- හම්බන්තොට වරාය ,ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙළුම් කුලුනට සියයට විස්සක කොමිස් ගෙවලා
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර වැය කළ යුතු වටිනාකමට වඩා සියයට 20ක පමණ ප්‍රමාණයක් කොමිස් වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ දීර්ඝ කාලීනව රටට වැදගත් විය හැකි නමුත් නෙළුම් කුලුන ව්‍යාපෘතිය මුළුමනින්ම අනවශ්‍ය වියදමක් වශයෙන් සැලකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ මෙම කුලුන සඳහා වැය කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 104ට අමතරව රුපියල් බිලියන 2ක මුදලක් හඳුනා නොගත් ආයතනයකට ගෙවා තිබීමයි.
වසර ගණනාවකට පෙර මෙම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදු වුවත් ඒවායේ බර පැටවී ඇත්තේ ජනතාවටය.
මේ රටේ බංකොලොත් බව එකවර ඇතිවූවක් ලෙස සැලකිය නොහැකිය. කාලයක් තිස්සේ ඉවක් බවක් නොතකා කරන ලද වැඩපිළිවෙලක අවසාන ප්‍රතිඵලය දැන් උදාවී තිබේ. විදේශ ණය වශයෙන් ඩොලර් බිලියන ගණනින් ලබා ගෙන කජු කන්නන් ලෙසට වියදම් කළත් රටට ඩොලර් මිලිනයකවත් ආදායමක් සොයා ගැනීමට නොහැකි වී ඇත. රට බංකොලොත් වී ඇති අතර ලබා ගත් ණයක් ගෙවා ගැනීමට නොහැකි වී ඇත.
මේ ව්‍යපෘති සඳහා ලබා ඇති මුදල් හා ඒ වටා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් කළෙමු.
හම්බන්තොට වරාය ගොඩබිම තුළ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වරාය වශයෙන් සලකනු ලබයි. අක්කර 4000 ක භූමියක පිහිටි මෙම වරාය පළමු අදියර ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 360 ක් වශයෙන් සඳහන් වේ. රුහුණු මාගම්පුර ජාත්‍යන්තර වරාය ලෙසට මෙම වරාය හඳුන්වනු ලබයි.
වරායේ බංකර් පර්යන්තය සඳහා පමණක් ඩොලර් මිලියන 76.5ක මුදලක් වැයවී ඇතැයි ගණන් බලා ඇත. ගොඩබිම ගොඩනගා ඇති ලොව විශාලතම වරාය ලෙස මෙය සැලකේ. කොළඹ වරායේ නෞකා තදබදය අවම කිරීම සඳහා මෙම වරාය ඉදි කළ බව සඳහන් කරයි. වසරකට නැව් 6000ක් හැසිරවීමට අවස්ථාව සැලසේ.
හම්බන්තොට පිහිටා ඇත්තේ ආසියානු සහ යුරෝපීය ජාත්‍යන්තර නැව් මාර්ග සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතරමැදිවය. තෙල් නැව් 4500ක් ඇතුළුව නැව් 36,000 ක් පමණ වසරකට හම්බන්තොට මුහුදු සීමාවෙන් යාත්‍රා කරයි.
හම්බන්තොට වරායේ පිහිටීම හා ඒ වටා පිහිටි පරිසරය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සුරපුරයක් කිරීමට හැකි ආකාරයට සැළසුම් අතිවිශාල ප්‍රමාණයක් සකස් කර තිබුණි. අපූරු සුරංගනා ලෝකයක් මවා ජනතාවට ඉදිරිපත් කර තිබුණ ඒ සැළසුම් වලින් කීපයක්ද මෙහිදී සාකච්ඡා කළ යුතුව ඇත.
නැව් අලුත්වැඩියාව, බංකරින් ආහාර වෛද්‍ය හා ජල සැපයුම් ලබාදීම මගින් මෙම වරාය ඉදිකිරීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට සැළසුම් කර තිබුණි. නැව් තැනීමේ කටයුතු පළමු අදියරේ සිටම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද සපයා දී තිබුණි. දිය කඩන දෙකක් මීටර් 210 ක පළලින් යුතු පිවිසුම් මාර්ගයක් මීටර් 600ක හැරවුම් කවයක් මීටර් 17ක් ගැඹුරට කැනීම මීටර් 600ක පොදු කාර්ය නැංගුරම් පොළක්, මීටර් 610 ක තොටුපොළක් මීටර් 105 ක සේවා නැංගුරම් පොළක් යන මේ අංශ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමට නියමිතව තිබුණි.
