ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීම මාස හයකින්


සුදර්ශනී කෝණාර

සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික හැඳුනුම්පත් ඇති සියලු දෙනාට ඩිජිටල් හැඳුනුම්පත් සැකසීම සඳහා ලියපදිංචි වීමට සිදුවන බවත් මාස හයක් ඇතුළත මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ඉරිදා ලංකාදීපයට පැවසීය.

එසේම මෙම වැඩපිළිවෙළ පාරිභෝගිකයා අතට පත්වීමට පෙර ඒ පිළිබඳ දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් දීප ව්‍යාප්තව සිදු කරන බවද ඔහු කියා සිටියේය. 

වසර 2-3ක් ඇතුළත දී රාජ්‍ය ආයතන සියල්ලෙහි ඩිජිටල් ජාතික හැඳුනුම්පත් භාවිතය ඇති කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කිරීමට රජය බලාපොරොත්තු වෙයි. පෞද්ගලික අංශයේ ආයතනවලද එම පහසුකම ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

අප්‍රේල් මාසයේ අග වෙන විට රාජ්‍ය ආයතන 30කට පමණ Govpay පහසුකම ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවාවල දී ඩිජිටල් මාධ්‍යයෙන් ගෙවීමේ Govpay පද්ධතිය දැනට රාජ්‍ය ආයතන 24කට හඳුන්වා දී තිබෙන බවත් ආයතනවලට ගොස් සිදු වෙන රස්තියාදුව සහ කාලය වැයවීම එමගින් නතර වෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.