රශ්මි නිමේෂා කකුලෙන් අකුරු ලියමින්
ලද දෙයින් සතුටුවිය හැකි පුද්ගලයින් ලෝකයේ ඇත්නම් ඒ අතලොස්සකි. අඳුරට ශාප නොකර පහනක් දල්වන මිනිසුන් ද එලෙසමය. සමාජ ගංගාවේ උඩුගංබලා පීනන රශ්මි නිමේෂා ගුණවර්ධන නම් වූ දිරිය නව යෞවනිය සොයා අඟහරුවාදා හැන්දෑවේ ඇගේ ගෙදරට ගොඩවීමි.
උපතින්ම අත් දෙක අහිමි සහ දකුණු පාදය ආබාධිත ඇය පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සමාර්ථ අටක් සහ ‘බී’ සාමාර්ථයක් හිමිකරගෙන විශිෂ්ට දස්කම් දැක්වූ දියණියයි. ඇය විභාගය ලිව්වේ ඇගේ දකුණු කකුලේ ඇඟිලි අතර රඳවාගත් පෑනෙනි.
අවිස්සාවේල්ල, මාදොළ, ජනසලු මාවතේ පදිංචි ඇගේ නිවසට ගොඩවෙද්දී පියා සරත් ගුණවර්ධන ආයුබෝවන් කියා දෙඅත් එක්කර මා පිළිගත්තත් දෙඅත් අහිමි ඇය මාව පිළිගත්තේ ඇගේ හදවතින් බව හැඟුනි.
මුවඟ සිනහවක් නගමින්, ආලින්දයට ආ ඇය මේ ජයග්‍රහණයෙන් ආඩම්බර නොවූවාය. ගායනයට උපන් හපන් ඇගේ මේ ගමන ගැන ගුරුවරයෙක් වූ පියා පැහැදිලි කළේය.
“මේ දුවට අවුරුදු තුනක් වැඩිමහල් දුවෙක් අපට ඉන්නවා. රශ්මි දුවට උපතින්ම අත්දෙක නෑ. එයාගේ දකුණු කකුලත් ආබාධිතයි. ඒකට කෘත්‍රීම කකුලක් දාලා තියෙන්නේ. දුවගේ පොඩි කාලේ අපි හිටියේ දැරණියගල. මගේ ගමත් දැරණියගල. දුවගේ මොන්ටිසෝරි වයස ආවාම දැරණියගල දෙල්ඔලුවේ මොන්ටිසෝරි ගුරුවරියක් වූ කාන්තිමාලා මහත්මිය සතිඅන්තයේ දවස් දෙක ගෙදරට ඇවිත් දුවත් එක්ක මොන්ටිසෝරියේ කෙරෙන ක්‍රියාකාරකම් කළා. දුව බලා හිටියා. ඊට පස්සේ දුව එයාගේ වම් කකුලේ ඇඟිලිවලින් කොළ නවන්න, අලවන්න වගේ දේවල් කරන්න පුරුදු වුණා. ගෙදර සාලේ රෙජිෆෝම් බෝඩ් එකක් තියලා ගුරුවරියයි, දුවයි හදන දේවල් ඒකේ අැලෙව්වා.
ගෙදරට එන අය ඒවා බලලා සතුටු වෙලා දුවව අගය කළා. හය මාසයකට විතර පස්සේ දුව පෙරපාසලටම එක්කං ගියා. එයාට ගෙදරදි පෙරපාසලේ වැඩ පුරුදු වෙලා තිබුණ හින්ද අමුත්තක් වුණේ නෑ. අනෙක් ළමයි ඉස්සරහ දුවගේ ක්‍රියාකාරකම් පෙරපාසල් ගුරුවරිය අගය කළා. ඇගේ වෙනසට අඩිතාලම වැටුණේ එතනින්.”
සරත් ගුණවර්ධන මහතා අතීතය සිහිපත් කළේය.
