තනියම ගුවන් යානයක් ගෙනගිය අපේ කාන්තාවෝ


 

ශ්‍රී ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කාර්ය මඩුල්ලක් සහිත ගුවන් යානයක්, පසුගියදා පියාසර කළේය. ඒ, මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 306 ගුවන් යානය මාර්තු 8 වැනිදා පෙරවරුවේ මෙලෙසින් ගුවන් ගත වූයේ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ වෙතය.   


සාර්ථක ගුවන් ගමනකින් පසුව කටුනායක සිට චැංගි ගුවන් තොටුපළ බලා ගිය යූ.එල්. 306 ගුවන් යානය චැංගි ගුවන් ගමන් ධාවන පථය සිත් ගත්තේ වෙනදාට වඩා ලාලිත්‍ය වූ රිද්මයකිනි. කාන්තාව යනු පිරිමියාට සාපේක්ෂව රළු චරිතයක් නොවේ. මේ ලාලිත්‍යයේ රිද්මයට හේතු වූයේ කාන්තාව සතු ඒ මෘදු බව නිසාමය.   


ශක්තිය මැන බැලීමේ පිරිමියා යනු කාන්තාවට වඩා ශාරීරිකව ශක්තිමත් චරිතයකි. එහෙත් ක්‍රියාන්විතයේදී මෙන්ම මානසික ශක්තිය මැන බැලීමේදී කාන්තාව යනු උපතින්ම දරා ගැනීමේ ශක්තිය ඇතිව බිහි වූ චරිතයකි. වෙසෙසින්ම ගුවන් ගමනකදී ප්‍රධාන ගුවන් නියමුවරිය මෙන්ම සහායක නියමුවරිය සතුව ඉතා ශක්තිමත් මානසික ස්ථාවරයක් තිබිය යුතු වේ. ප්‍රධාන නියමුවරිය වූ සිම්රන් ගම්මන් සහ පළමු පියාසර නිලධාරිනිය ලෙස මෙදින කටයුතු කළ මනීෂා නම්ඹුගේ හට වෙනදාටත් වඩා සිය දහස් ගුණයකින් වැඩි මානසික ශක්තියක් තිබුණේ වෙන කිසිවක් නිසා නොවීය.   


‘‘ඔව්, අපි තමයි අද මේ ගුවන් යානය රැගෙන යන්නේ යන’’ කාන්තා ආඩම්බරය නිසාමය. ඒ අභිමානය ඇතිව මේ දෙදෙන පොළෝ තලයේ සිට අහස් තලය වෙත ගුවන් යානය පියාසර කළේ පුදුමාකාර වූ උද්​ෙ‌යා්ගයකිනි. අඩි දහසෙන් - දහස ඉහළට ගොස් අඩි 35,000ක පමණ වූ උස් අහස් කුසට ගුවන් යානය ඇදී ගියේ මගීන් හට වඩාත් පහසුවක් ගෙන දෙමිනි.   


තොටිල්ල පදවන අත තරම් මුදු බවක්, තවත් කොයින්ද?   
‘‘සුබ සැන්දෑවක් නෝනාවරුනි, මහත්වරුනි, ශ්‍රී ලංකන් ගුවන් යානයේ ගමන් ගන්නා ඔබ අප සාදරයෙන් පිළිගන්නෙමු. මම මෙහි ප්‍රධාන ගුවන් නියමුවරිය වන සිම්රන් ගම්මන්. පළමු පියාසර නිලධාරිනිය වන්නේ මනීෂා නම්බුගේ. අප සමග ගුවන් කාර්ය මඩුල්ල ඔක්කෝම අට දෙනයි. හොඳ කාලගුණික තත්ත්වයක් තිබෙන්නෙ. ගමනාන්තය සඳහා ගතවෙන ගුවන් කාලය පැය තුනකුත් විනාඩි 50ක්. ඔබට සුබදායක ගුවන් ගමනක් ප්‍රාර්ථනා කරන අතර අප ශ්‍රී ලංකන් ගුවන් යානයේ සේවාවන් බුක්ති විඳින ලෙස අපි ඔබට ඇරයුම් කරන්නෙමු.’’   


