දෛවයට අභියෝග කල දිරිය දියණිය


දැයේ සැබෑ වීරවරියක් 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ වෙනුවෙන් පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 272,682 ක් පෙනී සිටි අතර ඔවුන් අතරින් සිසු සිසුවියෝ 171,497 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූහ. එය ප්‍රතිශතයක් ලෙස 62,9% කි. දිවයිනේ ප්‍රථම ස්ථාන ලැබූ ශිෂ්‍යයන් වාර්තා වූයේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකළපුව සහ බදුල්ල යන ප්‍රදේශවලිනි. ​   


දෛවය අභියෝගයට ලක් කරමින් ආත්ම ශක්තිය, ධෛර්ය, නොපසුබට උත්සාහය, මනා කැපවීම පෙරටු කරගත් දිරිය දියණියක් මෙවර උසස්පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථ ලබාගෙන සිටී.   


ඇහැළියගොඩ ජාතික පාසලේ ඉගෙනුම ලැබූ උපතින්ම දෑත් සහ එක් පාදයක් අහිමි ඇය රශ්මි නිමේෂා ගුණවර්ධනයි.   


මෙම දැරිය ලිවීම, පොත් පිටු පෙරළීම, පරිගණකය මෙහෙයවීම ඇතුළු සියලුම දේ කරනු ලබන්නේ වම් පාදයේ ඇඟිලි තුඩුවලිනි. වෙනත් කිසිදු අවයවයක් මේ සඳහා ක්‍රියාත්මක කිරීමට ඇයට හැකියාවක් නැත.   
නමුත් උපතින් ලබා ඇති සියලු දුර්වලතා පසෙකලා වෙනත් නිරෝගී දැරියන්ට සමානව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම ඇගේ ඇති විශේෂ හැකියාවයි.   


ඇය අභියෝගවලට අභියෝග කළ දැරියකි. නොහැකියාව හැකියාවට පරිවර්තනය කළ ධෛර්ය සම්පන්න දියණියකි.   


2012 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව 2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ 8 ක් සහ ‘B’ සාමාර්ථයක් ද ලබාගත් අතර 2021 උසස් පෙළ විභාගයෙන් ද ‘A’ සාමාර්ථ 3 ක් ලබමින් ඇය විශිෂ්ටත්වයේ තුන්පිම්ම සම්පූර්ණ කළාය.   


ශිෂ්‍යත්ව විභාගය සමත්වූයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ දැරණියගල දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. දෙඅත් දෙපා ඇති පන්තියේ යහළුවන් අතරින් ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 153 ඉක්ම වූ ශිෂ්‍යාව ද ඇය වූවාය. ඒ අනුව ඇයට ඇහැළියගොඩ ජාතික පාසලට ඇතුළු වීමට වරම් ලැබුණි.   


2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, සිංහල ඇතුළු විෂයන් අටකට ‘A’ සාමාර්ථ ලබා දෙමළ විෂයටය ‘B’ සාමාර්ථයක් ලැබුවාය.   


මෙවර වානිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණ විෂයන් තුනට ‘A’ සාමාර්ථ තුනක් ලබා ගැනීමට සමත්ව සරසවි වරම් ලබන්නියක් බවට ද පත්වූවාය.   


ඇයගේ ජීවිතයේ තේමා පාඨය වූයේ නොපසුබට උත්සාහයත්, කැපවීමත්, අධිෂ්ඨානයත් ඇත්නම් විශිෂ්ටයන් බිහිවනු ඇති බවය.   


අධ්‍යාපනයට පමණක්ම නොව ගායනයට ද උපන් හපන්කම් ඇති රශ්මි නිමේෂා 2017 වසරේදී ‘සරසි ගී දැහැන’ ජනගත කළාය.   


‘සුදුසු කෙනෙක් නැත්නම් තනිමඟ යන්නැයි බුදුහිමි දෙසුවා...’   


අත්වැල නැතිදා දෙපා වාරුවෙන් දුරුකතර ගෙවන්නම්... ඇයගේම ගීතයකි. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා එම ගීතය රචනා කළේ ඇය වෙනුවෙන්මය. එපමණක් නොව වියට්නාමයේ පැවැති ගෝලීය තොරතුරු තාක්ෂණ අභියෝග තරගාවලියේ ‘සුපර් චැලේන්ජ්’ රන් පදක්කම ලංකාවට ගෙන ඒමට ද ඇය සමත්වූයේ අභියෝග ජයගැනීමේ අභිප්‍රාය නිසාය.   


