ජනතා අධිකරණය


2015 පෙබරවාරි මස 23 වැනිදා පැවැත්වූ මුල්‍ය මණ්ඩල රැස්වීමේදී වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු ඉදිරිපත් කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අර්ථසාධක අරමුදලේ මුදල් ගැන විමසූ විට ආනන්ද සිල්වා මහතා අදහස් දක්වමින් අර්ථසාධක අරමුදලේ ප්‍රමාණවත් මුදල් නොමැති බව පැවසූ බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් එච්. ඒ. කරුණාරත්න මහතා බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.


සියයට පහේ සීමාවේ තබාගැනීමට නියම කරගෙන සිටි සම්මත තැන්පතු අනුපාතය ඉවත්කොට එය සියයට 6.5 සීමාව දක්වා ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී පැවැති අලෙවි මෙහෙයුම් රැස්වීමේදී උපදෙස් දුන් බවත්, සම්මත තැන්පතු අනුපාතය සියයට 6.5 සීමාව දක්වා ඉහළ දැමීම තුළින් ඩොලරයට සාපේක්‍ෂව රුපියල පාවීමට ඉඩකඩ සැලසෙන බවත් බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළ කරුණාරත්න මහතා මෙම තොරතුරු ප්‍රාථමික ගැණුම්කරුවෙකු අතට පත් වූයේ නම් ඔහුට අයුතු ලාභයක් ලබා ගැනීමට හැකියාව තිබූ බවත් සඳහන් කළේය.


2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කොට ඇත.


කොමිසමේ කටයුතු සඳහා සහය ලබාදෙන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කිදුන් ශ්‍රී ලංකා මහබැංකුවේ මුල්‍ය මණ්ඩලයේ  ලේකම්  එච්. ඒ. කරුණාරත්න මහතා මහතා ඒ බව හෙළි කළේය.


2015 පෙබරවාරි මස 23 
වැනිදා පැවැත්වූ මුල්‍ය මණ්ඩල 
රැස්වීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට අදාළව අදහස් පළ කළා. ඊට අමතරව එහි සිටි නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා අදහස් පළ කරමින් දේශීය වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.


ඒ අවස්ථාවේදී අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අර්ථසාධක අරමුදලේ මුදල් ගැන විමසූ විට ආනන්ද සිල්වා මහතා අදහස් දක්වමින් අර්ථසාධක අරමුදලේ ප්‍රමාණවත් මුදල් නොමැති බව පැවසුවා. ඒ වේලාවේ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා රක්‍ෂණය පිළිබඳව විමසුවා.


ප්‍ර: විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වසර 30ක කාලයකට බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අධිපතිවරු එකඟ වුණාද?
පිළි:
ඔව්. 


ප්‍ර: 2015 පෙබරවාරි මස 23 වැනිදා පැවැති මුල්‍ය මණ්ඩල රැස්වීමේදී සංයුතිය කුමක්ද?
පි:
මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, ආචාර්ය සමරතුංග සහ රාමනාදන් යන මහත්වරු හිටියත් එහි සිටිය යුතු අනෙක් සාමාජිකයන් දෙදෙනා සිටියේ නැතැයි කීය. එහිදී ආචාර්ය සමරතුංග මහතාත් රාමනාදන් මහතාත් කිසිවක් කීවේ නැතැයිද ආනන්ද සිල්වා මහතා පැවසූ දේවල් මට මතක නැතැයිද කීය. මෙම මුල්‍ය මණ්ඩල පත්‍රිකාව 2015 
පෙබරවාරි 26 වැනිදා අනුමත කළා. ඊළඟ මුල්‍ය මණ්ඩල රැස්වීම 2015 මාර්තු 06 වැනිදා පැවැත්වුවා. එහිදී මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ආනන්ද සිල්වා සහ වීරසිංහ යන මහත්වරුන් යම් විරෝධතාවක් දැක්වූයේ නැහැ. ඔවුන් එම අදහස් අනුමත කළා. මහබැංකු  අධිපති  අර්ජුන්  මහෙන්ද්‍රන් මහතා මට කතා කරන විට  අදාළ බැඳුම්කර වෙන්දේසිය සිදුවී අවසානයි. 


ප්‍ර: ඒ කියන්නේ මුල්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරනවිට බැඳුම්කර වෙන්දේසිය සිදුවී අවසානයි කියන එකද?
පිළි:
ඔව්.
2015 පෙබරවාරි මස 23 වැනිදා මුල්‍ය මණ්ඩල 
රැස්වීමේදී සම්මත තැන්පතු අනුපාත මාසයක කාලයක් සඳහා වෙනස් නොකිරීමට තීරණය කළා. සාමාන්‍යයෙන් මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ රැස්වීම්වලට මහ බැංකු අධිපතිවරයා සහභාගී වන්නේ නැතත් පෙබරවාරි මස 27 වැනිදා මහබැංකු  හිටපු අධිපති  අර්ජුන්  මහෙන්ද්‍රන් මහතා පැමිණි එම අලෙවි මෙහෙයුම් රැස්වීමේදී දේශීය වෙළෙඳපොළේ ද්‍රවශීලතාව පිළිබඳව මෙන්ම විදේශ 
විනිමය අනුපාතය පිළිබඳව සාකච්ඡා කළා.


