ශ්‍රී ලංකාවට ත්‍රීවීල් ආවෙ එක්දහස් නවසිය හැත්තෑවේ දශකය මැද 78 පටන් ගත්තු විවෘත ආර්ථිකයෙන් පස්සෙ. ඒ කාලෙ මීටරය දුවන්න පටන් අරන් තියෙන්නෙ රුපියල් එකයි විස්සෙන්. පළමුවෙනි සැතපුමෙන් පස්සේ සත පනහ ගාණෙ වැඩි වුණා.
අද වෙද්දී විනාඩියට රුපියල් හතරයි. නමුත් සමහර අය විනාඩියට රුපියල් හයක් අයකරන වෙලාවල් තියෙනවා. කොහොමත් කොළඹ දුවන අය වැඩිපුර ගණනක් අය කරනවා. ත්‍රීවීල් එකේ යන අතරේත් පුළුවන් නම් මීටර් එක දිහා ටිකක් අවධානය යොමු කළොත් පාරේ ස්වභාවය අනුව වාහන තදබදයේ තත්ත්වය අනුව මීටරේ වෙනස් වෙන විදිය බලාගෙන හිටියොත් රැවටෙන්න තියෙන අවස්ථා අඩුයි. ලංකාවෙ හැම ත්‍රීවීල් එකක්ම එක ගාන ගන්න ඕනෑ කියලා නීතියක් නැති නිසා එක එක අයගෙ මීටර් වැඩ කරන්නෙ එක එක වේගයෙන්. ඒ විතරක් නෙමෙයි මීටරේ පොඩි වෙනස්කමක් කරලා ගාණ වෙනස් කරන්නත් මේ අයට පුළුවන්.
සමහර ත්‍රීවීල් තියෙනවා බොත්තමක් ඔබලා මීටරේ ගාණ වෙනස් කරන. සමහරු පොඩි දුරට මීටරේ දාන්නෙ නැහැ. රුපියල් සීයක් එකසිය පනහක් වගේ ඉල්ලනවා.
සමහර වැසි සහිත අවස්ථා සහ ත්‍රිරෝද රථ අඩු අවස්ථාවලදී අනිවාර්යෙයන්ම ඔවුන් බෝඩ් ගලවාගෙන ගමන් කරන්නේ. එම අවස්ථාවන් හිදී සවිකළ මීටරයද කවරයකින් වසා තිබෙනු දක්නට ලැබෙනවා.
අපි කව්රුත් හදිසියකට ගමනක් යන්න යොදාගන්න ලේසිම වාහනේ තමයි ත්‍රිරෝද රථය. ඒ වුණත් අපි යන දුරට එක එක ත්‍රීවීල්වලින් අය කරන්නෙ එක එක ගණන්. ඒ නිසාම මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථවලට ගමන් ගාස්තුව සටහන් කෙරෙන මීටරයක් හා වේගමානයක් සවිකළ යුතුයි වගේම මගීන්ගෙන් මුදල් අයකර ගැනීමේදී රිසිට් පත්‍රයක් නිකුත් කිරීමද, රිසිට් පතේ ගමන් කළ දුර, ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව හා දිනය සඳහන් කිරීමද අනිවාර්යය කරලා තියෙනවා.
ඒ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා. ඉරිදා ලංකාදීපයේ අපි ඒ පිළිබඳ ඔහුගෙන් විමසීමක් කළා.
ප්‍රමිතියකින් යුතු මීටර් කොහෙන්ද ගන්න තියෙන්නෙ?
ප්‍රමිතියකින් යුක්ත මීටර් හදන්න කියන දේට මීටර් හදන නිෂ්පාදකයන්ව අපි දැනුම්වත් කළා. ගිය අවුරුද්දෙ ප්‍රමිති කාර්යාංශයට ගෙන්වලා ඔවුන් ඒ පිලිබඳ දැනුවත් වෙලා තියෙන්නෙ.
මීටරේ අනිවාර්යයි රිසිට් පතක් ඕනෑමයි
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 අවුරුද්දෙදි අනිවාර්ය කළා. මීටර් නැති ත්‍රිරෝද රථ හිමියන්ට ඒවා හයි කරගන්න මාස 6 ක සහන කාලයක් ලබා දුන්නා. මේ සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුණා. ඒත් තවමත් මීටර් සවි නොකළ ත්‍රිරෝද රථවලට තවත් මාසයක සහන කාලයක් ලබා දීලා මැයි 20 වැනිදා සිට මීටර අනිවාර්යය කරනවා.
ඒ වගේම මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටර් අනිවාර්යය කළාට පසුව ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට් පතක් නිකුත් කළ යුතු වෙනවා.
