ජී.එස්.පී. අහිමි වුණොත් අපනයන ලාභය අනතුරේ


(උපුල් වික්‍රමසිංහ)   

දැනට යුරෝපා පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත කර ඇති යෝජනාව යුරෝපා කොමිසමේදී ද අනුමත වුවහොත් ශ්‍රී ලංකාවට හිමි වරණීය බදු සහනය (ජී.එස්.පී. ප්ලස්) අහිමි වී යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කරන සියලු‍ම අපනයනවල මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.   

ඉකුත් 10 වැනි දින යුරෝපා පාර්ලිමේන්තුවේදී සම්මත කළ අදාළ යෝජනාව ගැන අදහස් දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ‘ඉරිදා ලංකාදීප’ය පැවසුවේ එම යෝජනාව යුරෝපා කොමිසමේදී අනුමත වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජයට කල් ඇති බවත් යම් හෙයකින් එය යුරෝපා කොමිසමේදී අනුමත වුවහොත් ඒ අනුව යමින් බ්‍රිතාන්‍යය හා අමෙරිකා එක්සත් ජනපදයත් එය අනුමත කිරීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් අපේ සමස්ත අපනයන ආදායම් කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වනු ඇති බවත්ය.   


ජී.එස්.පී. ප්ලස් බදු සහනය යටතේ ශ්‍රී ලංකාව දැනට යුරෝපා වෙළෙඳපොළ වෙත අමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරත් තුනත් අතර වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයනය කරන බව කී ඒ මහතා, එම තීරු බදු සහනය අහිමි වුවහොත් මෙරට අපනයනවල මිල ගණන් ඉහළ ගොස් සෙසු රටවල අපනයන සමග තරග කිරීමට සිදු වනු ඇතැයි ද සඳහන් කළේය.   


එම බදු සහනය අහිමි වුවහොත් යුරෝපා වෙළෙඳපොළ වෙත වැඩි වශයෙන් අපනයනය කරන ඇඟලු‍ම්වල මිල ගණන් සියයට 12න් පමණ ඉහළ යනු ඇති බවත් බංග්ලාදේශය හා මියන්මාරය වැනි රටවල ඇඟලු‍ම් සමග තරග කිරීමට සිදු වනු ඇති බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   


ආර්ථික විද්‍යාඥ සිරිමල් අබේරත්න මහතා අප පුවත්පතට කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වුවහොත් යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කරන සියලු‍ම අපනයනවල මිල ගණන් අවම වශයෙන් සියයට 10න් පමණ ඉහළ ගොස් ප්‍රබල තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බවය.   


ගෙවුණු දශක දෙකක කාලයේදී වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් ඔවුන්ගේ විදේශ සංචිත ක්‍රමානුකූලව ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇතැයි කී මහාචාර්යවරයා, ශ්‍රී ලංකාව ඒ විෂයෙහි අසමත් වී ඇති බවත් එවැනි පසුබිමක මේ තීරු බදු සහනය අහිමි වුවහොත් දැනටමත් අර්බුදයක් බවට පත්ව තිබෙන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම හා ණය ගෙවීම තවත් උග්‍ර වනු ඇති බවත් පැවසීය.   


ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා දෙන්නේ පීඩාවට පත්වන හා සංවර්ධනය වෙමින් පවතින රටවලට බව පැවසූ අබේරත්න මහතා, එම සහනය අඛණ්ඩව ලැබීම යනු අප රට තවදුරටත් දුප්පත් රාජ්‍යයක්ය යන්න ලොවට පෙන්වන දර්ශකයක් වැනි යැයි ද සෙසු රටවල අපනයන සමග තරගකාරීව කටයුතු කළ හැකි තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට අප සමත්ව සිටියේ නම් මෙම බදු සහනය අහිමි වී යෑම එතරම් ගැටලු‍වක් නොවන්නට ඉඩ තිබේ යැයි ද සඳහන් ක⁣ළේය.