්වය තවමත් ඉන්නවා. කැබිනට් රැස්වීමෙත් එයා ඉඳගන්න පුටුවක් තියාගෙන හිටියත් මම ඒක එළියට දැම්මේ ප්‍රේමදාස මහත්තයගේ කීම අහලා.
ප්‍ර- ජනපති ප්‍රේමදාස මහතා 1989 පළමු කැබිනෙට්ටුව මාස 13 කින් නැවතත් සංශෝධනය කරනවා. 1990 දී ඊටත් මාස 12 කට පස්සේ 1991 මාර්තු නැවතත් කැබිනෙට්ටුව සංශෝධනය කරනවා. එතුමා මේ ගැන හිටපු ජනපති ජයවර්ධනගෙන් හෝ කිසිවකුගෙන් උපදෙස් ගත්තද?
උ- ජේ.ආර්. අයින් වුණාම අයින් කරලම දැම්මා. මොන උපදේශයක්වත් ගත්තේ නැහැ. ගාමිණී, ලලිත්, ප්‍රේමචන්ද්‍රලා අයින් කරන්න කාගෙවත් උපදෙස් අවශ්‍ය වුණේ නැහැ. පක්ෂ ව්‍යවස්ථාව අනුව ඒක ශ්‍රේෂ්ඨාධිකරණයක් සුප්‍රිම් උසාවිය සහතික කළා.
ප්‍ර- ළඟදීම ඇතිවිය හැකි කැබිනට් සංශෝධනය ගැන ඔබේ අදහස කුමක්ද?
උ- දැන් ප්‍රේමදාස යුගයේ වන් මෑන් ෂෝ තීරණ ඉවරයි. 19 වැනි සංශෝධනයෙන් පස්සේ අගමැතිවරයා දැනුම්වත් කර එකඟ කර ගත යුතුයි. මුදල් ඇමැති වගේ කිහිප දෙනෙක් වෙනස්වීම් ගැන කතිකාවතක් තියෙනවා. ඒත් තාම අලුයට ගිනි. තවම වෙන්නේ මොකක්ද කියල එළියට එන්නේ නැහැ. හැමෝටම වෙලා තියෙන්නේ බලන් ඉන්න තමයි.
සටහන - ඩී.ජී. ලියනගේ