මූලික සැලැස්මකින් තොරව අතිවිශාල මුදලක් මේ මහා පරිමාණ ඉදිකිරීම සඳහා වැය කර ඇත. චීනයේ එක්සීම් බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 360 ක මුදලක් සියයට 6.3ක පොලියට ණයට ලබා දී ඇත. පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 188 ක මුදලක් වැය කර තිබුණි.
දෙවැනි අදියර සඳහා ඩොලර් මිලියන 810 ක මුදලක් ණයට ගෙන ඇත. චීනයේ ආනයන හා අපනයන බැංකුව මුදල් ලබාදී ඇත. ඉදිකිරීම්වලට බාධාවක් වූ වරාය පිවිසුමේ තිබූ දැවැන්ත ගල් පර්වතයක් පිපිරවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් වැය කිරීමට සිදුවිය.
දේශපාලනඥයන් දෙතුන් දෙනකු පිනවීම සඳහා ඉදිකරන ලද මෙම වරායේ ණය ආපසු ගෙවීමට නොහැකිවීම නිසා 2017 දී හම්බන්තොට වරාය අවුරුදු 198 කට චීනයට බදු වශයෙන් ලබා දීමට පසුව තීරණය කෙරිණි.
’’නැටූ නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ’’ කීවාක් මෙන් හම්බන්තොට වරාය ඉදිකිරීමේ පූර්ණ වාසිය චීන රජයට හිමි වී තිබේ. අද එය නිල නොවන මට්ටමින් චීනයේ කොලණියක් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව චීනයට බද්දට දීමට සිදු විය.
මෙයින් රටට අත්වූ වාසියක් නැත. නිත්‍ය හා සෘජු රැකියා 50,000ක පමණ ප්‍රමාණයක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ලබාදීමට සැළසුම් කර තිබුණි. දැන් මේ චීන කොලණියේ චීන ජාතිකයන්ට වෙන් වූ ජීවන රටාවක් පවත්වා ගෙන යන බව කියති. රටේ ජනතාවට ඔහේ බලා සිටීමට සිදු වී ඇත්තේ පුස්ස බින්දක් මෙනි.
හම්බන්තොට වරායේ තුන් වැනි අදියරත් 2023 දී අවසන් කිරීමට නියමිතය.
අනෙක් සුදු අලියා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ. මේ සඳහා සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2010 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.
ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වශයෙන් සලකන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම 2009 දී ආරම්භ කළ අතර 2013 දී නිල වශයෙන් විවෘත කිරීම සිදු විය. මෙම ගුවන් තොටුපොළ තෙක්ම යාර 2000ක භූමි ප්‍රදේශයක පිහිටුවා ඇත. විදේශිකයන් 800කට ගොඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් සලසා ඇත.
ගුවන්තොටුපලට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩු බාහිරාදිය හුවමාරුව හා ප්‍රවාහනය කිරීමට ද පහසුකම් සපයා ඇත. මගීන් මිලියනයක් වසරකට හැසිරවීමට හැකි පහසුකම් මෙම ගුවන්තොටුපලේ ඉදිකර ඇතත් ගුවන්තොටුපල ඉදිකර වසර 15ක කාලයටවත් එයින් මිලියනයක් එහි පැමිණ නැත.
පසුගිය කාලයක දී හම්බන්තොට ගුවන්තොටුපළ ගොඩනැගිලි වී ගබඩා කිරීමට යොදා ගත් ආකාරය ද සිහියට නැගේ.
තවත් සුදු අලියකු වන්නේ නෙළුම් කුලුනයි.
දකුණු ආසියාවේ උසම කුලුන ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළත් එය ඉදිකරන ලද්දේ ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක චීන රජයේ ණය ආධාර වලිනි. ණය ආපසු ගෙවීමේ වසර 10ක් සඳහා වසරකට බිලියන 2.4 බැගින් ගෙවීමට නියමිතව ඇත.
අදටත් සොයා ගැනීමට නොහැකි සමාගමකට නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ගෙවා ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනාවරණය කළේය. ඒවා මේ රටේ ජනතාවගේ මුදල්ය. එම සමාගමේ ලිපිනය සොයා යන ලෙස එරට ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් දී තිබූ අතර එවැනි ආයතනයක් එම ලිපිනයේ නොමැති බව අනාවරණය වී තිබුණි. මුදල් ලබා ගත් සමාගම අතුරුදන්ය. මුදල් ගෙව්වේ කවුදැයි මේ ගනුදෙනුවට සම්බන්ධ කවුරුන් ද? ඒ සියල්ලක් පිළිබඳව කිසිම තොරතුරක් නැත.