රශ්මි නිමේෂා දියණියගේ මව සංගීත ගුරුවරියක් වූවාය. පනස් දෙහැවිරිදි ධම්මිකා ගුණවර්ධන නම් වූ මේ මව තමන්ගේ දියණියන් දෙදෙනා ගැනම ආඩම්බර වන්නීය. රශ්මිගේ අත්දෙක සහ පාදයේ ආබාධය ගැන මේ මව්පිය දෙපල දුක්වන බවක් කිසිවිටක රශ්මි දියණියට හෝ වෙනත් කිසිම කෙනෙකුට දැනෙන්ට තිබ්බේ ද නැත. ඇගේ කුසලතා, හැකියා ගැන පමණක් කතා කළ අතර විවේක අවස්ථාවල මේ අම්මයි තාත්තායි දූලා දෙන්නයි සින්දු කියමින් විනෝද වූහ.
රශ්මි නිමේෂා දුව 2012 වසරේ ද වැඩි කතාබහට ලක්වූ චරිතයක් වූවාය. ඒ ඇය තමන්ගේ වම් කකුළෙන් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලියා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දෙහිඕවිට දෙල්ඔලුව කනිෂ්ඨ විද්‍යාලයේ වසර පහකට පසු ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉක්මවූ එකම ශිෂ්‍යයාව වීමයි. දෙඅත් දෙපා ඇති පන්තියේ යාලුවන් දාහතර දෙනා අභිබවමින් ඇයට මේ ජය ලබන්නට 1, 2 පන්තිවලට ඉගැන්වූ රත්නාවතී ගුරුතුමියත්, 3, 4, 5 පන්ති තුනේදීම ඉගැන්වූ රමණී අසෝකා ගුරුතුමියනුත් ඇගේ ඒ ජයග්‍රහණයන්ට සෙවනැල්ලක් වූ බව ඇගේ පියා සිහිපත් කළේ කෘතවේදීවය.
“ඒ දවස්වල ප්‍රාථමික පන්තිවල පුංචි වේදිකාවක් හදනවා. මම දවසක් මගේ ගෙදර තිබුණ ලී ආදිය වාහනයේ දාගෙන දුවගේ පන්තියේ ස්ටේජ් එක හදන්න යනකොට මිත්‍රයෝ දෙන්නෙක් වාහනේට නැග්ගා. ඒ අය දුව ගැන දන්නවා. මේ ගෙනියන ලී මොනවද කියලා ඇහුවා. මම කිව්වා දුවගේ පන්තියේ ස්ටේජ් එක හදන්න කියලා. එයාල කියනවා ඇයි අපරාදෙනේ දුවට ඒ ස්ටේජ් එකෙන් වැඩක් නෑ නේද කියලා. සමහරු හිතලා තිබුණේ එහෙමයි. ඒ වුණාට ඒ ස්ටේජ් එකට අනික් ළමයි නැගලා සින්දු කියන කොට දුව සතුටු වුණා. ගුරුතුමියන් දුවවත් ස්ටේජ් එකට නංවලා සින්දු කියෙව්වා. ඒ නිසා දුවට ඇගේ අත් දෙක, කකුල නැතිකම දැනුනේ නෑ.”
ඇගේ පියා ආ මග පැහැදිලි කළේය.
ඇය ශිෂ්‍යත්වය සමත් වූ කතාව 2012 රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඇය ගැන පත්තර පිටු පිරී ගියේය. ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 153ක් ගත් ඇයට ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දොර විවෘත කෙරුණි.
අම්මා සහ තාත්තා සමග රශ්මි නිමේෂා
ඇය ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියට යනවිට මාධ්‍ය මගින් ඇය ගැන හැමදෙනාම පාහේ දැන සිටියහ. ඉංග්‍රීසි මාධ්‍යයේ පන්තියට ඇතුළත් වූ ඇය පිළිගන්නට හිටපු විදුහල්පති ගාමිණී රාජදාස මහතා විශේෂ රැස්වීමක් ද කැඳවීය. එහිදී ඇය ගීයක් ගායනා කළේ ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය නුදුරු නුපුරුදු තැනක් නොවන බව අඟවමිනි.
ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ දී 6, 7, 8 සහ 9 පන්තිවලදී ඇය සංගීතය විෂයක් විදියට හැදෑරුවාය. 2017 මාර්තු 05දා ඇය ඇහැළියගොඩ මධ්‍ය මහා විදුහල් ශාලාවේදී “සරසි ගී දැහැන” ජනගත කළාය. ප්‍රවීණ සංගීතවේදී දර්ශන නුවන් දිසානායක එය සංවිධාන කළේය. දුමාල් වර්ණකුලසූරිය, ඉන්දික රුවන් හෙවත් රූනි අත්වැල් ගායනයෙන් සහාය විය.