මෙය මේ අවුරුද්දෙ ගෙනාපු අලුත් නීතියක් නෙමෙයි. ගිය අවුරුද්දෙ මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ලංකාවෙ සියලුම ත්‍රිෙරා්ද රථ හිමියන් ගෙන්නලා ඒ අවුරුද්දෙම සාකච්ඡා කරලා ඔවුන් දැනුම්වත් කරලා ඊටත් පසුව තමයි මේ නීතිය ගේන්න කටයුතු කළේ.
මගීන් ප්‍රවාහනය කරනව නම් අනිවාර්යයෙන්ම මීටරයක් ත්‍රිරෝද රථයෙ තියෙන්න ඕනෑ. අපි ත්‍රිරෝද රථ හිමියවත් මගියවත් දෙන්නම ආරක්ෂා කරන්න ඕනෑ.
බොහෝ වාහනවල මීටර් නෑ. තියෙන මීටරේ වැඩ කරන්නෙ නෑ කියනවා. එහෙමත් නැත්නම් මීටරේ වැඩ කළත් එහි ඔක්කොම ගණන් මිමි වෙනස් කරලා තියෙන්නේ. කිලෝ මීටරයකට වඩා අඩුවෙන් දශම නවයක් යනකොට කිලෝ මීටරයක ගණන වැටෙන විදියට හදලා තියෙනවා. ඒ වගේම සමහර ඒවා උදේට එක ගාණක් රෑට තවත් ගාණක්.
ත්‍රිරෝද රථ නැති කරන්න නෙවෙයි අපිට ඕනෑ. ගුණාත්මක මට්ටමකට ගේන්න.
දැනට ත්‍රිරෝද රථයක් හදිසියේම අනතුරකට පත් වුණාම ඒ ත්‍රිරෝද රථය රක්ෂණය කරලා අවශ්‍ය ලිපි ලේඛන තියෙනවා නම් ත්‍රිරෝද රථ හිමියට තමයි ඒ මුදල ලැබෙන්නෙ. නමුත් නිකුත් කරන්න යන බිල්පත නිසා මගියාටත් ඒ වරප්‍රසාදය ලැබෙනවා. ත්‍රිරෝද රථයෙ යන කෙනෙකුට තමන් යන දුර ප්‍රමාණයයි, ඒ සඳහා තමන් ගෙවිය යුතු මුදලයි පිළිබඳ අවබෝධයක් තියෙන්න මගියාට අයිතියක් තියෙනවා. එය තහවුරු කිරීමක් මේ යෝජනාවෙ එක පරමාර්ථයක්.
ත්‍රිරෝද රථ සංගම් මේ වැඩපිළිවෙළට එකඟ නෑ නේද?
මම දන්න විදියට මම කිසිම දෙයක් එකඟ නොවී කරලා නෑ. ගිය අවුරුද්දෙ ත්‍රිරෝද රථ සංගම් ඔක්කොම එකතු කරලා කැමැති කරගෙන තමයි මේ යෝජනාව ගෙනාවෙ. ත්‍රිරෝද රථ සංගම් කියලා නම් දාගත්තු හතර පස් දෙනෙක් මේකට විරුද්ධයි. කොයි නීතියටත් හැමෝම කැමැති වෙන්නෙ නෑනෙ. ඒකට විරුද්ධ වෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම් විරුද්ධ වෙන හේතුව බලලා ඒකට සාධාරණ පිළියමක් යොදන්න පුළුවන්. උදාහරණයක් විදියට ඒ විරුද්ධ අය මුලින් මේ යෝජනාවට කැමැති වුණා. පස්සෙ අකැමැති වුණා. ඊටත් පස්සෙ කිව්වා මේ වෙනුවෙන් කාලයක් දෙන්න කියලා. ඒකටත් අපි ගරු කරලා කාල සීමාවකුත් ලබා දුන්නා.
ඒ අයගෙ පැත්තෙනුත් අපි බලනවා. එක පැත්තක් නෙවෙයි දෙපැත්තක් රකින්න ඕනෑනෙ.
ඒ වගේම ත්‍රිරෝද රථවලට මීටර් නිෂ්පාදනය කරන අයට අනිවාර්යයෙන්ම කිව්වා රියැදුරන් ගසාකන්න බෑ. අනවශ්‍ය විදියට ලාබ ගන්න බෑ කියලා. පසුගිය කාලෙ මීටරේ විකිණුවේ රු. 13,000, 14,000 ට. දැන් කියලා තියෙන්නෙ බිලත් එක්ක එකක් 10,000 ට නිකුත් කරන්න කියලා. එතැනිනුත් රියැදුරාව අපි ආරක්ෂා කරලා තියෙනවා.
අද ලංකාවේ ප්‍රමිතිගත මීටරයක් විකිණෙන්නේ නෑ.
