වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ නොපැවැත් වූ පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වෙන බවට මේ දිනවල ඇමැතිවරු පවසති. ගමේ මට්ටමින් ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීමට නියෝජිතයකු පත්කර ගත හැකි පරිදි ඡන්ද ක්‍රමය දැන් සංශෝධනය වී ඇති අතර ඡන්දය පැවැත්වෙන්නේ එම නව ක්‍රමය අනුවය.
ඒ අනුව සියයට 60 ක් ඡන්දයෙන් සියයට 40 ක් සමානුපාතික ක්‍රමයට ඒ අතරට කාන්තා නියෝජනය සියයට 25 ක් ද ලෙසින් සභිකයන් තෝරා පත්කර ගත හැකිවෙන ලෙසට අවශ්‍ය නීති සැකසී ඇත.
දැන් ඉතිරිව ඇත්තේ ඒ ඒ කොට්ඨාසවලට හිමි සභික සංඛ්‍යාව සඳහන් කරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමය. කොට්ඨාස ක්‍රමය පදනම් කරගෙන මෙරට මැතිවරණයක් අවසන් වරට පැවැත්වූයේ 1977 දීය. එය වසර 40කට පෙරය. යළි කොට්ඨාස ක්‍රමය පදනම් කර ගනිමින් ලබන ජනවාරියේ පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ වී ඇත.
නව මැතිවරණ ක්‍රමවේදයට අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාවේ සුළු වෙනසක් සිදුවනු ඇත. එනම් නුවරඑළිය දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය සභා 4 ක් අලුතෙන් එකතු වීමයි.
නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අලුතෙන් ප්‍රාදේශීය සභා 2 ක්ද, අඹගමුව ප්‍රාෙද්ශීය සභා බල ප්‍රදේශය තුළ අලුතින් ප්‍රාදේශීය සභා 2 ක් ද පිහිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 329 කි. මහ නගර සභා 23, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 275 ක් වශයෙනි.
මේ වනවිට පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කර්තව්‍යයෙන් සියයට 99 ක ප්‍රමාණයක්ම අවසන් බව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පරිසරය සැකසී කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පැහැදිලිය.
පළාත් පාලන ආයතනය බලයේ සිටිය යුතු බවට පසුගිය කාලය පුරා ජනතාවට දැඩිව හැඟී ගිය අවස්ථා කීපයක් තිබිණි. උදාහරණයක් වශයෙන් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරී යන අවස්ථාවේ එය මර්දනය කිරීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ පළාත් පාලන ආයතන මඟින් සිදු කළා නම් වඩාත් සාර්ථක වන බවට මතයක් තිබිණි.
විපක්ෂයේ බොහෝමයක් දේශපාලන පක්ෂවලට මෙම මැතිවරණ පවත්වා ගැනීමට තදබල අවශ්‍යතාවක් තිබූ බව පෙනී ගිය කරුණකි. විවිධ සංවිධාන ද ඒ අතර විය. රටේ ජනතාවට නම් තමන් නියෝජනය කරන සභිකයෙක් අවශ්‍යය.
තම ප්‍රෙද්ශය නියෝජනය කරන සභිකයා කොට්ඨාසයට ආවේණික ප්‍රශ්න හා ජනතා ප්‍රශ්න හොඳාකාරව වටහාගෙන සිටින පුද්ගලයෙකි. කොට්ඨාසයේ ජනතාව හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙකි. එබැවින් කොට්ඨාස මට්ටමින් පළාත් පාලන මැතිවරණය සඳහා සභිකයන් තෝරා ගැනීම විශේෂ වැදගත්කමක් දක්වයි. යෝජිත කොට්ඨාස ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරුන් 8436 ක් පත්කර ගැනෙන අතර එම ප්‍රමාණය මෙතෙක් සිටි මන්ත්‍රීන් ගණනට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි. මෙතෙක් තෝරා පත්කර ගත් සභික සංඛ්‍යාව 4430 ක් විය.
කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීමෙන් වැඩිවන සභික සංඛ්‍යාවත් සමග විශේෂ වැය බරක් දැරීමට රජයට සිදුවෙයි. එදා රුපියල් 500 ක මුදලක් සභිකයන් වෙනුවෙන් වැය කළා නම් නව ක්‍රමය යටතේ එය රුපියල් 1000 ක් වෙන බව උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ නිසා මේ තරම් මන්ත්‍රී පිරිසක් පළාත් පාලනයට අවශ්‍ය ද යන්න ජනතාවගේ කතාබහට ලක්වී ඇත.