චීනයේ හෝ වෙනත් කිසිදු රටක ක්‍රියාත්මක නොවන සමාගමකට මෙම මුදල් ගෙවීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
ප්‍රභාකරන් සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පුළුවන් වූ බුද්ධි අංශ නිලධාරීන්ට මෙම බිලියන දෙකක මුදල ගෙව්වේ කාට ද යන්න සොයා ගැනීමට අදටත් නොහැකි වී ඇත. එය අදහා ගැනීමට නොහැකි කරුණක් බවට පත් වී ඇත.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකර තිබෙන නෙළුම් කුලුන අගනුවර අලංකාරයට හේතු වුවත් අප වැනි රටකට ඔරොත්තු නොදීම ප්‍රධාන ගැටලුවය. මුදල් වැය කළ යුතු දුප්පත්කම තුරන් කිරීම අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ප්‍රමුඛතා ලැයිස්තුවේ පවතින අංශවල වෙන් කළ හැකිව තිබූ මුදල් නොදන්න සමාගමකට ලබා දී ඇත.
මේ නෙළුම් කුලුන අද රටට බරක්. අද වනතුරුත් එය විවෘත කර ගැනීමට නොහැකි වී ඇත. වෙල මැද හිට වූ පඹයකුගෙන් සිදු වන සේවයක්වත් මේ නෙළුම් කුලුනෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. රටට අත්කර දෙන වාසියට වඩා පවත්වා ගෙනයාමේ බර ජනතාව මත පැටවී ඇත.
මෙමගින් වංචා කළ කෝටි 200 ක මුදලින් රුපියල් 2500 බැගින් පවුල් ලක්ෂ 8කට සමෘද්ධි සහනාධාරය ලබා දිය හැකි බව නිරීක්ෂණය කර ඇත.
මුදල් අතුරුදන්වීමේ සිද්ධියෙන් පසු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ එක්සිම් බැංකුව ලබා දීමට පොරොන්දුව තිබූ රුපියල් බිලියන 19 අත්හිටුවා ණය දීම බිලියන 12කට සීමා කර තිබුණි. නෙළුම් කුලුන අදටත් රටට ශත පහක මුදලක් උපයා දී නැත. එහෙත් ශ්‍රී ලාංකික ජනතාව අදටත් නෙළුම් කුලුනේ ණය ගෙවමින් සිටිති. කොළඹ මැද සිටගෙන එය අහස දෙස බලා ගෙන සිටියි.
ඉදිරි මාස 12 ක කාලය සඳහා ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක ණය වාරික හා පොලී ගෙවිය යුතුව ඇත. මෙවැනි තවත් නාස්තිකාර වියදමක් ලෙසට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය සඳහන් කළ හැකිය එය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වශයෙන් හඳුන්වනු ලබයි. 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉදි කරනු ලැබීය. නරඹන්නන් 35,000 කට පහසුකම් සහිතව ඉදි කරන ලද මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ හැකි කොටස් පමණක් දිග මීටර් 100ක් හා පළල මීටර් 100 ක් වෙයි.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ලබා ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300කි. මේ දක්වා මෙම ක්‍රීඩාංගනයේ පවත්වා ඇත්තේ අතේ ඇඟලි ගණනටවත් අඩු තරඟ කීපයකි.
විදේශ ණය ආධාර මත රටේ සංවර්ධනයට යැයි කියමින් මුදල් ලබා ගන්නා ලද තවත් කරුණක් වන්නේ මාර්ග ඉදිකිරීමයි. හොඳම උදාහරණය බෙලිඅත්ත නගරයට යාම සඳහා මාර්ග තුනක් සංවර්ධනය කර තිබීමය. මිද්දෙණිය තංගල්ල හම්බන්තොට සිට බෙලිඅත්ත නගරයට ඒමට මාර්ග 3ක් පුළුල් කර ඇත. ඒ සියල්ල ණය මුදල්ය. ජනතාව ගෙවනු ලබන්නේ ඒ නාස්තිකාර වියදම්වල හැටිය.
සටහන :
දයාසීලි ලියනගේ