මේ යෝජනාව පිළිබඳ ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන දැක්වූෙය් මෙවන් අදහසක්.
මේ යෝජනාව ඇවිල්ලා තිබුණෙ මීට මාස 6 කට පෙර. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙ සභාපතිවරයා තමයි මෙය ප්‍රවෘත්තියක් විදියට රටට හෙළි කළේ ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට මීටරේ සවි කරද්දී එය රිසිට් පතක් නිකුත් කරන මීටරයක් විය යුතුයි කියලා.
පසුව අපි ඒ පිළිබඳව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහත්මයා සමඟ ලිපියකින් දැනුම් දීමක් කළා. ඔහු සමඟ සාකච්ඡා කරලා අපි ඉල්ලීමක් කළා මේ ලියාපදිංචිය වහාම නතර කරන්න කියලා.
අද ලංකාවෙ ප්‍රමිතිගත මීටරයක් විකිණෙන්නෙ නෑ. රජය මැදිහත්වෙලා එවැනි මීටරයක් හඳුන්වා දිය යුතුයි. එය තමයි ප්‍රධානම දේ. ඒ ප්‍රමිතිගත මීටරය කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා වසරක් පාසා ලයිසන් එකක් ගන්න ක්‍රමවේදයකට හඳුන්වා දිය යුතුයි.
මීටරේ වෙනස් කරන්න බැරිවෙන්න ඕනෑ. මේ දේ නැති වෙන්න නම් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හරහා සම්බන්ධ වෙලා වසරක් පාසා සහතික පත්‍රයක් ගන්න අවශ්‍යයි. ඒ යෝජනාව අපි කළා.
අද වෙළෙඳ පොළේ තියෙන මීටරයක් හයි කරද්දි ඒ මීටරයෙන් රුපියල් 1000 ක් යන්නෙ මේ මීටර් හඳුන්වා දුන්න ත්‍රිරෝද රථ සංගමයක් වෙත. එක් ත්‍රිරෝද රථ සංගමයක් තමයි මේ සඳහා මුල්වෙලා මෙය ලංකාවට හඳුන්වා දෙන්නේ. ආයතන දෙකක් මේවා සවි කරනවා. මේ ආයතන දෙකෙන් මීටරයක් හයි කරනකොට මේ මීටර් හඳුන්වා දුන් පුද්ගලයටයි මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාවෙ කෙනෙකුටයි ඒකෙන් කොටසක් යනවා. ඒක සෘජුව අපි ප්‍රසිද්ධියෙ කියලා තියෙනවා.
ඒ නිසා ඒ වෙළෙඳ පොළේ තියෙන මීටරය හයි කරද්දී ඒ වගේ කොල්ලකෑමක් සිදුවෙනවා. ඒ වගේම ඒවා ප්‍රමිතිගත මීටර් නෙවෙයි. ඒවා චීනෙන් සහ ඉන්දියවෙන් ගෙනල්ලා මෙහෙ සවි කරනවා.
මේ අය එකතුවෙලා ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට බලහත්කාරයෙන් සහ බිය වද්දමින් මීටරේ සවි කරන්න කියනවා. අපි කියන්නේ මේ රටේ තියෙන මීටර් ප්‍රමිතිගත නැති නිසා කරුණාකරලා රජය මැදිහත් වෙලා ප්‍රමිතිගත මීටරයක් සහ රජය ලියාපදිංචි මීටරයක් අඩු මුදලකට විකුණන්න කියලා.
රුපියල් 3000 ට ගේන මීටරය විකුණන්නෙ 14,000 ට, 16,000 ට. ඒක හරි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්.
මේවා දේශපාලන පත්වීම් ලබපු පුද්ගලයන් එකතුවෙලා රජය නොමඟ යවමින් ජනාධිපතිතුමා නොමඟ යවමින් කරන දේවල්.
මේ දේ දේශපාලනඥයින් දෙන්නෙක් සහ දේශපාලන පත්වීම් ලබපු නිලධාරින්, ත්‍රිරෝද රථ සංගම් එකතුවෙලා මේ අයට අවශ්‍යතාවයක් තියෙන්නෙ මේ දේවල් වෙළෙඳාමක් විදියට කරගෙන යන්න.
එක මීටරේකින් රුපියල් 1000 ක් කොල්ල කනවා. මේ වෘත්තිකයො ඒවා දන්නෙ නෑ. මේ ඇත්ත පණිවිඩය සමාජගත වෙන්නෙත් නෑ. ඒ නිසා මිනිස්සු දැනුම්වත් නෑ.
ඇත්තටම මේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නෑ. ඒක හරයක් නැති දෙයක්. අපි මේ දේට තදින්ම විරුද්ධයි.
සටහන - ධනු විජේරත්න
ඡායාරූප- ඉෂාන් සංජීව