තනි රෝදෙන් ගිය යතුරුපැදිය ගිංතොටට කළ විපත


 

තනි රෝදයෙන් පැමිණි යතුරුපැදියක් මවක සහ දරුවන්ට තුවාල කරමින් අනතුරට පත්ව එය ජාතිවාදී අරගලයක් ඇතිවීමේ අවදානමක් දක්වා දුරදිග යාමේ අවාසනාවන්ත තත්ත්වයක් ගිංතොටින් පසුගිය දා වාර්තා විය.   


දිනකට රටපුරා රිය අනතුරු විශාල ප‍්‍රමාණයක් සිදුවෙයි. ඒවා අතර මාරක අනතුරු ද, තුවාල සිදුවන අනතුරු ද පොලිස් පරීක්ෂණ දක්වා දුරදිග යන අනතුරු ද නැතිනම් ගොඩින් බේරාගන්නා අනතුරු ද තිබේ.   


අනතුරට ලක්වන අය විවිධ ජාතීන්ට, විවිධ කුල ගෝත‍්‍රයන්ට අයත් වෙති. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සැවොම මේ ආකාරයෙන් අනතුරට ලක්වෙති. පසුගිය 12 දා ගිංතොට දී සිදුවූයේ ද එවැනි ම තවත් එක් අනතුරකි.   


ඒ තරුණයකු පැදවූ යතුරුපැදියක් පාරේ ගමන් කරමින් සිටි මවක සහ දරු දෙදෙනකුගේ ඇඟේ ගැටී තිබිණි. මෙය සාමාන්‍ය සුළු සිද්ධියකි. යතුරුපැදිය පැදවූ තරුණයා සිංහලයකු වීමත් අනතුරට පත් මවත් දරු දෙදෙනාත් මුස්ලිම් අය වීමත් මෙහි ගැටලුවක් වූ බව ඇතැම් අය කියති.   


ගිංතොට මහහපුගල දී සිදුවූ මේ අනතුරින් පසුව එතැනට පැමිණි බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන මොහොමඩ් කියාස් මහතා මේ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර ප‍්‍රශ්නය විසඳා ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළ තරුණයා අනතුරට ලක්වූ මවටත්, දරුවන් දෙදෙනාටත් රුපියල් 25,000ක් පිරිනමා තත්ත්වය සමථයකට පත්විය. අනතුරින් තුවාල ලැබූ තිදෙනා රෝහලින් ප‍්‍රතිකාර ගත්හ. සිද්ධිය එතැනින් අවසන් විය.   


දිනක් ගත වී 14 වැනි දා දිනය ද ගෙවෙමින් තිබිණි. ගාල්ල ගිංතොට ආදී ප‍්‍රදේශයන් හි කි‍්‍රකට් මෙන් ම පාපන්දු කී‍්‍රඩාව ද බෙහෙවින් ජනපි‍්‍රයය. පාපන්දු කී‍්‍රඩාවේ නිරතවී ආපසු පැමිණෙමින් සිටි තරුණයන් දෙදෙනකුට තවත් තරුණයන් පිරිසක් පහරදී තිබෙන බවත් ඉන්පසු එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවත් පොලිසිය පවසයි. මේ සිද්ධිය සිදුව ඇත්තේ මහහපුගලට ආසන්න විදානගොඩ හන්දියේ දී ය.   


14 දා සවස පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනා මුස්ලිම් ජාතික තරුණයන් වීමත්, පහර දුන් තරුණයන් සිංහල ජාතිකයන් වීමත් තත්ත්වය දරුණු වෙන්නට හේතු වී තිබේ.   


ගිංතොට ගිනියම් වෙන්නේ 16 දා රාත්‍රියේය. රිය අනතුර සමථයකට පත්කිරීමට මැදිහත් වූ බව කියන කියාස් නමැති හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පිරිසක් කැටුව පැමිණ මුස්ලිම් තරුණයන්ට පහරදුන් ස්ථානයේ සිංහල පුද්ගලයන්ගේ නිවාස කිහිපයකට අලාභහානි සිදුකළ බවට චෝදනා එල්ල වෙයි.   


