දින විසි එකේ දේශපාලන අර්බුදය


ශ්‍රී ලාංකීය දේශපාලනය උඩුයටිකුරු වූ අවස්ථා කිහිපයක් පසුගිය සති දෙක, තුන තුළ සිදුවිය. හිටිවනම සිදුවූ මෙම දේශපාලන අර්බුදය ඉතිහාසයේ කවරද‌ාකත් සිදු නොවූ තරම්ය. රාත්‍රියේ නින්දට ගොස් අලුයම අවදිවන විට එක්කෝ නව අගමැතිවරයෙකු පත්කර ඇත. නැතහොත් ආණ්ඩුව විසුරුවා හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය වසර දෙකක් ඉතිරිව තිබිය දී 2014 වසරේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළේය. එහිදී පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදිය. 


 ඒ අවස්ථාවේ බොහෝ දෙනෙකු විශ්වාස කළේ නැවත වරක් ජනාධිපති ධුරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇති බවයි. එහෙත් ඒ අදහස් උඩු-යටිකුරු කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ලක්ෂ 62 කට වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බලයට පත් විය. 


 මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේ දූෂිතයන්ට දඬුවම් දී යහපාලන ආණ්ඩුවක් ගොඩ නගන බවයි. ඒ සමඟම අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බව ද සඳහන් විය. කෙසේ වෙතත් 2015 ජනවාරි 08 වැනිද‌ා හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තේරී පත්විය. 


එදිනම අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුණි. එතෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ දි.මු. ජයරත්න මහතාගේ එම ධුරය අහෝසි විය. එහෙත් එම අවස්ථාවේ කිසිවෙකුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම අභියෝගයට ලක් කළේ නැත. 


 ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමත් සමඟ සිය කතාවෙන් ප්‍රකාශයට පත් කළේ අභියෝග රැසක් මධ්‍යයේ තමන් ජනාධිපති ධුරයට ඉදිරිපත් වූ බවයි. 
 හදිසියේවත් මෙම තරගයෙන් තමන් පරාජයට පත් වුණා නම් සිදුවීමට තිබූ ඉරණම ගැන ද ඔහු ජනතාවට කරුණු දැක්වීය. පරාජය වුව​ෙහාත් අඩි 6 ක් පොළොව යට මිහිදන් වීමට ඉඩ තිබූ බව ඔහු ව්‍යංගාර්ථයෙන් කීය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී තමන් අමාත්‍යධුර දරද්දී එල්ල වූ විවිධ බලපෑම් සහ තර්ජන නිසාය. ඔහු ජාතිය අමතා කළ කතාවේදී මේ කරුණු එකින් එක පැහැදිලි කරන විට මෙතරම් පීඩනයට පත්වූ ඇමැතිවරයෙකු කෙසේ රාජකාරි කරන්නට ඇත්ද යන්න ජනතාව තුළ විශාල ප්‍රශ්නාර්ථයක් වන්නට ඇත. 
 එතනදී බොහෝ දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශාල භක්තියක් දැක්වූහ. බොහෝ දෙනෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ‘යහපාලනය’ කෙරෙහි ශුභවාදීව බැලූහ. ‘සොරුන් අල්ලන ආණ්ඩුවක් පත් වූ’ බවට ඔවුහු උදම් ඇනූහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ‘යහපාලන’ ආණ්ඩුවට ද විවිධ විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ එම ආණ්ඩුව දෙදරා යාමට පටන් ගැනිණ. 


කෙසේ වෙතත් විශාල හැල හැප්පීම් මැද ‘යහපාලන’ ආණ්ඩුව වසර 3 කුත් මාස 9 ක කාලයක් ගත කළේය. එම කාලය තුළ විවිධ මත ගැටුම් ද ඇති නොවුවා නොවේ. අමාත්‍ය මණ්ඩලය තුළ ද විශාල මත ගැටුම් ඇතිවිය. අගමැතිවරයා ඉදිරිපත් කළ ඇතැම් කැබිනට් පත්‍රිකා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්​ෙෂ්ප කරන ලදී. 


 කැබිනට් මණ්ඩලය තුළ මෑතක දී සිදුවූ ප්‍රධාන මත ගැටුම වූයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතුයි යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප වීමයි. 


 කැබිනට් මණ්ඩලය තුළ පුපුරා ගිය දරුණු බෝම්බයක් ලෙස මෙය වාර්තා වුණි. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්, ජනාධිපතිවරයා ප්‍රමුඛ සන්ධානයේ අමාත්‍යවරුන් අතර මේ සම්බන්ධයෙන් සීතල යුද්ධයක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසිණ. මෙම තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර අතට පත්වී අමාත්‍ය මණ්ඩලය දැඩි ලෙස විවේචන කිරීමේ තත්ත්වයකට ද ජනාධිපතිවරයා පත්විණ. 


