දරු පවුලම අසරණ කළ පොලිස් නිලධාරියාගේ තීන්දුව


පසුගිය 21 වැනිදා උදෑසන මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් නවාතැන් ගන්නා පොලිස් නිවස්නය රත්පැහැ ගැන්වුණේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුධිරයෙනි.   


ඉංගිරිය, හඳපාන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි සරත් පේ‍්‍රමසිරි නමැති සිය දිවි නසා ගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා තිදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් දියණිය විවාහවී වෙනම ජීවත්වන අතර ඇය ද එක්දරු මවකි. දෙවැනි දියණිය ඇඟලුම් කම්හල් සේවිකාවකි. බාල දියණිය තවමත් අවුරුදු දහසයක් පමණ වන පාසල් යන සිසුවියකි.   


විවේක ගැනීම සඳහා මුල්ලේරියාව පොලිසියේ පොලිස් නිවස්නයට පසුගිය 21 වැනිදා උදේ පැමිණි ප්‍රේමසිරි මහතා සමඟ සේවය කරන තවත් නිලධාරියෙකුට එහි ඇතුලු වනවාත් සමගම ලේ දහරාවක් ගලා යන අයුරු දැකිය හැකිවිය. හෙතෙම ලේ ගලා එන දිසාව ඔස්සේ නිවස්නයේ ඇතුළට ගියේය. එහිදී දැකිය හැකි වූයේ තමන් සමඟ එකට රාජකාරි කළ ප්‍රේමසිරි මහතා ලේ විලක් මැද වැටී සිටින අයුරුය. ප්‍රේමසිරි මහතාගේ හිසෙන් ලේ ගලාගොස් ඇති බවද ඔහුගේ ගිනිඅවිය ද ඒ අසල වැටී තිබෙන අයුරුද ඔහු දුටුවේය. ඔහු වහාම පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කළේය.   


ප්‍රේමසිරි මහතාගේ බිරිඳ හා දරුවන්ට මෙය අදහා ගත නොහැකි ගැටලුවකි. සිය සැමියා, සිය පියා රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇති බව පිළිගන්නේ කෙසේද? වැඩිමහල් දියණිය නම් තම ජීවිතය ගැටගසා ගැනීමට මාර්ග හෙළි කරගෙන ඇත. එහෙත් තවමත් දහය වසරේ ඉගෙනුම ලබන බාල දියණිය රැකබලා ගැනීම බිරිඳට තනිව පවරා ප්‍රේමසිරි මහතා සියල්ලන්ගෙන් සමුගෙන ගොසිනි. මෙවැන්නක් කරගැනීමට හේතුව කුමක්ද? පවුලේ ප‍්‍රශ්නයක්ද? රාජකාරි ප‍්‍රශ්නයක්ද? ආදී ලෙස සමාජයේ විවිධ කතාබහ මතුවේ. ඒ සියල්ලට කිසිවක් නොදන්නා මේ දරුවන් සමඟ බිරිඳට තනිව මුහුණ දීමට සිදුව තිබේ.   


ප්‍රේමසිරි මහතාගේ සිය දිවිනසා ගැනීම පිළිබඳව විවිධ මත පළ විය. දියණියක රෝගිවී සිටින බැවින් ඔහු ඒ ගැන කණස්සල්ලෙන් සිටි බව ඇතැම් මාධ්‍යවල පළවිය. තවත් විටෙක මානව හිමිකම් නඩුවක තීන්දුව ලැබෙන්න තිබූ දිනයේ එයින් වරදකරු වෙයි යන බියෙන් මෙය සිදුකර ගන්නට ඇති බවට ද මතයක් පළවී ඇත. තමන්ට ලැබෙන තීන්දුව නිසා දරුවන් හා බිරිඳ සමාජයේ අපහසුතාවයට ලක්වෙයි යන කණස්සල්ලෙන් පසුවූ බවත් ඒ නිසා වෙඩි තියාගෙන මැරෙන්න හිතෙනවා යැයි තමන් සමඟ පැවසුවේ යයි ඔහු ළඟින් ඇසුරු කළ ඇතැම් මිතුරන් පවසයි.  


