ඉන්දික හේවාවිතාරණ
මූල්‍ය ආයතනවලට දේපළ උගස් කර ණය ලබා ගත් ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ට ණය ගෙවීමට අදාළව ලබා දී තිබෙන සහනය තවත් වසරකින්වත් දීර්ඝ නොකළ හොත් ගැටලු රැසක් ඇති වන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරයි.
ණය ගෙවීමට අදාළ සහන කාලය ලබන මස 15 වැනි දින අවසන් වුවද පවතින ආර්ථික අර්බුදය නිසා දේපළ උගස් කර ණය ලබා ගත් විශාල පිරිසකට තවමත් නිසි ලෙස ණය ගෙවීමට නොහැකි වී තිබෙන බව එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේය. ණය නොගෙවීම මත පරාටේ නීතිය (1990 අංක 4 දරන ණය අයකර ගැනීමේ පනත) ක්‍රියාත්මක කර මේ වසරේ පෙබරවාරි මාසය දක්වා කාලයෙහිදී දේපළ විශාල ප්‍රමාණයක් මූල්‍ය ආයතන විසින් අත්පත් කර ගත් බවද ඔහු පැවසීය.
මේ නිසා අදාළ අත්පත් කර ගැනීම් නවතා දමන ලෙසට තම සංගමය ඇතුළු ව්‍යාපාරික සංගම්, කර්මාන්තකරුවන්ගේ සංගම් පැවැති ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය. මේ අනුව මේ වසරේ පෙබරිවාරි 22 වැනි දින සිට ලබන මස 15 වැනි දින දක්වා දේපළ අත්පත් කර ගැනීම් නවතා දැමීමට අදාළ නීති සකස් කිරීමට පැවැති ආණ්‍ඩුව කටයුතු කළ බව රුවන් පොතුපිටිය පවසා සිටියේය.
දේපළ පවරා ගැනීම් අත්හිටුවීමට අදාළව ප්‍රකාශයට පත් කළ කාලය ලබන මස 15 වැනි දින අවසන් වීමෙන් පසුව ණය වාරික නොගෙවීම මත ලබන මස 15න් පසු අදාළ ආයතනවලට ලක්ෂ ගණනක් වූ ව්‍යපාරිකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපළ අත්පත් කර ගැනීමට හැකි වන බවද ඔහු සඳහන් කළේය.
සමහර ව්‍යපාරිකයන් හා කර්මාන්තකරුවන් රුපියල් මිලියන පනහක් හැටක් වටිනා දේපළ උගස් කර ලබා ගෙන තිබෙන්නේ රුපියල් මිලියන තුනක් හතරක් (3-4) බවත් ණය නොගෙවීම මත මෙවැනි දේපළ පවා හිමිකරුවන්ට අහිමි වන බවත් හෙතෙම පැවසීය.
දේපළක් අත්පත් කර ගැනීම අධිකරණ ක්‍රියාවලියක් යටතේ සිදුකිරීමට හා දේපළ වෙන්දේසි කර ලබා ගන්නා මුදලින් මූල්‍ය ආයතන ලබා දුන් ණය මුදල හා පොලිය අයකර ගෙන ඉතිරි මුදල් දේපළ උගස් කළ ව්‍යාපාරිකයාට හෝ කර්මාන්තකරුවන්ට ලබා දෙන ක්‍රමයක් ඇති කළ යුතු බව ඔහුගේ අදහසයි.
ණය ලබා ගත් සියලු දෙනා නැවත ණය හා පොලී වාරික ගෙවා උගස් කර තිබෙන දේපළ බේරා ගැනීමට සූදානම් වුවද පවතින අර්ථික අර්බුදය නිසා ලක්ෂ දහයකට ආසන්න ව්‍යපාරිකයන් හා කර්මාන්ත කරුවන් අසරණ වී තිබෙන බවද හෙතෙම පැවසීය. ඔහු මෙසේද කීය.
“ගෙවීගිය වසර දෙකක කාලයෙහිදී කුඩා, මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර කර්මාන්ත හා ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැත්තෑ දෙදහසක් පමණ වැසී ගොස් තිබෙනවා. මේ වසරේ ගෙවීගිය මාස එකොළහක කාලයේදී ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන දසදහසකට අධික ප්‍රමාණයක් අදාළ ආයතන විසින් අත්පත් කර ගෙන තිබෙනවා. පසුගිය වසරේ වාහන දසදහසක පමණ ප්‍රමාණයක් මේ ආකාරයට අත්පත් කරගෙන තිබෙනවා.”