ජනතා සේවයට වැය කරන මුදලට අමතරව වැඩිවෙන සභික සංඛ්‍යාව වෙනුවෙන් මෙම අමතර මුදල වැය කිරීමට සිදුවනු ඇත.
විදුලිය, ජලය, දුරකථන, ලිපිගොනු, සනීපාරක්ෂක කටයුතු ආදිය සඳහා වැය කරන මුදල ද වැඩි කිරීමට සිදුවෙයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට තරම් වරප්‍රසාද හා පහසුකම් පළාත් පාලන ආයතනයක සභිකයකුට හිමි නොවුණත් ජනතාවගේ මුදල් මෙම සභිකයන් සඳහා වැය කිරීමට සිදුවනු ඇත.
වර්ෂ 2016 අය-වැය මඟින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා වෙන් කරනු ලැබූ පුනරාවර්ථන වියදම රුපියල් මිලියන 1,70,168 කි. ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 50,921 කි. එම අය-වැයෙන් සිව් වැනි තැනට වැඩිම මුදල වෙන්කර ඇත්තේ මෙම අමාත්‍යාංශයට බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
සභික දීමනා
පළාත් පාලන ආයතනවල සභිකයන්ට 2014 නොවැම්බර් මාසය වෙන විට ගෙවන ලද දීමනාවන් මෙලෙසය.
මහ නගර සභාවක සභිකයන්ගේ දීමනා
නගරාධිපති මාසික දීමනාව - රුපියල් 30,000, නියෝජ්‍ය නගරාධිපති මාසික දීමනාව - රුපියල් 25,000, සභිකයකුට මාසික දීමනාව - රුපියල් 20,000
ප්‍රාදේශීය සභා හා නගර සභා සභිකයන්ෙග් දීමනාව එක සමානය.
සභාපති - මාසික දීමනාව - රුපියල් 25,000, උප සභාපති - මාසික දීමනාව - රුපියල් 20,000, සභිකයකුගේ දීමනා (මාසිකව) - රුපියල් 15,000.
මීට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ පක්ෂයේ සභිකයන් සඳහා රුපියල් 150,000 ක් වටිනාකම ඇති යතුරුපැදිය බැගින් ලබා දී තිබිණි. එම යතුරුපැදියක් සඳහා සභිකයකු රුපියල් 50,000 ක මුදලක් ගෙවා තිබූ අතර ඉතිරි මුදල් එවකට රජයෙන් ගෙවා තිබිණි.
ඇතැම් පළාත් පාලන ආයතන තම සභිකයන්ට දුරකථන ගාස්තුව ලෙස රුපියල් 1000 ක දීමනාවක් ලබා දී තිබිණි. ඇතැම් පළාත් පාලන ආයතන සභිකයන්ට ප්‍රවාහන දීමනාවක් ලබාදී තිබිණි.
මීට අමතරව එක ගමක, එක සංවර්ධන කටයුත්තක් කළ යුතු බවට එවකට රජය නියම කර තිබූ අතර ඒ සඳහා මන්ත්‍රීවරයකුට ලක්ෂ 10 ක මුදලක් ලබා දී එම සංවර්ධන කටයුත්තට කොන්ත්‍රාත් පැවරීමට ද ඉඩ සලසා තිබිණි.
ගම නැගුම වැඩපිළිවෙළ යටෙත් ද රුපියල් ලක්ෂ 10 බැගින් සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරයකුට මුදල් ලබා දී තිබිණි.
මෙම වැඩසටහන් යටතේ කොන්ත්‍රාත් බාරදීම්වලදී ඇතැම් සභිකයන් කිසියම් කොමිස් මුදලක් ලැබුවා විය හැකිය.
ඒ අනුව හිටපු සභික සංඛ්‍යාව වෙනුවෙන් දළ වශයෙන් දීමනාව සඳහා මාසිකව රුපියල් කෝටි 9කට ආසන්න මුදලක් වැයකර තිබිණි. වසරකට එම මුදල රුපියල් කෝටි 108කට ආසන්න විය.
නව මැතිවරණ ක්‍රමය මත මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇත. දැනට වැඩි වන සභිකයන්ගේ දීමනා සඳහා පමණක් මුදල් වැය කිරීමට රජයට සිදුවනු ඇත.