විවිධ අභියෝග, හිමිවීම්, අහිමිවීම් හැමෝටම පොදුයි. අපි හැමෝටම විවිධාකාර අභියෝග මේ ජීවිතේදී මුණගැහෙනවා. ඇඟේ හයියට වඩා හිතේ හයිය තමයි වැදගත් වෙන්නෙ. හැමදේම දරාගෙන ඉදිරියට යන්නයි ඕනෑ. තමාට නොමැති දේ ගැන දුක්වෙලා පසුතැවිලා වැඩක් නැහැ.’ ඇය කීවාය.   


මේ ඇගේ කතාවේ ආරම්භයයි.   


මේ ලබාගත්ත ජයග්‍රහණයේ සතුට වචනවලට පෙරළමුද?   


ඇත්තටම ගොඩක් සතුටුයි. හීනයක් වෙලා තිබුණු දෙයක්. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ගොඩක් නිදි වරාගන, මහන්සිය දරාගෙන පාඩම් කළා. ඒ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල මේ විදියට ලැබෙද්දී හරිම සතුටුයි. ඒ සතුට විස්තර කරන්න වචන නැහැ. මම මේ ප්‍රතිඵල ආපු වෙලාවෙත් ටික වේලාවක් ඇඬුවා සතුට වැඩිකමට.   


මේ වෙද්දි පිමි 3 ක් පැනලා නේද තියෙන්නේ?   


ඔව්නෙ ශිෂ්‍යත්වය, O/L සහ A/L විභාග තුනම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ තුළින් මුලින්ම කියන්න ඕනැ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. එතැනින් පසුව තමයි ගොඩක් දෙනෙක් මාව දැනගත්තේ. මම සමාජය එක්ක ගොඩක් මුහුවුණේ එතැනින් පස්සෙ. ඒ නිසා ඒක මගේ ජීවිතේ හැරවුම්ලක්ෂ්‍යය විදියට සලකනවා. සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් A 8 ක් සහ B 1 ක් ලැබුණා. ඒ වගේම අවසාන විභාගය A/L කියන්නෙ කෙනෙක්ගෙ පාසල් ජීවිතේ ලොකුම කඩඉම. ගොඩක් දුරට ජීවිතේ තීරණය වෙන්නෙ එතනින්. ඉතින් මට ඕනැ වුණා විශ්වවිද්‍යාලයට යන්න. ඒක මගෙ අම්මගෙයි, අප්පච්චිගෙයි හීනයක්, ගොඩක්ම මගේ හිතේ තිබුණෙ මම වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන ඒ දෙන්නාගේ හිත සතුටු වෙන ප්‍රතිඵලයක් ලැබෙන්න කියන දේ. ඉතින් ඒ අරමුණට බලාපොරොත්තුවට තමයි මම වැඩ කළේ. ඉතින් අද වෙද්දි මට ඒ පිමි තුනම සාර්ථකව ජයගන්න ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය පිටුපස හිටපු අම්මා, අප්පච්චි, අක්කා වගේම මට කැපවීමෙන් උගන්වපු ගුරුවරුන් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.  


ගොඩක් අභියෝග මධ්‍යයේනෙ මේ වැඩකටයුතු කරගෙන යන්නේ? ඉතින් විභාගවලට එහෙම මුහුණදෙද්දි ලියද්දි අපහසු නැද්ද? දැන් ඒ දේට හුරු වෙලාද?  


ඔව්, කකුලෙන් ලියන එක දැන් ගොඩක් දුරට හුරුවෙලා. මොකද දැන් අවුරුදු 13 ක්, 15 වගේ ඉඳන් ලියනවනෙ. ඒත් ඉතින් ව්‍යාපාර අධ්‍යයනය වගේ ගත්තොත් ගොඩක් ලියන්න තියෙනවා. විභාගයේත් මම පිටු ගණනාවක් ලිව්වා. ඉතින් එතකොට පන්තිවල ලියද්දි, පාස් පේපර්ස් කරද්දි ගොඩක් ලියද්දි කකුල කැක්කුම එනවා. එතකොට ඉතින් කකුල නවලා තෙල් ගාලා මොනවා හරි දෙයක් ඒ වෙනුවෙන් කරනවා. අම්මා, අප්පච්චි හෝ අක්කා. ඒ දේවල් වලින් පස්සෙ පොඩි විවේකයක් අරගෙන නැවතත් වැඩ කරගෙන යනවා. ඒ වගේ අභියෝග අපහසුතා අනත්ත අප්‍රමාණව තිබුණා. නමුත් ඒ හැමදේම දරාගෙන කොහොම හරි මේ දේ කරන්න ඕනෑ කියන දේ උවමනා තිබුණා.  