ප්‍රවීණ ගීත රචක ප්‍රණීත් අභයසුන්දර සූරීන් ඇය වෙනුවෙන්ම ගීතයක් ලියුවේය. “සුදුසු කෙනෙක් නැත්නම් තනිමග යන්නැයි බුදුහිමි දෙසුවා... අත්වැල නැතිදා දෙපා වාරුවෙන් දරුකතර ගෙවන්නම්...” මුල් පද දෙකයි. නවරත්න ගමගේ ශිල්පියාගේ තනු නිර්මාණයට රශ්මි නිමේෂා ඒ ගීතය ගයද්දී ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය ඉහළින්ම ලැබුණේය.
ඇගේ දෙවැනි ප්‍රසංගය දැරණියගල සිරිසමන් ජාතික විදුහල් ශාලාවේදී 2017 අගෝස්තු 05දා එළි දැක්වීය. ඇයම ගායනා කරන ගීත තුනක් ඒ ප්‍රසංගයට ගායනා කළාය.
මේ ප්‍රසංගවලට පුහුණුවීම් ෙවන අතරේ ඇය පාඩම් අතපසු නොකළාය. ලක්සිති රණතුංග සහ යෂිකා ගුරු දෙපල ඇතුළු විදුහලේ ඇය හැදෑරූ විෂයයන් ඉගැන්වූ ගුරුවරු ඇගේ විෂය දැනුම ඔපවත් කළහ.
ඒ අතරදී අවිස්සාවේල්ල සීතාවකපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මගපෙන්වීම මත ‘සරසි ගී දැහැන’ අවිස්සාවේල්ල නගර ශාලාවේදී දැහැන්ගත කළේ 2018 පෙබරවාරි 24 දිනය. අවුරුද්දේ අගදී පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින යහලු යෙහෙළියන් හුස්ම පොදක් ගන්නට විවේකයක් නැතුව උපකාරක පන්තිවලට යද්දී රශ්මි නිමේෂා සංගීත ප්‍රසංග පැවැත්වීම ගැන වැඩි දෙනෙක් හිතින් දොස් තැබූහ.
නමුත් රශ්මි නිමේෂාත් ගුරුවරුන් වූ ඇගේ මව්පියනුත් වැඩ කළේ දැනුමක් ඇතිවය. තුන්වැනි ප්‍රසංගයෙන් පසු ප්‍රසංග වේදිකාවට සමුදී විභාගයට සූදානම් වූ ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, සිංහල ඇතුළු විෂයයන් අටකට ‘ඒ’ සාමාර්ථ ලබා දෙමළ විෂයයට ‘බී’ සාමාර්ථයක් ලැබීය. ඇහැලියගොඩ ජාතික පාසලේ වත්මන් විදුහල්පතිනී හේමාලී රාජගුරු මහත්මියත්, වසර හතරක් තිස්සේ පන්තිභාර ගුරුවරයා වූ සමන් උඩුවරගෙදර මහතා ඇතුළු විෂයයන් ඉගැන්වූ ගුරුභවතුන් ඇතුළු ගුරු මණ්ඩලයත් සිසු දරු දැරියනුත් ඇගේ මේ ජයග්‍රහණයේ හවුල්කරුවන් යැයි ඇය පැවසුවේ නිහතමානීවය.
ඇය පරිගණකය හසුරුවන්නේ ද වම් කකුලේ ඇඟිලි තුඩුවලිනි. පොත්වල පිටු පෙරළන්නේ ද එලෙසය. අපට දකින විට අමුත්තක් වුවත් මේ දිරිය දියණියට ඒවා සාමාන්‍ය දේවල්ය.
“මම උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් හදාරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙන ඉස්කෝලෙකට යන්නේ නෑ. මම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළේ. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයත් කළා. ඒකට ‘ඒ’ එකක් තියනවා. ‘බී’ එකක් තියෙන්නේ දෙමළවලට. භාෂා තුනම ඉගෙන ගැනීම මගේ ඉලක්කය. කළමනාකරණ විෂයයට තමයි මගේ වැඩි කැමැත්ත.” මුවඟට සිනහවක් නංවමින් සැහැල්ලුවෙන් රශ්මි කීවාය.