ප්‍රේමසිරි මහතා වසර තිහක පමණ සේවා කාලයක් සපුරා ඇති අතර විශ‍්‍රාම ගැනීමට ඔහුට තවත් ඉතිරිව තිබුණේ වසර තුනක පමණ කාලයකි. එසේ තිබියදී ඔහු සිය දිවි නසා ගත්තේ ඇයි ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ   
මුල්ලේරියාව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ ප්‍රේමසිරි මහතා ඊට පෙර කොට්ටාව පොලිසියේ සේවය කළ නිලධාරියෙකි. 2015 වසරේ ජුලි නවවැනිදා රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු හය දෙනෙකුට එරෙහිව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පැවතිණ. එහිදී අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ බව කියන සැකකරු වෙනුවට අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර තිබෙන්නේ වෙනත් පුද්ගලයෙක් බවට ද මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල විය. එහෙත් සාක්ෂිවල තිබූ පරස්පරතා හේතුවෙන් පහරදීමක් සිදුව ඇතත් එය සිදුකළ අය කවුදැයි නිශ්චය කළ නොහැකිව නඩුව නිෂ්ප‍්‍රභ විය.   


පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා එතැනින් නොනැවතී මෙම නිලධාරින් හය දෙනාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. අංක 259/16 යටතේ පවතින එම නඩුව මේ වනවිට විභාග වෙමින් පවතින අතර ප්‍රේමසිරි මහතා සිය දිවි නසාගත් දිනයේද එහි එක් නඩුවාරයක් පැවතිණ. මේ අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගොනු අංක 137/17 යටතේ කරන ලද විමර්ශනයකදීද මෙම පහරදීම පිළිබඳ කරුණු හා අධිකරණ වෛද්‍යවරයාට සැකකරු වෙනුවට වෙනත් අයෙකු ඉදිරිපත් කර ඇති බවට කරුණුද හෙළිදරව් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් මිය ගිය ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරින් හය දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බවද පොලිස් ආරංචිමාර්ග මගින් දැනගන්නට ඇත.     


මෙසේ ප‍්‍රශ්න රැසක් එකවිට මතුව තිබෙන තත්ත්වයක් තුළ එයට මුහුණ දෙන්නේ කෙසේද? මේවා දරුවන්ට බලපාන්නේ කෙසේද? වැරදිකරුවෙක් වුවහොත් තමන් පවුලට ගමට මුහුණ දෙන්නේ කෙසේද? යනාදී ප‍්‍රශ්න රැසක් ඔහු තුළ මතුවුවා විය හැකිය. මෙම වරදක් කළා නම් එයට ඔහු පැටලුණේ ඉහළ නිලධාරින්ගේ උවමනාවට බවද ඒ නිලධාරීන් කිසිවක් නොවු පරිදි තම රාජකාරි කරගෙන යද්දී පේ‍්‍රමසිරි මහතා වැනි පහළ නිලධාරින් මේ ප‍්‍රශ්නවලින් හෙම්බත් වන බවත් මේ මරණයට සැබෑ වගකිව යුත්තන් වන්නේ ඔහු වරදකට පොළඹවමින් උපදෙස් දුන් ඉහළ නිලධාරීන් බවත් තවත් සමහරෙක් පවසති.   


ප්‍රේමසිරි මහතාගේ බිරිඳ නාලිකා හපුත්නත‍්‍රි මහත්මිය තම සැමියා ගැන මෙසේ සිහිපත් කරන්නීය.   


මහත්තයා අපි හැමෝටම හොඳින් සැලකුවා. අපි ආදරෙන් හිටියා. මිය යන්න දවස් කීපයකට පෙරත් ගෙදර ආවා. ඒත් කළකිරීමක් ගැන සිත් තැවුලක් ගැන කිව්වේ නැහැ. මේ නඩුව ගැන මා දැන සිටියා. නමුත් ඒ ප‍්‍රශ්න වුණත් පිටතට පෙන්වුයේ නැහැ. ඔහු හොඳින් කාගෙත් සිත් දිනාගෙන සිටි නිලධාරියෙක්. 


ප්‍රේමසිරි මහතාගේ බිරිඳ සිය දියණියන් රැකබලා ගනිමින් ගෘහණියක සේ ජීවත්වූ කාන්තාවකි. විශ‍්‍රාම යන්නට වසර කීපයක් පමණක් ඉතිරිව තිබුණද සිය දිවි නසාගැනීම නිසා ප්‍රේමසිරි මහතා වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක් හිමිවන්නේද නැත. ඒ නිසා ප්‍රේමසිරි මහතාගේ වැටුපෙන් ජීවත් වූ මේ දරු පවුලේ අනාගතය ඔහුගේ බිරිඳට තනිව භාරගන්නට සිදුවනු ඇත. පොලිස් නිලධාරියෙකු වුවද ප‍්‍රශ්නවලට මුහුණ දීමට තිබෙන ආත්ම ශක්තිය හීනවීම නිසා මේ කිසිදු සිදුවීමකට කිසිම සම්බන්ධයක් නැති වරදක් නැති දරු පවුලක් අසරණවනු ඇත.  

මුදිතා දයානන්ද සහ
වැල්ලම්පිටියේ ශාන්ත සෙනෙවිරත්න