ගල්මල් දියවෙනවා - මාළු බිත්තර වැනසෙනවා
පරිසර විශේෂඥයෝ කියති
(දයාසීලි ලියනගේ)
ගින්නට අසුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් ඇට විශේෂයක් නිසා මෙම මුහුදු තීරය වසර ගණනාවක් යන තුරු ‘අමු සොහොනක’ තත්ත්වයට පත්වන බව පරිසර විශේෂඥයන් පෙන්වා දී ඇත.
ගල්මල් හා කොරල්පර දියවීම, යළි ඒවා නොසෑදීම, මාළුන් බෝවීම වැළකීම හා මෙම ක්ෂුද්‍ර අමුද්‍රව්‍ය මුහුදු ජලයට දියවීම මත මසුන් ආහාරයට ගැනීමේදී පිළිකා, ශ්වසන රෝග හා චර්ම රෝග ඇතිවීම සිදුවන බව ද ඔවුන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම ඇට විශේෂය මුහුදු ජලයට දියවීමෙන් වසර ගණනාවකට එහි හානිය වළක්වා ගැනීමට නොහැකි වන බව වාර්තා වී ඇති බවයි.
මුහුදු ජලයට එක්වූ අනෙකුත් රසායනික ද්‍රව්‍යවලට අමතරව මෙම ප්ලාස්ටික් ඇට විශේෂය මුහුදු ජලයට දියවීම නිසා මෙම බරපතළ තත්ත්වය ඇති වන බවයි.
මීට අමතරව මෙම නෞකාව සම්බන්ධයෙන් කමිටු දෙකක් පත් කෙරෙන අතර තෙල් කාන්දුව පවතින බව දැන දැනත් මෙම නැවට කොළඹ මුහුදු තීරයට ඇතුළු වීමට අවසර දුන්නේ කවුද යන්න සෙවීමට එක් කමිටුවක් ද පරිසර හානිය සෙවීමට තවත් කමිටුවක් ද පත් කරන බව ඇමැතිවරයා කීය.
මෙම ගිනිගත් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් කෙටි කාලීනව හා දිගු කාලීනව හානිකර තත්ත්වයක් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
මසුන් මියයාම, ගල්මල් දියවීම, මාළු බිත්තර විනාශ වීම, මත්ස්‍ය පැටව් බිහි නොවීම, ධීවර කර්මාන්තය මුළුමනින්ම අඩාල වීම, පිළිකා, ස්වසන රෝග, චර්ම රෝග ඇතිවීම දීර්ඝ කාලීන හානි වන බව ද ඔහු කීය.
මීට අමතරව ලෝකයේ කැස්බෑ වර්ග 7ක් අභිජනනයට ශ්‍රී ලංකාව වටා පිහිටි මෙම මුහුදු තීරයට පැමිණෙන අතර උද්ගතවී ඇති තත්ත්වය නිසා කැස්බෑවන් පැමිණීම නතර වන අතර මෙම ප්‍රදේශය මසුන් සංක්‍රමණය වන මාර්ගයක් නිසා මසුන් පැමිණීම වැළැක්වෙන බව ද සඳහන් කරයි. එය සංචාරක කර්මාන්තයටද බලපෑමක් වෙයි.
කොළඹ, ඇලකන්ද, දික්ඕවිට, සරුක්කුව, මීගමුව, හලාවත යන ප්‍රදේශවල මුහුදට මෙහි බලපෑම දැඩිව ඇතිවන බව ද ඇමැතිවරයා කීය.