විභාගයට ලිවීමෙන් පසු හුදකලා නොවූ ඇය දැන් අලුතින් යමක් කරන්නට පටන්ගෙන තිබේ.
“උසස් පෙළ පටන්ගන්න තව කල් තියනවා. දැන් ප්‍රසංග ඉදිරිපත් කිරීම නවත්වනවා. මට ඕනෑ ඊට වඩා යමක් කරන්න. ගීතයත් සමඟ අත් දෙකම නැති කකුලක් ආබාධිත මම අධ්‍යාපන ජයග්‍රහණයන් වගේම ජීවිතයත් සතුටින් ගෙවන විදිය, මට ලැබුණ අත්දැකීම් සමග අන් අය දැනුවත් කරන වැඩසටහනක් කරනවා. “රශ්මි ධාරා’ එහි නම. ප්‍රාසාංගික වේදිකාව මතින් ධනාත්මක චින්තනය කරා, තේමාව යටතේයි මේ වැඩසටහන කරන්නේ. අප්‍රේල් 04දා රත්නපුර නව නගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඉදිරියේ එය පවත්වනවා.”
(මෙම ලිපිය ලියන මොහොත ෙවනවිට එය පවත්වා නොතිබුණි)
“ඇත්තටම මට අනුකම්පා කරන්න එපා. මම අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ ශරීර අවයවවල අඩුව ගැන මම පසුතැවෙන්නේ නෑ. මගේ අම්මයි තාත්තයි, අක්කයි තුන් දෙනාත් එහෙමයි. මගේ ඉදිරි ගමන් මගට සහයෝගයක් දෙන එකට මම කැමතියි.
කවුරුහරි කෙනෙක්, සංවිධානයක්, මට උදව් කරන්න කැමති නම් මගේ ‘රශ්මි ධාරා’ ප්‍රසංගයක් සංවිධානය කරලා මට අනුග්‍රහයක් දක්වන්න. එතකොට මම යමක් ගන්නේ යමක් දීලා. ඒක පව් නෑ. මගේ අම්මයි තාත්තයි හැම වෙලාවෙම මාව සතුටින් තියනවා. එයාලා මාව අත් දෙකයි කකුලයි නැති දරුවෙක් කියා ප්‍රතික්‍ෂේප කරානම් මට මොනවගේ ඉරණමක් අත්වෙයිද කියන්න බෑ. ඒ හින්දා මං වගේ ආබාධ තත්ත්වයේ දරුවන් සිටින අම්මලා තාත්තලාගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, ඥාතීන්ගෙන් වගේම සමාජයෙන් ඉල්ලන්නේ අපි වගේ අය කොන් කරන්න එපා. අපි අගය කරලා අපේ සැඟවුණ හැකියාවන් කළඑළි නංවන්න, අපිව සමාජගත කරන්නයි කියලයි.”
රශ්මි නිමේෂා සමස්ත සමාජයෙන් ඉල්ලීමක් කළාය.
“මගේ දුව ඉහළට ඉගෙන ගන්න අතරේ ‘රශ්මි ධාරා’ වැඩසටහනින් එකම වේදිකාවක භාෂා ත්‍රිත්වයෙන් ධනාත්මක චින්තනය ගැන කතා කරනවා දැකීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව.” රශ්මි නිමේෂාගේ පියා සරත් ගුණවර්ධන මහතා නෙතගේ සතුටු කඳුළු පුරවාගෙන පැවසුවේය.
සරත් ගුණවර්ධන මහතාගේ අංක 070-3532007 හෝ 077-6095240 යන දුරකතන අංකවලින් “රශ්මි ධාරා” ප්‍රාසාංගික වේදිකාව මතින් ධනාත්මක චින්තනය කරා, වැඩසටහන ගැන වැඩි විස්තර දැනගත හැකිය.
මේ කතාබහ අවසන් කර ඇගේ නිවසින් පිටත්ව එද්දී දෑත් එකතුකර ආචාර කරන්නට ඇයට නොහැකි වුණත් ඇගේ දෙනෙත්වලින් සහ මුහුණෙන් ඇගේ කෘතවේදීත්වයත් නිහතමානී ආචාරයත් හොඳින් දිටිමි.
සටහන
ඡායාරූප අජිත්ලාල් ශාන්තඋදය