තවමත් හඬන සාමසර කන්ද


 

සාමසර කන්ද නාය ගොස් වසරක් ගත වීමට තව ඇත්තේ දින තුනකි. එහෙත් මිනිසුන්ගේ ඒ වේදනාකාරී මතකය තවමත් පෙර සේමය. වෙනදා වගේම හිරු පායයි. දවස ගෙවෙයි. එහෙත් සිදු වූයේ කුමක්දැයි සිතාගන්නට පවා නොහැකි අසරණ මිනිසුන් ගිනි දැල් පිටවෙන හදවතේ සෝ සුසුම් මැද බලාගත් අත බලාගෙන සිටින්නේ වෙන කරන්නට දෙයක් ඔවුනට ඉතිරි වී නොමැති නිසාය. කාන්තාවන් හඬා වැළපීමෙන් ඒ දුක මඳක් හෝ නවතා ගනීවි. එහෙත් පිරිමින් හදවතේ කොතරම් දුකක් තිබුණ ද හඬා වැළපෙන්නේ නැත. ඔවුන් මහත් වෑයමක් දරා ආයාසයෙන් ඒ දුක ඉවසා දරාගෙන සිටී.


නායගිය සාමසර කන්ද හරිත පැහැයෙන් දිස්වෙයි. කන්දේ ඉහළ පහළ ගිය මිනිස්සු දැන් නැත. සතුන් කුරුල්ලන් එහි සරන්නේය. නමුදු වෙනදා ඵ් අවට සිටි මිනිසුන් අතරින් සිය ගණනක් මළවුන් අතරය. අවතැන් වූ දහසක් දෙනා තැන් තැන්වල ඉදිකළ කුඩාරම්වලට කොටුවී සිටිති.


වියළෙමින් යන සාමසර කඳුළු යළිත් අලුත් වෙමින් තිබේ. ඉන් ඇතැම් කඳුළු සතුටු කඳුළුය. ඒ තමන්ට කියා නිවසක් හිමිවීමේ සතුටය. නමුත් සාමසර කන්දට යට වී මැයි 17 වැනිදා අවසන් ගමන් ගිය තම ඥාති හිතෛෂින්ගේ මතකය නම් ඔවුන්ගේ සිත්වලින් කෙදිනකවත් මැකී නොයනු ඇත.


හිටි හැටියේ නායගිය අරණායක සාමසර කන්දේ උණුසුම මැකි යමින් තිබුණ ද එයින් පීඩාවට පත් වූ ජනතාවගේ හිතේ ගින්දර තවමත් නිවී නැත. 


උපන්දා සිට එළිඟිපිටිය සාමසර කන්දේ ජීවත් වූ මේ අහිංසක ජනතාව ඔවුන් හැදී වැඩී ජීවත් වූ සිරිපුර ගම්මානය අතහැර වසන්තගම අලුත් නිවාසවලට පැමිණියේ දෑස් කඳුළින් පුරෝගෙනය.


 එළඟිපිටිය සිරිපුර ගමේ පදිංචිව සිටි කේ.ජී. පියසේන (62) මහතා ද අවුරුද්දක් තිස්සේ තම සිතේ දුක තද කර ගනිමින් තාවකාලික නිවසක ජීවත් වූ අයෙකි. ඔහුට අද සෙනෙහෙ සියපත ගම්මානයේ නව නිවසක් හිමිව තිබේ. මියගිය තම ඥාතීන් දරු මුණුපුරන්ට දානයක් දී පිං අනුමෝදන් කරන්න පෙරුම් පුරණ ඔහු තමන්ට නව නිවසක් ලබාදීම පිළිබඳ 
දැඩිසේ සතුටට පත්ව සිටීග ඔහු එදා දෛනික ජීවිතය ගෙවා දැමුවේ ලොතරැයිපත් විකුණමින්ය. සාමසර කන්ද නාය යෑමෙන් ඔහුගේ පවුලේ සියලු දෙනාම මේ වන විට ඔහුට අහිමිව ඇත. ඔහු ඒ වේදනාබර මතකය අප හා පැවසුවේ මෙලෙසිනි. 

