ගියා කීව “ආවා” යාපනයට යළි ආවා


 

ගෙවී ගිය කාලයේදී නම් යාපනය පොලීසියට බොහොම අසුබ කාලයකි. කොතරම් අසුබද කියනවා නම් පොලිස් නිලධාරීන්ට බන්ධනාගාරගතවීම් රෝහල් ගතවීම් හා ජීවිතවලින් වන්දි ගෙවීම් සිදු වූ බව අසන්නට දකින්නට තිබුණි.   


ගෙවුණු ජූලි මාසයේ අවසන් දින කිහිපය තුළ නම් යාපනය දිස්ත්‍රික්කය දිස්වූයේ යුද සමයේදී පැවැති වාතාවරණය සේය. ජූලි 22 වනදා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරීන්ට තැබූ වෙඩි ප්‍රහාරයෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලැබීම, 26 වැනිදා උපපොලිස් පරීක්ෂක තීන්දුරාජා නමැති නිලධාරියා නිවාඩු ලබා කොඩිකාමම් පේදුරුතුඩුව මාර්ගයේ එන්.පී.බී.සී.ඕ. 7800 නමැති අංක දරන යතුරුපැදියකින් නිවසට ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් සිව්දෙනකු විසින් ඔහු ගමන් ගත් යතුරුපැදිය අවහිරකොට නවත්වා ඔළුවටම පොල්ලකින් පහර දී තිබූ අතර හෙල්මට් එකක් පැලඳ සිටීම නිසා ඔහුගේ ජීවිතය බේරුණි . අවසන් සිදුවීම වූයේ පසුගිය 30 වනදා යාපනයම නැවතත් භීතියට පත් කරමින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමය.   


රටේ ඉහළින්ම පිහිටා ඇති යාපනය නගරය නැවත වරක් උණුසුම් වන්නේ පොලිස් නිලධාරීන්ට සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙනි, යුද්ධයෙන් පසුව මීට පෙරද උතුරම ඇවිළුණේ විද්‍යා දැරියගේ ඝාතනය, අාවා ඇතුළු ආයුධ කල්ලි ක්‍රියාත්මක වීම, සරසවි සිසුන්ට වෙඩි තැබීම, වැලි ප්‍රවාහනය කළ තරුණයින්ට වෙඩි තැබීම හා මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීම මෙන්ම ආසන්න සිදුවීම වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කපා දැමීම යන කාරණාවන් නිසාය.  


ආසන්න සිදුවීම් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කපා කෙටීමට වඩා එහි සැඟවුණු යමක් හේතුවෙන් දැන් දැන් යළිත් වරක් යාපනය වගේම උතුරම බිය වදින්නට පටන් ගෙන ඇත.   


‘‘අායෙත් කොටි ඇවිත්ද’’ කොටි කරපු දේවල්ම යුද්දෙ ඉවර වෙලත් අහනවා දකිනවා. ආයෙත් යුද්දයක් එන්නද හදන්නේ?, යුද්දෙ ඉවර වෙලත් අපරාදේ පොලිස් නිලධාරීන් මැරෙනවා. තුවාල වෙනවා’’ වැනි කතා දැන් දැන් උතුරෙන් ඇසෙන්න පටන් ගෙනය. මේ ගැන දෙවරක් හිතන්නට සිද්ධ වන්නේ යාපනය කෝපායි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදීම හා එහි සැඟවුණු කතාවක් හේතුවෙනි.   
‘දිනය වූයේ පසුගිය ජුලි 30 වැනිදාය. කෝපායි පොලිස් වසමට පැමිණිලි විභාගයේ වගකීම භාරව සිටියේ ආර්.එම්.ඩී. රත්නායක (60581) හා කේ.ඒ.අයි. සුරෙන් (6946) නමැති සිංහල හා දෙමළ පොලිස් නිලධාරීන් දෙදෙනාය. ඔවුන් එදින උදෑසනම කෝපායි ප්‍රදේශයට ගියේ පැමිණිලි විභාගයක් සිදුකිරීමටය. එසේ ගොස් එන විට තරමක් සවස් විය. කෝපායිහි කොකුවිල් මාර්ගයේ නන්දුවිල් කෝවිල ආසන්නයට පැමිණි ඔවුන්ට එක්වරම පිටුපසින් යතුරුපැදි හතරකින් පැමිණි මැර පිරිසකගේ අතේ තිබූ කඩුවකින් කොටන ලදී. යතුරු පැදියේ පසුපස වාඩි වී සිටි දමිළ පොලිස් නිලධාරියාගේ පිට ප්‍රදේශයට පහර වැදිණි. එම පහරත් සමගින් දමිළ පොලිස් නිලධාරියා ධාවනය වන යතුරු පැදියෙන් පැන දිව ගියේය.  