මේ අරගලය ජාතිවාදී අරගලයක් දක්වා ඔඩු දුවන්නේ එතැනිනි.   


පොලිසියට සිද්ධිය වාර්තාවීමත් සමග පොලිස් නිලධාරීන් ගිංතොට ප‍්‍රදේශයට ගොස් තිබිණි. ප‍්‍රදේශයේ මෙවැනි සිද්ධියක් පාලනය කිරීමේ හැකියාව ඇති බොහෝ දෙනකු මේ අවස්ථාවේ ගිංතොට ඇතිවෙමින් පවතින කලබලය හැකි ඉක්මණින් සංසිඳවීමට උත්සාහ ගත්හ.   


පරහදීමට සැකපිට සිංහල තරුණයන් දෙදෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ තිදෙනා ම 20 දා වනතුරු රිමාන්ඞ් කරන්නැයි අධිකරණයෙන් නියෝග කෙරිණි. මේ ලිපිය ලියන මොහොත දක්වාම ඔවුන් සිටින්නේ රිමාන්ඩ් භාරයේය. නමුත් දේශපාලන අදිසි හස්තයක් ක්‍රියාත්මක වී කියාස් හිටපු මන්ත්‍රීවරයා මුදාහැර ඇතැයි ද ඇතැම් පුරවැසි මාධ්‍ය මගින් ප‍්‍රචාරයන් ගියේය. ඒවායේ කිසිදු සත්‍යතාවක් නැත.   


පසු දා උදෑසන වනවිට සිද්ධිය සම්පූර්ණයෙන් ම අවසන් වී තිබිණි. නිවාස කිහිපයකට හානි සිදුව තිබූ අතර ප‍්‍රදේශය බෙහෙවින් සාමකාමීය. සෑම තැනක ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහූ සිටියහ.   


නමුත් මේ අතර කටකතාවලට තටු ලැබී තිබිණි.   


මේ කතා සෑම තැනම පැතිරෙමින් තිබිණි. ඒ කිසිවක් පාලනය කිරීමට ද හැකියාවක් නැති බව පෙනෙන්නට තිබිණි. ඒ අතර ඇතැම් තරුණයෝ මුහුණු පොත හරහා ඒකරාශී වීමේ නිවේදන ද නිකුත් කරමින් තිබිණි.   


සමාජය පුරා මෙවැනි ජාති බේද වපුරන අදහස් පැතිරෙද්දී ප‍්‍රදේශය පුරා තිබුණේ සාමකාමී වාතාවරණයකි. පොලිසියෙන් සවස් වන විට ප‍්‍රදේශය පිළිබඳ කරන ලද තක්සේරුව අනුව ඔවුන් 17 දා සවස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත්කිරීමට තීරණය කර තිබිණි.   


මෙය කලහකාරීන්ට ලැබුණු අනගි අවස්ථාවකි.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ වැඩි පිරිසක් ඉවත්ව සංචාරක මුර සේවයට පමණක් ඔවුන් සීමා වෙද්දී. ගිංතොට ප‍්‍රදේශයට පැමිණි පිරිසක් යළි අරගලයකට මුල පිරූහ. බොහෝ දෙනකු කීවේ ඔවුන් පිට ප‍්‍රදේශවලින් පැමිණ ගිංතොට හා ඒ අවට විහාරස්ථානවල එක්රැස්වී සිට රාත්‍රියේ පහරදීම ආරම්භ කළ බවයි.   


එසේ වුව ද ප‍්‍රජා පොලිස් කමිටුවේ සභාපති හා ථූපාරාම රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් එච්.එල්. නන්දසිරි මහතා පවසන්නේ මුස්ලිම් කිහිපදෙනකුගෙන් පෙර දින රාත්‍රියේ නිවාසවලට එල්ල වූ ප‍්‍රහාරය හේතුවෙන් භියට පත්වූ පිරිසක් පන්සලට රැස්ව සිටි බවයි. එම පිරිසට සන්සුන්වන ලෙස අම්බලන්ගොඩ සුමේධ හිමියන් උපදෙස් දුන් බවත් ප‍්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හාමුදුරුවන් දැඩි උත්සාහයක නිතර වූ බවත් හෙතෙම පවසයි.   


එදින (17) රාත්‍රී 8.00ට පමණ ගිංතොට යළි කලබල ඇතිවෙන්නට විය. ඒ පිළිබඳ විස්තර කළ අංජනා සඳමාලි වීරසිංහ මහත්මිය (37) මෙසේ කියන්නීය.   


‘‘මම ඉපදුනේ මේ ගමේ. අපි සිංහල මුස්ලිම් කියලා කිසිම බේදයක් කවරදාවත් තිබුණේ නැහැ. ඉතාමත් සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා. මේ පුංචි සිද්ධියක් නිසා ජාතිවාදී ගැටුමක් ඇතිවීම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. එදා 16 දා සිංහල ගෙදරකට ගහලා කියලා ආරංචි වුණා. 17 දා දවාලෙත් අපිට කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. වෙන පැතිවල ඉන්න අය කතා කර කර විස්තර අහනවා. ඒ ගොල්ලෝ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. ප‍්‍රචාරය වෙන බොරු විතරයි දන්නේ. 17 දා රාත්‍රී 8.30ට විතර ඈතින් කට්ටියක් කෑ ගහනවා ඇහුණා. දැන් මේ කෑ ගැහිල්ල ටික ටික ළං වෙනවා. පස්සේ ගෙවල්වලට ගහන ශබ්දයත් ඇහුණා. අපේ ගේ වටේටම තියෙන්නේ මුස්ලිම් අයගේ ගෙවල්. ගේ ඉස්සරහ මුස්ලිම් මුදලාලි කෙනෙකුගේ කඩයක් තිබුණා. මේ කඩයට ගැහුවා. ඔක්කොම ඇවිත් හිටියේ සිංහල අය. අල්ලපු ගෙදර කැඩුණු තාප්පේ ගල් අරගෙන මේ අය මගේ ගෙදරටත් ගැහුවා. අපි ගේ ඇතුළේ ඉඳගෙන කෑ ගැහුවා අපි සිංහල අපිට ගහන්න එපා කියලා. ඒත් ඇහුවේ නෑ. කෑ ගගහා ගැහුවා. ගෙදර වීදුරු කුඩු කළා. අපේ ගේ ළඟම පෙට‍්‍රල් බෝම්බ දෙකක් ගැහුවා. ආපු අය 500ක් විතර ඉන්න ඇති. කෑ ගගහා එහාට මෙහාට යමින් ගොඩක් වෙලා හිටියා. මම පොලිසියේ 119 කතා කළත් ඒවාට කවුරුවත් උත්තර දුන්නේ නැහැ. මට විශ්වාසයි මේ ප‍්‍රහාරය එල්ල කළේ අපේ ගමේ මිනිස්සු නෙවෙයි. ගමේ අය දන්නවා අපි මුස්ලිම් නෙවෙයි කියලා. ගමේ අය කවරදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ. අපි අදටත් මුස්ලිම් අය එක්ක සමාදානයෙන් ඉන්නවා.’’   
එදින යළි පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව හා නාවික හමුදාව ද කැඳවා තිබිණි. යුද හමුදාවේ සන්නද්ධ රථ හා පොලිසියේ කැරළි මර්දන ඒකකය ද ගිංතොට ප‍්‍රදේශයට පැමිණ තිබුණෙන් එම ප‍්‍රදේශය දිස්වූයේ යුද කලාපයක් මෙනි.   


මේ සිද්ධිය පිළිබඳ දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙන බවට ඇතැම් පිරිස් චෝදනා නගතත් දේශපානඥයන් සියලු දෙනා පවසන්නේ මෙය ගැමියන් අතරින්ම හටගත් කලහකාරී තත්ත්වයක් බවයි. නමුත් ජාතිවාදය වපුරුවන ඇතැම් පිරිස් මෙවැනි අවස්ථාවන් තම පටු අරමුණු ඉටුකරගැනීම සඳහා යොදා ගන්නා බව ද ඔවුහු කියති.   


උදෑසන වෙන විට යළි ප‍්‍රදේශය සන්සුන්ය. නමුත් හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 74කි. වෙළෙඳ සැල් 16ට අලාභ හානි සිදුව තිබූ අතර තී‍්‍ර රෝද රථ හයක්, ලොරියක්, වෑන් රථයක් හා යතුරුපැදි තුනක් හානියට පත්ව ඇතැයි ද දේපළ සොරකම් කිරීම් අටක් වාර්තා වී ඇතැයි ද පොලිසිය පවසයි. තුවාල ලැබූ පස් දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවූ බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කියති.   


මේ සිද්ධිය හේතුවෙන් 17 දා රාත්‍රී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 19 කි. ඒ අනුව පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඔවුන් සියලූ දෙනා ලබන 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. ඒ අතර සිටි පාසල් සිසුවකු පරිවාස භාරයට පත්කර තිබේ.   


සිද්ධිය සමථයකට පත්කර ප‍්‍රදේශයට සාමය උදාකරදීම සඳහා පසුදින 18 වැනි සෙනසුරාදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් කැඳවා තිබිණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම සඳහා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා ද ජනාධිපතිතුමාගේ ගාල්ල දිස්ති‍්‍රක් නියෝජිත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ද සහභාගී වූහ.   


එහි දී ප‍්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමටත්, නැවත දන්වා සිටින තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය කිසිලෙසකින් හෝ ඉවත් නොකිරීමටත් තීරණය කෙරිණි. පැමිණ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මුස්ලිම් මව්ලවිතුමන්ලා හා ක්‍රිස්තියානි පියතුමන්ලා මෙන්ම හින්දු පූජකවරු ද කියා සිටියේ ආගමික ස්ථාන මූලික වී මේ තත්ත්වය පාලනය කළ යුතු බවයි.    


පසුදා උදෑසන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගිංතොටට පැමිණියේය. එහි දී නිවාස කිහිපයක් පරීක්ෂා කළ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි සුළු සිද්ධීන් වැලැක්වීම සඳහා පොලිසිය බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය බවයි. සිදුවූ දේපළ හානි සඳහා රජය මගින් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.   


අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති තම ඥාතීන් කඩිනමින් නිදහස් කරදෙන්නැයි සවස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී රිමාන්ඩ් කර සිටින අයගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියහ. ඒ අනුව ඔවුන් සඳහා ඇප ඉල්ලීම සඳුදා දිනයේ සිදු වුව ද එය ප‍්‍රතික්ෂේප කෙරිනි. ඇප ඉල්ලීම මහාධිකරණයෙන් සිදුවිය යුතු බව දන්වා ඇති අතර ඔවුන් තවදුරටත් 30 දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පැනවූ නියෝගය කි‍්‍රයාත්මක වී තිබේ.   


ඉරිදා රාතී‍්‍ර ඇඳිරිනීතිය පැනවූයේ නැත. ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ප‍්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් කැඳවා තිබිණි. රැස්වීම පවත්වන ලද්දේ ගාල්ල මහ නගර සභා ශාලාවේය. මේ සඳහා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසමකින් 25 දෙනකු බැගින් කැඳවා තිබුණ ද ඇතැම් වසමකින් 10 කු හෝ පැමිණ සිටියේ නැත.

පොලිස්පතිවරයා කියා සිටියේ මේ තත්ත්වය යටතේ පොලිසිය අසමත්ව ඇති බවයි.   


කෙසේ වෙතත් දැන් ගිංතොට යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ගැටලුව අවසන්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. රිය අනතුරක් ජාතිවාදී අරගලයක් දක්වා දුරදිග යාම වළක්වාගැනීමට හැකියාව ලැබීම රටේ වාසනාවකි.   


සාමය කැමති සියලූ දෙනාගේ ප‍්‍රාර්ථනය වෙන්නේ පෙර පරිදිම අනාගතයේ දී ද සිංහල මුස්ලිම් සියලු දෙනා එකමුතුව ජීවත් වීම පමණි.

සජීව විජේවීර