 


“මගේ ගෙදර හිටියේ මමයි, ලොකු පුතයි, ලේලියි, මුණුපුරෝ දෙන්නයි විතරයි. මගේ නෝනා නැති වෙලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. එදත් උදේ ඉඳන් වැස්සා. මං සාමාන්‍යයෙන් ස්විප් විකුණුවේ ගෙදරින් ගෙදරට ගිහිල්ලා. එදත් උදෙන්ම ගෙදරින් පිටත් වුණා. පුතයි, ලේලියි, දරුවෝ දෙන්නයි ගෙදර හිටියේ. එදා හවස මම 4.30 - 5.00 ට විතර ගෙවල්වලට ළඟ කඬේකට වෙලා හිටියේ. එක පාරටම හෙලිකොප්ටරයක් කඩා වැටෙනවා වගේ ශබ්දයක් ආවා. මං ඉක්මණට අපේ ගෙවල් පැත්තට දිව්වා. තද වැස්සත් එක්ක මීදුමෙන් මුළු පරිසරයම වැහිලා තිබුණා. මං ගෙවල් හරියට යනකොට ඒ පැත්ත ඔක්කොම වැහිලා ඉවරයි. ගෙවල් දොරවල් ඔක්කොම පස්වලින් යට වෙලා. මට මගේ දරුවෝ ඔක්කොම නැති වුණා. වෙනදට මං එනකම් පුතාගෙ දරුවෝ දෙන්නා බලන් ඉන්නවා. මං ගෙදරට ගොඩ වෙනකොට මගෙ ඇගේ එල්ලිලා අහනවා සීයා අද මොනවද ගෙනාවේ කියලා. ආයෙත් මට ටොපි, චොකලට්, චුයින්ගම් අරන් ගිහින් දෙන්න මගෙ දරුවෝ දෙන්නා දැන් නෑ. මං කාටද ආයෙත් ඒවා අරන් යන්නේ. මගේ තනියට දැන් කවුද ඉන්නේ. ඇයි මේ වගේ දෙයක් අපි වගේ අසරණ අයට සිද්ධ වුණේ.” 


ඔහු සිය හදවතේ දුක තද කරගෙන කතා කරයි. ඇස්වලට නැගෙන කඳුළු පිටතට වැටෙන්නට නොදෙන්න ඔහු මහත් වෙහෙසක් දරයි. පියසේන මහතාගේ පුතා කේ.ජී. උපාලි පුෂ්පකුමාර (37), ලේලිය නිලූකා (32) ද මුණුපුරන් දෙදෙනා වන කේ.ජී. තුෂාන් කාවිංග (15), කේ.ජී. රචිර සංජීව (7) ද යන අය මේ අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිතයෙන් සමුගෙන ගොස් අවසන්ය. ඔවුන්ගේ සමු ගැනීමෙන් අද වේදනා විඳින්නේ මේ තනි වුණ මිනිසුන්ය. 


සිරිපුර ගමේ පදිංචිව සිටි එච්.පී. චන්ද්‍රිකා ප්‍රියදර්ශනීගේද (33)  නෙතඟින් වැටෙනා කඳුළු වැල් තවමත් නතර වී නැත. ඇයට අද සිය පණ මෙන් රැකගත් දරු දෙදෙනා නැත. ඔවුන් කොහෙන්දෝ පැමිණ සොරු අරන් ගියා සේය. බුදුන් දවස සිටි කිසාගෝතමිය මෙන් සිය දරුවන් පපු තුරුල්ලේ සඟවාගෙන හඬා වැළපෙන්න කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇට මිටක් රැගෙන එන්නටවත් ඇයට ශක්තියක්, වාරුවක් නැත. ඇය අද හදවතින් හඬා වැළපේ. චූටි පුතුගේත්, ලොකු දෝණිගේත් මතකයන් ඇගේ සිත දවා අළු කරනවා ඇත. ඇය ගෙවනා හැම මොහොතකදීම ඇයගේ දරුවන්ගේ කතා හඬ, සිනා හඬ, පුංචි දේටත් අක්කයි මල්ලියි අඬදබර කරගන්නා හැටි මනසේ මැවි මැවී පෙනෙනවා ඇත. ඇය දෙනෙත්වල සඟවා ගත් කඳුළු හදවතට බර කරමිනි.