ප්‍ර: මහ බැංකු  අධිපති  අර්ජුන්  මහෙන්ද්‍රන් මහතා පැමිණ මොනවද විමසුවේ?
පිළි:
අලෙවි මෙහෙයුම් රැස්වීම පිළිබඳ විස්තර විමසුවා.


ප්‍ර: ඒ පිළිබඳ විස්තර කළේ කවුද?
පිළි:
ආචාර්ය වීරසිංහ මහතා විස්තර කළා. ද්‍රවශීලතාව හා විදේශ විනිමය අනුපාත පිළිබඳව සාකච්ඡා කළා.


ප්‍ර: මහ බැංකු  අධිපති  අර්ජුන්  මහෙන්ද්‍රන් මහතා වෙනත් කරුණු මතුකළාද?
පිළි:
අර්ජුන්  මහෙන්ද්‍රන් මහතාගේ උවමනාව මත පොලී අනුපාත පිළිබඳව කතා කළා.


ප්‍ර: ඒ අවස්ථාවේදී අර්ජුන්  මහෙන්ද්‍රන් මහතා යම් උපදේශයක් දුන්නාද?
පිළි:
ඔව්. මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට කතාකොට සම්මත පොලී අනුපාතය සියයට 05 සීමාව ඉවත්කොට එය සියයට 6.5 සීමාව දක්වා ඉහළ දමන ලෙසට චක්‍රලේඛයක් සකස් කරන ලෙස මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන රුද්‍රිගු මහතාට උපදෙස් දුන්නා.


2015 පෙබරවාරි මස 27 වැනිදා උදේ 8.30 සිට දවල් 11.00 දක්වා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ බැඳුම්කර 
වෙන්දේසියක් පැවැත්වෙන බව ඔබ මා දන්නවා.

 


ප්‍ර: බැඳුම්කර වෙන්දේසිය පවත්වන අතර කාලය තුළ පොලී අනුපාත ඉහළ දැමූ බව යම් ප්‍රාථමික ගැණුම්කරුවකු දැනගතහොත් සිදුවන්නේ කුමක්ද?
පිළි:
අන් ප්‍රාථමික ගැණුම්කරුවන්ට නොලැබෙන 
ආකාරයේ විශේෂිත ලාභයක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.


ප්‍ර: ඒ කියන්නේ සම්මත තැන්පතු පොලී අනුපාත ඉහළ දැමූ අවස්ථාවක ඒ බව ප්‍රාථමික ගැණුම්කරුවෙකු දැනගතහොත් ඔහුට විශාල ලාභයක් ලැබීමට හැකියාව තියෙනවාද?
පිළි:
ඔව්.


ප්‍ර: සම්මත තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණය පසු අවස්ථාවක වෙනස් කළාද?
පිළි:
2015 මාර්තු මස 06 වැනිදා පැවැත්වූ මුල්‍ය මණ්ඩල රැස්වීමේදී එය වෙනස් කළා.


ප්‍ර: 2015 මාර්තු මස 17 වැනිදා ඍජු ස්ථාන ක්‍රමවේදය වෙනස් කිරීමට තීරණය කළාද?
පිළි:
ඔව්. තාවකාලිකව ඍජු ස්ථාන ක්‍රමවේදය වෙනස් කිරීමට තීරණය කළා.


 

ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු මිලියන 88 ක් පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමටම ආපසු ගෙවයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් අයකරගත් රුපියල් මිලියන 88 ක මුදල මහා බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා ආපසු පර්පචුවල් ට්‍රෂෙරීස්  සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ හෙළි කළේය. මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.


පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහා බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහා බැංකුව පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමෙන් රුපියල් මිලියන 88 ක මුදලක් අයකරගත් බවත් එම මුදල් එලෙස අයකර ගත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙන් යැයි කී  වසන්ත කුමාර අල්විස් මහතා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහා බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමට ගෙවීමට සිදුවු බවද පැවසීය.


මෙම සියලු කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම පහත ආකාරයට ණය ලබාගෙන තියෙනවා මහා බැංකුවෙන් බිලියන 12.5යි, අර්ථ සාධක අරමුදලෙන් බිලියන 7.5යි, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකු වලින් බිලියන 8.5යි. වශයෙන් රුපියල් බිලියන 21ක ණයක් ලබාගෙන මෙම ගණුදෙණු කොට ඇතැයි පැවසු වසන්ත කුමාර අල්විස් මහතා මෙය මීට පෙර සිදුනොවු අසාමාන්‍ය දෙයක් යැයිද කීය

මනෝප්‍රිය ගුණසේකර