වනෝද්‍යානවල වන ජීවීන්ට පමණක් හැසිරෙන්නට වෙන්කර තිබූ ස්ථානවල හැසිරෙන්නේ වනසතුන් මිස අන් කවරෙක්ද? එහෙත් වනසතුන්වත් නොහැසිරෙන ලෙස වනෝද්‍යානයක හැසිරුණු සත්ව කොටසක් ගැන පසුගියදා යාල වනෝද්‍යානයෙන් වාර්තා විය
පොදු ස්ථානවල වුවද හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් නීති රීති පවතී. නීති නැති තැනක වුවද සදාචාරයන්ට අනුව මිනිසුන් පුරුදු පුහුණු වූ හැසිරීම් තිබේ. එහෙත් චාරිත්‍ර වාරිත්‍ර නීති රීති, කිසිවක් අදාළ නොවන කිසිවක් නොසලකා කටයුතු කරන මිනිස් භවයක් ලැබුණද වනසතුන් ලෙස හැසිරෙණ පිරිසක්ද අප සමාජයේ ජීවත් වෙති. යාල වනෝද්‍යානයේ පසුගියදා සතුන් ලෙස හැසිරුණේද එවැනි කණ්ඩායමක් විය හැකිය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බෙලිඅත්තට පැමිණ එතැන් සිට කොළඹ කතරගම මාර්ගයේ යාල වනෝද්‍යානය දක්වා ගමන් කරන අමුතු තාලයේ රථ පෙරහර දෙස මග දෙපස ජනතාව බලා සිටියේ විමතියෙනි. කුකුසකිනි. එදා විසිවැනිදාය. වේලාව පස්වරු එකට පමණ වන්නට ඇත. විදුලි පහන් නිවමින් දල්වමින් හා නළා ශබ්ද නංවමින් රථ පෙළපාළියක් සේ ගමන් කරනා මෙම කැබ් හා ඩිෆෙන්ඩර් රථ යන්නේ කොහාටද? කුමකටද? ජනතාවට එවැනි ප්‍රශ්න රැසක් මතුවිය. එහෙත් ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ දින ගණනාවකට පසුවය. ඒ ජනමාධ්‍ය මගින් මෙම කණ්ඩායම සම්බන්ධයෙන් වාර්තා පළවූ විටදීය. එම වාර්තා පළ වූයේ පසුගිය 24 වැනිදාය.
වාර්තා වූ පරිදි මෙම කණ්ඩායම පැමිණ තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේය. ඒ කැබ් හා ඩිෆෙන්ඩර් රථ තිස්හයකිනි. එම වාහන තිස් හයේ පුද්ගලයන් අසූවත් සීයත් අතර පිරිසක් සිටි බවට සැක කෙරේ. මොවුන් පළමුව යාල ජෙට්වින් හෝටලයෙන් දිවා ආහාරය ලබාගත්හ. ඉන්පසු පස්වරු දෙකට පමණ පිරිස වනෝද්‍යානයට පැමිණියහ. ඔවුන් එහි ඇතුළු වී තිබෙන්නේ නීත්‍යානුකූලව අවසර පත් ලබාගෙනය.
මෙම කණ්ඩායම යාල වනෝද්‍යානය ඉදිරිපිටට පැමිණි පසු වාහන කීපයක් වනෝද්‍යානය තුළට නොගොස් නැවතී තිබේ. වනෝද්‍යානය තුළට ගමන් කර තිබෙන්නේ වාහන තිස් එකක් බවයි වනජීවී දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. වනෝද්‍යානයට ඇතුළු වීමේදී මෙම කණ්ඩායමට මග පෙන්වීමට වනජීවී නියාමකයින් පස් දෙනකු සම්බන්ධ වී තිබේ.