මේ සියලු අභියෝග මැඩගෙන ජීවිතේ දිනන්න පුරුදු වුණේ කොහොමද?  


මම හිතන්නේ මට මුළු ජීවිතේම අභියෝගයක් වුණා. ඉපදුණු දවසේ පටන්ම. නමුත් මගේ හයියට හිටියේ මගේ පවුලෙ අම්මා, අප්පච්චි, අක්කා. ඒ කවුරුත්ම පුංචි කාලෙ ඉඳන් මට වෙනසක් දුකක් කිසිවක් නොදැනෙන්න වැඩ කළා. විශේෂයෙන්ම මගේ අම්මගෙ, අප්පච්චිගෙ අවබෝධය සහ ඒ දැනුම එක්ක මම හිතන්නේ මාව සමාජගත කරලා මගේ හැකියාව දියුණු කරගෙන ජීවිතයේ යම්තාක් දුරකට සාර්ථක කරගන්න ඇපකැපවෙලා හිටියා. මමත් පුළුවන් තරම් හිත හයිය කරගෙන වැටෙන්න හදන තැන්වල වැටෙන්නෙ නැතිව කොහොම හරි අල්ලගෙන හිටියා.  


මම මානව සම්පත් කළමනාකරණ අංශයට තමයි ගොඩක් කැමති  


මම ඒ පිළිබඳව මේ වෙද්දි ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයෙත් ඒ විෂය ඉගෙනගන්න තමයි කැමැති. ඒ අංශයෙන් යන්න පුළුවන් උපරිම යන්නයි බලාපො​රොත්තුව, ඒ වගේම මම ධනාත්මක චින්තන වැඩසටහන් කරනවා. ඒ දේවල් රටේ තත්ත්වය සහ මගේ අධ්‍යාපනය එක්ක නැවතිලා තිබුණා. මම නැවතත් ඒ දේත් පටන් ගන්න ඕනැ. මේ හැමදේමත් එක්ක මගේ සංගීත කටයුතුත් නවත්තන්නෙ නැහැ. ඒ හැම අංශයකින්ම ඉදිරියට යන්න තමයි කැමැති.  


අම්මා කියන කතාව  


ජීවිතේ අසරණකම, වේදනාව, සිත්තැවීම අනන්ත අප්‍රමාණ හිත යටින් විඳලා ඇති. එහෙත් ඒ සියල්ල පසෙකලා තම දියණිය ලැබූ ජයග්‍රහණය අද දිනයේ ඉතා සතුටින් භුක්ති විඳිනවාත් ඇති. සමාජයටම ආදර්ශයක් වූ වීර දියණියකගේ ඒ ආදරණීය මව ධම්මිකා ගුණවර්ධන මහත්මිය සිය දියණිය සම්බන්ධයෙන් ඉතා හැඟීම්බරව ඉරිදා ලංකාදීප අප සමඟ කරුණු දැක්වූයේ මෙසේයි.  


දැන් රටම ඔබේ දියණියට කියන්නෙ ​‘දෛවයට අභියෝග කළ දිරිය දියණිය’ කියලා මේ කතාව ගැන අම්මාට මොකක්ද කියන්න තියෙන්නේ?  


ජීවිතේ කියන්නෙම අභියෝගයක් තමයි. ඒ අභියෝග මධ්‍යයේ සාමාන්‍ය දරුවො එක්ක ජීවිතේ ලොකු සටනක් කරලා තමයි ඇය මේ ජයග්‍රහණය ලබාගත්තෙ. මම හිතන්නේ ජීවිතේ කළ නොහැක්කක් නොමැත කියන පාඨයට මගේ දියණිය ලොකු ආදර්ශයක් සමාජයට දීලා තියෙනවා. ඇත්තටම දියණියගේ ශක්තිය තමයි මේ ජයග්‍රහණයට ලොකුම හේතුව. අපිත් ඇයට ලොකු ශක්තියක් වුණා. කිසිම විදියකින් අතඇරියෙ නැහැ. ඉතින් අද මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි.  