 මෙම සීතල යුද්ධය වඩාත් දුරදිග යාමත් සමග අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෝ එකිනෙකා විවේචනය කරගැනීමේ තත්ත්වයකට ද පත්වූහ. බොහෝ දෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට යුහුසුලු වූහ. දිගින් දිගටම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් අතර පැවැති සීතල යුද්ධය දරුණු තැනට පත්වීමත් සමඟ ජනාධිපතිවරයා කවුරුත් නොසිතූ මොහොතක තීරණාත්මක අවස්ථාවකට එළඹුණේය. 


ඒ ඔක්තෝබර් 26 වනදා අගමැති රනිල් වෙනුවට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමයි. මෙම පත්කිරීමත් සමඟ දේශපාලන ලෝකය උඩුයටිකුරු විය. බොහෝ දෙනෙක් පුදුමයට පත් වූහ. මෛත්‍රී ජනාධිපති කරවීමට ඡන්දය දුන් පිරිස මෙය අනුමත නොකළහ. තවත් පිරිසක් මෙය සාධාරණීය කළහ. ඇතැමකුගේ මතය වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කළ පත්වීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. එහෙත් මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කළ පත්කිරීමක් බව මෙය සාධාරණය කරමින් පිරිසක් කරුණු දැක්වූහ. 


මෙහිදී ඔක්තෝබර් 28 වනද‌ා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ‘යහපාලන’ ආණ්ඩු සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අමු අමුවේම විනාශ කළ බවයි. ශිෂ්ට සම්පන්න ​​ෙද්ශපාලනයට නොගැළපෙන දේශපාලන ක්‍රියාවලියකට රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වූ බව ද ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. 
 රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ හෙට දවස, ඔහු සමඟ සමීපව කටයුතු කරන සුපිරි පන්තියක පිරිසක් සමග ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන ක්‍රියාවලියක නිරත වෙමින් විනෝද කෙළියක් බවට පත්කර ගත් බවට ද ජනාධිපතිවරයා චෝදනා කළේය. 


 2015 ජනාධිපතිවරණයට පෙර හා පසු මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා ද විවේචනය කළේ මේ ආකාරයෙනි. 


කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගත් මෙම පියවර ව්‍යවස්ථා විරෝධි බවට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නියෝජිතයෝ සඳහන් කළහ. මෙම පත්වීම කිසිසේත් නිත්‍යානුකූල නොවන නිසා එම පත්වීම පිළිගත නොහැකි බව එක් පාර්ශ්වයක් ප්‍රකාශ කළ අතර එය ව්‍යවස්ථාවට පටහැනි නොවන ආකාරයෙන් ක්‍රියා කළ බව තවත් පිරිසක් ප්‍රකාශ කළහ. 


මේ අතර වාරයේ දේශපාලනය උණුසුම් වෙද්දී ජනාධිපතිවරයාට විවිධ අංශවලින් චෝදනා එල්ල විය. බොහෝ දෙනෙකුගේ මතය වූයේ මෙය විසඳා ගත යුත්තේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පෙන්වීම තුළින් බවයි. 


ඒ අතර වාරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පහුගිය 9 වැනිද‌ා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේය. මෙම තීරණයත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ තවත් බෝම්බයක් පත්තු වීමේ ස්වරූපයක් ගත්තේය. එක්සත් ජාතික පෙරමුණු රජයේ සියලු අමාත්‍යාංශ නව අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පැවරුණි. එක්සත් ජාතික පෙරමුණේ සියලු අමාත්‍යවරුන්ගේ අමාත්‍යධුර අහෝසි විය. 


 මේ අතර වාරයේ පාර්ලිමේන්තුව පසුගිය 14 වැනිද‌ා කැඳවීමට තීරණය කර තිබුණ ද ජනපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන්ට රැස්වීමට තිබූ ඉඩකඩ අහෝසි විය. වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස විවිධ බලපෑම් එල්ල විය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් මෙම තීරණයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂවල නියෝජිතයන් සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කළහ. 


 වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය පෙන්වීමට ඉඩ සලසා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඒ අනුව පෙත්සම් විභාගය 13 වනද‌ා පැවැති අතර එදින සවස තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ. 


ඒ අගවිනිසුරු නලින් පෙ​ෙර්රා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් විසිනි. ඒ අනුව මෙම පෙත්සම් විභාගය​ දෙසැම්බර් 4, 5, 6 යන දිනවලට කල් දැමිණි. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය දෙසැම්බර් 07 වනද‌ා තෙක් බල පැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කෙරිණ. 


 මෙම පෙත්සම් විභාගයට ගැනීමට පෙර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ වැඩසටහනක් රහසිගතව ක්‍රියාත්මක විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වඩිවෙල් සුරේෂ්, වසන්ත සේනානායක සහ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන් යන මහත්වරු එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වී ඇමැති හා නියෝජ්‍ය ඇමැති තනතුරු ලබා ගත්හ. 


ඔවුන් මුදලට බා ගැනීමේ මෙහෙයුමක් දියත් කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බව සන්ධානයේ ආරංචි මාර්ග පැවසීය. ඔවුන් මුදල් විශාල ප්‍රමාණයකින් අලෙවි වූ බව ජනාධිපතිවරයා ද පිළිගත්තේය. 


 මේ අතර තුර නොවැම්බර් 01 වනද‌ා මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 10 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්ද අඩු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක පොහොර බෑගයක මිල රුපියල් 500 කින් අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩුකිරීමට ආර්ථික කටයුතු අමාත්‍යාංශය පියවර ගැනිණ. 


පවතින දේශපාලන අර්බුදය හමුවේ මේ අතර තුර මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමා ගත් තීරණය කිසිදු හේතුවක් මත අතරමග නතර නොකරන බව පැවසීය. එම තීරණය කිසිවිටකත් ආපස්සට නොගන්නා බව ද ඔහු සඳහන් කළේය. තමන් මේ මොහොතේ පාවිච්චි කළේ එක් තුරුම්පුවක් බවත් තමන් සතුව තවත් තුරුම්පු තිබෙන බවත් ඔහු සඳහන් කළේය. 


 විවිධ දේශපාලන හැල හැප්පීම් මැද කාලය ගත වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමඟ යළිත් දේශපාලන පිටිය උණුසුම් විය. අතුරු තහනම් නියෝගය නිකුත් වීමත් සමඟ පාර්ලිමේන්තුව වහාම 14 වනදා රැස්වෙන බවට කතානායකවරයා නිවේදනය කිරීම නිසා 14 වනදා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්විය. 


ඊට පෙර පෙරවරු 8 ට කතානායක වරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්විණි. පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟ එකම ගාල ගෝට්ටියක් විය. පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව ස්ථාවර නියෝග අත්හිටුවා සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කෙරිණ. 

 

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දෙමින්...

 

 


 ඒ සමඟම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඊට දිගින් දිගටම විරෝධයක් එල්ල කළේය. මේ නිසා මැති සබය තුළ ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේය. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සභා ගර්භයට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ. 


 මේ අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අතර එම පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා එය ස්ථීර කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය. පාර්ලිමේන්තු සම්ප්‍රද‌ායට අනුව ඡන්දය ගෙන මෙම විශ්වාසභංගයේ ඡන්ද විමසීම සිදුකළ යුතු වුවත් සභා ගර්භයේ පැවැති ගාලගෝට්ටිය නිසා කටහඬ අනුව එය සම්මත වූ බව කතානායකවරයා සභාවට දැන්වීය. 


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 122 ​ෙදනෙකු අත්සන් කර තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව සන්ධානයේ නායකයෝ ප්‍රකාශ කළහ. කතානායකවරයා මේ මොහොතේ දැඩි ස්ථාවරයක සිටි අතර ඔහුගේ මෙම ස්ථාවරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ. ඒ අනුව පාර්ලිමේන්තුව පසුගිය 15 වනද‌ා දක්වා කල් දැමිණි. 


 පාර්ලිමේන්තුව 15 වනදා පෙරවරු 10 ට යළි රැස්වූ අතර එදිනත් විවිධ ඝෝෂා මධ්‍යයේ පවත්වාගෙන යාමට කතානායකවරයාට සිදුවිය. මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමැතීමේදී දැඩි ලෙස බාධා එල්ල වූ නමුත් ඔහු නොසැලී කතාව දිගින් දිගටම කරගෙන ගියේය. කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා මෙම අර්බුදය ඇතිවූ බව මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කළේය. මෙහිදී ඇතිවූ උණුසුම් වාතාවරණයත් සමඟම පාර්ලිමේන්තුව මෙම මස 21 දිනට කල් තැබිණි. 


මෙම අර්බුදකාරී තත්ත්වය වහා විසඳීම සඳහා මහ ඡන්දයකට යා යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. ඒත් ඇතැම් ​ෙද්ශපාලනඥයෝ මැතිවරණයකට යාමට බියක් දක්වති. ඒ ඔවුන්ගේ ජනප්‍රියතාව ජනතාව අතරින් ගිලිහී ගොස් ඇති හෙයිනි. හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දය දෙන්නේ කුමන පක්ෂයට ද, කුමන පාර්ශ්වයට ද යන්න මහජනතාව දෙවරක් සිතා බැලිය යුතුය. හේතුව ජනතා ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් පෞද්ගලික වාසි තකා පිල් මාරු කරන හෙයිනි.

 

 

 සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර