කලක් තිස්සේ කඹ අදිමින් පවතින සයිටම් ප්රශ්නය දැන් ඉතාම බරපතළ අවස්ථාවකට මුහුණ පා සිටී. ඉදිරි සති දෙක ඇතුළතදී අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කර ඇත.
මේ සයිටම් අර්බුදය ආරම්භ වූයේ 2008 වර්ෂයේදීය. ජනතාව අතරට මේ ප්රශ්නය ගෙන ගියේ 2015 වර්ෂයේ සිටයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා මේ කාලය තුළ පවත්වා ඇති උද්ඝෝෂණ ව්‍යාපාර, රැලි, පා ගමන්, සංඛ්‍යාව 200කට අධිකය. කොළඹ නගරය තුළ පමණක් මේ වසර දෙක ඇතුළත විරෝධතා ව්‍යාපාර 20ක් පැවැත්වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. සයිටම් විරෝධි රැළි පැවැත්වීම තහනම් කරමින් පොලිසිය වාරණ නියෝග ගෙන තිබුණත් රැළි පැවැත්වුණි.
මේ වසර දෙකක කාලය තුළ පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරවලට පහරදීමෙන් සිසු-සිසුවියන් 420කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ප්‍රතිකාර ගෙන තිබිණි.
දැන් රජයේ බලධාරින් සයිටම් ප්රශ්නය පිළිබඳව සිසුන් සමග සාකච්ඡා කිරීම මුළුමනින්ම අතහැර දමා ඇත. පසුගිය මාර්තු මාසයේදී ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වූ බව කියන සාකච්ඡාවෙන් පසු මෙතෙක් රජයේ කිසිදු බලධාරියෙක් සාකච්ඡා පවත්වා නැත.
සයිටම් ප්රශ්නය පිළිබඳව ඉල්ලීම් හා යෝජනා ඇතුළත් කර රජයේ බලධාරීන්ට ලියන ලද ලිපිවල බර ටොන් එකකට ආසන්න විය හැකි බව සිසුහු සඳහන් කරති.
පොලිසිය ඉවක් බවක් නොමැතිව බැටන් ප්‍රහාර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර තොග වශයෙන් එල්ල කරනු ලැබුවත් විශ්වවිද්‍යාල සිසුන්ද සටන අතහැරියේම නැත. මෑතකම සිදුවීම වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට විශ්වවිද්‍යාල සිසුන් බලහත්කාරයෙන් කඩා පැනීමයි.
හමුදා බුද්ධි අංශ වල්මත් කරවමින් විශ්වවිද්‍යාල සිසුන් අමාත්‍ය ගොඩනැගිල්ල අත්පත් කර ගනිද්දි පොලිසිය වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාල ගොඩනැගිල්ල වටා ආරක්ෂාව තරකර ගෙන සිටියේය.
විශ්වවිද්‍යාල සිසුන්ගේ සහායට හා ශක්තියට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත්වී සිටිති.
සිසුන්ට පහර දුන්නොත් වර්ජන ව්‍යාපාරයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට තර්ජනය කරනු ලැබ තිබුණත් පහරදීම් නතර වූයේද නැත. සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුල් වූ සිසුන්ට පහර දුන් දිනයේම රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කලින් දැනුම් දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කළේය.
එම වර්ජනය අවසන් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති බව කියන නිල නොවන සාකච්ඡාවකින් පසුවය. එහිදී ඇතිවූ එකඟතාවක් හා එම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනය අතර පරස්පරතාව ගැන විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යළි වැඩ වර්ජනයකට සූදානම් විය.
මේ අතර සයිටම් සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා තම ආයතනයට සිසුන් බඳවා ගැනීම හා උපාධි ප්රදානය නැවැත්වීමට එකඟ නොවන බව සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇත.