ප්‍රහාරයෙන් තුවාල ලත් පොලිස් නිලධාරීන් බැලීමට පොලිස්පතිතුමන් පැමිණ සුව දුක් විමසන අයුරු.

 


නමුත් යතුරු පැදිය පැදවූ සිංහල පොලිස් නිලධාරියාට පැන යන්නට නොලැබුණේ යතුරු පැදිය ධාවනය වූ නිසාවෙනි පසුව ඔහු යතුරුපැදියද සමග වැටී යතුරු පැදියටම යට විය. වැටුණු ඔහු සමීපයට පැමිණි මැර කල්ලියේ යතුරුපැදිකරුවෙකු විසින් කඩුවකින් ඔහුට හා යතුරු පැදියට කොටා පලා ගියේය. අනතුරුව එම ස්ථානයට පැමිණි ත්‍රි රෝද රථයකින් තුවාලකරුවන් කෝපායි පොලීසියට රැගෙන ගොස් රෝහල් ගත කෙරීමත් සමග යාපනය සේම රටම ගිනි ඇවුළුනි.   


මෙම සිදුවීමත් සමග පොලිස්පති පූජිත ජයසුන්දර මහතා යාපනය ශික්ෂණ රෝහලට ගොස් පහරකෑමෙන් තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා පරීක්ෂා කළ අතර ඒ වනවිට සිංහල පොලිස් නිලධාරියා ශල්‍යකර්මයකට භාජනය කර තිබිණි. එම නිලධාරියාගේ අතක් දරුණු කැපුම් ප්‍රහාරයකට ලක්ව තිබීම හේතුවෙනි.   


මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂකයකුට වෙඩි තැබීම, උපපොලිස් පරීක්ෂක වරයකුට පහර දීම හා පොලිස් නිලධාරීන් දෙදෙනා කපා දැමීම වැනි කාරණා නිසා දැඩි ලෙස බියට පත් පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් කියා සිටියේ මොනවද මේ යාපනයට වෙලා තියෙන්නේ යනුවෙනි.   


මේවාට පිළිතුරු දීමට සිදු වූවේ පොලිස්පතිවරයාටය. පොලිස්පතිවරයා තුවාල වූ පොලිස් නිලධාරීන් බැලීමෙන් පසුව වහාම යාපනයේ සිටි පොලිස් ස්ථානාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමු වී නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය මෙන්ම අවම බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කළේය.   


අනතුරුව පොලිස්පතිවරයා විසින් යාපනය පොලීසියේදී පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. මෙතෙක් අදාළ ප්‍රහාරය කවුරුන් විසින් සිදු කළේද කුමන හේතුවකට සිදු කළේද යන්න හෙළි කරනු ලැබුවේ පොලිස්පතිවරයා විසිනි.   


‘‘මේ පහර දීමට යතුරුපැදි 7 කින් පැමිණි 15 දෙනකු පමණ සහභාගී වෙලා තියනව කියල දැනට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පහර දීමේ ප්‍රධාන සැකකරු දැනට තොරතුරු අනාවරණය වී ඇති අාකාරයට ආවා කල්ලියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු කියල තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊට අමතරව තවත් 6 දෙනකු පිළිබඳව තොරතුරු ලැබිලා තියනවා. මේ පහර දීමට පැමිණි සියල්ලන්ම තරුණයින් කියලා තොරතුරු ලැබිලා තියනවා.


පවතින තත්ත්වය පාලනය කිරීමට හා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුද හමුදාවෙත් සහය ලබාගෙන පවතින තත්ත්වය පාලනය කිරීමට පියවර අරන් තියනවා. ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද උපරිම පියවර අරන් තියනවා. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවලා තියනවා. ඒ වගේම අමතර පොලිස් මුර සංචාර වාර කිහිපයක් යොදවලා තියනවා. මේ ක්‍රියාවලියට මාධ්‍යයෙත් සහය අවශ්‍යයි යනුවෙනි.


ඉන් අනතුරුව යාපනය සිවිල් සංවිධාන හා යාපනයේ ආගමික නායකයින් හමු වූ පොලිස්පතිවරයා විසින් එහිදීද වැදගත් ප්‍රකාශයන් සිදු කරනු ලැබීය.   


