ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කර ඇති බවට පවසමින් මේ දිනවල ප්‍රචාරයක් දියත්ව ඇත. මෙය සිදුවූයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව ශ්‍රී පාදස්ථානයේ නම ‘ශිව කොලි පාද මලෙයි’ යනුවෙන් වෙනස් කිරීමට තීරණය කිරීමෙන් පසුවය.
මේ සම්බන්ධයෙන් නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතාගෙන් විමසීමු.
බුදුන් වැඩිය ‘ශ්‍රී පාදස්ථානයේ’ නම ‘ශිව කොලි පාද මලෙයි’ යනුවෙන් වෙනස් කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පිරිසක් පියවර ගෙන තිබුණා. ඒ නිසා තමයි අපි බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට ඇවිත් මේ විදියට විරෝධතාවයේ නිරත වුණේ.
ශ්‍රී පාදස්ථානයට අමතරව තවත් බෞද්ධ සිද්ධස්ථාන රැසක මෙවැනි දෑ සිදුවෙනවා. ඒ ගැන විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සමඟ සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ දේවල්වලට විසඳුමක් නොලැබුණොත් ඒවටත් පියවර ගන්න සූදානම්.
ශ්‍රීපාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය ඉහළින් ශ්‍රීපාද පියගැටපෙළ ආරම්භ වන ස්ථානයේ ශ්‍රී පාදස්ථානයට අගෞරවයක් නොවන සේ සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් පමණක් නාම පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවට මස්කෙළිය ප්‍රාදේශීය සභාපතිනි ගෝවින්දන් සෙම්බගවල්ලි මහත්මිය ප්‍රකාශ කර ඇත.
මස්කෙළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභා සම්මත කරගත් යෝජනාවක් අනුව මාර්ගයේ පියගැට පෙළ දකුණු පසින් එම නාම පුවරුව ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය කියයි.
දැනට එම මාර්ගයේ වම් පස සිංහල භාෂාවෙන් ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ යනුවෙන් ද දමිළ භාෂාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල යනුවෙන් (ගෞතම බුද්ධ භගවානින් ශ්‍රී පාදස්ථානම්) යනුවෙන් සඳහන්ය.
ශ්‍රී පාදස්ථානයට ඉතිහාසයේ සිට දමිළ ජනතාව සිවකොලි පාද මලෙයි යනුවෙන් හැඳින් වූ බවත් නව අර්ථ කථනය දමිළ ජනතාවට පැහැදිලි නොවන නිසා ශ්‍රී පාදස්ථානාධිපති මෙන්ම පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් දැනුම්වත් කර උන්වහන්සේගේ අනුමැතිය ඇතිව සිංහල භාෂාවෙන් ද සිව කොලි පාද මලෙයි යනුවෙන් එම නාම පුවරුවේ සඳහන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය සඳහන් කරන්නීය.
මෙම නාම පුවරුව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධතා පිළිබඳ ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් දැනුම්වත් කර තවදුරටත් උන්වහන්සේගේ උපදෙස් පරිදි ඉදිරියට කටයුතු කරන බවටත් ඒ මහත්මිය ප්‍රකාශ කර ඇත.
අතීත කාලයේ සිට ශ්‍රීපාදස්ථානයට විවිධ නම් භාවිත විය. ඒ සම්බන්ධ අදහස් විමසීම සඳහා අප කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සම්බන්ධ කර ගත්තෙමු.
• මේ අවස්ථාවේ ශ්‍රී පාදස්ථානයේ සැබෑ ඉතිහාසය ජනතාවට පැහැදිලි කර දීම වැදගත්. ඔබ එය කරන්නේ කෙසේ ද?
විශේෂයෙන් මෙරට වාසය කරන බෞද්ධ ජනතාවගේ වන්දනීය ස්ථානයක් වූ ශ්‍රීපාදස්ථානයේ ඉතිහාසය අප කවුරුත් සාමාන්‍යයෙන් කල්පනා කරන සීමාවෙන් ඔබ්බෙහි වූ ඉතා පැරණි අවධියකට අයත් බව පෙන්වා දීමට තරම් ප්‍රමාණවත් වන සාක්ෂි තිබෙනවා. ඒවා බොහෝමයක් සාහිත්‍යමය අවකාශයකට අයත් ඒවායි. ඉතාම පුරාණ අවධියේ ශ්‍රීපාද පර්වතය හඳුන්වා දී තිබෙන්නේ ලංකා පර්වතය යන නමින්. ඇතැම් තැනක එය රෝහණ පර්වතය යන නමින් ද පැහැදිලි කර දී තිබෙනවා. ඊට හේතුව එකල මෙම පර්වතය අයත්ව තිබුණේ රෝහණය නමින් හැඳින් වූ ශ්‍රී ලංකාවේ දකුණු හා අග්නිදිග පරිපාලන ප්‍රදේශයට වීමයි.
ක්‍රිස්තු වර්ෂයෙන් නවවැනි සියවසේදී ඉන්දියාවේ රචනා කරන ලද බාලරාමායනය නමින් හැඳින්වෙන කෘතිය ඊට නිදසුනක් ලෙස දැක්විය හැකියි. එහි ශ්‍රී පාදය නමින් වර්තමානයේ අප විසින් හඳුන්වන පර්වතය නම් කර තිබෙන්නේ රෝහණ පර්වතය නමින්. බාලරාමායනයේ විස්තරයට අනුව මෙම පර්වතය අවට විවිධාකාරයේ මැණික් සුලබව පැවැති බව සඳහන් වෙනවා.
බාලරාමායනය රචනා කළ කතුවරයා රෝහණ පර්වතය විස්තර කර තිබෙන්නේ රාම රාවණ යුද්ධයට අදාළවයි. එහෙයින් රෝහණ පර්වතය මෙරට මෙන්ම අසල්වාසී රටවල අයගේ ද අවධානයට ලක්ව පැවැති තැනක් ලෙස පෙන්වා දිය හැකියි. බාලරාමායනය ක්‍රිස්තු වර්ෂයෙන් නව වැනි සියවසට අයත් වුවත් එහි කතුවරයා විසින් සිය කෘතියට පාදක කරගෙන තිබෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ඓතිහාසික මතකයක් බව පැහැදිලියි.
ක්‍රිස්තු වර්ෂයෙන් පස් වැනි සියවසේදී මෙම ස්ථානය හඳුන්වා දී තිබෙන්නේ සමන්තකූටය යන නමින්. පසුකලෙක ව්‍යවහාරයට පැමිණි සමනළකන්ද යන ව්‍යවහාරය සකස් ෙවන්නේ සමන්තකූට යන පදය ආශ්‍රයෙන්.
• මෙම ස්ථානය ශ්‍රී පාදය යන නමින් හැඳින්වීම ආරම්භ වන්නේ කිනම් කාලයක සිට ද?
පැරණි කාලයේ රෝහණ පර්වතය හෝ ලංකා පර්වතය නමින් හඳුන්වන ලද මෙම ස්ථානය මෙරට බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ වන ආකාරය ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවසේදී රචිත මහා වංශයේ පැහැදිලි කර දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමෙන් අනතුරුව ගත වූ තුන්වැනි අවුරුද්දේ කැලණියට වැඩම කළ අවස්ථාවේ සමන්තකූටය මුදුනෙහි තමන් වහන්සේගේ පා සටහන පිහිටු වූ බව එහි සඳහන් වෙනවා. සම්න්තකූටය නමින් මෙතැන හඳුන්වන්නේ රෝහණ පර්වතයයි. මහා වංශය සඳහන් කරන අන්දමට සමන්තකූටය මහා සුමන නම් දෙවි කෙනෙකු වාසය කළ තැනයි.
බුදුන්වහන්ෙස් බුද්ධත්වයෙන් නව වැනි මාසයේ මහිංයගණයට වැඩම කළ අවස්ථාවේ මහා සුමන බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි බවත් එහි සඳහන්ව තිබෙනවා. බුදුන්වහන්සේ සිය තෙවැනි ලංකා ගමනේදී සමන්තකූටයට වැඩම කොට එහි සිය පාද ලාංඡනය පිහිටු වූ බව ඉතිහාසයේ කියා ඇති හෙයින් අනතුරුව එම ස්ථානය බෞද්ධයින්ෙග් ගෞරවාදරයට පත් වීමට පටන්ගත් බව පෙනෙනවා. මෙම ප්‍රවෘත්තීන්වල අන්තර්ගතව තිබෙන සිද්ධිවාචක අර්ථයට වඩා වැදගත් වන්නේ කාල අවකාශීය වශයෙන් ඒවා තුළ පවතින සාරාංශයයි.
• ශ්‍රී පාදය මෙරට ඉතිහාසයේ අවධානයට ලක්ව තිබෙන්නේ කුමන ආකාරයකට ද?
ඉතා පුරාණ කාලයක සිට. එනම් අවම වශයෙන් මෙරට බුදුදහම නිත්‍ය වශයෙන් පිහිටු වීමට පෙර කාලයක සිට රෝහණ පර්වතය නමින් එම ස්ථානය මෙරට පමණක් නොව ඇතැම් විෙද්ශිකයින් අතර ද ප්‍රසිද්ධව පැවැති බව පෙනෙනවා. ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවසේදී මෙරටට වැඩම කර කාලයක් තිස්ෙස් අනුරාධපුර අභයගිරි විහාරයේ වාසය කළ චීන ජාතික භික්ෂුවක් වූ ෆාහියන් හිමියන් සිය සටහන්වල ශ්‍රීපාද පර්වතය ගැන සඳහන් කර තිබෙනවා. ඉන් තේරුම් ගත හැකි වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් පස්වැනි සියවස ෙවන විටත් ඒ පිළිබඳ මෙරට වැසියන් අතර අවධානයක් පැවැති බවයි.
ශ්‍රී පාදය මෙරට ජනතාවගේ අතිශය ගෞරවයට පත්ව පැවැති තැනක් නිසා පාලකයින්ගේ ද අවධානය ඒ වෙත යොමු වුණා. මෙරට පාලනය කළ රජවරු කිහිප දෙනෙක්ම ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය බව චූලවංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙනවා. මෙලෙස ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය පළමු වැනි රජු හැටියට වාර්තා ෙවන්නේ පළමු වැනි විජයබාහු රජතුමායි.
ඒ රජු ශ්‍රී පාදස්ථානයේ නඩත්තු කටයුතු වෙනුවෙන් ගිලීමලය සහ අඹගමුව යන නමින් හැඳින්වෙන ගම් ශ්‍රී පාදයට පූජා කළ බව වාර්තා වෙනවා. ශ්‍රී පාදයට ළඟා වීමට තිබූ මංමාවත් නිසි පරිදි පිළිසකර කරවීමට ඒ රජතුමා කටයුතු කළා. තමා විසින් මෙම වන්දනීය ස්ථානයට පිරිනමන ලද පුද පූජා පිළිබඳ විස්තරයක් සටහන් කරමින් එරජු විසින් පිහිටුවන ලද අඹගමුව ශිලාලේඛනය අදත් දකින්නට තිබෙනවා. පුරාණ කාලයේ ගලක කෙටා තිබෙන දේ අද කඩදාසිවල ලියා සම්මත කරගන්නා දේට වඩා ප්‍රබලයි.
ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය තවත් රජ කෙනෙකු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයි. එරජු ගිලීමලය සහ අඹගමුව යන ගම් නැවතත් ශ්‍රී පාදයට පූජා කර තිබෙනවා. එතුමා ශ්‍රී පාදය වන්දනා කිරීමට ගමන් කළේ සිවුරඟ සේනා පිරිවරා ගෙන බව කියැවෙනවා. පළමු වැනි විජයබාහු රජු ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය ගමන යම් දුරකට ඓතිහාසික සත්‍යයක් වන්නා සේම නිශ්ශංකමල්ල රජු ශ්‍රී පාදය වන්දනා කිරීමට ගිය ගමනත් ඓතිහාසික වශයෙන් සත්‍ය සිද්ධියක් බව පෙනෙන්නේ එරජු විසින් ශ්‍රී පාද කන්දේ තිබෙන එක්තරා ගල්ගුහාවක සෙල් ලිපියක් කොටවා තිබීමෙන්. එම ගල් ගුහාව හැඳින්වෙන්නේ ‘බලවා ලෙන’ යන නමින්. එහි පුද්ගලයෙකුගේ රූපයක් කොටා තිබෙනවා. ඊට යටින් සඳහන් කර තිබෙන්නේ නිශ්ශංකමල්ල රජු ශ්‍රී පාදය වන්දනා කරන ආකාරයයි යනුවෙන්.
කෙසේ වුවත් ශ්‍රී පාද වන්දනාව වඩාත් ජනප්‍රිය වීම ආරම්භ ෙවන බව පෙනෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් දහවැනි සියවසේදී යි. ඉන් ටික කලකට පසුව සමන්තකූට වර්ණනාව නමින් කෘතියක් වේදේහ නම් වූ භික්ෂුන්වහන්සේ කෙනෙකු විසින් රචනා කරනු පෙනෙනවා. එම කෘතියේ අරමුණ වී තිබෙන්නේ සමන්තකූටය වර්ණනා කිරීමයි. ගාථා 802 කින් සමන්විත එම කෘතිය ලියා තිබෙන්නේ පාලි භාෂාවෙන්.
දෙවැනි පරාක්‍රමබාහු රජතුමාත් ශ්‍රී පාදය වඳින්න ගියා. ශ්‍රී පාදයේ සිට සැතපුම් 20 ක් අවට තිබෙන ගම් බිම් ශ්‍රී පාදයේ නඩත්තු කටයුතු සඳහා ඒ රජු විසින් ශ්‍රී පාදයට පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ රජතුමාෙග් ඇමැතිවරයෙකු වශයෙන් කටයුතු කළ දේවපතිරාජ නමැත්තා ශ්‍රී පාදය වෙනුවෙන් මහත් වැඩකොටසක් ඉටු කළ පුද්ගලයෙක්. ඔහු ශ්‍රී පාදයට ප්‍රවේශ වීමට තිබෙන පඩි පෙළ ක්‍රමවත් කිරීමට කටයුතු කළා.
එපමණක් නොවෙයි ශ්‍රී පාදය මුදුනේ සුමන සමන් දෙවියන්ෙග් ප්‍රතිමාවක් ඉදිකිරීමටත් දේවපතිරාජ ඇමැතිවරයා කටයුතු කළා. ඉන් අනතුරුව දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පුත් විජයබාහු රජතුමා, මහනුවර රජ පැමිණි වික්‍රමබාහු රජතුමා, පළමු වැනි රාජසිංහ රජතුමා, ශ්‍රී විජය රාජසිංහ රජතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා යන පාලකයින් ශ්‍රී පාද වන්දනවේ යෙදුනු බවට සාක්ෂි තිබෙනවා.
• මෙම ස්ථානයට තිබෙන හින්දු ආගමික සම්බන්ධය කුමක් ද?
ඉතිහාසයේ ගැඹුරට දිවෙන එවන් ඉතිහාසයක් ඇතැයි මා සිතන්නේ නැහැ. දෙමළ සාහිත්‍යයේ ශ්‍රී පාදය හැඳින්වීමට සිවන ඔලි යන පදය යෙදී තිබෙනවා. ඒ මණිමේඛලායි නම් වූ දෙමළ සාහිත්‍ය කෘතියේයි. සමහර තැන්වල එය සිවනොලි යනුවෙන් ව්‍යවහාර කර තිබෙන බව පෙනෙනවා. මණිමේඛලායි කෘතියේ සිවන-ඔලි යනුවෙන් ව්‍යවහාර කර තියෙන්නේ සමනොළ යන්නයි. ඒ මිස ශිව දෙවියන්ෙග් එම ස්ථානයට ඇති සම්බන්ධයක් පෙන්වා දීමටම නොවෙයි.
නමුත් පළමු වැනි රාජසිංහ රජතුමා ශ්‍රී පාදය ශිව භක්තික පූජකයින්ට පවරා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ඔහු විසින් ශිව ආගම වැලඳ ගැනීම නිසයි. තමන්ගේ පාලකයින්ට තමන් දරන පෞද්ගලික විශ්වාස පදනම් කරගෙන රටේ මහජනයාට අයත් උරුමය සමඟ රිසි කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා කල්පනා කරන්නේ නැහැ. පවරා දීම් සහ පාවා දීම යන දෙකම ඉතිහාසය පුරා සිදු වී තිබෙනවා. නමුත් සත්‍ය පිහිටන්නේ ඒවාට ඔබ්බෙන් බව අප විසින් වටහාගත යුතුව තිබෙනවා.
• ශ්‍රී පාදය ශිව දෙවියන්ට අයත් තැනක් හැටියට එක්තරා පිරිසක් විසින් යෝජනාවක් සම්මත කොට ගෙන ඒ බව ප්‍රකාශ කෙරෙන දැන්වීම් පුවරුවක් එහි සවිකර ඇති බව කියැවෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
සමහර විට එවැන්නක් යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් කර තිබේ නම් ඊට හේතුවක් විය හැක්කේ මා කලින් සඳහන් කළ පරිදි දෙමළ සාහිත්‍යයේ එන සිවන-ඔලි පාදම් යන ව්‍යවහාරය විය යුතුයි. එක් අවස්ථාවක මෙරටට පැමිණි අරාබි ජාතික දේශ ගවේෂකයෙකු වූ ඉබන් බතුතා ශ්‍රී පාදයට ගිය බව වාර්තා වී තිබෙනවා. සමහර විට මේ සිද්ධිය පාදක කරගෙන ඉදිරියේදී ශ්‍රී පාදස්ථානයේ නබි පාදම් යනුවෙන් දැන්වීම් පුවරුවක් සවි කළත් එය එතරම් පුදුමයක් නොවෙයි.
මෙවැනි කටයුතු ගැන අවධානය යොමු කිරීමට මෙරට මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන සංස්කෘතික අමාත්‍යාංශයක් තිබෙනවා. එහි සිටින වගකිව යුතු අය මේවා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. සර්ව ආගමික බහුසංස්කෘතික ආදී වශයෙන් ආනයනය කළ වචන දැන් භාවිතයට පැමිණ තිබෙන බව පෙනෙනවා. එහෙත් සංස්කෘතියක් යනු අනන්‍යතාවක්. අපේ රටේ පැරණි කාලයේ එකගෙයි කෑම යනුවෙන් හඳුන්වන ලද බහුපුරුෂ සේවනයක් තිබුණා.
නමුත් රටක සංස්කෘතිය එවැනි ආකාරයට බහු සේවනයේ යෙදවීම කළ හැක්කක් යැයි මා සිතන්නේ නැහැ. රටක සාමය පවතින්නේ සංස්කෘතිය බහුසේවනයේ යෙදවූ විට නොවෙයි. සෑම සංස්කෘතියකටම තමන්ගේ අනන්‍යතාවන් නිදහසේ භුක්ති විඳීමට අවශ්‍ය කරන යටිතල පහසුකම රජය විසින් සපයා දීමෙන් බවයි මගේ විශ්වාසය වන්නේ.
සටහන : ධනු විජේරත්න