මේ කඹ ඇදිල්ල හමුවේ අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවක් පෙන්නුම් කරයි. එකඟතාවකින් විසඳුමකට එළඹෙන තෙක් සෞඛ්‍ය ක්ෂේත්රය බරපතළ අර්බුදයකට මුහුණ පානු ඇත.
වෛද්‍ය පීඨ අටකම අවසන් වසර විභාගවලට සිසුන් ඉදිරිපත් නොවීමෙන් රජයේ රෝහල් 610කට සීමාවාසික වෛද්‍යවරු ලබන වසරේදී අහිමිවෙන තත්ත්වයක් උදාවේ. මේවායේ ප්‍රතිකාර ලබන ලක්ෂයකට ආසන්න නේවාසික රෝගීන් බරපතළ අසීරුතාවකට පත්වනු ඇත.
මේ තත්ත්වය නිසා පෞද්ගලික රෝහල් 241කට තවත් පොහොසත්වීමේ අවස්ථාව උදාවනු ඇත. සෞඛ්‍ය සේවය අඩාලවීමත් සමඟ ශ්‍රී ලංකාවේ මරණ සඳහා බලපාන මූලික හේතුව වශයෙන් සළකන බෝ් නොවන රෝග තර්ජනය අවමකිරීම, බෝ නොවන රෝගවලින් මියයන සංඛ්‍යාව 1/3කින් අඩු කිරීම, දුම්පානය, මධ්‍යසාර, තරබාරු බව ආදියට විසඳුම් ලබාදීමට නොහැකියාව ආදි ගැටළුවලට මුහුණදීමට හේතුවේ.
සෞඛ්‍ය සඳහා ජාතික ආදායමෙන් බිලියන 177.8ක මුදලක් 2015 වර්ෂයේදී වෙන්කර තිබුණි. මේ මුදලින් ජනතාවට නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකිවෙන තත්ත්වයක්ද උදාවේ.
ඉදිරි දෙසතිය තුළදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යළි අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇත.
මෝරුන්ගේ සටනට මැදිවූ හාල්මැස්සන් මෙන් තැලී පොඩිවි යන්නේ රටේ අසරණ ජනතාවය. වෛද්‍යවරුන්ටත්, ශිෂ්‍යයන්ටත් තම තමන් සාධාරණීකරණය වවීමට කරුණු කිමට ඇත. එහෙත් ජනතාව තම අසරණකම කියා පාන්නේ කාටද යන ප්‍රශ්නයට පිළිතුරක් නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා ලද තීරණය පිළිබඳව එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හෙරත් මහතා දැක්වූ අදහස් මෙසේය.
වර්ජනයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමට හෝ බලපෑම් කිරීමට ක්‍රියා කළහොත් සියලුම සහන සේවා නතර කර වර්ජනය අකුරටම ක්‍රියාත්මක කරනුලබන අතර ඇතිවිය හැකි එම තත්ත්වයට රජය වගකිවයුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කීය.
ඒ මහතා මෙසේද කීය.
සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා ව්‍යාපාරවලට පහර දුන්නොත් එම පහරදීමට විරෝධය දක්වා වර්ජනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා තිබුණා. එහෙත් ජනාධිපති කාර්යාලයට යන්න ගිය සිසුන්ට පහර දුන්නා. දෙවැනි වර සෞඛ්‍ය අමාත්‍යංශයට ගිය සිසුන්ට පහර දුන්නා.