දීමනාවට අමතරව ඔවුන්ට හිමිවන වෙනත් වරප්‍රසාද හෝ දීමනා පිළිබඳව රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැත.
පළාත් පාලන ආයතනවල සභිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් යෝජනා වී තිබිණි. එය ක්‍රියාත්මක වී නොතිබිණි. මීට අමතරව විවිධ දේශපාලනඥයන් පෞද්ගලික මට්ටමින්, හිතවත්කම මත පළාත් පාලන ආයතනවල ඇතැම් සභිකයන්ට පහසුකම් සලසා දී තිබිණි.
සභා රැස්වීම සඳහා ඉඩකඩ
සියලුම පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවීම නිසා සභාව පැවැත්වීම සඳහා ඉඩකඩ පහසුකම් සැලසිය යුතු වනු ඇත.
උදාහරණයක් වශයෙන් කොළඹ නගර සභාවේ සභික සංඛ්‍යාව 53 සිට 110 දක්වා වැඩිවෙයි. ඒ ආකාරයට සෑම පළාත් පාලන ආයතනයකම සභික සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවීම සිදුවේ. මේ සභික පිරිස සඳහා සභා ශාලා පහසුකම් ලබාදීම පිළිබඳව දැන් සිටම සැලසුම් සකස් කළ යුතුවේ. එසේ නොවුනහොත් පළමු රැස්වීමම අවුල් සහගත වීමට බොහෝ දුරට ඉඩ සැලසෙනු ඇත. පළාත් පාලන ආයතන සභාව තුළට පුටු සංඛ්‍යාව වැඩි කිරීම තුළින් පමණක් සෑහීමකට පත්විය නොහැක. මහජන නියෝජිතයන් වශයෙන් ඔවුනට මූලික පහසුකම් සභාව තුළ සකස් කළ යුතුවේ.
තවත් විශේෂ කරුණක් නම් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති නිසා ඉදිරියේදී අලුතෙන් පිහිටුවන පළාත් පාලන සභාවලට මහජන ගැලරියක් ද ඉදි කළ යුතුව ඇත. ඒ සියලු පහසුකම් ඇතිව බොහෝමයක් පළාත් පාලන ආයතනවලට ගොඩනැගිලි ඉදිකිරීමට හෝ වෙනත් විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හෝ සිදුවනු ඇත.
ෙමවර කාන්තා නියෝජනය නීතියෙන්ම අනිවාර්ය කර ඇති නිසා ඔවුන්ගේ පහසුකම් නොසලකා හැරිය නොහැකිය. කාන්තා නියෝජිතවරියන් සඳහා විවේකාගාර පිහිටු විය යුතුව ඇත.
පළාත් පාලන ආයතනයක් අවුරුදු 4 ක කාල සීමාවක් පැවැත්වෙන නිසා ඒ කාලය තුළම සභාව පැවැත්වීම සිදුවෙයි.
පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් මෙම ඉඩකඩ ප්‍රශ්නය පිළිබඳව කළ විමසීමේදී ප්‍රකාශ කළේ සෑම පළාත් පාලන ආයතනයකම පාහේ සභාව පැවැත්වීම පිළිබඳව ඉඩකඩ ප්‍රශ්නය ඇතිවන බවයි. ගොඩනැගිලි පහසුකම් ලබා ගැනීමත් සමග දුරකථන පහසුකම්, ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විවේකාගාර, වාහන ගාල් කිරීම, ආපනශාලා ආදී සියලු පහසුකම් සැලසීමට සිදුවනු ඇත.
පළාත් පාලන කොට්ඨාස ක්‍රමය සමග ඇතිවිය හැකි ගැටලු.
• සභික දීමනාව සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම.
• ඉඩකඩ ඇති සභා ශාලා පිහිටුවීම.
• සභා ශාලාවලට අවශ්‍ය පහසුකම් සැලසීම (පුටු, මේස, විදුලි පංකා)
• සුභසාධන පහසුකම් සැලසීම.
• අධික වැය බරක් දැරීමට සිදුවීම.
• ෙපාදු ජනතාවගේ සුභ සිද්ධියට වැය කළ හැකි මුදල් මේ සඳහා වැය කිරීමට සිදුවීම.
දයාසිලි ලියනගේ