දඹුල්ලෙන් ආ හූව නතර නොකළොත් ?


 

 

‘දන්නවද? ක්‍රිකට් ක්‍රීඩාව පවතින රටවල් අතරින් හොඳම ප්‍රේක්ෂකයන් සිටින්නේ කොහේද?  
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් විචාරයකු ටෝනි ග්‍රේග් ප්‍රවීණයාගෙන් එසේ විමසීය. ‘කතා දෙකක් නැහැ. ඒ තමයි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය’ යැයි ටෝනි ග්‍රේග් උද්දාමයෙන් මෙන් පැවසීය. ඔවුනට ජය පරාජය කුමක් වුවද එය සුන්දරව නිහතමානීව විඳ දරා ගත හැකි පිරිසක්. ක්‍රිකට් පිටියට විලාසිතාකරණය ඒ වගේම අපූරු රිද්මයක් එක් කළේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්, ඒකෙ ආයේ කතා දෙකක් නැහැ.’ ටෝනිගේ අදහසට එකඟ වෙමින් තවත් ජාත්‍යන්තර විචාරකයකු එසේ කීවේය. ඒ කලකට ඉහතදීය. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරය ගැන ජාත්‍යන්තරයට එලෙසින් සුන්දරව කරුණු කී ටෝනි ග්‍රේග් අද ජීවතුන් අතර නැත. නමුත් ඔහු මෙන්ම තවත් ​බොහෝමයක් වූ ජාත්‍යන්තර විචාරකයන්​ ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ගිය ඒ අපේ කමේ සුන්දරත්වය තවදුරටත් අපේ ප්‍රේක්ෂකාගාරයේ තිබේද? පසුගිය දා දඹුල්ලේ පැවැති ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ පරාජයෙන් අනතුරුව යම්කිසි පිරිසක් ක්‍රීඩාගාරය පිහිටි ගොඩනැගිල්ල දෙසට ‘හූ’ හඩකින් සංග්‍රහ කළෝය.  


එය ක්‍රීඩකයන් වෙතද? නැතිනම් පරිපාලනයටද? නොඑසේ නම් කාටදැයි කියා අපි නොදනිමු. එය දන්නේ මේ හූ හඬ නඟමින් එලෙසින් හැසිරුණු ඒ පිරිසම පමණෙකි. ශ්‍රී ලාංකේය ප්‍රෙක්ෂකාගාරය යනු ජය පරාජය සමසේ විඳදරා ගත හැකි සුන්දර ප්‍රේක්ෂකාගාරයකි. වෙසෙසින්ම පරාජ හමුවේ තම රටේ ක්‍රීඩකයන්ට අගෞරව කරමින් හැසිරුණු පිරිසක් නොවේ. තරග සියයක් දිනා එක් තරගයක් පරාජය වූ පසු තම රටේ ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට පවා අලාභ හානි කරන උන්මන්තක ලීලාවෙන් හැසිරෙන පිරිසක් අපට නැත. ඉන්දියාවේ බංග්ලාදේශයේ මෙන්ම පාකිස්ථානයේද එවැනි පිරිස් දැකගත හැකිය. ඔවුන් එලෙසින් හැසිරෙන්නේ නූගත්කම නිසා යැයි බොහෝ දෙනා විශ්වාස කරන දෙයකි. අපේ ප්‍රේක්ෂකාගාරය එසේ විය යුතුද දඹුල්ලේදී හූ හඬ නැගී ඒ පිරිසගේ ප්‍රතිචාරය ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටි කීප දෙනෙකු ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූයේ මෙලෙසිනි.  

 


සිදත් වෙත්තමුණි (ලෝඩ්ස්හි වීරයා)  
(ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකි. පසුකලෙක පරිපාලනයට සම්බන්ධ විය.)  


සිදත් මේ ගැන ඔබ කොහොමද හිතන්නෙ?  


ඒක එතරම්ම ලොකු සිදුවීමක් නෙවෙයි. විශේෂයෙන්ම තරගයක් පරාජය වූ පසු එසේ විය යුතුම නැහැ. සමහර විට අපේ ක්‍රිකට් පරිපාලනය ගැන වූ අසතුටුදායක හැඟීම නිසා ප්‍රේක්ෂකාගාරය වෙතින් එවැනි දෙයක් සිදුවුණාද දන්නේ නැහැ. මොන විදිහකට හෝ එය අනුමත කළ හැකි දෙයක් නම් නෙවෙයි.  