 


“ඒ දවස් ටිකේම හරියට වැස්ස තිබුණා. එක දිගටම වැස්සා. අපිට මොනවත් කර ගන්න බැරි වුණා එක දිගටම වැස්ස වැහැපු නිසා. 16 වෙනිදා අපේ ගේ ළඟ ඉවුර කඩාගෙන ආවා. ඒ හින්දා මමයි, මහත්තයයි, දරුවෝ දෙන්නයි එදා හවසම නැන්දලාගේ ගෙදර ගියා. නැන්දලාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල්වලට පල්ලෙහයින්. නැන්දලා දෙන්නයි, ආච්චි කෙනෙකුයි හිටියේ එහේ. 17 වෙනිදත් උදේ ඉඳන් එහේ සිටියේ. අපේ මල්ලි නුවර ඉඳන් එනවා කියලා මට කෝල් කරලා කීවා. ඊට පස්සේ මේ වැස්සත් එක්ක මල්ලිට මෙහේ එන්න එපා කොහෙ හරි නවතින්න කියලා කියන්න හැදුවට ෆෝන් එකේ සල්ලි තිබුණේ නෑ. ඉතිං මමයි මහත්තයයි කඬේට ගිහින් කාඞ් එකක් අරන් එන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ පුතා මගෙත් එක්ක එන්න ඕනෑ කියලා දැඟලුවා. වැස්සේ පුතාව එක්කන් යන්න බැරි නිසා මං පොඞ්ඩක් සැර කරලා පුතාට ඉන්න කීවා. ඊට පස්සේ චූටි පුතා මට කීවා “එහෙනම් අම්මේ මට පුංචි ටෝච් එකක් අරන් එන්න කියලා. ඒක ඇහිලා දුවත් කීවා මට වෙසක් කාඞ් අරන් එන්න කියලා.” ඊට පස්සේ දරුවෝ දෙන්නා නැන්දලා දිහා හිටවලා මමයි මහත්තයයි ආවා කඬේට. එතකොට වෙලාව පහට විතර ඇති. වැහැපු වැස්ස ඒ වෙනකොට චුට්ටක් පායලා තිබුණේ කඬේට ගිහින් කාඞ් එකක් ගත්තට පස්සේ මහත්තයා මට කීවා ඔයා යන්න මං තව ටිකක් ඉඳලා එන්නම් කියලා. මං ඊට පස්සේ ගියා. මඟක් යනකොට විශාල ශබ්දයක් ඇහුණා. මං ඒ ශබ්දෙට බයේ ආපහු කඬේ පැත්තට දුවන් ආවා.


ඒ වෙලාවේ අපේ ගෙවල් පැත්ත දිහා බලනකොට දැක්කේ ලයිට් කණු ටික පල්ලෙහාට කඩා වැටෙනවා විතරයි. එක පාරටම වෙන්න ඕනෑ දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඇහි පිල්ලමක් ගහන පමාව විතරයි ගියේ. මගේ රත්තරං දරු පැටවු දෙන්නා මට නැති වුණා. මම අපේ නැන්දලාගේ ගෙවල් තියන පැත්තට යන්න ලෑස්ති වුණා. ඒත් අක්කා කෙනෙක් ළඟ ඉඳලා කීවා දැන් වෙන්න තියන දේ වෙලා ඉවරයි. ඒගොල්ලෝ ගැන හිතන්න එපා කියලා. මං කොහොමද දෙවියනේ මගේ දරු පැටවු දෙන්නා නැති දුක දරාගන්නේ. මගේ දරුවෝ දෙන්නා හිටපු නැන්දලාගේ ගෙදර නැන්දලා දෙන්නයි, ආච්චියි කවුරුවත්ම නෑ. අද මටයි මහත්තයටයි අලුත් ගෙදරක් ලැබිලා තිබෙනවා මගේ දරුවෝ දෙන්නට පිනක් දහමක්වත් කරගෙන ජීවත් වෙන්න අලුත් ගෙදර පදිංචි වෙන්න ලැබුණු එක් ගැන ගොඩක් සතුටුයි.”


එළඟිපිටියේ සිරිපුර පදිංචි ඊ.පී. සුගතපාල (55) මහතා: 
“අද අපිට අලුත් නිවාසක් ලැබී තිබෙනවා ඒත් අපි ඉපදුණු, හැදුණු වැඩුණු තැන් නැතිව හිතට මොකක්ද වාගේ. තවමත් අපට දෑතේ මහන්සියෙන් දෙයක් කරගෙන ජීවත් වෙන්න ශක්තිය තියෙනවා. මට තේ අක්කරයක් තිබුණා. දැන් ඒ ඔක්කොම ඉවරයි. දැන් මිනිස්සු එක එක කතා කියනවා. නිදන් ගත්තා අරක මේක කතන්දර ගොඩයි. 1969 තමයි අපිට මේ ඉඩම් හම්බුණේ. මේ වෙනතුරු ඔය නිදන් කතාව අහලා තිබුණේ නෑ. මේ සිද්ධිය වෙලා කඳවුරුවලට ආවට පස්සේ තමයි ඒ දේත් දැනගත්තේ. අපි පදිංචි වෙන්න කලින් මේ ඉඩම කොම්පැනි වත්තක්. ඊට පස්සේ සුද්දෝ හිටියා. මේ ඉඩම් බෙදලා දීපු නිසා මේක එළඟිපිටිය ජනපදය වුණා.” 