වනෝද්‍යානයකට වාහන ඇතුළු කිරීමට ඕනෑම කෙනෙකුට අවසර ඇති නමුත් එම වාහන ගමන් කළ යුතු උපරිම වේග සීමාවක් පවතී. එසේම නළා ශබ්ද නොකළ යුතුය. වාහනයෙන් බැසීමට කිසිවෙකුට අවසර නැත. එහි ඇතුළු ෙවන ඕනෑම අයකු එහි ගමන් කළ යුතු ආකාරයක් පවතී. වාහන නැවැත්විය යුතු ස්ථාන තිබේ. වාහන නැවැත්වීම සුදුසු නැතැයි නම් කළ ස්ථාන තිබේ. සතුන්ට පමණක් වෙන්කළ ස්ථානද මෙහි තිබේ. මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ඔවුන් දැනුවත් කළත් නොකළත් ඒ සම්බන්ධයෙන් වන දැන්වීම් පුවරු සෑම ස්ථානයකම දැකිය හැකිය. එහෙත් මෙම කණ්ඩායම ගමන් කර තිබුණේ ඒ කිසිවක් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වමිනි.
වනෝද්‍යානයේ ලොට් අංක එක හා දෙක වෙත ඔවුහු ඇතුළු වූහ. ඒ සෑම තැනකටම ඔවුන් ගමන් කරන්නේ වාහනවල නළා ඉහළ ස්වරයෙන් නාද කරමින් හා වාහන ධාවන තරගයකට එක් වූවා සේ රේස් කරමිනි. ඒ නිසා මුළු යාල වන බිමම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. සත්තු කලබලවී ඒ මේ අත දුවන්නට වූහ. එසේ කලබල වී දුවන සතුන්ගේ ඡායාරූප හා විඩියෝ දර්ශන ලබාගන්නට මෙම කණ්ඩායම අමතක නොකළහ.
මෙම උද්‍යානයේ මහාසීලව ප්‍රදේශය යනු වන සතුන්ට පමණක් හැසිරීමට වෙන් කළ වැලි සහිත බිමකි. කිසිදු චාරයක් නැතිව ගමන් කළ මේ ප්‍රභූ පුතුන් එම භූමියට ඇතුළු වී වැලිමත වැඩ පෙන්වන්නට පටන් ගත්හ. ඇතැමෙක් ධාවන තරගයක පරිදි අධික වේගයෙන් සිය රථය ඒ බිමෙහි එහා මෙහා පැදවූයේ අධික ශබ්දයක්ද නගමිනි. තවත් කෙනෙක් සිය රථය එක තැන කරකවමින් විනෝද වූහ. වැලිබිම මඩ ගොහොරුවක් වන පරිද්දෙන් ඔවුහු තමන්ගේ හිතු මනාපෙට නොයෙක් සෙල්ලම් දැමූහ.
මගපෙන්වීමට ගිය නිලධාරින් කණ්ඩායමට මොවුන් පාලනය කරන්නට නොහැකි විය. වනජීවී දෙපාර්තමේන්තුව පසුව සඳහන් කළ පරිදි මෙම ප්‍රභූ පුතුන් කණ්ඩායම පාලනය කළ නොහැකි වූ පසු මගපෙන්වීමට ගිය නිලධාරින් නියමිත වේලාවටත් පෙර සේවය අවසන් කර නිවෙස් කරා ගමන් කර ඇත. අඳුර වැටෙන තුරු වනෝද්‍යානය තුළ පිස්සු නැටූ ප්‍රභූ පුතුන්ද පසුව නිවෙස් කරා ගමන් කර තිබේ. මොවුහු තමන් කළ කී දෑ සියල්ල වීඩියෝ කළහ. ඒවා තමන්ගේ මුහුණු පොත්වලින් ප්‍රචාරය කරන්නට අමතක කළේද නැත. ඒ තමන්ගේ පුරාජේරුව මිතුරන්ට පෙන්වීමටය.