 


අනුර තෙන්නකෝන්  
(ටෙස්ට් වරම් ලබා ගැනීම දක්වා ශ්‍රී ලංකාව පැමිණි ගමනට නායකත්වයක් ලබා දුන් අපූරු ආරම්භක පිතිකරුවෙකු විය.)  
මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කිසිම ක්‍රීඩකයකු කවරදාවත් පැරදෙන්න බලාගෙන ක්‍රීඩා කරන්නේ නැහැ. එයාලට පුළුවන් හොඳම දේ කරලා ජයගැනීමට තමයි උත්සාහ ගත්තෙ. 


නමුත් නොසිතූ විදිහට එක්වරම පිතිකරණ රිද්මය කඩා වැටුණාම කණ්ඩායම අඩු ලකුණු ගණනකට සීමා වෙනවා. එදා දඹුල්ලේ තරගයේදී සිද්ධ වුණෙත් එයයි. හොඳට ලකුණු රැස් කරලා සිටියදී එක්වර කඩා වැටුණා. හැබැයි එහෙම වුණාය කියලා කණ්ඩායමට ලජ්ජා කළ යුතු නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි කරන්නට ඕනෑ පෙරටත් වඩා ඔවුන්ව ධෛර්යමත් කරවීමයි.  

 


ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙරත් මෙවැනි සිදුවීම් වෙලා තියෙනවද?  
එක් වතාවක කොළඹ එස්.එස්.සී. පිටියේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයක් පැවැත්වුණා. අපි ලකුණු සියයකට අඩුවෙන් දැවී ගියා. කොදෙව්වෝ ඉතා සීමිත පන්දු ඕවර ගණනකදී ඒ ලකුණු ප්‍රමාණය ලබගෙන ජයග්‍රහණ්‍ය කළා. එදා අපි පන්දු රකිමින් සිටියදී ප්‍රේක්ෂකයන් ඔවුනගේ නොසතුට පළ කළා. හැබැයි තරගයෙන් අනතුරුව මේ විදියට හැසිරුණේ නම් නැහැ.  

 


බ්‍රෙන්ඩන් කුරුප්පු 
(ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු)  
මට මතක තියෙන විදියට ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එල්ල වුණේ දෙවැනි වතාවටයි. 1984 දී හෝ 85 දී ඕස්ට්‍රේලියාව සමඟ අස්ගිරියේ තරගයක් පැවැත්වුණා. හූ කියලා ගල් ගහලා වගේ සිදුවීමක් වූ බව මතකයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ඇත්තෙන්ම බුද්ධිමත්. එයාලා මේ වගේ දේ ලෙහෙසියෙන් කරන අය නෙවෙයි. මෙතැනදී කුමන අරමුණක් ඇතිව හූ කීවාද කියා මම දන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකාගාරයේ ඉවසීම කියන දේ ඉවසලා බැරිම තැන එහෙම වුණාද කියා දන්නෙත් නැහැ. නමුත් එය කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි. ඒ වගේම මෙවැනි තත්ත්වයකට ප්‍රේක්ෂකයන් පත් කරවන්නේ කවුරුන්ද? යන්නත් අපට විමසිය යුතු වන කාරණයක්. දැනට පුහුණුකරු ලෙස කටයුතු කරන ‘නික් පොතාස්’ ජාත්‍යන්තර මාධ්‍යයට කී දේ වෙතින් යම් යම් දේ ගැන පැහැදිලි කරගත හැකියි. ඔහු කුමක්ද ප්‍රකාශ කරන්න හදන්නේ කියන දේ ලෙහෙසියෙන් බැහැර කළ යුතු දෙයකුත් නෙවෙයි.  

 


අසන්ත ද මෙල්  
(හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටි ප්‍රවීණයෙකි.)  
මේ වගේ සිදුවීමක් 84 දී වගේ සිද්ධ වුණා. මහනුවර අස්ගිරියේදී. එදා අනතුරකට ලක්වෙලා හිටපු නිසා මම ක්‍රීඩා කළේ නැහැ. මගේ ක්‍රිකට් ජීවිතයේදී දන්නා කාලයකට වූ සිදුවීම එයයි. අද මේ විදිහට ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වන්න ඇත්තේ ඔවුනට ක්‍රිකට් එපා වෙලාද මන්ද්‍ා? කොහොම වුණත් ‘ක්‍රිකට්’ ගැන වැඩිදුර කතා කරන්න නම් මම කැමැති නැහැ.  