ඒ සිද්ධියට විරෝධය දක්වා පැවැත්වූ වර්ජනය අත්හිටවූයේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව නිසයි. ඒ සාකච්ඡාව නිල නොවන බවට විවිධ කතා බහ පැවතුණා. අපි සාකච්ඡා කළේ රටේ ජනාධිපතිවරයා සමගයි.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතා හතරක් ලබාගත් නිසා වෛද්‍ය වර්ජනය අත්හිටවුවා. ඉන්පසු ගිය ඉරිදා ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ නිවේදනය හා අපි ප්‍රකාශයට පත් කළ කරුණු අතර පරස්පර විරෝධි බවක් තිබෙනවා. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කළ නිෙව්දනයේ සයිටම් ආයතනය ජනසතු කිරීම මූලික කර තිබුණා. මේ නිවේදනය රාජිත ඇමැතිවරයාට අවශ්‍ය පරිදි සංශෝධනය කර තිබෙන බව පසුව අපට දැනගැනීමට පුළුවන් වුණා. ජනාධිපතිවරයා දැනුවත්ව මෙය නිකුත් වුණාද? නැද්ද? යන්න කිව නොහැකියි. ජනාධිපතිතුමා බලාපොරොත්තු වූයේ මෙවැනි එකඟතා නොවන බවද දැන ගන්නට ලැබුණා. මේ වෙනතෙක් එකඟතා නොමැති කරුණු ඇතුළත් නිවේදනය සංශෝධනය කර නැහැ. මේ තත්ත්වය මාධ්‍යවලින් ප්‍රකාශ කළා.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව සයිටම් ආයතනය පිළිබඳවම රජය පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන බව සඳහන් කර ඇත. එම ගැසට් නිවේදනය හෝ කොන්දේසි පිළිබඳව අදහස් කරන දේ පිළිබඳව අප දැනුවත් කර නැහැ. මෙවැනි දෙයකට අප එකඟතාවය දක්වලත් නැහැ. රජයේ ගැසට් නිවේදනයේ සඳහන් කරන ලද්දේ උපාධි පිරිනැමීම හා සිසුන් ගැනීම නතර කරන බවයි.
‘‘රජයේ ගැසට් නිවේදනයේ සඳහන් කොන්දේසි සම්පූර්ණ කරන තෙක්” යන්න පිළිබඳව සඳහන් වුවත් අප එවැන්නක් කතා කරල නැහැ. අපි ප්‍රකාශ කළේ උපාධි පිරිනැමීම නතර කිරීම හා සිසුන් බඳවා ගැනීම නතර කිරීම පිළිබඳවයි. වර්ජනය අත්හිටුවීමට ප්‍රථම කරුණ එයයි. ශිෂ්‍යයන් බඳවා ගැනීම අත්හිටුවා උපාධි ප්රදානය නතර කළ පසු අනෙකුත් ගැටලු පිළිබඳව සාකච්ඡා කළ හැකියි. අවම ප්‍රමිතිය ගැසට් කිරීමට අපි එකඟයි.
ඒ අපි ඉල්ලූ දෙයක්. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය රැකීමත් අපේ ඉල්ලීමක්. සයිටම් පාඨමාලා වෛද්‍ය සභාව පිළිගත් පාඨමාලාවකට අනුව සැකසිය යුතු බව අපි ඉල්ලපු දෙයක් නෙවෙයි. ඒවා සාකච්ඡා මගින් විසඳිය යුතු දේවල්. පළමුව බඳවා ගැනීම් නතර කර ඉන්පසු දෙවනුව සාකච්ඡා මගින් විසඳා ගැනීමට එකඟ වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අප ඉල්ලපු දෙයක්. මූලික කරුණු 5න් දෙකක්ම අපි ඉල්ලපු කරුණු නෙවෙයි. සාකච්ඡාවට අදාළ වූ කරුණු වෙනස් කර තිබෙන බව බොහොම පැහැදිලියි.
දැන් සයිටම් ආයතනය සම්බන්ධයෙන් විවිධ මත රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙනවා. කොටස් වෙළෙඳ පොළට දානවලු. මේවා අපි එකඟ වූ කරුණු නෙවෙයි. එකඟ වූ කාරණා අතරින් වෙනසක් නොකර සඳහන් වෙන්නේ නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමත් රජයේ ස්ථාවරය දැනුම්දීමත් වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හා ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කිරීම යන කරුණු පමණයි. අනෙකුත් කරුණු වෙනස් කිරීම හෝ අලුතෙන් එක් කිරීම කර තිබෙනවා.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී සිසුන් බඳවා ගැනීම හා උපාධි ප්රදානය වහාම නතර කරන බවට එකඟ වුණා. සයිටම් නමින් මීට පසු ආයතනයක් නොමැති බවට සිතා ගන්නැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් සයිටම් උපාධි ප්රදානය ක්‍රමවේදයකට සකස් කරන බව නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
අවම ප්‍රමිතිය, සඳහන් කරන ලෙසටද කතා වුණා. රාජ්‍ය ස්ථාවරයේ මූලික හරය නීතිපති මගින් උසාවියට ඉදිරිපත් කිරීමට තීරණය වුණා. ඒක ගැටලුවක් නැහැ. සයිටම් අර්බුදය පිළිබඳව නව ප්රවේශයකින් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද එකඟ වුණා.
අපි සාකච්ඡා වූ කරුණු ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් නොවීම නිසා අර්බුදය දිග්ගැස්සෙන තත්ත්වයට පත්වී තිබෙනවා. මේ නිවේදනය නිවැරැදි කර දෙන බවට ජනාධිපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන් අප සමඟ ප්‍රකාශ කර සිටියත් මෙතෙක් එය ඉටුවී නැහැ.
ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් සංහිඳියාවට හානිකර ප්‍රකාශ දැන් නිකුත් වෙමින් පවතිනවා. සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ්, වමේ කේන්ද්‍රය, දඹර අමිල හිමියන් අපට අපහාසාත්මක ප්‍රකාශ කරනවා.
යළි සාකච්ඡා කරල ආවට පස්සෙ රාජිත ඇමැතිවරයා ඒ සාකච්ඡාවේදි එකඟවූ කරුණු වෙනස් කරනවා නම් සාකච්ඡා කරල වැඩක් නැහැ. රාජිත ඇමැතිවරයා ගැන අපේ කිසිම විශ්වාසයක් නැහැ. රාජිත ඉතිහාසයේ අපට ලැබුණ නරකම සෞඛ්‍ය ඇමැතිවරයා ඔහු සමඟ කරන සාකච්ඡා ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ. යම් විශ්වාසයක් තියෙන්නෙ ජනාධිපතිවරයා සමඟයි. මේ ඇමැතිවරු ජනාධිපතිවරයා සමග ගන්න තීරණ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරනවා නම් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙනවා හැර වෙනත් විකල්පයක් නැහැ.
ගිය බ්‍රහස්පතින්දා රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වර්ජනයකට යා යුතු බව ඒකමතිකව තීරණය කළා. ඒ තීරණයට අනුව වර්ජනය ආරම්භ කරන දිනය විධායක සභාව රැස්වී තීරණය කරනු ලබනවා. ඒ අනුව විධායක සභාව ඉදිරි දිනවලදී රැස්වී අඛණ්ඩ වර්ජනය පැවැත්වෙන දිනය තීරණය කරාවි.
වෛද්‍යවරු වර්ජනය කළත් හදිසි අනතුරු අංශය, ළමා හා මාතෘ රෝගි අංශ, පිළිකා අංශවල ප්‍රතිකාර, ඩෙංගු ප්‍රතිකාර අඛණ්ඩව සෑම රෝහලකම පවත්වාගෙන යනවා.
මේ අතරතුර කිසියම්ම හෝ වෛද්‍යවරයකුට මැර ක්‍රියාවක් හෝ තර්ජනය කිරීමක් කර තිබුණොත් එම රෝහලෙන් සියලු වෛද්‍යවරු ඉවත් කර ගන්නවා. සේවා සපයන සියලු අංශවලට ප්රතිකාරදීම අත්හිටුවනවා.
සයිටම් ප්රශ්නය පිළිබඳව මේ හුරතල් කළා හොඳටම ඇති. දැන්වත් රජය විසඳුමක් ලබාදිය යුතුයි.
දයාසීලී ලියනගේ