‘‘ඕනෑම රටක් ගත්තොත් එය අපේ රටට සමානයි. ත්‍රස්තවාදයක් අවුරුදු 30 ක් වැනි කාලයක් පැවැති රටක අපි ත්‍රස්තවාදය අවසන් කළැයි කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුණයි කියල කාටවත් කියන්න බැහැ. මේ කරුණු අනුව මම කියන්න කැමතියි, එකක් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාරදුන්නා. සියලු ආයුධ ඉවරයි කියන්න බැහැ. අනිත් එක ඒ අයගෙ තිබුණු පුහුණුව ජීවන රටාවත් එක්ක පැවැති ආකල්ප වෙනස් වෙලා නැහැ. එකක් වුණා දෙකක් වුණා අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්න වෙනවා. පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියනවා. නමුත් අපිට මහජනතාවගේ සහයත් අවශ්‍යයි එයයි මෙහි ප්‍රධානතම දේ.   


ප්‍රතිඵලදායක විදිහට ප්‍රජා පොලිස් කමිටු උපදේශක කමිටු, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ මහජනතාවගේ තියන සබඳතාව විශ්වාසය නැත්නම් මේ ගමන යන්න පහසු නැහැ. විවිධ අන්තවාදීන් හා සංවිධානවල පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් ජනමාධ්‍යත් යොදාගෙන මේ සාමය හා ජනජීවිතය අවුල් සහගත වන අයුරින් වැරදි අර්ථකථනයන් දී දේශීය හා විදේශීව දෙන්න උත්සාහ කරනවා. හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා හා පැවැත්ම මෙන්ම මුදල් හම්බකිරීම උදෙසා. එල්.ටී.ටී.ඊ සංවිධානයත් මුලින් ආව විදිහට තමයි මේ අයත් එන්න හදන්නේ. මේකට අපි ඉඩ දිය යුතු නැහැ. ඔබ එය නිවැරදිව වටහාගන්න.   


මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි, නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය සුරැකීම ඉතාමත් ක්‍රමානුකූල විදිහට පෞද්ගලික න්‍යාය පත්‍රයෙන් තොරව, එකිනෙකාගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න නොව සමස්ත ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමයි මේ ශ්‍රී ලංකා පොලීසිය තියෙන්නේ. එයට සහයට ජාතික ආරක්ෂාව සහතික කිරීමට හමුදාමය තත්ත්වයක් තියනවා. ඒ හැමදෙනෙක්ම එකතුවෙලා ඉන්නේ.   


ඔබ දන්නවා පොලීසිය ඉස්සරට වඩා වෙනස්. පොලීසිය තුළ විශාල වෙනසක් තියනවා ඒ වගේම ජාතික පොලිස් කොමිසම මේ ඔක්කමත් එක්ක උතුරේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිමය අපි කරනවා.   


‘මේක පෞද්ගලික අවශ්‍යතාවක් ඉෂ්ට කරනවාට වඩා පොදුවේ ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමක්. නිදහසේ ඔබට යන්න එන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගීම පොලීසියට භාර කටයුත්තක්. අන්න ඒ කාර්ය සිදුවීමකින් දෙකකින් තුනකින් ගිලිහෙන කොට මිනිස්සු අතරෙ තියන විශ්වාසයත් පළුදු වෙනවා. ඒ නිසා නිශ්චිත විදිහට ඒ වෙච්ච සිද්ධිය අරගෙන නීතිවිරෝධීව අනෙකුත් අය කරන විදිහට පොලීසියට කරන්න බැහැ. පෞද්ගලිකව පළිගන්න ගහන්න විනාශ කරන්න බැහැ. එක් එක් වාහනවලින් සුදු වෑන්වලින් වගේ අරන් යන්න ඒවා කරන්න බැහැ, කළ හැක්කේ රටේ නීතියට අනුකූලව ප්‍රදේශයේ පරිපාලනයට අනුකූලව අවශ්‍ය සාක්ෂි සහිතව නීතිමය අයුරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි.


අපේ නිලධාරියකු කැපුවා, අපේ නිලධාරියකු මැරුවායි කියලා අපි පළිගන්න යන්නෙ නැහැ. අපි එස්.ටී.එෆ්. එකෙත් උදව් අරගෙන, හමුදාවෙත් උදව් අරගෙන, මිනිස්සුන්ට හිංසා වෙන කොයිම විදිහේ වැඩපිළි​ෙවළක්වත් දියත් කරන්නෙ නැහැ. අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් එ් සිද්ධි දිහා බලලා අදාළ පුද්ගලයින් ගැන බුද්ධි අංශවලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරල තමයි අපි අත්අඩංගුවට ගන්නේ. පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු දැනටමත් අපි අත්අඩංගුවට ගෙන තිබෙනවා.   


එදා පුනරුත්ථාපනය නොවුණු හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් අය පොලීසියට පහර දීමට 15 විතර යතුරු පැදිවලින් පැමිණ තිබෙනවා. අපි ඒ අය එකින් එකා අත්අඩංගුවට ගන්නවා. නීතියට අනුව මේ පෞද්ගලිකත්වයකින් තොරව මේ කාර්ය සාර්ථක කරගන්න නම් අපට මහජනතාවගේ සහයත් අවශ්‍ය වෙනවා. ඔබ මේ ගැන ඔබේ ප්‍රදේශයට ගොස් අනෙකුත් අය සමග සාකච්ඡා කොට ඔවුන්ට පැහැදිලි කරයි කියා මා හිතනවා’’ යනුවෙනි.   


එසේ නම් කව්ද මේ අවසන් නොවන ආවා කල්ලිය? කලකට පෙරද යාපනයේ වගේම රටේම විශාල ලෙස කතාබහට ලක්වූ ‘ආවා’ දැන් යළි කරළියට පැමිණ ඇත. එදා සාමාන්‍ය වැසියන් මෙන්ම ව්‍යාපාරිකයින් කපා කෙටුවද දැන් එය ආරක්ෂක අංශ දෙසට යොමු වී ඇත.   
වත්මන් ආවා යනු කව්රුන්ද යන්න සෙවීමට මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදුවෙයි. ආවා යනු ඉතා කුඩා කණ්ඩායමක් බවට පොලීසියේ හා ජනමාධ්‍යයේ භාවිතය වෙයි. එහි සත්‍යයක්ද වෙයි. යාපනයේ රස්සාවක් නැතිව ඉගෙනීමක් නැතිව, කන්න බොන්න නැතිව, ඉබාගාතේ යන තරුණයින් ඕනෑ තරම් ඇත. එයද යුද්ධයේ අතුරුඵලයකි. මේ අය තුළින් අාවා බිහි වී ඇති බව කටකතාවකි. මෙතරම් ආරක්ෂාවක් ඇති යාපනයේ මෙවැනි පිරිසක් විසින් උතුර මෙන්ම රටම නොසන්සුන් කිරීමේ අභ්‍යන්තරය සිතා බැලිය යුතුව ඇත. මේ ගැන යාපනයේ සිටින විද්වත් පිරිසකගේ එක් මතයක් මෙසේය.   


‘ආවා යනු ගමේ නගරයේ බීමතින් ඉබාගාතේ සැරිසැරූ පුද්ගලයින් පිරිසකගෙන් සමන්විත වූ පිරිසක් බව සත්‍යයක් වුවත් මොවුන් රූකඩ පමණක් බව සිහියේ තබා ගත යුතු යන කාරණාවය. එනම් මේ පිරිස්වලට මත්පැන් පානයට, කන්න, ඉන්න හිටින්න, යාන වාහන කොහින්ද? මේවා මංකොල්ල කා ඉපැයූ දේවල් කියා යමෙකුට සිතෙයි. නමුත් මෙහි නොදන්නා පැත්තක්ද ඇත. එනම්, මේ පිරිස් පෝෂණය වන්නේ විදෙස් රටකින් විය හැකියි.


ඒ අයට එම රටවල පුරවැසිභාවයද ලැබෙන්නේ, මෙරට සිදු වන කෝලාහලයන් මතය. එමෙන්ම එක් පැත්තකින් කොටි ඩයස්පෝරාවද සිටියි. මොවුන් සතුව විශාල මුදලක් ඇත. අවුරුදු 17 සිට 25 දක්වා කරන්න දෙයක් නැතිව ඉබගාතේ ඇවිදින යාපනයේ තරුණයින් මුදලට ඕනෑම දෙයක් කිරීමට පෙළඹී ඇත. එහි ප්‍රතිඵලයකි ආවා.


