• සාත්තු සේවිකා රැකියාවෙන් සහ වැලි ගොඩ දාලා බ්‍රෝකර් වැඩ කරලා ඥානක්කා කෝටි ගණනක ආදායමක් හොයලා
ඥානක්කා නොහොත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී මෙරට පුවත් මවන්නියක් ලෙස පසුගිය කාලයේ දැකගත හැකි වූවාය. ඥානක්කා පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් රට හමුවේ තම දුක කියමින් හඬා වැටුණාය. ඒ තමන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ ගිනි තබා විනාශ කිරීම නිසා ඇති වූ සිත් තැවුලෙනි. ඇය මෙලෙස මාධ්‍ය හමුවේ හඬා වැටෙමින් කියා සිටියේ තමන් ජීවිත කාලයටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ විනාශ වී ඇති බවය. ඇය පවසන පරිදි කිසිදු දේශපාලනඥයෙකුගෙන් කිසිවක් අරගෙන නැත. වෙනත් අයගෙන්ද ඇය කිසිදු දෙයක් අරගෙන නැත. ඇය මෙතෙක් ආදායම උපයාගෙන තිබුණේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලෙනි.
දහඩිය මහන්සියෙන් උපයා ගන්නවා කියන්නේ තම ස්වෝත්සාහයෙන් මුදල් හම්බ කිරීම බව අපේ පැරැන්නන්ගේ මතයයි. එසේ උපයා ගත් මුදලේ වංචනිකව වෙනත් අයෙකු රැවටීමෙන් හොරකම් කිරීමෙන් නීතියට පටහැනිව උපයා ගත් මුදල් නැත. එම මුදල් සියල්ලම මහත් කැපවීමෙන් දුක් මහන්සි වී සර්ව සාධාරණව උපයා ගන්නා ධනය බව පැරැන්නෝ කියති. එලෙස උපයා ගන්නා මුදල් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් ලෙස හැඳින් වූවාට වරදක් නැත.
එහෙත් ඥානක්කා පවසන පරිදි දහඩිය මහන්සියෙන් මේ වෙනතෙක් උපයාගෙන ඇති මුදල කොතෙක්ද දන්නේ ඇය පමණි. දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියන මුදලින් ලබාගත් දේපොළවල වටිනාකමද අප දන්නේ ද නැත. ඒ නිසා මේ ඉපයීම ගැන සියලු වටිනාකම් මේ වන විට කොතෙක් ද කියා කවුරුත් නොදනී. එහෙත් පසුගියදා විනාශ වූ දේපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි විසි හයක් පමණ වෙතැයි පැවසේ.
ඥානක්කා පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු රැසක් අනාවරණය කළාය. ඇය මෙතෙක් උපයා ඇති මුදල් සිය දහඩිය මහන්සියෙන් ඉපැයූ බව ද එම සාකච්ඡාවේදී කියැවුණි. කිසිදු දේශපාලකයෙකුගෙන් මම එක රුපියලක්වත් අරගෙන නෑ. කිසිම කෙනෙක් මගේ ඉදිරි පිටට කිසිම දෙයක් ගෙනාවත් මම කවදාවත් කිසිම දෙයක් අරගෙන නෑ.
මට එහෙම ඕන නෑ. මම හරි මහන්සියෙන් නැගිටපු අම්මා කෙනෙක්. ඒ නිසා මගේ ළඟට ආපු දේශපාලකයෝ නෙමෙයි දුප්පත් මිනිස්සු මට කියනවා සැලෙන්න එපා ගේ හදලා දෙන්නම් කියා. මම මේ තැනට ආවේ ගොඩක් දුක් විඳලා. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ දරුවන්ට උගන්වලා මේ තරම් දුර ආවා නම් මගේ හෘද සාක්ෂිය තමයි හොඳම සාක්ෂිය. මම ශක්තිමත්ව නැගිටපු අම්මෙක්. ඇය මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියාය.
ඥානක්කා මේ කියපු කාරණා ඇත්ත නම් ඇය ගැන ආඩම්බර විය හැකිය. නමුත් දැන් ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සාස්තර කීමය. ඇය දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියා කියන මේ සා ආදායමක් ඉපැයූවේ සාස්තර කීමෙන් බව අනුරාධපුර ජනතාවගේ මතයයි. අනුරාධපුර ජනතාව පවසන පරිදි සාස්තර කීමට පෙර ඇය රැකියාව ලෙස කළේ අනුරාධපුර මහ රෝහලේ සාත්තු සේවිකාවක් ලෙසය. එසේ සේවය කරන කාලයේ ඇයගේ මූලික වැටුප රුපියල් 15,000ක් පමණ බවත් සියලු දීමනා ද සමග රුපියල් 20,000-25000 ක පමණ වැටුපක් ලබන බව ඇය සමග සේවය කළ එම රෝහලේම සුළු සේවිකාවක ද කියා සිටියාය.
පසුව ඇය දුරකතන ක්‍රියාකාරණියක ලෙස සේවය කළත් ඇයගේ වැටුප විශාල ලෙස වැඩි වූයේ නැති බව ඥානක්කා සමග සේවය කළ සේවිකාව පැවසුවාය. එසේ නම් මේ වෙන විට රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත්තේ ඥානක්කා පවසන පරිදි ඇය කළ අනෙක් රැකියා වලින්ද දන්නේ නැත. එම රැකියා ලෙස ඇයම පෙන්වා දෙන්නේ වැලි ගොඩ දැමීම සහ තැරැව්කරුවෙකු ලෙස කළ රැකියාය. එම රැකියාවලින් උපයාගත් ආදායම ද සමග ඇය මේ වන විට විශාල අදායමක් උපයා ගත්තා විය හැකිය.
සාස්තර කීමට පටන් ගන්නා කාලයේ ඇය පදිංචිව සිටියේ දැනට පදිංචි වී සිටින ස්ථානයේය. එය කුඩා නිවසකි. දේවාලයද තිබී ඇත්තේ පොඩියට බව අනුරාධපුර ජනතාවට නම් රහසක් නොවේ.
අනුරාධපුර පැත්තේම සාස්තර කීමට ප්‍රසිද්ධ හිමි නමක් සිටියලු. එම හිමියන් සාස්තර කීමේදී සාස්තර ඇසීමට එන අයගේ නම් කියා අඬගසනවලු. හරියටම සාස්තර කියනවලු. අනුරාධපුර ජනතාව නම් කියන්නේ එහෙමය. මේ හිමි නම දැන් අපවත් වී ඇත. නමුත් එම හිමිනමගේ සාස්තර කීමේ ආභාෂය ඥානක්කා ගත්තලු. ඥානක්කා සාස්තර කියන විට නම කියා අඬ ගහනවා කියන්නේ ඒකලු. නමුත් සිදු වෙන්නේ සාස්තර කියන විට එළියට එන ඥානක්කා දුව හෝ බෑණා කරන්නේ ඔවුනට හිතූ හිතූ තැන්වලින් පැමිණ ඉන්න අයට අඬ ගසා මෑණියෝ අඬගසනවා කියා කියනවලු. ඒ පුද්ගලයා සාස්තර අහන්න පෙරම හිත වෙනස් කරන්නේ එහෙමලු යැයි අනුරාධපුර ජනතාව කියති.
ඥානක්කා පවසන පරිදි වාර්තා වූයේ සාස්තර කියන විට ඇය අරගෙන ඇත්තේ පඬුරු ලෙස වෙන් කළ රුපියල් විස්සක් පමණි. ඇය කියන පරිදි වෙනත් කිසිදු වරදානයක් කාගෙන්වත් අරගෙන නැත. අප දන්නා තරමට සාස්තරකරුවෝ ළඟට සාස්තර ඇසීමට විවිධ තරතිරමේ අය එති. දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, නිලමේවරු, ස්වාමින් වහන්සේලා, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ ආදී විවිධ අය එති. මේ අය සාස්තර ඇසීමෙන් පසු තම වැඩේ ටක්කෙටම හරි නම් විවිධ දේ සංතෝසම් වශයෙන් ලබා දෙති. එම සංතෝසම දෙන්නේ එක්කෝ මුදල්වලනි. නැත්නම් යාන වාහනවලිනි. නැත්නම් ගෙවල් දොරවල්වලිනි. එලෙස ලබා දෙන සංතෝසම සුළු පටු නැත.
ඥානක්කා සතුව ඇති කෝටි ගණනක මුදල් එලෙස ලැබුණ ඒවාද අප දන්නේ නැත. අනුරාධපුර ජනතාව පෙන්වා දෙන පරිදි කඩ පනහෙන් කඩයක් තිබෙනවාලු. තවත් නිවසක් තිබෙනවාලු. මේ මෑතකදී ඥානක්කාගේ පුතා පදින්නේ සුඛෝපභෝගී වාහනයක්ලු. ඒකේ ගමන් බිමන් ගියේ රාජ්‍ය ලාංඡනය පවා ගහගෙනලු. පහුගිය කාලයේ රටේ කලබල ඇති වෙනකොට සුඛෝපභෝගී වාහනය හංගලලු. තවම එළියට නම් අරගෙන නැතිලු යැයි අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.
උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඥනක්කා පිළිගන්නා අයුරු. පසකින් දියවඩන නිලමේ නිලංග දෑල, හිටපු අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ සහ චතුරිකා සිරිසේන ද සිටී.
ඥානක්කා දේශපාලකයින්ගෙන් මුදල් නොගත්තාට දේශපාලන හයිය අරගෙන නුවර වැව් රක්ෂිතයේ හෝටලය ඉදිකර ඇති බව රාජ්‍ය නිලධාරීහුද තහවුරු කරති. ලියාපදිංචි බලයලත් මිනුම්දෝරු සහ උසාවි කොමසාරිස් එම්. ඒ. අජිත් මුණසිංහ මහතා පෙන්වා දෙන්නේ 2021 නව මිනුම් වාර්තාව අනුව ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇත්තේ නුවර වැවේ බවය. මෙම හෝටලයේ ඉදිකිරීම් නුවර වැවේ ජල මට්ටම 88.5 කොටස තුළ පිහිටා ඇති බව අපි ඔප්පු කොට තිබෙනවා. මැනුම්පතිවරයාගේ නිරීක්ෂණ සහ අධීක්ෂණයෙන් අනන්‍යව පිළිගන්නා පිඹුරුපත් අපි සකසා තිබෙනවා. එම මැනුම් වාර්තාවට අනුව ඥානාගේ හෝටලයේ පිහිනුම් තටාකය සහ ඉදිකිරීම් නුවර වැවේ ඉදිකර ඇති බව මනාව ඔප්පු වෙන බව අජිත් මුණසිංහ මහතා තහවුරු කරයි. ඒ ඥානක්කාගේ හෝටලය නුවර වැවේ පිහිටා ඇති බව කියන නව මැනුමට අනුව ඉදිරිපත් කරන පිඹුරුපතද සමගිනි.
- ඥානක්කාගේ පුතා පදින්නේ රාජ්‍ය ලාංඡනය ගහපු සුපිරි වාහනයක්ලු
- හෝටලය පිහිටි ඉඩමට පැවරුම් ඔප්පු දෙකක්
- පසුගිය දවස්වල කලබල අස්සේ වාහනය හංගලාලු
- ඥානක්කාට දැන් සාස්තර කියන්න බැරිලු
මේ හෝටලයේ ඉදිකිරීම් සඳහා බලපත්‍රයක්, ඔප්පුවක් ලබා දී ඇත්ද යන්න ගැන විමසීමකදී නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක අපට මීට පෙර පැහැදිලි කර සිටියේ ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති කොටසකට පමණක් ඔප්පුවක් ඇති බවය. එය පැරණි පැවරීමක් බවය. අනෙක් කොටසට ඔප්පුවක් නෑ. රක්ෂිත කොටසකට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඥානක්කාගේ හෝටලයේ පිටුපස නුවර වැව් රක්ෂිතයට හසුවෙනවා. ඒ කොටසට ඔප්පු දෙන්න බෑ. නමුත් ඒ කොටසට මැනුම් කොට ඔප්පුවක් හදාගෙන තිබුණත් එය නීත්‍යානුකූල නෑ කියා රුවන් ඒකනායක මහතා තහවුරු කළේය.
අප මේ කාරණාව තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඉල්ලූ විට නැගෙනහිර නුවරගම් පළත ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා අප වෙත දන්වා ඇත්තේ ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති ඉඩමට අදාළ පැවරුම් දෙකක් ඇති බවය. ඉන් එක් පැවරුමක් වනුයේ අනුරාධපුර, ඥාණිකුලම - විජේරිස්වත්ත ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ අබයරත්න වික්‍රමසිංහ යන අයට පැවරුම් කර අංක 229 මගින් මෙම ඉඩමේ කොටසක් පවරා දී ඇත. ඉඩමේ අනෙක් කොටස අනුරාධපුර සුචරිතගම යහලේගම පදිංචි වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී යන අයගේ පුතෙකු වන අනුරාධපුර, ඉසුරුපුර, නිදහස් මාවත, අංක 246 ලිපිනයේ පදිංචි කුමාරසිංහ ආරච්චිලාගේ අනුරුද්ධ නලීන් කුමාර ජයසූරිය යන අයට නැවත පවරා දී ඇති බවය. තවද මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මා විසින් නිර්දේශ හෝ එකඟතාවයන් ලබා දී නොමැති බවද දන්වා සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් දන්වා ඇත.
ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති ඉඩමේ පළමු පැවරුම අනුව ඉඩම හෙක්ටයාර බින්දුවයි දශම තුනයි එකයි පහක (0.315) විශාලත්වයෙන් යුතු ඉඩමක් බව පළමු පැවරුමේ පෙන්වා දෙයි.
නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතා මීට පෙරද තහවුරු කර සිටියේ ඥානක්කා හෝටලය හදන්න සැලැසුමක් අනුමත නොකර වැඩේ පටන්ගෙන තිබූ බවය. ඉදිකිරීම් අනවසරයි කියා පැමිණිලි ආව නිසා ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කිව්වම එය නොදා නැවත හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කළ බව කුමාරදාස මහතා පෙන්වා දෙයි.. ඒ අනුව උතුරු මැද ආණ්ඩුකාරවරයා ද මේ ගැන දැනුවත් කළ බව නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතා කියා සිටියේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මීට පෙර අප වෙත සනාථ කළේ ඥාණක්කාගේ හෝටලය රක්ෂිත කොටසට අයත් යැයි කියා ඉදිකිරීම් නවතා දමන ලෙස කීවත් එම ඉල්ලීම පසෙකලා හෝටලය ඉදිකළ බවය. ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇත්තේ වාරිමාර්ග රක්ෂිතයේ නොවෙන බව කියා මේ අය අයිතිය පෙන්විය යුතුයි. එසේ පෙන්වන්නට අපොහොසත් වූවොත් නීතිපතිවරයා වෙත යොමු කොට නඩු දමන බවය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගෙන් ද මේ ගැන විමසීමේදී මීට පෙර සනාථ කළේ හෝටලය ඉදිකොට ඇත්තේ වැව් රක්ෂිතයේ නම් නඩු පවරා ඉවත් කළ හැකියි කියාය.
මේ වන විට රජයේ සෑම නිලධාරියෙක්ම සහ ප්‍රාදේශීය දේශපාලකයින්ද තහවුරුකර සිටින්නේ ඥානක්කාගේ හෝටලය් ඉදිකොට ඇත්තේ වැව් රක්ෂිතයේ බවය. නමුත් ඇයට නීතිය ක්‍රියාත්මක ෙවන්නේ නැත. ඒ ඈ පිටුපස තිබෙන දේශපාලන හයිය නිසා බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.
ඥානක්කා දේශපාලකයන්ගෙන් සහ අනෙක් අයගෙන් මුදල් නොගත්තා යැයි කියන්නේ ඒ නිසා විය හැකිය. ඇය හෝටලයේ කොටසක් ගොඩනගා ඇත්තේ නීතියට පටහැනිව බව රාජ්‍ය නිලධාරීන්ගේ තහවුරු කිරීම්වලින් මනාව පැහැදිලි වෙයි. එසේම ඇය පවසන පරිදි විටෙක ඇයට කාලි මැණියෝද, විටෙක පත්තිනි මෑණියෝද ආවේශ වෙයි. ඉන්පසු කරන කියන දෙයක් ඇයට මතක නැති බවද ඥානක්කා පසුගියදා පවසා තිබුණි. සමහර විටෙක සාස්තර ඇසීමට එන අය ඇයට යම් ආධාරයක් සංතෝෂමක් ලබා දී ඇත්තේ කාලි මෑණියන් හරි පත්තිනි මෑණියන් හරි ආරූඪ වී සිටින මොහොතක විය යුතුය. ඒ නිසා ඇය කියන පරිදිම ඒ සිදුවීම ඇයට මතක නැතුවා විය හැකිය. නමුත් සිහිය ආපු වේලේ මේ සා විශාල මුදලක් තමන්ට ලැබුණේ දේවාරූඪය ආපු වේලේ යැයි ඥානක්කා සිතනවා විය හැකිය. එනිසා මෙම මුදල් දහඩිය මහන්සියෙන් උපයනවා යැයි කීවේ ඒ නිසා දැයි අප ෙනාදනී.
දැන් ඥානක්කාට සාත්තර කීමට බැරිලු. දකුණු පළාතේ හාමුදුරු නමක් සමග එකතුව භූතයෙකු අල්ලා හරි හරියට වැඩ කළාලු. භූතයා පහුගිය දෙසැම්බරයේදී දේවාලය අතහැර ගියාලු. තවත් භූතයන් හිටියත් පෙර භූතයා මෙන් වැඩකරන්න බැරිලු යැයි අනුරාධපුර ජනතාව කියන කතාවකි. ඥානක්කාගේ සාස්තර බොරු බව පිළියන්දල ප්‍රදේශයේ වාහන සේල් හිමිකරුවෙකු ද කියා සිටියි. තම වාහන සේල් එකේ වාහන නොවිකිණෙන නිසා ඥානක්කා ළඟට ගිය බවත් ඒ සඳහා ලක්ෂ ගණනක මුදල් නාස්ති වූ බවද එම වාහන සේල් හිමියා අප වෙත කීය.
වසරක් පමණ ගියේ වාහන ටික විකුණා ගැනීමට ඥානක්කා ලවා ගුරුකම් වැඩක් කර ගැනීමටය. නමුත් ඒ වෙන තෙක් එකදු වාහනයක්වත් විකුණා ගැනීමට බැරි වූ බව එම ව්‍යාපාරිකයා පවසයි. ඥානක්කා සාස්තරකීම ඇත්ත දැයි බැලීමට අනුරාධපුර තරුණ පිරිසක් මීට කාලයකට ඉහතදී දේවාලයට ගොස් තිබේ. දේවාලයට පූජා කිරීමට වැටකෙයියා මල් මිලදීගත යුතුය. මේ එක් මලක් රුපියල් තුන් දහසක් දී මිලදී ගැනීමට සිදු වූ බව එම තරුණයන් ද විමසා සිටින ලදී. ඥානක්කා දහඩිය මහන්සියෙන් හම්බ කරන්නේ එලෙස යැයි එම තරුණයෝ ද කියති.
වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී නොහොත් ඥානක්කාගෙන් මේ සියලු කාරණාවල ඇත්ත නැත්ත දැන ගැනීමට ඇයගේ දුරකතන අංක 0714 08xxxx ගත්තත් ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
සටහන :
ප්‍රගීත් සම්පත් කරුණාතිලක