 


ධම්මික ප්‍රසාද්  
(ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සාමාජික)  
මේ ‘හූ’ තැබීම මොන විදිහට මොන අරමුණක් නිසා ඇති වුණා ද කියා මම දන්නෙ නැහැ. පාකිස්ථානයේදී, ඉන්දියාවේදී වගේම බංග්ලාදේශයේදීත් මේ වගේ සිදුවීම්වලට අපි මූහුණ දීලා තියෙනවා. නමුත් අපේ ප්‍රේක්ෂකාගාරය නම් හරිම බුද්ධිමත්, ඉතින් මම අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නෙ තරගයක් නිතරම එකම මිම්මකින් මනින්න එපා කියලයි. නිතරම විශිෂ්ට සැසඳීමෙන් බැලුවාම සමහර විට විවිධ අදහස් එන්න පුළුවනි. අපේ හිටපු විශිෂ්ටයන්ගේ නොමැකෙන අසහාය තරග රිද්මය අද සිටින අයගෙනුත් සමහර විට ප්‍රේක්ෂකාගරය බලාපොරොත්තු ​ෙවනවා ඇති. නමුත් අපිට නිතරම විශිෂ්ටත්වයෙන්ම වැජඹෙන්න බැහැ. ඒ වගේම තරගයක් පරාජය වුණාම වැඩියෙන්ම දුක්වන්නේ ඒ තරගය ක්‍රීඩා කළ ක්‍රීඩකයන්. සමහර විට ඔවුනට දින ගණනක් හරියට කෑමක්වත් ගන්න බැරි තරමට දුක්වන අවස්ථා තියෙනවා. අද අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් නිරත්තරයෙන් ක්‍රීඩා කරලා ආබාධවලට ලක්වෙලා. ඒ නිසා මේ හොඳම 11 දෙනා නොවේ කියලත් සමහර විට ප්‍රේක්ෂකයන් හිතන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න මේ හැමෝම හරිම දක්ෂයන්. අනෙක ජාත්‍යන්තරයට ගිය අපේ රටේ එකම ක්‍රීඩාව ක්‍රිකට්. රටක් විදියට අපි මේ වෙලාවෙ හිතන්නට ඕනෑ 2019 ලෝක කුසලානය ගැනයි. ඔහොම අන්තිම අඩියට වැටිලා හිටපු පාකිස්තානය අන්තිමට ශූරයන්ගේ කුසලානයත් දිනා ගත්තා. තරග කීපයක් පරාජය වෙද්දී මානසිකව වැටෙන බව ඇත්ත. එයින් ගොඩ එන්න හැමෝගෙම ආශිර්වාදය අවශ්‍යයි. මගේ විශ්වාසයේ හැටියට නොබෝ දිනකින් යළිත් අපේ කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම බවට පත්වෙනවා. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ශක්තිය හැමදාටම අපට හරි අගනේයි.  

 


දිල්හාර ප්‍රනාන්දු  
(ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක)  
මේ සිදුවීම ගැන මම පැති කීපයකින්ම දකිනවා. ක්‍රිකට් ගහන ආසියානු කලාපයේ වෙනත් රටවලදී අපිට බොහෝ විට එවැනි ප්‍රතිචාර ලැබෙනවා. නමුත් අපේ රටේදී මේ වගේ දේ සිදුවුණොත් එය ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හොඳ දෙයක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් මේ විදියට ‘හූ’ කිව්වෙ මොන වගේ අරමුණක් ඇතිවද කියලා දන්නේ ඒ හූ කියපු පිරිසම විතරයි.  


 මොන විදියට සියල්ල සිදුවුණත් කණ්ඩායමක් හැටියට මීට වඩා ශක්තිමත්ව ක්‍රීඩා කිරීම වැදගත්. දිගටම පරාජය ලැබීම යනු එතැන ලොකු අඩුපාඩුවක් නිසා විය හැකියි. ඉතිහාසයේ දිගටම අපි මේ විදියට තරග පරාජය වෙලා නැහැ. මම කියන්නේ මේ ස්වභාවයෙන්. ඒ නිසා ඒ ස්වභාවය වෙනස්කර ගන්න ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. අස්වැන්න හරියට නෙළා ගන්න නම් වැපිරීම හරියට කළ යුතුය කියන කාරණා ගැන හිතන්න වෙනවා. මම කණ්ඩායමට ක්‍රීඩා කළා හෝ නොකළාට පැරදෙනවාට මම හරි අකමැතියි. ඒ නිසා පරාජයත් මටත් දරාගන්න අමාරුයි. ක්‍රිකට්වලට හැකියාවන් තියෙන ක්‍රීඩකයන් සිටින හොඳම රටක් මේක. පුදුම හැකියාවක් තියෙන රටක් කිව්වොත් හරි. නමුත් ප්‍රශ්නය වන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියන එකයි. ඒ නිසා තමාගෙන් කුමක්ද හරියට විය යුත්තේ කියලා ක්‍රීඩකයන් තේරුම් ගැනීම අතිශයින් වැදගත්. ‘හූ’ කියන එක වෙන රටක දී වුණා නම් දරා ගන්න පුළුවන්. තමුන්ගේ රටේදීත් එය දරාගත යුතුම වෙනවා. ක්‍රීඩකයකු යනු මානසිකව එතරම්ම ශක්තිමත්. නමුත් මේ ‘හූව’ කොහොම ​ෙමාන විදියට කවුරු කළ දෙයක්ද කියා මට නම් තේරෙන්නේ නැහැ. අවුරුද්දකට විතර කලින් මෙච්චර හොඳට හිටපු මේ කණ්ඩායම අවුරුද්දකට පසුව මෙහෙම වුණේ ඇයි? ඒ ගැන වගකිව යුතු හැමෝම දෙවරක් නොව කීප වරක්ම සිතිය යුතු කාරණායි.  

 


ජයන්ත ධර්මදාස  
(ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති සහ හිටපු උප සභාපති)  
ප්‍රේක්ෂකයන්ගෙන් දඹුල්ලට හූවක්? ඇයි මෙහෙම වෙන්න ඇත්තේ?  
මම එය එක හෙළාම ප්‍රතික්ෂේප කරනවා. මිලියන විස්සක් සිටින රටක ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ගහන්න ක්‍රීඩකයන් 20ක් සොයා ගැනීම ඉතා අමාරු දෙයක්. ජාත්‍යන්තර ස්වභාවයේ හැටි එහෙමයි. ප්‍රේක්ෂකයන්ගේ හිතේ දුකට අරවා මේවා කියන්න පුළුවනි. නමුත් එතැනින් එහාට ගොස් මෙවැනි දේ නම් සිදුවිය යුතු නැහැ. මේ විදිහට කවරදාවත් තරගයක් පරාජය වූ පසු අපේ රටේ වෙලා නැහැ. අපේ රටේ සිටින්නේ ඉතා බුද්ධිමත් උගත් ප්‍රේක්ෂක පිරිසක්. ඒ වගේම ක්‍රිකට් ගැනත් දැනුම් තේරුම් ඇති පිරිසක්. ඒ උසස් තත්ත්වය අපි දිගටම රඳවා තබා ගැනීම හරිම වැදගත්.  


ක්‍රිකට් පරිපාලනයෙහි හිටපු ජයන්ත ධර්මදාස මෙන්ම තවත් ප්‍රවීණයන් මෙන්ම වත්මනෙහි සිටින ක්‍රීඩකයන් පවසන විදිහට අපි ලෝකයේ යහගුණයෙන් සපිරි ක්‍රීකට් ප්‍රේක්ෂකාගාරයක් වන්නෙමු. ක්‍රිකට් ක්‍රීඩාව ඒ යහගුණයෙන් යුතුව ආස්වාදය කරන පිරිසක් ලොව තවත් නැතැයි කියා අපට ආඩම්බර විය හැකිය. ඒ නිසා දඹුල්ලේ ‘හූව’ සමස්ත ප්‍රේක්ෂකාගාරයේ හූව නොවේය. එය එතැනින්ම අවසන් කිරීම ක්‍රිකට් ආධ්‍යාත්මය කොට ගත් බුද්ධිමත් ප්‍රේක්ෂකයාගේ දැක්ම විය යුතුය. එළැඹෙන තරගවල දී අපි අපේ විශිෂ්ටත්වය ​ලොවට ප්‍රදර්ශනය කිරීම උදෙසා ක්‍රීඩකයන්ද දිරි ගන්වමින් හැසිරීම ජයග්‍රහණයේ මාවත විවර කිරීමට ද හේතුවක් වනු ඇත. ශ්‍රී ලංකාව යනු නිකම්ම දූපතක් නොවන වගත් විශිෂ්ට ඉතිහාසයක් සහ විනයක් ඇති රටක් ලෙස විනා ගෝත්‍රිකයන් වෙසෙන රටක් නොවන්නේය. ඒ නිසා ‘හූ’ වක් තැබීමට පෙර රටේ ගෞරවය ගැන සිතා කටයුතු කිරීම එදා දඹුල්ලේ දී හූ කියූ පිරිස දැනගත යුතුම කාරණයක් වන්නේය. ජය පරාජය කෙසේ සිදුවුවද යළිදු එවැනි දෙයක් සිදුනොවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සටහන  සඳුන් ගමගේ