වනෝද්‍යානයේ ලොට් අංක එක හා දෙක වෙත ඔවුහු ඇතුළු වූහ. ඒ සෑම තැනකටම ඔවුන් ගමන් කරන්නේ වාහනවල නළා ඉහළ ස්වරයෙන් නාද කරමින් හා වාහන ධාවන තරගයකට එක් වූවා සේ රේස් කරමිනි. ඒ නිසා මුළු යාල වන බිමම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. සත්තු කලබලවී ඒ මේ අත දුවන්නට වූහ. එසේ කලබල වී දුවන සතුන්ගේ ඡායාරූප හා විඩියෝ දර්ශන ලබාගන්නට මෙම කණ්ඩායම අමතක නොකළහ.
මෙසේ වනෝද්‍යානයේ පිස්සු නැටුවේ වැල්ලවාය මෝටර් රථ සංගමයේ සාමාජිකයන් හා නිකවැරටිය කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ පිරිසක් බවට එක කතාවක් තිබේ. ජීප් රථ අලුත්වැඩියා කරන ආයතනයක හිමිකරුගේ වුවමනාවට එම ආයතනයෙන් අලුත්වැඩියා කරන වාහන යොදාගෙන මෙම චාරිකාව ගිය බවටද කතාවක් තිබේ. ඒ කතා දෙකෙන් කුමක් සත්‍ය වුවද මේ පැමිණි අසූ දෙනා අතර ඇමතිවරුන් දෙදෙනෙකුගේ පුතුන්ද වන බවට ආරංචි පැතිරේ.
වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එවැනි කිසිවෙක් ගැන තමන්ට වාර්තා වී නැති බවය. එහෙත් සිදුව ඇති දේ හොඳින් විමසා බැලුවහොත් එවැන්නක් සාමාන්‍ය සිවිල් වැසියෙකුට කළ හැකිද? එසේ කළේ නම් ඔවුන්ට කුමක් සිදුවනු ඇතිද? එහෙත් මෙම කණ්ඩායම යාල වනෝද්‍යානය තුළ පිස්සු නටා නිරුපද්‍රිතව ආපසු සිය නිවෙස් බලා පිටත්ව ගියහ. මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු වනජීවී නිලධාරියෙකු නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැත. එයට හේතු ලෙස දක්වන්නේ වනෝද්‍යානයේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරින් දැනුවත් නොකිරීම බවය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පවසන්නේ. ඒ නිසා පරීක්ෂණ අවසන් වනතුරු මගපෙන්වීමට ගිය නිලධාරින්ගේ වැඩ අත්හිටුවා ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සිද්ධිය සමාජ කතාබහට ලක්වන්නේ මෙම කණ්ඩායමේ හැසිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවක් පදනම් කරගනිමිනි. ඉන්පසු මාධ්‍ය මගින් එය වාර්තා කළේය. වනජීවී දෙපාර්තමේන්තුවට නීතිය සම්බන්ධයෙන් මතක් වන්නේ ඉන් පසුව බව පෙනේ. සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් ඔවුන්ට වාර්තා නොවූයේ යැයි පිළිගත හැකිද? ඒ ගැන දැන සිටියේ නම් එම සිදුවීම වූ දිනයේ සේවය කළ නිලධාරින්ගේ වැඩ අත්හිටුවා පරීක්ෂණ ආරම්භ කිරීමට මාධ්‍ය මගින් වාර්තා කරන තෙක් සිටියේ ඇයි?