“මමයි පුතයි තමයි අපේ ගෙදර පදිංචි වෙලා ඉන්නේ. පුතා කොළඹ රස්සාවක් කරනවා. මගේ නෝනා මගෙන් වෙන් වෙලා ඉන්නේ. මේ සිද්ධිය වුණ දවසේ හයියෙන් වැස්සා. ඒක පුදුම වැස්සක්. අපි නිකමටවත් හිතුවේ නෑ මේ වහින්නේ මෙච්චර විනාශයක් වෙන්න කියලා. පුතා මේ සිද්ධිය වෙනකොට ගෙදර හිටියේ නෑ. එයා කොළඹ හිටියේ. අපේ ගෙදරට ළඟ තිබුණ ඉවුර පාත් වුණ නිසා පහළොස් වෙනිදා අපේ අම්මලාගේ ගෙදර ගියා. එදත් හවස් වෙනකන් අම්මලාගේ ගෙදර ඉඳලා හවස 4.30 ට විතර තේ එහෙම බීලා කඬේ ළඟට ගියා. කඬේ ළඟට ගිහින් විනාඩි දෙකක් විතර ඇති. විශාල පිපිරීමක්  ඇහුණා එක පාරටම ඒ වෙලාවේ අපි උඩහට දිව්වා. පැයට කිලෝමීටර පන්සීයක, හයසීයක වේගයකින් විතර වගේ නාය ගියා කියලා තමයි මට දැණුනේ. අපේ ගෙවල්, අම්මලාගේ ගෙවල් තිබ්බ තැනක්වත් නෑ. අම්මලාගේ ගෙදර හිටපු කවුරුත්ම නෑ. දැන් ගල් තලාව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.”

 


එළගිපිටිය ජනපදයේ අජිත් සෙනෙවිරත්න (45) මහතා:
“මගේ නෝනයි බාල පුතයි, අම්මයි, නංගියි, මල්ලියි, මස්සිනයි නායට යට වුණා. ඉඩකඩම් සේරමත් නැති වුණා. වසන්තගම රයිනෝ ආයතනයෙන් ඉදිකළ නිවසක් ලැබුණා. නමුත් ජීවත් වෙන්න රස්සාවක් නෑ. මම වඩු වැඩ කළේ. මගේ ආයුද ඔක්කෝම නායට අහුවුණා. අපේ පවුලේ මියගිය අයගෙත් අතුරුදන් වූ අයගෙත් මරණ සහතිකවත් අපට තාම ලැබුණේ නැහැ. නාය ගිහින් දැන් අවුරුද්දක් වෙනවා. විනාශ වෙච්ච කර්මාන්ත පටන් ගන්න රුපියල් ලක්ෂ තුනක් දෙනවා කීවා. නමුත් අද වෙනකම් ලැබුණේ නැහැ. හරි හැටි රස්සාවක් නැතිව ජීවත් වෙන්න අමාරුයි. මියගිය අය වෙනුවෙන් අවුරුද්දේ පිංකම කරන්නවත් සල්ලි නෑ. අපි ජීවත් වෙන වසන්තගම ගෙවල්වලට වතුර නෑ. අපි තවමත් දුක් විඳිනවා. මරණ සහතික, අතුරුදන් සහතික නැතිව අපිට වන්දියක් රක්ෂණ මුදලක් ගන්න විදිහක් නෑ.”