අම්මා වුණාම විශේෂයෙන් දියණියක් පසුපස නිරන්තරයෙන්ම රැඳී සිටිමින් ලොකුම කැපකිරීමක් කරන්න අවශ්‍යයි. ඉතින් මේ කැපකිරීම් සිදුවුණේ කොහොමද?  


ඔව්. ඇත්තටම දුවෙක් නිසා පුතෙකුට වඩා ලොකු දේවල් තියෙනවනෙ ළඟින් ඉඳගෙන කරන්න. ඒ සියලු දේ මම විඳ දරාගෙන දුව වෙනුවෙන් කළා. සමහර විට මම අසනීප තත්ත්වයෙන් පසුවෙන මොහොතවල් තියෙනවා. ඒ කිසිම දෙයක් මම සමහර වෙලාවට ඇයට නොපෙනෙන්න දරාගෙන තියෙනවා. හැමදේම ඉවසගෙන කළා. මගේ ලොකු දුව ඉන්න වෙලාවට ඇය ළඟින් ඉඳන් ලොකු උදව්වක් දෙනවා. නමුත් ඇයත් තවම ඉගෙන ගන්න දරුවෙක් නිසා හැමදේටම යොදවගන්න බැහැ. ඉතින් මම තමයි ගොඩක් වෙලාවට සියලුම දේවල් කරන්නෙ. නාවන, කවන, පොවන අන්දන හැමදේම කරන්න අවශ්‍යයි. දෑත් අහිමි නිසා මදුරුවෙක් දෂ්ට කරලා කැසුවත් ඒ හැමදේම වෙනුවෙන් ළඟින් ඉඳලා හැමදේම කරන්න අවශ්‍යයි. ගොඩක් දුෂ්කරතා මැද තමයි රෂ්මි වෙනුවෙන් අපි ජීවත් වෙන්නෙ.  


මේ දුෂ්කරතා, ප්‍රශ්න මැද්දෙ වුණත් සතුටු වෙන්න පුළුවන් ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා නේද?  


ඔව්. ඇත්තටම අපිටත් වඩා දුවගෙ හිත ශක්තිමත්. ඒක පුංචි කාලෙ ඉඳන්ම එහෙමයි. දුව කියන්නෙ අම්මගෙන් අප්පච්චිගෙන් තමයි හැමදේම දරාගන්න පුළුවන් ශක්තියක් ලැබුණේ කියලා. ඉතින් දැනටත් ගොඩක් දේවල් අපිටත් වඩා දුව ශක්තිමත්ව දරා ගන්නවා. මාධ්‍යවලට ගිහින් කතා කරද්දි වුණත් මට සමහර වෙලාවට දරාගන්න බැරිව ඇස්වලට කඳුළු එකතුවෙන අවස්ථා තියෙනවා. මොකද මට හරි ඉක්මනට ඇඬෙනවා. ඉතින් දුව ළඟ හිටියොත් මට හිමින් කියනවා අඬන්න එපා අම්මේ කියලා. හැමවෙලේම වගේ අපිට කියන්නේ ලද දෙයින් සතුටුවෙන්න පුරුදු වෙන්න කියලා. ඉතින් අපිත් කොහොම හරි දරාගන්න දැන් හුරුවෙලා තියෙනවා. අම්මා විදියට හිත හයිය කරගෙන ජීවත් වෙන්න ලොකු ශක්තියක් දැන් ඇවිල්ලා තියෙනවා මේ ලබපු ජයග්‍රහණත් එක්ක. මොකද මේ ජයග්‍රහණ ඇයගෙ අනාගතය තීරණය කරන කඩඉමක්නෙ. දැන් අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඇත්තටම ලොකු බරකින් නිදහස් වුණා වගේ හැඟීමක් මටම දැන් දැනෙනවා.  


රශ්මිගෙ මේ තත්ත්වය ගැන මුල්ම කාලෙදි කොහොමද දරාගත්තෙ?  


රශ්මි ඉපදුනාට පස්සෙ තමයි මේ තත්ත්වය දැනගත්තෙ. ඇත්තටම ලොකු වේදනාවක් තිබුණෙ දරාගන්නම බැරි විදියට. ඇත්තටම කිව්වොත් මම මගේ පවුලෙ බාලම දරුවා. පවුලෙ දස දෙනෙක්ගෙන් බාලම මම. ඒ නිසාම මට කිසිම බරක් පතලක් තිබුණෙ නැති කෙනෙක්. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒ අවසන් වෙලා ගෙදර ආවා. ඒ ජීවිතයෙන් පස්සෙ ගුරුවරියක් විදියට සේවයට බැඳුණා. විවාහ වුණා.  


