එංගලන්තයේ පදිංචිව සිටින ධානපතීන් යුවලක් විසින් මීට වසර පහකට පෙර මහාසංඝරත්නය වෙත කෝටි දොළහක් පමණ වටිනා දෙමහල් නිවසක් පරිත්‍යාග කරනු ලැබිණ. මේ විහාරස්ථානය පිළිබඳ මතකයන් අලුත් කරනු ලැබුවේ එහිදි නිර්වින්දන වෛද්‍යවරයෙක් හා ඉංජිනේරුවරයෙක් පැවිදි බිමට පිවිසීමත් සමඟය.
හෝමාගම ඉපිද හැදී වැඩි දැනට එංගලන්තයේ පදිංචිව සිටින යුවළක හා එම පවුලේ දරුවන් පස්දෙනාගේද එකඟත්වය ඇතිව මහාසංඝරත්නය වෙනුවෙන් ශ‍්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අග‍්‍රශ‍්‍රාවක මහාවිහාරාධිපති බානගල උපතිස්ස හිමි වෙත පරිත්‍යාග කළ මෙම නිවස ආර්. ඒ. විමලසේන පෙරේරා සහ ඥාානවතී මහත්මියගේ නම් දෙක සම්බන්ධ කරගනිමින් විමලඤාන විහාරය ලෙසින් නම් කෙරින.
එය විහාරස්ථානයකට වඩා දෙස් විදෙස්හි ධර්ම ප‍්‍රචාරය සඳහා භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත්කරන බව විහාරස්ථානය සඟසතු කරද්දී ප‍්‍රකාශ විය. එහි භාරකාරත්වය දරන මොණරාගල පඤ්ඤාලංකාර හිමි පවසන පරිදි අද වෙන විට එය භික්ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි අයටද භාවනානුයෝගි කටයුතු වල යෙදෙන්න, බෞද්ධ පොතපත අධ්‍යයනය කරන්න, යොදාගැනීමට ඉඩකඩ විවෘතව පවතී.
ඉංජිනේරුවකු ලෙසත්, වෛද්‍යවරයකු ලෙසත් ගත කළ ගිහි ජීවිතය අතහැර පැවිදි බිමට පිවිසීමට සිතක් කෙනෙකුට පහළ වෙන්නේ ඇයි? මේ ප‍්‍රශ්නයට සාමාන්‍ය සමාජයේදී විවිධ අදහස් පළවනු ඇති. ඉගෙන ගෙන වැඩිවුණාම සිදුවන දෙයක්, ජීවිතේ ගැන කලකිරිලා වෙන්න ඇති. බඳින්න හිටිය කෙනා අත්ඇරිලා ඒ ගැන දුකට නැත්නම් බිරිඳ අත්ඇරලා නිසා ඒ දුකට වෙන්න ඇති. මේ වගේ තමන්ට හිතෙන උපකල්පන මේ කතාවට ඈඳා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනු ඇත.
ඒ සාමාන්‍යයෙන් පවතින අත්දැකීම් අනුවය. ඉතිහාසයේ පටන්ම අද දක්වා බොහෝ විට පවුලේ දරුවන් සංඛ්‍යාව වැඩි වුණාම හැම දරුවෙකුටම එක වගේ උගන්වන්න බැරි වුණාම දෙමාපියෝ තමන්ගෙන් එක් දරුවෙක් බෞද්ධ ශාසනයට පූජා කරන්නට පෙළඹෙති. එය ශාසනයට කෙතරම් ප‍්‍රයෝජනවත්ද නැද්ද යන්න සාකච්ඡා කිරීමට හෝ අදහසක් දැක්වීමට හෝ අපිට තිබෙන ධර්ම දැනුම හා අත්දැකීම් ප‍්‍රමාණවත් නොවනු ඇත.
මොණරාගල පඤ්ඤාලංකාර හිමි යටතේ දොඩංගොඩ සුමේධ හිමි හා හොරණ අනුරුද්ධ හිමි පැවිදි බිමට පිවිසියේ මීට මාස දෙකකට පමණ පෙරදීය. සුමේධ හිමිගේ සහෝදරයා ඊටත් මාස කීපයකට පෙර පැවිදි බිමට පිවිස ඇති බවද විමලඤාන බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන හිමි නමක් අප සමඟ පැවැසූහ. දොඩංගොඩ සුමේධ නමින් පැවිදි බිමට පිවිසි සුමේධ හිමියෝ ගිහි ජීවිතයේදී නිර්වින්දන වෛද්‍යවරයෙකි. දොඩංගොඩ නෑහින්නේ පදිංචිකරුවෙක් වූ මේ වෛද්‍යවරයා නමින් තාරක වීරසූරිය වේ. හෙතෙම ගුරුපවුලක උපන් නිවුන් සොහොයුරෙක් හා නැගණියක්ද සමඟ හැදුනු වැඩුණු උගත් දරුවෙකි. වෛද්‍යවරියක් වන නැගණිය මේ වන විට මව සමඟ විදේශගතව වාසය කරන්නීය.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබු එරන්ද සිරිවර්ධන ඉංජිනේරුවෙකි. හේ ඉංජිනේරුවෙකු ලෙස වසර දහයක් පෞද්ගලික සමාගමකට සම්බන්ධ වී සිට ඇති අතර කලක් කැනඩාවේ ද වාසය කර ඇත. මේ දෙදෙනාටම පැවිදි බිමට පිවිසීමට අඩිතාලම වැටුණේ මරදාන මාළිගාකන්ද මහාබෝධි විහාරයේ පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහන් බව මොණරාගල පඤ්ඤාලංකාර හිමියෝ පෙන්වා දෙති.