මගීන් 170ක් පමණ වූ පිරිසක් ගමන් ගත් මෙම ගුවන් යානය ගුවන් ගතවීමට පෙර ප්‍රධාන නියමුවරිය පැවසුවේ එලෙසිනි. ජීවිත 170ක වගකීම සහ ආරක්ෂණය බාරගෙන සිටි මෙම කාන්තාවෝ අට දෙනා හට මේ ගමන නුහුරු - නුපුරුදු ගමනක් නොවූ බව සැබෑය. නමුදු මෙම ගුවන් සංචාරය ඔවුනට ගෙන දුන්නේ වඩා උද්​ෙ‌යා්ගයකි. ඒ වෙන කිසිවක් නිසා නොවීය. ‘‘අපි අද කාන්තාවෝ විතරනෙ’’ යන හැඟීම නිසාය. ඔවුන් වෙනදාටත් වඩා උද්​ෙ‌යා්ගීමත් වූවේ සහ ක්‍රියාශීලී වූවේ එනිසාය.   


ගුවනේදී සත්කාරයන් ලබාදීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම තබා ඇත්තේ වාර්තාවකි. ඔවුනගේ සත්කාරයන් එතරම්ම ගුණාත්මකය. එතරම්ම මිත්‍රශීලීය. මෙහි කැබින් කෲ එකක් හෙවත් සත්කාරයන් ලබාදෙන කාර්ය මඩුල්ලේ ප්‍රධානී කාන්තාව වූයේ මිරැන්ඩා රුද්‍රිගුය. ඇයගේ සහායට සිටි ලක්මිණි, සුමුදු, ඔනෙලා, ෂෙහානි සහ දුෂ්මන්ති යන සුන්දර කාන්තාවෝ එක්ව ඒ ගුණාත්මක සහ මිත්‍රශීල‌ී සත්කාරය සැපයූවේ සමසේ වගකීම් දරාගෙනය. මෙම කණ්ඩායමේ කීප දෙනෙක් විවාහ වූ දරුවන් සිටින මව්වරුය. එහෙත් වැඩි වයස් සීමා පසු කළ අය නොවේ. වයස 25න් ඉහළ වයස් සීමාවල පසුවන මේ සොඳුරු කාන්තාවන් තවමත් පසුවන්නේ තාරුණ්‍යයේය. 

 
‘‘මෙදින ඔයාලට වෙච්ච විශේෂ දේ මොනවාද? බයක් එහෙම හිතුණේ නැද්ද?’’   
යූ.එල්. 306 ගුවන් යානයේ එදා සේවයේ යෙදී සිටි ගුවන් සේවිකාවකගෙන්, යෙහෙළියක එලෙස විමසූ විට ගුවන් සේවිකාවක දී තිබුණේ මෙවැනි පිළිතුරකි.   
‘‘ඒක හරිම සාමාන්‍ය දෙයක්. විශේෂ දේ කියා කිසිවක් සිද්ධ වුණේ නැහැ. කෙල්ලො ටිකක් එකතු වෙලා වැඩක් කළාම තියෙන සතුට තමයි අපට තිබුණේ’’.   
ඇය තම යෙහෙළිය හට පවසා තිබුණේ එවැනි දෙයකි.   


කාන්තා දිනය දා කාන්තා ලෝකයට ලොකු අරුතක් ගෙන දුන් මේ සුන්දර කාන්තාවන් අට දෙනා ගැන විස්තර දැන ගැනීම වෙනුවෙන්, අප ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය අංශයේ ප්‍රධානීන් හට කතා කළද බ්‍රහස්පතින්දා (14) වන තෙක් අපට ඊට පිළිතුරක් නොලැබිණි.   


‘‘ඒ වෙනුවෙන් අපට අවසර ගත යුතු ක්‍රමයක් තියෙනවා. ඒක එක පාරටම කරන්න බැහැ’’   


යනුවෙන් මාධ්‍ය අංශයේ කළමනාකරු අප හට ප්‍රකාශ කළේය. එනිසා එළැඹෙන සතියේ මෙම සුන්දර කාන්තාවන්ගේ විස්තර සහිත ලිපියක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.   


මෙම සටහන අවසන් කිරීමට පෙර ලෝකයේ කාන්තා කාර්ය මඩුල්ලක් සහිතව පමණක් පියාසර කළ ගුවන් තොරතුරු ගැන විස්තරයක් මේ සමග අප ඉදිරිපත් කරන්නෙමු.   