විවාහයෙන් පස්සෙ ලොකු දුව ලැබුණා. එතැනින් පසුව චූටි දුව ලැබුණෙ. ඉතින් කිසිම අම්මා කෙනෙක් පතන්නෙ නැහැනෙ මෙහෙම දෙයක්. ඉතින් මේ තත්ත්වය දරාගන්න බැරිව අවුරුද්දක් විතර ගියාට පසුව මම අසනීප වුණා. ලොකු ඔළුවෙ කැක්කුමක් ඇවිල්ලා ඔළුව ඇතුළ ගැහෙන්න ගත්තා. වෛද්‍යවරු කිව්වෙ ලොකු සිදුවීමක් දරාගන්න නොහැකිව මෙහෙම වුණේ කියලා. ඉතින් එහෙම අසනීප වෙලා අවුරුදු ගණනාවක්ම බෙහෙත් කරලා තමයි මේ යථාතත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ.  


රශ්මිගේ ජයග්‍රහණය පිළිබඳව පියා වූ සරත් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.  


ඇත්තටම දියණියගේ මේ ජයග්‍රහණය ගැන මට හරිම සතුටුයි. ඒ සතුට, හැඟීම වචනවලට පෙරළන්න බැහැ. මොකද අපි හිටපු මානසික මට්ටම් එක්ක, මුල් කාලෙදි මුහුණ දුන් ප්‍රශ්න. පීඩනය ඒ හැමදේම එක්ක බැලුවම අද දවසේ සතුටුවෙන්න පුළුවන්.  


පුංචි කාලෙ ඉඳන්ම දියණියගේ මේ දක්ෂතා හඳුනාගෙන තිබුණද?  


ඇත්තටම දියණියගේ අවයව අඩුවීම තමයි ප්‍රශ්නෙකට කියලා හඳුනාගෙන තිබුණෙ. ඇයගේ බුද්ධි මට්ට්මේ ගැටලුවක් නැහැ කියන දේ හොඳින්ම පෙණුනා. අපේ දරුවා ඉපදුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ. ඉපදුණාට පසුව තමයි මේ තත්ත්වය දැනගන්න ලැබුණෙ. ඒ තත්ත්වයත් එක්ක අපි මාස ගණනාවක්ම අඬනවා. ඒ අඬද්දී වෛද්‍යවරයා කිව්වා දියණියට තියෙන්නේ අවයව නැති ප්‍රශ්නයක් විතරයි. නමුත් බුද්ධියේ ප්‍රශ්නයක් නැහැ. ලෝකෙ තියෙන වටිනාම දේ බුද්ධිය. ඒ නිසා ඒක නිසි විදියට පාවිච්චි කළොත් නැති හැමදේම ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් දෙයක් කරන්න කියලා. අපි ඉතින් ඒ ගැන කල්පනා කළා. මොකද කරන්නේ කියලා. මොකද අපිට කවදාවත් ළමා නිවෙසකටවත් දියණිය භාර කරන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේවත් නැහැ. ඇත්තටම ලංකාව ඇතුළෙ මේ වගේ ගැටලු ඇතිවුන දරුවන්ව යොමුකරන්න උපදේශන ආයතනයක්වත් නැහැනේ. එහෙම ස්ථානයක් මේ වනතුරුත් හමුවෙලාවත් නැහැ. ඉතින් අපි මේ ගැන කල්පනා කළා. කල්පනා කරද්දි අපිට ප්‍රශ්න ගොඩක් මතුවුණා. මම මුලින්ම පෙර පාසල් ගුරුවරියකට කතා කරලා මේ ගැන කිව්වාම ඇය මගෙන් ඇහුවෙ කොහොමද මේ දරුවට උගන්වන්නේ කියලා. මම ඒ ගුවරියට කිව්වා උගන්වන්න එපා දරුවට පෙනෙන්නට ඒ ක්‍රියාකාරකම් ටික විතරක් කරන්න කියලා. අපි හැම මොහොතකම කරන්නේ උගන්වද්දි ළමයාට නියෝග කරන එකනෙ. මම ගුරුවරයෙක් විදියටත් ඒක දන්නවා. ඉතින් දරුව කොළ අලවන්න ඒවා කපන විදිය ඒ දිහා බලාගෙන හිටියා මුලින්ම. ඒවත් එක්ක තමයි දරුවා කකුල හුරු කරගත්තෙ. ඒ දේවල් කරන්න මුලින්ම. මොකද වෙන විකල්පයකුත් නැති නිසා. එහෙම නැතිව අපි කවුරුත් ළඟ කකුළෙන් ලියන්න පුළුවන් කියන අදහස තිබුණෙ නැහැ. දරුවම තමයි ඒ දේ හොයාගත්තෙ. මුල් කාලෙදි ඇයට හරියට ඇවිදින්නත් බැහැ. මොකද වම් කකුල විතරයි හොඳට තිබුණෙ. කොහොම හරි දරුවා කකුලෙන් වැඩ කරන්න පටන් ගත්තා ටිකින් ටික ඒ දැකලා තමයි අපි ඉදිරියට ඇයව ගෙනියන්න මූලික පියවර ගත්තෙ.  