ආවා කණ්ඩායමේ පෙර නායකයා ලෙස හැඳින්වූයේ කුමරේෂන් රත්නම් විනෝදන් නම් තරුණයෙකි. ඔහුගේ සුරතල් නාමය වූයේ ‘‘ආවා’’ යන්නය. නමුත් ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව සිරබත් කා සිටින අයෙකි. ඔහු මෙම කටයුතුවලින් ඉවත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. එමෙන්ම ඔහු සිර භරයේ සිටින විටද යාපනයේ ඇතැම් සිදුවීම් සිදු විය. අාවා කණ්ඩායමට අමතරව තවත් එවැනි කණ්ඩායම් කිහිපයක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙම පිරිස්වල අවුරුදු 17 සිට 22 පමණ වයස් කාණ්ඩවල තරුණයින් සිටියද මෙය හසුරුවන්නේ වෙනත් අදිසි හස්තයන් විසින් බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇත.   


තවත් කතාවක් වන්නේ, කොටි සංවිධානයට ළමා සොල්දාදුවන් වශයෙන් බැඳී කොටි පුහුණුවද ලබා අවසන් යුද සමයේදී එම සංවිධානය අතහැර පැමිණි පිරිස් මෙවැනි සිදුවීම් පිටුපස සිටින බවටද තොරතුරු ලැබීමයි.   


එවැනි පිරිසක් විසින් පසුගියදා කෝපායි පොලිස් නිලධාරීන් දෙදෙනාට ප්‍රහාරය එල්ල කළ බවට දැන් තොරතුරු ලැබී ඇත. මෙම සිදුවීම සිදු වූයේ ඉරිදා දිනකදීය. සෑම ඉරිදා දිනයකම මොවුන් වෙනදාට වඩා මත්පැනින් සරු​ වන දිනයකි. මත්පැනින් සරු​ෙවන ගමන් ඔවුන් දමිළ චිත්‍රපටිවලින් නරඹන්නේද කපා කොටා මරා ගන්නා දර්ශන ය. මදන ගතියෙන් සිටින මොවුහුද අනතුරුව එ​ෙලසින් තම වසමේ චණ්ඩියකු සේ සිටීමට ඇලුම් කරති. එහි අභ්‍යන්තරය නම් කොටි සංවිධානයේ සිටි හෙයින් මොවුන්ට ආරක්ෂක අංශ නයාට අඳුකොළ සේ වීමය. පසුගිය 30 වැනිදා යාපනය කෝපායි නන්දුවිල් වැවෙහි මේ අයුරින් පිරිසක් මත්පැනින් පදම් වී සිටින අවස්ථාවක අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගයේ ගමන් ගෙන ඇති අතර එහිදී හිටපු කොටි සාමාජිකයකු මෙන්ම වත්මන් අාවා කණ්ඩායමේ ප්‍රබලයෙකු විසින් නායකත්වය ගෙන සෙසු පිරිස කැටුව අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදීම සිදු කොට ඇති බවට පොලීසියට වටින් ගොඩින් තොරතුරු වාර්තා වී ඇත.   


මෙයට තවත් නිදසුනකි, යාපනය පේදුරුතුඩුව මනල්කාඩු කුඩත්තනේ වරණි ප‍්‍රදේශයේ කළපු රක්ෂිතයේ කඩොලාන කපමින් සිටි සැකකරුවන් පස් දෙනකු හදිසි සෝදිසි මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීම. යාපනය, නෙල්ලියඩි, පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ සිදු වූ සිදුවීම් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයින් බවටත් ඔවුන් හිටපු කොටි සාමාජිකයින් බවටත් සැක පහළ වී ඇතැයිද යාපනය පොලීසිය කියා සිටියේය.   
මෙලෙසින් ආවා යළි කරළියට පැමිණ ඇත්නම් කළ යුතු දේ කුමක්දැයි දැන් දැන්ම කල්පනා කළ යුතුය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසින් ආවාහි මුල් බීජයම උදුරා දැමිය යුතුය. වසර 30 ක් රට අගාධයකට ගියේ මෙලෙසින් නියපොත්තෙන් සිදුකිරීමට තිබූ දෙයක් පොරවෙන් කරන්නට ගිය නිසාවෙනි. ආවා හෝ කුමන පාර්ශ්වයක්​ හෝ හිස ඔසවන්නේ නම් එය මුලිනුපුටා දැමීම අප කාගෙත් වගකීමක් හා යුතුකමක් වන්නේය.

සටහන හා ඡායාරූප :
වන්නි රොමේෂ් මධුශංඛ