කාන්තාවන් ගුවන් ක්ෂේත්‍රයේ රාජකාරී සඳහා ප්‍රවිෂ්ට වූයේ අද ඊයේ නම් නොවේ. මීට වසර සිය ගණනකට එහා වූ අතීතයකට පෙරදීය. එහිදී, ඇමෙරිකානු ජාතික අමේලියා මේරි ඉයර්හාට්ගේ නාමය සඳහන් වෙන්නේ ලොව පළමු ගුවන් කපිතාන්වරිය ලෙසයි. ඇය උපත ලැබු​වේ 1897දීය. ඇමෙරිකානු ගුවන් සමාගමේ රැකියාවේ නිරතව සිටි ඇය එම ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් 1937 වසරේදී පදවමින් සිටියාය. එදින ඇය සමග ගමන් මාර්ගය පෙන්වන්නා ලෙස කටයුතු කළේ ෆ්‍රෙඩ් නූනන්ය. ඔවුහු මධ්‍යම පැසිපික් සාගරයේ හෝව්ලන්ඩ් දූපතට ඉහළින් පියාසර කරමින් සිටියහ. එතැනින් එහාට මේ දෙදෙනා ගැන කිසිදු හෝඩුවාවක් දැන ගැනීමට නොහැකි විය. ඇය පැදවූ මේ ගුවන් යානය අතුරුදන් වූ බව ඇමෙරිකානු ගුවන් යානා සමාගම පසුව ප්‍රකාශ කළේය. මෙම අමේලියා මේරි යනු ගුවන් නියමුවරියක පමණක්ම නොවූවාය. වඩාත් අලෙවියට පත් වූ ග්‍රන්ථ කීපයක රචිකාවිය ඇය වූවාය. එනම් ඇය ග්‍රන්ථ කතුවරියක ද වූවාය.   


අැයගේ ගුවන් ගමන් ගැන වූ අත්දැකීම් අලළා රචිත එම පොත් ඉතා විශාල ලෙස අලෙවි වී තිබේ. ඇය ඒ මඟින් ලොව අනෙකුත් කාන්තාවන් හට ධෛර්යවන්ත පණිවුඩයක් දී ඇත. එක් දෙයකට නොවී ඇය අංශ කීපයකටම දක්ෂ වූ චරිතයක් ලෙස එදා ප්‍රකටව සිටියාය. පර්ඩු සරසවියේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ උපදේශකවරියක ලෙස ද කටයුතු කළ අතර ගුවන් යානා ක්ෂේත්‍රයේ ඇය විසින් තබන ලද වාර්තා ගැන ද සඳහන් වේ. ඊට අමතරව දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනියක ද වූ අතර, ජාතික කාන්තා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක මෙන්ම, කාන්තාවගේ සම අයිතීන් උදෙසා කැප වී ක්‍රියා කළ ක්‍රියාකාරිනියක ද වූවාය.   


සියවසක් ඉදිරියට ගොසින් අප මෑත කාලයේ කාන්තා කාර්ය මඩුල්ලක් සහිත ගුවන් යානයක් පියාසර කළේ කවදාද කියා බලමු.   


එහිදී අප්‍රිකානු කලාපයේ වඩා සක්‍රීය ගුවන් සමාගමක් වන ඉතියෝපියානු ගුවන් සමාගම වාර්තාවක් තබා ඇත. බෝයිං 777 දරන ගුවන් යානයෙන් ලාගෝස් සිට ගුවන්ගත වීම එකී කාන්තා සාමුහිකත්වයේ බලය පෙන්වූ අවස්ථාවක් විය. ඒ 2017 වසරේදීය. මෙම යානය පැදවූ ප්‍රධාන නියමුවරිය වූයේ ඇම්සෙල් ග්වාලන්ය.   


‘‘අපේ තාත්තා ඒ දවස්වල මාවයි. නංගිවයි එක්කගෙන ගිහින් ගුවන් යානා ගොඩ බස්වන හැටි සහ අහසට යන හැටි අපට පෙන්වනවා. එතකොට අපි හරි කුඩායි. හැබැයි එදා මම ඒ දිහා බලාගෙන ඉඳලා හරිම ආසා කළා. පසු කලෙක මම ගුවන් නියමුවරියක වුණේ ඒ නිසාම වෙන්න ඇති’’   


එදා කාන්තා කාර්ය මඩුල්ල සමග බෝයිං 777 ගුවන් යානයේ ගමනින් පසුව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ එවැන්නකි.   


