ජනතා මුදල් සොරාගත් පිරිස අල්ලන්න පවතින නීති ඇතිද?


 

‘අපෙන් සොරාගත් ධනය නැවත අපට දියව්’ කියලා එක හඬින් ජනතාව ඉල්ලා සිටිනු අපට පසුගිය සති කිහිපය තුළ නොනවත්වාම ඇසුණි.   

 

පොදු ජන මතය වන්නේ පාලකයින් විසින් සොරාගත් ජනතා මුදල් වෙනත් වත්කම් බවට පත්කොට විදේශීය රටවල්වල සඟවා ඇති බවයි. මෙවන් පසුබිමක මෙලෙස සොරාගත් වත්කම් සහ දේපළ නැවත ලබා ගන්නේ කෙසේද? එ් සඳහා නීතියේ ප්‍රතිපාදන ඇත්තේද? ඒ සඳහා නව නීති ප්‍රතිසම්පාදන කිරීම අවශ්‍යද යන්න මේ දිනවල බොහෝ දෙනාට ඇති ගැටලුවකි.


සොරාගත් වත්කම් නැවත ලබා ගැනීමේ ක්‍රියාදාමය කුමක් ?   


සොරාගත් වත්කම් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය මූලිකව කොටස් 3කට වෙන් කර හඳුනා ගන්න පුළුවනි. පළමුව වත්කම් හඳුනාගැනීම සහ එය පිටුපස ලු‍හුබැඳීම. දෙවනුව යම්කිසි අධිකරණමය හෝ පරිපාලන ක්‍රියාදාමයක් යටතේ වත්කම් තහනමකට ගැනීම සහ රාජසන්තක කිරීම. තෙවනුව වත්කම් නිසි අයිතිකරුවන්ට ලබාදීමට සැලැස්වීම. 

 
අනිසි ලෙස උපයා ගන්නා වත්කම් හඳුනා ගැනීම සෑමවිටම පහසු කාර්යයක් නොවේ. මන්දයත් බොහෝ අවස්ථාවලදී සොරකම් කරන ධනය හෝ වත්කම් පහසුවෙන් සොයාගත නොහැකි ආකාරයට එම මුදල් හෝ දේපළ සාමාන්‍යයෙන් නොසිතන ආකාරයෙන් ආයෝජනය කිරීම මීට ප්‍රධානතම හේතුවයි.   
සොරකම් කරන ලද වත්කම් අනාවරණය කරගත් අවස්ථාවලදී වුවද, එම වත්කම් නීතියට පටහැනිව ලබාගත් වත්කම් බව ඔප්පු කිරීම අත්‍යවශ්‍යම කාරණාව වේ. එලෙස වත්කම් හඳුනා ගැනීමට හෝ යම් අනීතික ක්‍රියාවකින් එම වත්කම් උපයාගත් බව පැහැදිලිව ඔප්පු කිරීම සඳහා අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු ආරම්භ කළ යුතුයි.   


එලෙස විමර්ශනය කිරීමකින් රැස්කර ගන්නා සාක්ෂි පදනම් කරගෙන යම් අධිකරණ ක්‍රියාවලියක් හෝ පරිපාලනමය ක්‍රියාදාමයක් ඔස්සේ අදාළ දේපළ තහනමට ගැනීම හෝ රාජසන්තක කිරීමට ඉදිරි පියවර ගත හැක. මෙලෙස තහනමට ගන්නා දේපළ යම් අවස්ථාවලදී අපරාධ නීති ක්‍රියාදාමය තුළ පවරන ලද නඩුවක වැරදිකරු බවට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ නැවත රජයට පවරා ගන්නා අතර, තවත් සමහර අවස්ථාවලදී වත්කම් උපයෝජනය පිළිබඳ වැරැදිකරුවකු නොකොට හෝ පරිපාලනමය ක්‍රමවේදයකින් වත්කම් තහනමට ගැනීම සිදුවිය හැකිය.   