දෙබත්ගම, පල්ලේබාගේ එම්.පී. පාලිත අජිත් කුමාර (45) මහතා: 
“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. අවුරුද්දක් තිස්සේ අපි ඉන්නේ  කුඩාරම්වල. නාය ගියාට පස්සේ අපි කඳවුරුවලට යැව්වා. පස්සේ නෝනයි මමයි සාමසර කන්ද පාමුල තැඹිලි , බඩඉරිඟු විකිණුවා. නාය ගිය කන්ද බලන්න ඒ දවස්වල ගොඩාක් අය ආවා. මට හොඳ වෙළඳාමක් තිබුණා. මම තැඹිලි විකුණලා රුපියල් 30,000 ක් විතර හොයා ගත්තා. ඒ සල්ලිවලින් රෙදි මහන්න මැෂිමක් ගත්තා. කූඩාරමේ ඉඳන් රෙදි මහලා විකුණලයි අපි අද ජීවත් වෙන්නේ.”


එළිගිපිටිය ජනපදයේ ජේ.පී. ඩෙව්ඩි (70):
“නාය ගිහින් දැන් අවුරුද්දක් වෙනවා. අපි තවම දුක් විඳිනවා. අපි ගැන බලන්න කවුරුත් නෑ. අපිට කියලා කිසි දෙයක් ලැබුණෙත් නෑ. ඇතැම් නිලධාරීන්ට ඕනෑ විදිහට තමයි පවුල් ඉවත් කරලා ගෙවල් දෙන්නේ. අපි දැන් තනිවෙලා. අපේ ජීවිතේ අන්තිම කාලයවත් සතුටින් පිනක් දහමක් කරගෙන මැරෙන්න තියෙනවා නම් හොඳයි. අපිට ජීවත් වෙන්න තිබුණ හැම දෙයක්ම නැති වුණා. බෙහෙත් ටිකක් ගන්න යන්නවත් ඇඟට වාරුවක් නෑ. දැන් අපි ගැන හොයලා බලන්න කවුරුත් නෑ. ඉස්සර නම් ලොකු ලොකු මහත්වරු ආවා ගියා. අද ඒ අය එන්නේ නෑ.”


දෙබත්ගම, පල්ලේබාගේ ඒ. ගුණපාල (58):  
“මම ආබාධිතයෙක්. නාය ගිය දවසේ ඉඳලා වියන්එළිය කඳවුරේ හිටියේ. අපි ගැන අද හොයලා බලන්න කවුරුත් නෑ. නාය ගියාට පස්සේ අපිට ලැබුණ දේවල් අද දෙන්නේ නෑ. ගෙයක් දොරක් හරියට අපිට නෑ. අපි තවම නාය කටේ ජීවත් වෙන්නේ අතේ මිටේ සල්ලි නෑ. වියදමට කීයක්වත් නෑ. අන්ත අසරණ වෙලා අපි මැරි මැරී ජීවත් වෙන්නේ.”


උස්සාපිටිය අවතැන් කඳවුරේ ජීවත්වෙන තිදරු මවක් වන පී.ආර්. සන්ධ්‍යා කුමාරි ජයකොඩි (35):
“මමයි මහත්තයයි දරුවො තුන්දෙනා ජීවත් කරන්න ලොකු සටනක් කරනවා. මේ කූඩාරම්වල දරුවන් තියාගෙන අපි දැන් අවුරුද්දක් තිස්සේ ජීවත් වෙනවා. අපිට හරිහැටි උදව් කරන්න කවුරුත් නෑ. මහත්තයා පමුණුවට ගිහින් රෙදි ගේනවා. අපි දෙන්නම කූඩාරමේ මැෂිමක් තියාගෙන රෙදි මහනවා. දරුවන් ඉස්කොලේ යවන්නයි ජීවත් වෙන්න සල්ලි හොයා ගන්නයි අපි ලොකු දුකක් විඳිනවා. අපිට කවදා ගෙයක් ලැබෙයිද කියන්න බෑ. කළුගල වත්තේ අපිට ගෙවල් හදනවා කියන්නේ. ඒත් ඒ ගෙවල් අපිට කවදා දෙයිද දන්නේ නෑ.”


අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඞ්ගඒගඑම්ග ෆයිසල් මහතා:
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 61 කි. 2016 මැයි මස 17 වැනිදා අරණායක සාමසර කන්ද නාය යෑම නිසා සිදු වූ ආපදා තත්ත්වයෙන් එළඟිපිටිය, දෙබත්ගම පල්ලේබාගේ, මෝරාගම්මන, දෙබත්ගම උඩබාගේ හා ගංතුන උඩගම ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 29 කට පමණ බලපෑවේය. 


