දියේ ගිලෙන්න ගිය කාන්තාවන් බේරාගත් පොඩි හාමුදුරුවෝ


 

ගාල්ල කොග්ගල මුහුදු තිරයේදී ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසි කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්ට 23 වැනි දින හැකි විය.


ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ 23 වැනි දින කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි පිරිසක කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටියහ. මේ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියෝය.
එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවිය. මේ නිසා දිය නාමින් සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය. ඒ අසල උපන්දින සාදයට පැමිණ සිටි පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වූ නමුත් මේ කිසිවෙක් සම්බන්ධයෙන් දිය නාමින් එම ස්ථානයේ සිටි පිරිසට හෝ වෙනත් කිසිවෙකුට මේ රළ නගන මුහුදු ජලයේ ශබ්දය නිසා එතරම් අවධානයක් ඇති නොවුනි.


මේ අතර ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති දේවාලයේහිද අජිත හිමියන්ගේ අම්පාරේ සිට පැමිණි නෑදැයන් පිරිසක් සමඟ කොග්ගල හරහා ගමන් කරමින් සිටි පිරිස අතර වූ පිරිසක් කීවේ කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියාය. ඒ නිසා මෙම මහා අනතුර සිදුවෙන අවස්ථාවේ දී මෙම ස්ථානයට මේ පිරිස වාහනයකින් පැමිණ සිටියහ.


මේ පිරිස අතර ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති දේවාලයේහිද අජිත හිමියන්ගේ ශිෂ්‍යයකු වූ කොක්මාදුව අනුරුද්ධ හිමියෝ ද මේ වාහනයේ සිටියහ.


උන් වහන්සේ උදව් ඉල්ලා කෑ ගසන අම්මා පිළිබඳව අවධානය යොමු කර වහාම ක‍්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බේරාගත් අතර එම අවස්ථාවේ කොග්ගල මුහුද තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට අප හිමියන්ට සහයෝගය දී ඇත. මේ අනුව දියේ ගිලීමෙන් සිටි තරුණ කාන්නාවෝ හතර දෙනෙකුගේ දිවි බේරා ගන්නට අප හිමියන්ට හැකි විය. දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.


අප හිමියෝ මේ සම්බන්ධයෙන් පැවසුවේ ආරක්ෂාවට යම් දෙයක් මේවැනි ස්ථානවල තිබිය යුතුයි. මම සිවුර උනා දමා මුහුදට පැන මේ අසරණව ජිවිතය ඉල්ලා කෑ ගහන පිරිස අතර සිටි කාන්තාවන් හතර දෙනා බේරා ගත්තා. මට එතරම් පිහිනන්නත් බෑ. නමුත් මම මේ දේ කළා. අසරණයන්ට උපහාර කරන්න බුදු දහමේද කියා තියනවා. ඒ නිසා මම එය සිදු කළා.


අප විහාරස්ථානය අසළ ඉඩමක් තියනවා. මම මේ ඉඩමේ අසරණයන්ට නොමිලයේ බෙහෙත් දෙන්නට ශාලාවක් සකස් කර කටයුතු සිදු කරන්නට සුදානමින් සිටින්නේ. මේවාගේ කටයුතු ද මම සිදුකරන්න ඉදිරියේ දි පියවරක් ගන්නවා. මේ කටයුත්තට දැවැන්ත මුදලක් වැය වෙනවා. නොමිලයේ වෛද්‍ය පහසුකම් මෙහි දී කරාපිටිය රෝහලේ වෛද්‍යවරුගේ සහයෝගය ඇතිවයි සිදුකරන්න යන්නේ. එයට යම් සහයෝගයක් දෙන්නට හැකිනම් මේ අවස්ථාවේ දී එයත් වැදගත් වෙනවා. සැමට තෙරුවන් සරණයි” යැයි, උන් වහන්සේ පැවසුහ.
අනතුරකට පත්ව කිසිවකුගේවත් උපකාරයක් නොලැබ තම පාදයෙන් ලේ විදිමින් මහපාරේ වැටී සිටි තුවාලකරුවකු විහාරස්ථානයේ තිබූ මෝටර් රථයකින් ගෙන ගොස් රෝහල්ගත කිරීමට ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත‍්‍රයකු ලෙසද උන්වහන්සේ මහඟු පින්කමක් කරගෙන ඇත.