2017 වසරේදී අසල්වැසි ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ද එක්තරා වාර්තාවක් පිහිටවූවේය. ඒ, නවදිල්ලිය හරහා පැසිපික් සාගරය මතින් ඇමෙරිකාවේ සැන්​ෆ්‍රැන්සිස්කෝව බලා ගුවන් යානයක් පියාසර කරවීමෙනි. මෙහි සමස්ත කාර්ය මඩුල්ල කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූවේය. මෙවැනි ගුවන් ගමනක් වෙසෙසින්ම සංවිධානය වූයේ කාන්තාවට එක්තරා විදියක ශක්තිමත් මානසික පණිවුඩයක් ගෙනදීමට බව ප්‍රකාශ විණි.   


ඊට ප්‍රධාන හේතුව නම්, ඉන්දියාවේ කාන්තාවන් බොහොමයක් හිංසනයට ලක්වීමය. කාන්තා හිංසනය පිටුදැකීමට මෙවැනි ප්‍රයත්නයන් ඉතා වැදගත් වෙන බව ඉන්දීය වාර්තා සඳහන් කරයි. එදා නවදිල්ලියේ සිට මෙම ඉන්දීය ජාතික ගුවන් සේවයට අයත් යානාව මෙහෙය වූ ප්‍රධාන ගුවන් නියමුවරිය වූයේ ක්ෂමාවා බජ්ජායි නමැති චරිතයයි. ඇය මෙන්ම ඉංජිනේරුවරියගේ සිට සමස්ත කණ්ඩායම කාන්තාවන් වූ අතර, ගුවන් ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලක කුලුනේ සිටි ගුවන් ගමන් පාලකවරියන් වූවේද කාන්තාවෝය. ඊට අමතරව ගුවන් තොටුපොළේ මෙම ගුවන් යානය සඳහා වන රාජකාරි කටයුතුවල යෙදී සිටි සියලු දෙනා කාන්තාවන්වීම විශේෂත්වයක් වීය. ක්ෂමාවා ඇතුළු මෙම කාන්තා පිරිස කිලෝමීටර 14,500ක් දුර වූ සැන්ෆ්‍රැන්සිස්කෝව සඳහා යාමට පැය 17ක පමණ ගුවන් කාලයක් ගතකර තිබිණි. මෙම කාන්තා කාර්ය මඩුල්ල මෙහෙය වූ ගුවන් යානය ලෙස සඳහන් වූයේ බෝයිං 737 වර්ගයේ යානයකි.  


එකී තොරතුරු සමග අප නැවත අපේ ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ නියැළී සිටින කාන්තාවන් දෙස විපරම් කර බලමු. වත්මනෙහි මෙම ක්ෂේත්‍රයට අවතීර්ණව සිටින නියමුවරියන් මෙන්ම ඉංජිනේරුවරියන් සහ ගුවන් ගමන් පාලක අංශයේ කාන්තාවන් ද බොහෝය. ඊට අමතරව තාක්ෂණික අංශයේ සිට උපදේශකවරියන් මෙන්ම විවිධ අංශවලට අයත් කාන්තාවෝ බොහෝමයක් සිටිති. එහි හොඳ ප්‍රවණතාවක් ලෙස මෙන්ම ගුණාත්මක බවක් ද තිබෙන බව සඳහන් කළ යුතුමය. එනම් අප රටේ කාන්තාව ලබන අධ්‍යාපන ක්‍රමවේදය නිසාය. ලොව අන් කිසිදු රටකට නොදෙවෙනි ඉහළ මට්ටමේ දැනුමින් පොහොසත් කාන්තාවන් මෙම ක්ෂේත්‍රයේ සිටින වග සඳහන් කළ යුතුම දෙයකි. මෙතෙක් කලක් ලොව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකට වූයේ හේතු කාරණා කීපයක් නිසාය. ඒ අතරින් හොඳම ගුවන් නියමුවරුන් මෙන්ම සත්කාරය ඉහළින්ම ලබාදෙන සේවක පිරිසගේ නාමය ගැන මෙතෙක් ඉහළින්ම වර්තා කෙරිණි. හෙට දින ශ්‍රී ලාංකීය ගුවන් නියමුවරියන් ගැන ද​ ලෝකය මීට වඩා අභිමානයෙන් කතා කරන බව ඉඳුරාම කිව හැකිය. ඔවුන් එතරම්ම දැනුමෙන් සහ බුද්ධියෙන් පොහොසත් වීම ඊට හේතුවය.  

 

සඳුන් ගමගේ