2016 මැයි මස 17 වනදා සිට අරණායක පවුල් 1426 ක් හා පුද්ගලයන් 4291 ක් පමණ ආපදා තත්ත්වය නිසා අවතැන්වූහ. ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත කඳවුරු 23 ක් ස්ථාපිත කරන ලදී. මරණ සංඛ්‍යාව 31කි. අතුරුදන් සංඛ්‍යාව 96 කි.


පූර්ණ හානි නිවාස සංඛ්‍යාව 72 කි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව අධි අවදානම් (නැවත වෙනත් ස්ථානයක පදිංචි කළයුතු) පවුල් සංඛ්‍යාව 571 කි. අර්ධ හානි නිවාස සංඛ්‍යාව 288කි.


තාවකාලික කූඩාරම් හා තාවකාලික නිවාස සංඛ්‍යාව 480 කි. කඳවුරු 11 ක 2061 පිරිසක් පදිංචි වී සිටිති. හානි වූ නිවාස සඳහා දැනට ලබා දී ඇති අත්තිකාරම් මුදල් ප්‍රමාණය රු.1408605.25


රජයේ ඉඩම්වල නැවත පදිංචි කරවීම සිදු කෙරෙන අතර දැනට වසන්තගම ස්ථිර නිවාස 57 ක් ඉදිකර එයින් රයිනෝ ආයතනය ඉඳිකළ නිවාස 20 ක පවුල් 20 පදිංචි කර ඇති අතර තවත් පවුල් 30 ක් සඳහා ඩයලොග් ආයතනය හා රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් එක්ව ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිවාස 30 ක්ද, ඉදිකර අවසන් කර ඇත. තවත් පරිත්‍යාගශීලීන් 7 දෙනෙකු විසින් නිවාස 7 ක් ඉදිකර දීමට කටයුතු කරමින් සිටී. මීට අමතරව දෙබත්ගම කලුගල වත්තේ හැබිටෑටි ආයතනය විසින් නිවාස 40 ක් ඉදිකරමින් පවතී. හබලක්කාව  ප්‍රදේශයේ පවුල් 46 ක් සඳහා ද ස්ථිර නිවාස ඉදිකරමින් පවතී.


අඹදෙණියවත්ත වේරගොඩ පවුල් 42ක්ද, තල්ගස්පිටිය පණපුරවත්ත පවුල් 30 ක්ද, දුල්දෙණිය වත්ත පවුල් 20 ක්ද,  පදිංචි කරවීම සඳහා ඉඩම් හඳුනාගෙන තිබේ.


රුවන්දෙණිය උඩවිහාරතැන්න චීන රජයේ අනුග්‍රහයෙන් ඉදිවන නිවාස 100කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩ දැනට ආරම්භ කොට ඇත. ශ්‍රී්‍රි ලංකා රතු කුරුස සමාජය නිවාස 100යක ව්‍යාපෘතියක් මේ වසර තුළ අදියර 4 කින් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර තිබේ.


පුද්ගලිකව ඉඩම් මිලදී ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත ඉල්ලුම්කර ඇති පවුල් සංඛ්‍යාව 132 කි. පුද්ගලිකව ඉඩම් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 04 බැගින් ගෙවා ඇති සංඛ්‍යාව පවුල් 34කි. නිවාස ඉදිකිරීම සඳහා වාරික මුදල් ලබා දීම. පළමු අදියරේ රු. ලක්ෂ 40000 බැගින් පවුල් 76 කටද, දෙවැනි අදියරේ රුපියල් 110000 බැගින් පවුල් 157කට ද ලබා දීමට කටයුතු කර ඇත.


අනුග්‍රාහක දායකත්වය මත ඉදිකරන නිවාස සංඛ්‍යාව 296කි. රයිනෝ රූෆින් ප්‍රඩක්ට් ආයතනය වසන්තගම නිවාස 20ක් ද, ඩයලොග් ආයතනය සෙනෙහෙ සියපත වසන්තගම නිවාස 30ක් ද, හැබිටෑටි ආයතනය කළුගල නිවාස 40ක් ද, චීන රජයේ අනුග්‍රහයෙන් රුවන්දෙණියේ මහල් නිවාස 100ක් ද, රතු කුරුස සමාජයෙන් නිවාස 100ක් ද, අනිකුත් පරිත්‍යාගශීලීන්ගේ නිවාස 07ක් ද ලෙස අවතැන් ජනතාව සඳහා නිවාස ඉදිකෙරේ. 

 

සටහන ඡායාරූප - අරණායක - 
ප්‍රදීප් කුමාර ධර්මරත්න