පරගොඩ විහාරය මගේ මතකයට එන්නේ මුලින් ම කුඩා දරුවකුව සිටියදී මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාව කියවන කාලයේදීමය. එහිදී මාතර හාමිනේ හා නන්දා ඇතුළු පිරිස පියල් කැටුව යන්නේ පරගොඩ විහාරයටය. මෙය පෞරාණික රජ මහා විහාරයකි.


හාමුදුරුවන්ට වාහන පැදවිය නොහැකිය. බෞද්ධ රටක බුද්ධ නීතිය අනුව ද ලෝක නීතිය හමුවේ ද එය වැරැද්දකි. එය විනය කැඩීමක් ලෙස ද, ඇවැතක් ලෙස ද බුද්ධාගමේ සඳහනි. එහෙත් එදා මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත‍්‍රයා මේ ක‍්‍රියාව ඉටු නොකළේ නම් සිදුවන්නේ මිනිස් ඝාතනයකට ඉඩහසර පෑදීමය. වරක් කළුතර වාද්දුවේ ආචාර්ය පරගොඩ විමලවංශ හිමි තමාට වාහනයක් පදවන්නට බලපත‍්‍රයක් දෙන්නැයි උසාවි වැඩියේය.


අද මහ පාරේදී කිසිවකු අනතුරකට ලක් වුවත් කිසිම වාහනයක් නවත්වන්නේ නැත. හේතුව රෝහලට බාර දෙන තැනැත්තා සාක්කියට කැඳවීමය. ඒ වෙනුවෙන් දවස් ගණනක් තමන්ගේ කාලය නාස්ති කැර ගැනීමට රැකියා අතහැර උසාවි යාමට කවුරුත් අකමැතිය. සද්භාවය පෑමෙන් අකාරුණිකත්වය ම නීතියෙන් කෙරෙයි නම් කාට කියන්න ද? ඒ ඔවුන් නඟන මැසිවිල්ල ය.


වවාගත් බත බුලත බෙදා හදා ගෙන කමින් ජීවත් වූ අපේ පැරැණ්නෝ පාරේ වාහනයකට වැදී තැළුණු සර්පයෙකු, බල්ලෙකු, පූසෙකු වුව මහමඟින් ඉවත් කැර වළලා දැමූහ. නැත්නම් පුළුස්සා දැමූහ. එහෙත් ඒ මානුෂීයත්වය මිනිසකු විපතකට පත්වූ විට නැති වී ඇත්තේ මිනිස්කම් පිරිහී නොමිනිස්කම් මතු වී ඇති නිසා දැයි නොදනිමි.


පසුගිය දිනක ඉමදුව ගාල්ල මාර්ගයේ පරගොඩ රජ මහා විහාරය ඉදිරිපිටදී ඉමදුවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මහ හඬින් කෙඳිරි ගාමින් පාදයෙන් ගලන ලෝහිත ධාරා අතර සිටිමින් වේදනාවෙන් උදව් ඉල්ලා කෑ ගැසුවද, ඔහු රෝහලකට රැගෙන යාමට හෝ කිසිවෙකුත් ඒ මොහොතේ ඉදිරිපත් නොවීම කනගාටුවකි. මේ විලාප හඬ අසා එහි පැමිණි පරගොඩ රජ මහා විහාරයේ වැඩ වසන කොක්මාදුවේ අනුරුද්ධ (30) හිමියන් තවත් හිමිනමක හා එක් වී විහාරස්ථානය සතුව ඇති මෝටර් රථයෙන් තුවාලකරු රෝහලට රැගෙන යාමට කටයුතු කළහ.
පරගොඩ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියෝ මෙසේ පැවසුහ.


මා හිතන්නේ වෙලාව? රෑ අට පහුවුණා විතරයි. පන්සල ඉස්සරහ පාරෙන් මහා ශබ්දයක් ඇසුණා. මා ඒ වෙලාවෙ විහාරයෙ වැඩ සිටියේ. පන්සලේ කපු මහත්තයාගේ පුතත් එදා හිටියා. මං එයාත් එක්කගෙන ශබ්දය ඇසුණු පැත්තට ගියා. ඈතදීම අනතුරක් බව පෙනුණා විලාප ශබ්දවලින්. යනකොට දැක්කා යතුරු පැදියක් ළඟ පුද්ගලයෙක් වැටිලා ඉන්නවා. එයාට එච්චර අමාරුවක් තිබුණෙ නෑ. ඊට ටික දුරකින් කළුවරේ ම තවත් කෙනෙක් වැටිලා - කෙඳිරි ගගා ඉන්නවා යාන්තමට දැක්කා. එයාට නම් හුඟාක් අමාරු බව පෙනුණා. මේ ලෙඩාව රෝහලකට ගෙන යන්න මාත් එතැන රැස්ව සිටි පිරිසත් සමඟ වාහනයක් නතර කර ගන්න උත්සාහ කළා. හැම වාහනයක් ම එතැන නතර කරලා එහි සිටියවුන් අනතුර දිහා බලලා ඉක්මනින් යන්න ගියා. කවුරුවත් මේ තුවාලකාරයා රෝහලකට ගෙන යන්න ඉදිරිපත් වුණේ නෑ.


අපේ පන්සලේ කාර් එකක් තියෙනවා. ඒත් ඒකෙ රියැදුරු මහත්මයා සිකුරාදා ගෙදර ගිහින් තිබුණේ. මට තවදුරටත් මේ තුවාලකාරයාගේ විලාපය අහගෙන ඉන්න බෑ. මං විහාරයට ගිහින් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන අපේ විහාරයේම වැඩ වසන ඕපාත කෝලිත හාමුදුරුවොත් එක්ක මෝටර් රථයෙන් අනතුර වූ තැනට ගිහින් තුවාලකරුවා කාරයට දාගත්තා. ඒ වෙනකොටත් ලෙඩාගේ කකුලෙන් අධික ලෙස රුධිරය ගලාගෙන යමින් තිබුණෙ. අපි ලෙඩා උස්සලා ගන්නකොට අපේ සිවුරු විශේෂයෙන් කෝලිත හාමුදුරුවන්ගේ සිවුර ලේවලින් පෙඟුණා. මං මෝටර් රථය පණගන්වාගෙන පළමුවෙන් ම ගියේ ඉමදුව රෝහලට. ඒත් එහි ගිලන් රථයක් තිබුණෙ නෑ.

ලෙඩාව කරාපිටියට ගෙනයන්න කීවා. කරාපිටියට අරගෙන යන්න ටික වේලාවකින් ගිලන් රථයක් ගෙන්වලා දෙනවා කිව්වත් ලෙඩාගේ තත්ත්වය එන්න එන්න ම බරපතළ වුණා. ඒ තරම් වෙලාවක් රැක ගන්න බැරි බව කල්පනා වුණා. ඒ නිසා නැවත මෝටර් රථය හරවාගෙන ලොකු හාමුදුරුවන්ගේ අවසරය මත කරාපිටිය රෝහලට රැගෙන ගියා. අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් ඇතුළට දාලා පින්නදුව දක්වා ගිහින් එතැනින් තමයි කරාපිටියට ගියේ. හිමිනමක් විදියට මට රියැදුරු බලපත‍්‍රයක් නෑ. ඒත් අහිංසක ජීවිතයක් නැති වෙන්න දෙන්න බැරි නිසයි මං ඒ දේ කළේ. ඒ උන්වහන්සේගේ හඬය.


ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත‍්‍රණය වූ පරගොඩ විහාරයේ ආගමික අංගයෝ දැකිය හැකිය. දේවානම්පියතිස්ස රජු ශ‍්‍රී මහා බෝධියේ අංකුර තිස් දෙකක් රටපුරා රෝපණය කිරීමේ සාධු සම්මත මෙහෙවරට පිං සිදුවන්නට පරගොඩ විහාරය ඉදිවූ බව සඳහන් ය. මෙසේ බෝධියේ අංකුර රට පුරා රැගෙන යන අතරතුර පරගොඩ ගම්මානයට පැමිණ ඇති එම පරිස විඩාව සන්සිඳුවා ගැනීම සඳහා බෝධි අංකුරය අසල තබා විවේක ගන්නට වූහ. පසුව දා මෙම පිරිස යළිත් ගමන් කිරීමට සුදානම් වන විට දැකිය හැකි වූයේ බෝධි අංකරය මුල් ඇද ඇති බව යි. ඒනිසා එම ස්ථානයේ බෝධි අංකුරය රෝපණය කිරීමට පියවර ගත් බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු රජුගේ සහායට පැමිණි ඉන්දියානු භට සේනාවක් මෙම ගමෙහි ජීවත් වූ නිසා පරදේසක්කාරයන් ජීවත් වූ ප‍්‍රදේශය පරගොඩ වූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ. තව තවත් විවිධ වූ ජනප‍්‍රවාද රැසක්ද පරගොඩ ගම පිළිබඳව සඳහන් වේ.


අනුරාධපුර යුගයට අයත් පරගොඩ විහාරයේ පෞරාණික බව කියාපාන සඳකඩපහණක් ද මෙහි දැකිය හැකිය. පැරණි දිය පිහිල්ල සඳකඩ පහණ අදට ද දැකිය හැකි ය.


සිංහල බෝධි වංශයේ ද, නම් පොතෙහි ද සඳහන්ව ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ ඇති පිළිම, සිතුවම් ආදියද ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි විශේෂිත නිර්මාණයන් ය. සිවිලිං - චිත‍්‍රවලින් නව ග‍්‍රහයන් මෙන්ම ජ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධීන් චිත‍්‍රණය වීමද විශේෂයකි.තවද මා පුදුමයට පත් කරවන සිතුවමක් එහි සිවිලිමේ සිත්තම් කර තිබිණි. ඒ මල් වැලක් ගත් කාන්තා නග්න රූපයකි. නමුත් එහි මුහුණේ තිබුණේ බුදුරජාණන් වහන්සේගේ රුවයි. පන්සලක විහාරගෙයක කාන්තා නග්න රූප දක්නට නොලැබේ. එහෙත් නිරුවත් කාන්තාඋඩු කයකින් යුත් මෙවන් රුපයක් ඇන්දේ ඇයිද යන්න මා සිත තුළ පැනයක් ඇති කරයි.


දෙවනපෑතිස්ස රජුගේ සෙනෙවියකු විසින් මුලින්ම පරගොඩ විහාරය සකස් කර ඇත්තේ කන්දක් උඩ ගල් කුළක දැවයෙන් බව සඳහන් ය. පසුව දැවෙන් කළ විහාරය විනාශ වූ අතර ක‍්‍රි.ව. 876 දී පරගොඩ විහාරය නැවත සකස් කළ බව කියැවෙ යි. මෙහි නුවර යුගයට අයත් චිත‍්‍ර මෙන්ම අනුරාධපුර කලාකරුවන්ගේ හැකියාව ද එක්ව චිත‍්‍රණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පැරණි කුඩා චෛත්‍ය මත කඤ්චක චෛත්‍යය ඉදිකර ඇත.


ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත‍්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ ශිෂ්‍යයකු වු තරුණ හික්ෂුවක් වූ කොක්මාදුව අනුරුද්ධ හිමියෝ සිදු කරන සේවය අගය කළ යුතු නොවන්නේ ද?

සටහන හා ඡායාරූප 
හබරාදූව 
නිමල් අල්ගෙවත්ත