ලංකාව තුළ මෙවැනි සිදුවීමකදී ගොඩක් දෙනෙක් කියන්නෙ මේ අපේ කරුමෙ, නැත්නම් ලබා උපන් හැටි, ගිය ආත්මෙ කරපු පවක් ඵල දුන්නා වගේ දේවල්. නමුත් මව්පියන් විදියට ඔබ දෙපළ දරුවගෙ අනාගතයක් ගැන ඊට වඩා හිතුවා?  


ඔව්. ඒක ඇත්ත. ඇත්තටම අපිට හිතුණෙ ඉදිරි ජීවිතය දරුවා තනියෙන් ජීවත්වෙන්නෙ කොහොමද? ආදායමක් හොයාගන්නෙ කොහොමද? අපි නැති දවසක දරුවා රැකෙන්නෙ කොහොමද කියන දේවල්. ඒ ප්‍රශ්නය තදින්ම දැනෙනවා. ඒ නිසාම අපි හිතුවා දරුවාට ඉගෙන ගන්න පුළුවන් නම් කොහොම හරි උගන්වමු කියලා. ඉතින් මෙයාව ඉදිරියට ගෙනියන්න මොකක් හරි ආදර්ශයක් තියෙන්නත් ඕනෑනේ. ඒ වෙනුවෙන් අපි ෆලෝ කළේ නික් වුජිසික් චරිතය. ඔහුටත් අත පය 4 ම අහිමියි. ඕස්ට්‍රේලියාවේ පදිංචි මොහු අවුරුදු 21 වෙද්දි වාණිජ විෂය හදාරලා උපාධිධාරියෙකුත් වෙනවා. මේ වෙද්දි විවාහ වෙලා දරුවොත් ලැබිලා ධනාත්මක උපදේශකවරයෙක් විදියටත් වැඩ කරනවා. ඔහු රටවල් ගණනාවකම මේ වෙද්දි සංචාරය කරලත් තියෙනවා. දැන්නම් ඔහුට වයස 40 ක් වගේ ඇති. ඉතින් මේ චරිතය දිහා බලලා අපිත් හිතුවා සමාජය මොන දේ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපි අපේ වැඩේ කරමු කියලා. එතැනින් පස්සෙ තමයි මූලික අධ්‍යාපන කටයුතු ටික ආරම්භ කළේ. පාසලකට ඇතුළත් කරලා අපේ මුල්ම අරමුණ වුණේ ශිෂ්‍යත්ව කඩඉම ජයග්‍රහණය කිරීම. ඒ ජයග්‍රහණය ලබාගන්න හැකි වුණා. ඇත්තටම අපේ උත්සාහය සහ කැපකිරීම එක්ක මුලදි ගොඩක් දෙනෙක් කිව්වා දරුවාව මාධ්‍යයට යොමු කරන්න. ඒ තුළින් මොකක් හෝ උදව්වක් ලැබෙයි කියලා. නමුත් මට ඕනැ වුණේ දරුවාගේ දක්ෂතාවයත් එක්ක සමාජයට මුදාහැරීම. ඉතින් එ් නිසාම ශිෂ්‍යත්වය සමත් කරවන්න ලොකු වෙහෙසක් දැරුවා. ඒ කඩඉම සමත් වීමත් එක්ක තමයි මෙවැනි දිරිය දියණියක් ඉන්නවා කියලා මාධ්‍ය තුළ ප්‍රචාරය වුණේ. එතැනින් පසුව දරුවාට ලොකු සමාජයක් ගොඩනැගුණා. මමයි, බිරිඳයි දෙන්නම පාසල් ගුරුවරු. මම කෘෂි උපදේශකවරයෙක්. බිරිඳ සංගීත ගුරුවරියක්. ඒ නිසාම දියණියටත් හොඳින් ගී2ත ගායනා කරන්න පුළුවන්. ඇයගෙම ගීත නිර්මාණය වුණා. ඇය වෙනුවෙන් ඒක පුද්ගල ප්‍රසංගයක් පවා පාසලේ ආරම්භ වුණා. අධ්‍යාපනයට අමතරව ඒ තුළත් කුසලතා දැක්වූවා. ඒ දේවල් එක්ක ආපු ගමන් මගේදි O/L කඩඉමත් හොඳින් ජයගත්තා විශිෂ්ඨ සමාර්ථ එක්කම. ඉන්පසුව තමයි A/L විභාගයත් සමත්වෙලා රත්නපුර දිස්ත්‍රික්කයේ 156 ස්ථානය ලබාගත්තා. 'A' සාමාර්ථ 3 ක් ලබා ගනිමින්.  


මේ දරුවා සමාජගත කරද්දි කොයිවගේ ගැටලුකාරි තත්ත්වයන්ටද මුහුණ දෙන්න වුණේ?  


පාසල ඇතුළෙ දරුවන්ගෙන් නම් කිසිදු ගැටලුවකට මුහුණ දෙන්න වුණේ නැහැ. එදා ඉඳන් අද වනතුරුම ඒ දරුවන්ගේ බෙදීමක් තිබුණෙ නැහැ. රශ්මිගෙ දෑත් නැහැ. පාද නැහැ කියලා ඒ දේ ඔවුන්ට කිසිදු විශේෂයක් තිබුණෙ නැහැ. නමුත් ඉතින් වැඩිහිටියො බලන්නෙ නම් දියණිය දිහා අමතුම විදියට. අනේ පව් කියලා අනුකම්පාවෙන්. සමහර වෙලාවට දරුවා ඉන්න තැනම අපෙන් මොකද මේ වෙලා තියෙන්නේ අහනවා. දරුවගෙ ආත්මයම කඩාගෙන වැටෙන විදියට බලන්නෙ කතා කරන්නෙ. දරුවා ඉන්න තැනම ඒ විදියට කතා කරද්දි මමත්, බිරිඳත් ඒ අයට ටිකක් දැඩි වෙලා තියෙනවා. ඒ සමහර විටක අපි ආවේගශීලීයි. ඇත්තටම ඒ වැඩිහිටියන්ගෙ මනස මුලින්ම හදන්න ඕනැ. ඒ ඇරෙන්න පාසල් දරුවන්ගෙන් නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ.  


ඔබ සහ බිරිඳ ගුරුවරුන් විදියට වැඩිපුර දරුවන් එක්කනෙ ජීවත්වෙන්නෙ. ඉතින් යම් අවස්ථාවල ගොඩක් සංවේදී වෙන තැන් ඇති?  


ඇත්තටම මුල් කාලෙදි නම් ගොඩක් ඇඬුවා. නමුත් ඉතින් අඬලා ඵලක් නැහැ කියන දේ තේරුම් අරගෙන මේ දේවල් දරාගෙන ඉන්නවා. දරාගන්න ඕනැනෙ කොහොමත්.  


මොකද අපිට තිබුණෙ නැහැ ආපසු හැරෙන ගතියක්. මුලින්ම දරුවා ශිෂ්‍යත්වය සමත් වුණාට පසුව හැමදේම වෙනස් වුණා. පසුව සංගීත ප්‍රසංග ආරම්භ කළාම ජීවිතේ ටිකක් වෙනස් වුණා. දරුවාගේ දක්ෂතා දකිද්දි අපිට ටිකින් ටික සතුටක් තමයි ඇතිවුණේ. දැන් ඉතින් අපිට ලොකුවට හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. දියණිය ලොකු දුරක් මේ වෙද්දි ගිහින් තියෙන නිසා.  


‘මෙවන් දියණියක් රටටම සම්පතක්.’ අද සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් කියන​ දෙයක් මේ. ඒ පිළිබඳව මොකක්ද කියන්න තියෙන්නේ?  


 ඔව් ඇත්තටම සමාජ මාධ්‍යවල ​ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා දියණිය ගැන. අපිට ඒ ප්‍රතිචාර දකිද්දි හරිම සතුටුයි. අංගසම්පූර්ණ වුණත් කෙනෙක්ට කරන්න බැරි ජයග්‍රහණයක් අපේ දරුවා ලබාගෙන තියෙනවානේ. ඒ දේට සමහර දෙමව්පියො කියනවානෙ ‘අත්පා නැතිවත් ඒ ළමයාට විභාග සමත් වෙන්න පුළුවන් උඹලට තමයි බැරි’ වගේ වදන්. ඉතින් මම දැක්කා සමාජ මාධ්‍යවල සමහර ළමයි දාලා තියෙනවා රශ්මි ශිෂ්‍යත්වය සමත් වුණාමත් ගෙවල්වලින් බැනුම් ඇහුවලු. එතැනින් පසුව O/L ප්‍රතිඵල ආවට පසුවත් බැණුම්ලු. දැන් A/L ප්‍රතිඵල ආවාට පස්සෙත් බැණුම්ම තමයි කියලා. ඇත්තටම ඉතින් විවිධාකාර විදියේ බාධක හමුවේ අභියෝග ජයගත් මගේ දියණිය දැයේ දරුවන්ට හොඳ ආදර්ශයක් ලබා දුන්නා කියන දේ මමත් විශ්වාස කරනවා. අංගසම්පූර්ණ කෙනෙක්ටත් ලබා ගන්න නොහැකි ජයග්‍රහණයක් මේ වෙද්දි ඇය ලබාගෙන තියෙනවා. ඒ ලැබූ ජයග්‍රහණයේ සතුට තාත්තා කෙනෙක් විදියට මම අද සතුටින් භුක්ති විඳිනවා.  

විවේකයක් ලැබුණු මොහොතක මේ දරුවොත් එක්ක එකතුවෙලා පවුලෙ පිරිස මොකද කරන්නේ?  


අපි ගෙදර හැමෝම සංගීතයට ගොඩක් ලැදියි. ඒ නිසා ගීත ගායනා කරනවා. ඒ වගේම මොනවා හරි විශේෂ කෑමක් හදනවා. රශ්මිට වුවමනා විදියට තමයි අපේ ගෙදර කාලසටහන හැදිලා තියෙන්නෙ. ඇයගෙ අක්කා වුණත් වැඩ කරන්නෙ රශ්මිගෙ අවශ්‍යතා ඉෂ්ට කරලා. අපිත් එහෙමයි. ලොකු දුව, මම, බිරිඳ භේදයක් නැතිව ඇයට කවන පොවන එකේ ඉඳන් කරනවා. විභාග කාලෙදි වුණත් ඇය පාඩම් කරද්දි ඒවට උපරිම සහාය ලබා දුන්නා. විශේෂයෙන් කියන්න ඕනැ ඇය පාඩම් කරන්නෙ රාත්‍රියෙ සිට එළිවනතුරු. එළිවුණාට පසුව ඇය නිදාගන්නවා. ඉතින් අපිත් සමහර වෙලාවට ඇහැරගෙන ඉන්නවා. පාඩම් වැඩවලට ඒ විදියට සහයෝගය දුන්නෙ. සමහර වෙලාවට විවේකයක් ලැබෙද්දි අපි කොහේ හරි ඇවිදින්න යනවා. අවුරුද්දකට චාරිකාවක් දෙකක් යනවා. මේ ප්‍රශ්න කියලා ගෙදරට සීමා වෙලා හිටියෙ නැහැ. රශ්මිව ලෝකාන්තෙට පවා අපි එක්කන් ගිහින් තියෙනවා. ලංකාව තුළ යන්න පුළුවන් ගොඩක් තැන්වලට අපි ඇයව ගෙනිහින් තියෙනවා. ඒ හැමදේකින්ම ඇය ගොඩක් සතුටු වෙනවා. තාත්තා විදියට මට කරන්න පුළුවන් උපරිම දේ මම දරුවා වෙනුවෙන් කරනවා. ඇත්තටම රශ්මි කියන්නෙ අපිටත් පුදුමාකාර විදියට ආදරේ කරන දරුවෙක්.  

 

 

ධනු විජේරත්න