මෙම මුළු ක්‍රියාදාමයම මාස කිහිපයකින් සිදුකළ හැක්කක් නොවේ. අන්තර්ජාතික වශයෙන් පවා මෙතෙක් දැකිය හැකි සොරාගත් දේපළ නැවත ලබාගැනීමට ගෙන ඇති පියවර පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ එවන් ක්‍රියාවලියක් සඳහා අවම වශයෙන් වසර 5-10 අතර කාලයක් ගතවන බවයි. රාජ්‍ය දේපළ සොරා ගැනීම/ අවභාවිතය කරන පුද්ගලයින්ට දඬුවම් දීමට ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිපාදන තියෙනවාද?   
ශ්‍රී ලංකාවේ දැනටමත් මේ සම්බන්ධයෙන් වැදගත් නීති ප්‍රතිපාදන ඇතුළත් පනත් කිහිපයක්ම වී තිබෙනවා. එනම්:   


1. 1950 අංක 11 දරන අල්ලස් පනත   
2. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත   
3. 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත   
4. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත   
5. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත 
  

අල්ලස් පනත

මෙම පනතේ දෙවැනි කොටසින් අල්ලස් පිළිබඳ වැරදි හඳුන්වා දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ වෙනත් රජයේ සේවකයෙක් පෙලඹවීමට කරනු ලබන ක්‍රියාවන් මෙම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරැදි ලෙස හඳුන්වා දී ඇති අතර විශේෂයෙන්ම ආණ්ඩුවේ කටයුතු සහ ආණ්ඩුවේ ගනුදෙනු සම්බන්ධයෙන් දෙනු ලබන සහ ගනු ලබන අල්ලස් සඳහා මෙම පනතේ ප්‍රතිපාදන පනවා ඇත.
 

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභා පනත 

 

 

මෙම පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව කොමිසමට ලැබෙන චෝදනා විමර්ශන කිරීමට මෙම කොමිසම නීතියෙන් බැඳී සිටී. විමර්ශනයකින් යම් පුද්ගලයකු අල්ලස් පනතේ හෝ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත් යටතේ වරදක් සිදු කර ඇති බවට කරුණු හෙළිදරව් වුවහොත් සුදුසු අධිකරණයක එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම් සභාවට බලය ඇත.   
ඒ අනුව යම්කිසි වංචාවක් හෝ අල්ලසක් පිළිබඳව යම්කිසි පුද්ගලයකුට යම් තොරතුරු ලැබී ඇත්නම් තමා කළ යුත්තේ එම තොරතුරු ලිඛිතව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට දැනුම් දීමය. එම ලියැවිල්ලේ අනන්‍යතාව පිළිබඳව කොමිසන් සභාව සෑහීමකට පත්වන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට කොමිසම් සභාව බැඳී සිටී.   
පනතේ 5 වැනි වගන්තිය අනුව, මෙම කොමිසම් සභාවට විශාල බලතල රාශියක් දී ඇත. එනම්:   
විමර්ශනය කරන පුද්ගලයාගෙන් ලිඛිත සහ වාචික සාක්ෂි ලබා ගැනීමත්, වෙනත් ඕනෑම බැංකුවකින් පළාත් පාලන ආයතනයකින් හෝ වෙනත් ආයතනයන්ගෙන් ලේඛන ගෙන්වා ගැනීමත්, වංචාවක් පිළිබඳ විස්තර ලැබුණු පුද්ගලයකුගේ ස්වාමියා භාර්යාව දුවෙක් හෝ පුතෙක් සතු දේපළ පිළිබඳව විස්තර ලබාගැනීමට නියෝග කිරීමටත්, එවැනි දැනුම් දීමක් ලැබී ඇති තැනැත්තෙක් සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට නොවැඩි කාලයක් සඳහා තහනමට ගැනීමට ආගමන විගමන පාලකට නියෝග කිරීමටත්, දැනුම්දීමක් ලද තැනැත්තෙක් ලංකාවෙන් බැහැර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග කිරීමටත් බලය ඇත.   
පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව කොමිසම විසින් සිදු කරන පරීක්ෂණයක යම්කිසි පුද්ගලයෙක් අල්ලස් පනත හෝ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට හෙළිදරව් වෙනවා නම්, එම තැනැත්තාට විරුද්ධව නඩු පැවරීමට කොමිසම් සභාවට බලය ඇත.   
එම නඩු විභාගයෙන් එම පුද්ගලයා වරදකරු බවට පත්වුවහොත් පනතේ 28 (A) (1) වගන්තිය යටතේ එලෙස අනීතික ආකාරයෙන් උපයා ගන්නා ලද වත්කම් තහනමට ගැනීමට ද පනතේ ප්‍රතිපාදන ඇත.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත

 

මෙම පනතේ 2 වැනි වගන්තියෙන් මෙම පනතේ ප්‍රතිපාදන අදාළ වන පුද්ගලයින් නම් කොට ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් පාලන ආයතනවල පත් කරනු ලබන මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය සේවකයින් මෙම පනත අදාළ වන පුද්ගලයින් කාණ්ඩයට ඇතුළත් වේ.   
පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මෙම පනත අදාළ වන පුද්ගලයකු ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාලන ආයතනයක නියෝජිතයකු ලෙස පත්වී මාස 3ක් ඇතුළත තමාගේ තම බිරිඳ/ ස්වාමියාට දරුවන්ට අයත් වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ලබාදිය යුතුය.   
තවද මෙම පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක් නොමැතිව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබාදීමට අපොහොසත්වීම හෝ අසත්‍ය ප්‍රකාශ ලබාදීම හෝ චේතනාන්විතව දේපළ ප්‍රකාශයට ඇතුළත් නොකිරීම යන කරුණු මෙම පනත යටතේ වරදක් ලෙස දක්වා ඇත.   
එවැනි අවස්ථාවට එම වරද සිදු කරන පුද්ගලයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා වරදකරු බවට පත් කිරීමට ද පනත යටතේ අවස්ථාව ඇත. පනතේ 9 (3A) වගන්තිය අනුව, පනතේ 9 (1) (අ සහ ආ) වගන්තිය යටතේ හිතාමතාම යම් වත්කමක් සිය වත්කම් ප්‍රකාශයෙන් බැහැර කිරීමට වරදකරු වූ අවස්ථාවක එම වත්කම රාජසන්තක කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.   
වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා මෙම වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත් ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළහොත් වර්තමාන මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මෙම පනතේ විධිවිධාන අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට අපොහොසත් වී ඇති බව හෙළිදරව් වනු ඇත.   
 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත   

 

මෙම පනතේ 3 වැනි වගන්තියේ මුදල් විශුද්ධිකරණය නම් වරද අර්ථකථනය කර ඇත. ඒ අනුව කිසියම් නීති විරෝධී ක්‍රියාකාරකමකින් ඍජුව හෝ වක්‍රව මුදලක් දේපළක් උපයා ගත් පුද්ගලයකුට එරෙහිව මහාධිකරණයේ නඩුවක් පැවැරිය හැක. එලෙස පවරන ලද නඩුවක වරදකරු වුවහොත් අදාළ වත්කමට නොඅඩු හා එහි තුන් ගුණයකට නොවැඩි දඩයක් හෝ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අධිකරණයට නියම කළ හැක. තවද, එකී වරදකරුගේ වත්කම් තහනමට ගැනීමට ද පනතේ ප්‍රතිපාදනයන් ඇත. එවැනි වරදට ආධාර අනුබල දීමත් පනත යටතේ වරදකි.   


මෙම පනතේ ඉතා සුවිශේෂී උපකල්පනයක් හඳුන්වා දී තිබෙනවා. එනම් පනතේ 4 වැනි වගන්තියෙන් දක්වා ඇති උපකල්පනයන් අනුව මුදල් හෝ මුදල් නොවන වෙනත් දේපලක් යම් පුද්ගලයකුගේ ප්‍රකට ආදායම් හෝ ලැබීම්වල කොටසක් නොවන්නේ නම් එම දේපල නීති විරෝධී ක්‍රියාකාරකමකින් ලබාගත් දේපලක් බවට පනත යටතේ උපකල්පනය කර ඇත. එම උපකල්පනය නිවැරදි නොවන බවට අදාළ පුද්ගලයා විසින් ඔප්පු කරන තුරු මුදල් හෝ දේපල නීති විරෝධී ක්‍රියාවකින් ලබාගත් දේපලක් ලෙස පිළිගැනීමට පනතේ ප්‍රතිපාදන තිබෙනවා. මෙම උපකල්පනයට හා සමාන උපකල්පනයක් දූෂණ වැළැක්වීමේ පනතේද දක්වා ඇත.   
උදාහරණයක් වශයෙන් යම්කිසි රාජ්‍ය සේවකයකුගේ මාසික වැටුප සහ ඔහුගේ දන්නා වත්කම්වලින් ලැබෙන මාසික ආදායම අනුව ජීවත් විය හැකි මට්ටමට වඩා ඉහළ මට්ටමක ජීවන රටාවක් ගත කරනවා නම් එනම් සුඛෝපභෝගී වාහනවල ගමන් කරමින් ගෙවල්, වතුපිටි මිලදී ගනිමින් නිතරම තමන් ඇතුළු පවුලේ අය විදේශ ගමන්වල යෙදෙමින් ජීවත් වෙනවා නම් මෙම පුද්ගලයා අධික ලෙස වැය කරන මුදල් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් ලෙස මෙම පනත යටතේ උපකල්පනය කළ හැකිය. මෙම පනතේ නීති විරෝධී ක්‍රියා අර්ථකථනය කර තිබෙනවා. ඒ අනුව අල්ලස් පනත යටතේ ඇති වැරදි සහ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති ඇතැම් වරදවල් කිහිපයක්ම මෙම පනත යටතේ නීති විරෝධී ක්‍රියා යටතට ගැනෙනවා.   


පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයකු මුදල් විශුද්ධිකරණ වරදට සම්බන්ධ ක්‍රියාකාරකමක යෙදී සිටින බවට විශ්වාස කිරීමට තරම් සාධාරණ හේතු පවතින විට එම ක්‍රියාකාරකම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට ද පොලිස් අධිකාරිවරයකූට බලය පවරා ඇත. මෙම පනත යටතේ සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් වෙනත් රටවල්වලින් සහය ලබා ගැනීමට සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ ප්‍රතිපාදන උපයෝගි කරගත හැකි බව ද  මෙම පනතේ දක්වා ඇත.   

 

සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගය දැක්වීමේ පනත

 

මෙම පනතේ ප්‍රතිපාදන අනුව, ශ්‍රී ලංකාව තුළ යම් විමර්ශන කටයුත්තක් හෝ නඩු කටයුත්තක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාවේ නිසි බලධාරියකුට සොරාගත් ධනය හෝ දේපළ සඟවා ඇති වෙනත් රටකින් එකී වත්කම් සොයා ගැනීමට හෝ එම රටට පලාගොස් ඇති පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය සහය ලබාගත හැක.   

 

තොරතුරු දැනගැනීමේ පනත

 

මෙම පනත යටතේ දැනට ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට රාජ්‍ය ආයතනයකට අදාළව තොරතුරු ඉල්ලා සිටීමට ව්‍යවස්ථාපිත අයිතියක් ඇති අතර, අදාළ ආයතනයට ලිඛිත ඉල්ලීමක් ගොනුකොට එම තොරතුරු ඉල්ලා සිටිය හැක.
   

ඉදිරි පියවර

ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ දූෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්මුතියට සිය අත්සන තැබුවද, වසර 18ක් ගෙවී ගියත් මෙම සම්මුතියේ ප්‍රතිපාදනයන් ඇතුළත් කළ නීති ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට පාලකයින් මෙතෙක් අපොහොසත් වී ඇත.   


තවද 19 වැනි ව්‍යවස්ථාපිත සංශෝධනයෙන් එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දුන්නද, එය නැවත වතාවක් 20 වැනි ව්‍යවස්ථාපිත සංශෝධනයෙන් ඉවත් කර ඇත. අපේ රටේ දූෂණය හා වංචාව පිටුදැකීමට දැනට පවත්නා නීතීන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමත්, දූෂණය පිටුදැකීමට ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති අන්තර්ජාතික වගකීම රට තුළද ක්‍රියාත්මක කිරීමට නව නීති සම්පාදනය නොකිරීමත් හේතුවෙන් දූෂණය හා වංචාව රට පුරා මුල්බැස ගොස් ඇත.   
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණය සහ වංචාව අප සමාජ පද්ධතියෙන් මුළුමනින්ම ඉවත් කිරීමට නම්, මහජනතාව ඉල්ලා සිටින ‘වෙනස’ ඇති කිරීමට ගෙන එන නව ක්‍රමවේදය තුළ වංචාව සහ දූෂණය වැළැක්වීම සඳහා මූලිකත්වයක් ලබාදීම ඉතාම වැදගත් කාරණයකි. එසේ නොකරන්නේ නම් අප අපේක්ෂා කරන වෙනස ළඟා කර ගැනීම සිහිනයක් වනු ඇත.

 

 

නීතිඥ දිලු‍මි ද අල්විස්