“මේ භාවනා වැඩසටහන් මෙහෙයවන්නේ වලස්මුල්ලේ අභය හාමුදුරුවෝයි. උන්වහන්සේත් කලක් ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කළ වෘත්තිකයෙක්. අපේ බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යන්න නම්, බෞද්ධ දර්ශනය සමාජයට තේරුම් කර දෙන්න නම් එය ලොව පුරා ප‍්‍රචාරය කරන්න නම් සංඝ සමාජයට ප‍්‍රඥාවන්තයින් එක්විය යුතුයි. ප‍්‍රඥාවන්තයින් කියන්නේ උසස් විභාග සමත් කළ කියන කාරණාවම නෙවෙයි. විභාග සමත් කළ සියලු දෙනා ප‍්‍රඥාවන්තයින් වෙන්නේ නෑ වගේම එවැනි අධ්‍යාපනයක් නොලද සියලු දෙනා මෝඩයින් වන්නේත් නැහැ. පාසල් නොගිය ඇතැම් ගම්වැසියන් ඉන්නවා ඉතාමත් ප‍්‍රඥාවන්ත. ඒ මොන ආකාරයක වුණත් ප‍්‍රඥාවන්තයෙකුට පමණයි මේ ධර්ම කරුණු හරිහැටි අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ. තමන් හරියට අවබෝධ කරගත්තොත් විතරයි තවත් කෙනෙකුට පහදා දෙන්න පුලුවන් වෙන්නේ.
“මහණවෙන්න ගිහිගෙය කළකිරෙන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනා හිතන්නේ ගිහි ජීවිතයේ විවිධ ප‍්‍රශ්න ඇති වුණාම ඒ ගැන කලකිරිලා, නැත්නම් ලෙඩදුක් නිසා කලකිරිලා එහෙමත් නැත්නම් ජීවිතයේ සියලු වගකීම් ඉටුකර වයසට වයසට ගියාම දැන් ඉතිං බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනැ කියලා හිතලා මහණ වෙනවා කියලයි. නමුත් අපි පැවිදි දිවියට එළැඹිය යුත්තේ ධර්මය අවබෝධ කරගෙනයි” පඤ්ඤාලංකාර හිමි දරන්නේ එවැනි අදහසකි.
යම් කිසි ගිහියෙක් තමන් වහන්සේ වෙත පැමිණ පැවිදි කර ගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඒක ප‍්‍රතික්ෂේප කරනවාද යන පැනයට පඤ්ඤාලංකාර හිමියෝ මෙසේ පැහැදිලි කිරීමක් කළහ. “අපි මාළිගාකන්ද මහාබොධි විහාරස්ථානයේ භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡා පවත්වනවා. ඒ වැඩසටහන්වලදී අපි කරන්නේ ත‍්‍රිපිටකය මූලික කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධකර දීමයි. ඒවා නිසි පරිදි ධාරණය කරගත් ඇතැමෙක් මේ විදිහට පැවිදි බිමට පිවිසෙනවා. අපිට පැවිදි බිමට පිවිසෙන ප‍්‍රමාණය වැඩිකර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. කෙනෙකුට මේ ධර්ම කරුණු ගැන අවබෝධයෙන් තමන්ගේ ගිහි ජීවිතය ගෙන යන්න පුලුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ට පැවිදි වෙන්න ඕනැ කියලා කිව්වොත් අපි බලනවා ඒක හරි අවබෝධයෙන්මද කියන්නේ කියලා. ඒ නිසා අපි එවැන්නන් ටික කාලයක් අප සමග භාවනා වැඩසටහන්වලට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ධර්මය අවබෝධකරගෙන ඇතිද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක්කරනවා. එහෙම නැතිව නිකම් ආවාට ගියාට මහණ වෙලා වැඩක් නැහැ. ඔබ කිව් අනුරුද්ධ හිමි හා සුමේධ හිමිත් ඒ විදිහට අපිත් එක්ක කාලයක් භාවනා වැඩසටහන් වලට සහභාගී වුණා.”
“තමන් කවදා කොයි රටක හිටියත් තමන් හිතන දේ ඒ විදිහටම ඉටුකරගන්න බැරි බව, කවදාවත් තමන්ගේ ආශාවන් එලෙසින්ම ඉටුකරගන්න බැරි බව අවබෝධ කරගන්න පුලූවන් නම් ඒකට හේතු සොයා යන්න අපි පෙළඹෙනවා. එය අපි හොඳ අවබෝධයෙන්ම කරන විට සත්‍යය වටහා ගන්න පුලුවන් වෙනවා. අපිත් සමඟ රටේ පිළිගත් වෘත්තීකයන්, සිංහල බෞද්ධයන් වගේම මුස්ලිම් ජාතිකයන් හා කි‍්‍රස්තියානි භක්තිකයන් පවා භාවනා වැඩසටහන්වලට සහභාගී වෙනවා. භාවනාව අපි කාටත් මනස සැහැල්ලු කරගන්න හොඳ දෙයක්.
බුදු දහම තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් යොදාගන්නා, පැවිදි බිමට පිවිස සිටියදීත් තමන් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් සේ පෙන්වීමට උත්සාහ දරනා ඇතැම් භික්ෂුන් වහන්සේලා නිසා බුද්ධ ශාසනයට යම් අගතියක් සිදු වුවත් පඤ්ඤාලංකාර හිමි ඇතුලු භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් සැබෑ ධර්ම දූතයන් සේ ගෙන යන මේ වෑයම බුද්ධ ශාසනයේ හෙට දවසේ පැවැත්මට ඉමහත් සේවාවක් කරනු ඇති.
මුදිතා දයානන්ද-හෝමාගම ප‍්‍රියන්ත ජයලත්
දොඩංගොඩ සුනිල් බද්දෙවිතාන