මෙම කණ්ඩායම වනෝද්‍යානයක කඩ නොකළ යුතු නීති සියල්ලම මෙන් උල්ලංඝනය වන පරිදි හැසිරී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම කණ්ඩායම වනෝද්‍යානයට පැමිණ තිබෙන්නේ ඔහුගේ අනුදැනුම ඇතිව බවට ද ඇතැම්හු චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සූරියබණ්ඩාර මහතා පවසා තිබුණේ තමන් ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බවය. තමන් කිසිවෙකුට විශේෂත්වයක් නොදක්වන බවද වනෝද්‍යානවල නීති රීති සුරැකීම කාටත් පොදු බවද ඔහු සඳහන් කර තිබේ. මෙසේ හැසිරෙන්නන්ට එරෙහිව වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ නඩු පැවරිය හැකි බවද එහිදී වරදකරුවන් වන්නන්ට ලක්ෂ දෙකක දඩයක් හා වසර හතක සිර දඬුවමක් හිමිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කරනු ලැබ තිබේ. දැනට වැඩ අත්හිටුවා ඇති නිලධාරින්ට අමතරව තවත් නිලධාරීන්ගේ නම් එහිදී අනාවරණය වුවහොත් ඔවුන්ගේ සේවයද අත්හිටුවන බව චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය. එසේම මෙම සිදුවීමට සම්බන්ධ වාහන පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු එම වාහන අසාදු ලේඛන ගත කර ඒවාට වසර තුනක් යනතුරු කිසිදු වනෝද්‍යානයකට ඇතුළුවීමට නොහැකි ලෙස කටයුතු කරන බවද හේරත් මහත්මිය පැවසුවාය.
මෙම කණ්ඩායම අධිවේගී මාර්ගයේ පැමිණෙන අතරතුරද නීති විරෝධී ලෙස එහි වාහන එක පෙළට නවත්වා රථපෙළ විඩියෝ හා ඡායාරූප ගතකර ඇති බවටද වාර්තාවේ. එය සත්‍යයක් නම් එලෙස හැසිරී නීතිමගින් ක්‍රියාමාර්ග නොමැතිව අධිවේගී මාර්ගයෙන් පිටමං විය හැක්කේ දැඩි දේශපාලන රැකවරණයක් සහිත පිරිසකට පමණි. එසේ නම් මේ කණ්ඩායම කවුද?
එය තවමත් නිසි පරිදි අනාවරණය වී නැත. බස්නාහිර හා දකුණු පළාත් නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනෙකුගේ පුතුන් එහි සිටි බවට ආරංචි පැතිරේ. එහෙත් සිදුවීම වූ දිනයේම අත්අඩංගුවට නොගත් නිසා මෙම වාහනවල පැමිණි පිරිස ලෙස එම ඇමැති පුතුන් හැර සෙසු පිරිස පොලිසියට භාරවීමට ඉඩ කඩ තිබේ. සැබෑ වැරදිකරුවන් නිදහස් වීමට ඉඩ තිබේ. ඉතිහාසය පුරාම මෙවැනි අත්දැකීම් මෙරට ජනතාවට පවතී.
දැනටමත් නව දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ පලටුපාන උද්‍යාන මූලස්ථානයට භාරවී තිබේ. ඔවුන් සමග වාහන හතක්ද භාරදී ඇත. ඒ පසුගිය 25 වැනිදා වනජීවී දෙපාර්තමේන්තුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පිරිස වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයෙන් පසුවය.
වනජීවී නිලධාරින් වෙත භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමටත් ඔවුන්ගේ වාහන අධිකරණය භාරයට පත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ ඇප ලැබුවේ තිස්සමහාරාමයේ පදිංචි මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද් වරුණගම, ආර්.ඒ. සුරේෂ් චතුරංග, ශස්මිඩ් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස් මොහොමඩ් සුවේර්, එස්.එච්. බුද්ධික චතුරංග, අබ්දුල් රකිබ් මොහොමඩ්, ජී.ජී.එස්. අංජුල, ආර්.එම්. සම්පත් හා ඩී.එම්. මධුර ලක්ෂාන්ය. මොවුන් රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වාර්තා වේ.
මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් පිරිසද වහාම අත්අඩංගුවට ගත යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන භාවිතා කරමින් විමර්ශන සිදුකරන බව වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සඳහන් කළේය.
සටහන හා ඡායාර්‍ෑප
මුදිතා දයානන්ද සහ
තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී