ඩෙංගු ඉන්ෆ්ලුවෙන්සා උණ දෙකම භයානකයි


 

බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව රෝග බියෙන් පසුවෙති.
පුංචිම පුංචි මදුරුවකු මඟින් බෝවන ඩෙංගු රෝගයත්, ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වෛරසයත් වසංගත තත්ත්වයෙන් පැතිර යෑම ඊට හේතු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයෙන් පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගයත්, ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයට අයත් ඒ එච් වන් එන් වන් රෝගය හැර වෙනස් වෛරස් රෝගයක් රටේ පැතිරෙන බවට ඔවුන්ට තොරතුරු ලැබී නොමැති බවය.
 වසංගත තත්ත්වයෙන් පැතිරී යන මෙම රෝග කාණ්ඩ දෙක පිළිබඳව මේ මොහොතේදී පාඨක ඔබ දැනුවත් කිරීමට උත්සාහ ගනුයේ ජාතික වගකීමක් දෙවුර දරාගෙනය.

 

ඩෙංගු
 මේ වනවිට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඩෙංගු රෝගය නිසා ජීවිතයෙන් සමුගත් මිනිස් ප්‍රජාවගේ ප්‍රමාණය ද දින දින වැඩිවෙමින් පවතියි. 


සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ දත්තයන්ට අනුව ගෙවුණු මාස තුනේදී දිවයින පුරා රෝහල්වලින් ඩෙංගු රෝගීන් 29,000 ක් වාර්තා වී ඇති අතර රෝගය හේතුවෙන් මියගිය පිරිස 53 කි.


ඩෙංගු රෝග ලක්ෂණ
 ඩෙංගු වෛරසය ශරීරගත වූ සෑම අයකුට රෝග ලක්ෂණ නොපෙන්වන අතර පුද්ගලයාගේ වයස හා ප්‍රතිශක්තිය මත රෝග ලක්ෂණ මෙන්ම රෝග ස්වභාවය ද වෙනස්විය හැක.


● අධික උණ
● හිසරදය
● ඇස් යට වේදනාව
● ඇඟපත වේදනාව
● මස්පිඬු වේදනාව සහ සන්ධි වේදනාව
● වමනය සහ ඔක්කාරය
● කෑම අරුචිය
● සමෙහි රතුපැහැ ලප හට ගැනීම
● රුධිර වහන තත්ත්වයන්


 ඩෙංගු බහුලව පැතිරෙන ප්‍රදේශයක වාසය කරන ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇති නම් ඉහත රෝග ලක්ෂණ කෙරෙහි වැඩි අවධානයකින් සිටීම ඉතාම වැදගත්ය.


 උණ වැළදී පැය විසිහතරක් ඇතුළත පූර්ණ රුධිර පරීක්ෂාවකට ලක්වී රෝගය නියමිතව නිශ්චය කරගත හැකි නම් රෝග අවධානමෙන් මිදීමට එය දැඩි රුකුලක් වනු නොඅනුමානය. 


දින තුනක් යන තෙක් රුධිර පරීක්ෂණයකට භාජනය වීමට බලා නොසිටින්න.


ඩෙංගු රක්තපාත උණ
 ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගි තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවකි. මෙහිදී උණ බැස යාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙසේ නොදැනුම්වත්කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවන්ට පත්විය හැක.


ඇතැම් රෝගීහු කම්පන අවස්ථාවන්ට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරති.


 එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම ඉතාම වැදගත්ය.


අවදානම් රෝග ලක්ෂණ
උදරයේ ඇතිවන තද වේදනාව
නොනවත්වා වමනය පැවතීම
අධික නිදිමත බව, නොසන්සුන් බව හා අප්‍රාණික බව


රුධිර වහනය වීම (විදුරුමසෙන්, නාසයෙන්, දුඹුරු පැහැ වමනය හා කහ පැහැ මල පිටවීම)
පැය 6කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුවීම.
 මෙම අවස්ථාවේදී වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගියා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම ඉතාම අවශ්‍ය කරුණකි.


සැලකිය යුතුයි :
ඩෙංගු වෛරසය ආසාදනය වූ රෝගියකු ශරීරයේ බර අනුව නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ගැනීම හැර, වෙනත් ඖෂධ භාවිතයෙන් මිදිය යුතුය.


 මස්පිඬු වේදනාව, ඇඟපත වේදනාව ඇති විට ක්ෂණික වේදනා නාශක වන බ්රූතාන් වැනි ඖෂධ, ඇස්ප්‍රීන් වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. 


ඩෙංගු රෝගීන් රෝගය සුවවෙන තෙක් අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. (දෙළුම් යුෂ, බීට්, කෝපි වර්ග වැනි)
උණ හා වමනය නිසා ශරීරයේ ඇතිවන විජලන තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීම ඉතා වැදගත්ය.
 තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි පලතුරු යුෂ මේ සඳහා වඩාත් සුදුසුය.


රෝගියාගේ කැමැත්ත අනුව වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර කිහිපයක් ගැනීම වරදක් නැත. නමුත් තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතුය.


 ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුවම ලබාදිය යුතුය. ඩෙංගු රෝගියාට උණ පවතින කාලය තුළ, ඩෙංගු මදුරුවා රෝගියා දෂ්ටකර (ඊඞ්ස් වර්ගයේ ගැහැනු මදුරුවා) නිරෝගී අයකුට දෂ්ට කිරීමෙන් රෝගය පැතිරෙන බැවින්, ඩෙංගු රෝගීන් උණ පහව යනතුරු මදුරු දැලක් යෙදූ ඇඳක් මත විවේක සුවයෙන් සිටිය යුතුය.


 ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඞ්ස් වර්ගයේ ගැහැනු මදුරුවන් මඟින් පතුරුවන අතර මෙම මදුරුවන් තුළට වෛරසය ශරීර ගත වූ පුද්ගලයකු දෂ්ට කිරීමෙනි.

 


වළක්වා ගැනීමට
 පිරිසිදු වතුර තේ හැන්දක ප්‍රමාණයක වුවද වැඩෙනා ඩෙංගු මදුරුවා නිවාස ඇතුළත මෙන්ම පිටත ද ජලය රැදෙනා ඕනෑම තැනක නිසොල්මන්ව වැඬේ.


 කසළ කළමනාකරණයකින් තොරව බැහැර කිරීම, නාගරිකව ඩෙංගු වෛරසය ආසාදනය වීමට ප්‍රධානම හේතුවක් වී ඇත. නව ඉදිකිරීම් ආශ්‍රිතව ජලය රැඳෙනා ස්ථානවලත්, නිවසේ තැන තැන ඇති පොලිතින් උර, ප්ලාස්ටික් භාජන, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහිපිහිලි මෙන්ම මිනිසුන් විසින් ඇති කරනු ලබන ජලය රැදෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමති.


 තව ද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර  අතර ද, ගස් බෙන වැනි ස්වභාවික ජලය රැඳෙන ස්ථානවල ද ඩෙංගු මදුරුවෝ බෝවෙති. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත ද අඳුරු ස්ථානවල රැදී සිටියි.


මදුරුවන්ගේ දෂ්ටවීමෙන් වළක්වා ගැනීමට
 අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් පැලඳුම් ඇදීම.
මදුරු දැල් යට විවේකීව සිටීම
 මදුරු විකර්ෂක භාවිතය (පැගිරි තෙල් හෝ කෘත්‍රිම විකර්ෂක)
ගිය වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව
මාසය    රෝගීන් සංඛ්‍යාව
ජනවාරි    6694
පෙබරවාරි    4439
මාර්තු    2696
අප්‍රේල්    2832
මැයි    2422
ජුනි    4731
ජූලි    10,715
අගෝස්තු    4873
සැප්තැම්බර්    3629
ඔක්තෝබර්    2182
නොවැම්බර්    2174
දෙසැම්බර්    ........
මුළු රෝගීන් සංඛ්‍යාව    48,000
මියගිය රෝගීන් සංඛ්‍යාව 77 කි.
මෙම වසරේ ගෙවුණු මාස 3 ඩෙංගු රෝගීන් වාර්තා වීම
මාසය    රෝගීන් සංඛ්‍යාව
ජනවාරි    10,464
පෙබරවාරි    8475
මාර්තු    10,747
රෝගි මරණ සංඛ්‍යාව    53
ඉන්ෆ්ලුවන්සා ඒ එච් 1 එන් 1


දිවයින පුරා මෙම දිනවල පැතිරී යන එච් 1 එන් 1 කාණ්ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ රෝගය නිසා ද අද වන විට බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇත.


  සෘතුමය රෝගයක් ලෙස සැලකෙන මෙම රෝගය මෙම වසර ආරම්භයේදී නුවර ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් වාර්තා වූ අතර ඉන් පසුව වව්නියාව, කිලිනොච්චිය, පුත්තලම ආදී ප්‍රදේශවලින් අඩු වැඩි වශයෙන් රෝගීන් වාර්තාවීමට පටන් ගෙන තිබුණි.


 ඒ එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගයෙහි ප්‍රධානම රෝග ලක්ෂණය වනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව දරුණු ආසාදනයක් සමඟ සෙන්ටිග්‍රේඞ් අංශක 38ට වැඩි උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ දැකගත හැක. 


සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයේදී ඇති වන ඇඟපත වේදනාව, උගුර කැසීම, සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණ ද මෙම රෝගයේදී ද දැක ගැනීමට පුළුවන.


 සාමාන්‍ය වෛරස් රෝගයේදී දැකගත හැකි රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණම එච් 1 එන් 1 රෝගයේදී දැකගත හැකි බැවින් මෙම රෝගය නිවැරදිව හඳුනාගත හැකි වන්නේ රුධිර පරික්ෂාවට භාජනය වීමෙනි.


රෝග ලක්ෂණ පෙන්නුම් කරනා සෑම අයෙකුටම සංකූලතා ඇති නොවන අතර ශරීර ප්‍රතිශක්තිය අනුව දින කිහිපයකින් රෝගී තත්ත්වයන් පහව යයි.


අවදානම් කණ්ඩායම්
වයස අවුරුදු 65 වැඩි පුද්ගලයන්.
වයස අවුරුදු 2 අඩු දරුවන්
ගර්භනී මව්වරුන්


බෝනොවන රෝගයන්ගෙන් පෙළෙනා රෝගීන් සහ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නන්.


වැනි රෝගීන්ට ඉන්ෆ්ලුවන්සා උණ වෛරසය ශරීරගත වූ විට ආසාධන තත්ත්වයන් තීව්‍ර වීමට හා සංකූලතා ඇතිවීමට වැඩි අවදානමක් පැවතිය හැක.


රෝගය පැතිරීම
 රෝගී පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකුට රෝගය පැතිරීම සිදුවන්නේ ආසාදිතයකුගෙන් පිටවන කෙළ බිඳිති හා නාසයෙන් පිටවන ස්‍රාවයන් හරහාය. එහෙයින් රෝගයට ගොදුරු වූවන් රෝගය බොවීම හා පැතිරීම පාලනය සඳහා කහින විට, කිවිසුම් යන විට ලේන්සුවක් හෝ කඩදාසි ලේන්සුවක් භාවිත කිරීම නිතර කළ යුතුය.


 දෙඅත් නිතර සෝදා පිරිසිදුව තබා ගැනීමත්, සෙම්ප්‍රතිශ්‍යාව වැලදුණ විටදී මුහුණ හෝ නාසය ඇල්ලීමෙන් වැළකී හා මහජනතාව ගැවසෙන ස්ථානවලට නොයා සිටීමත් ඉතාම ඕනෑකමින් කළ යුත්තකි.


රෝගය සම්බන්ධ අනියත බියක් ඇතිකර ගත නොවිය යුතු අතර රෝග ලක්ෂණ ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම හෝ රෝහල් ගතවීම ඉක්මනින් කළ යුත්තකි.


සැලකිලිමත් වන්න
ඔබට ඇතිවන වෛරස් උණ තත්ත්වයක් ඩෙංගු රෝගය ද, ඉන්ෆ්ලුවන්සා රෝගය ද යන්න නිශ්චිතව නොදන්නේ නම් රෝග ලක්ෂණ ඇති සෑම අයෙකුම පාසලට, රැකියා ස්ථානයට හෝ වැඩබිමට නොගිහින් විවේකීව සිටීමට වගබලා ගත යුතුය. එවැනි ක්‍රම අනුගමනය කිරීමෙන් රෝගියාට ඇතිවන සංකූලතා අවම වන්නා සේම, රෝග කාරක වෛරසය අන් අයට පැතිරීම අවම වේ.

සටහන : අසුන්තා එදිරිසූරිය