ප්‍රභූ වෙස් ගෙන මහමග සෙල්ලම් පෙන්නූ “ප්‍රභූවරයාගේ” පැටිකිරිය


 

 

කළගෙඩිහේන ප්‍රදේශයේ මහ මග වේගයෙන් ඉදිරියට ඇදෙන වාහන දෙකකි. එකක් ප්‍රාඩෝ වර්ගයේ රථයකි. අනෙක ඩිෆෙන්ඩරයකි. ප්‍රාඩෝ රථයක් සමග ගමන් කරන ඩිෆෙන්ඩරය දකින ඕනෑම කෙනෙකුට හැඟෙන්නේ ඒ යන්නේ ඇමැතිවරයෙක් හෝ එවැනි මට්ටමේ ප්‍රභූවරයෙකු විය හැකි බවටය. ඒ නිසා මහ මග ගමන් කරමින් තිබෙන රථවාහන මඳක් අයිනට වී මේ වාහනවලට ඉඩ දෙන්නේ පාර හරස් කරගෙන නිකම් පරිප්පු කන්න ඕනෑ නෑනේ යන අදහසිනි.   


 එහෙත් ඒ ගැන එතරම් තැකීමක් නොකළ වෑන් රථයක් දුටු ඩිෆෙන්ඩරයේ ගමන් ගත්තවුන් වෑන් රථය හරස් කර තම රිය නවත්වා වාහනයෙන් බැස විත් හොඳ නාඩගමක් නටනු බොහෝ දෙනා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දුටුවහ.

ඩිෆෙන්ඩරයෙන් බැසගත් ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් යැයි හැඟෙන ආකාරයේ එකම ලෙස මසන ලද සුදු පැහැති කමිස හා කළු කලිසම් ඇඳගත් කීප දෙනෙක් වෑන් රථයේ රියැදුරුට දොස් කියමින් ඔහුට පහර දුන්හ. වෑන් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා කිසිම විටක එහි දොරවල් විවෘත නොකළ අතර පහර දෙන අයද වාහනයට පහර දී කෑ ගසා පිටව යනු ආරක්ෂක කැමරා දර්ශනවලින් දක්නට ලැබිණ.   


 වෑන් රථයේ ගමන් කළ පුද්ගලයා සිය පවුලේ අයත් සමග යම් අවශ්‍යතාවකට ගමනක් යමින් සිටි බව කියවිණ. වාහනයේ සිටි දරුවන් සිද්ධියෙන් බියපත්ව සිටි බව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට පවසා තිබේ. වෑන් රථයේ රියැදුරු තමන්ට මුහුණදීමට සිදුවූ ප්‍රශ්නය පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබුණද සෑහෙන වෙලාවක් යනතුරු කිසිදු පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට නොපැමිණි බව ඔහු මාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එහෙත් නිට්ටඹුව පොලිසිය පවසන්නේ තමන් එම ස්ථානයට යන විට කිසිවෙක් එහි නොසිටි බවය. කෙසේ වුවද දැන් සමාජ මාධ්‍ය ඔස්සේ හා වෙනත් මාධ්‍ය ඔස්සේ සිද්ධිය වාර්තා වීමත් සමග ඉහළින්ම අවධානය යොමුවී දැන් ඒ පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.   

 

ගණිත ගුරා පැමිණි ප්‍රාඩෝ රථය

 


කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වූ පරිදි ප්‍රාඩෝ රථයේ හා ඩිෆෙන්ඩරයේ ගමන් කර තිබුණේ දිනේෂ් නුවන් අමරතුංග නමැති පෞද්ගලික ගණිත ගුරුවරයෙකු හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ පිරිසකි. ගණිත ගුරුවරයෙකු සමග මේ ආකාරයට පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ගමන් කරන්නේ ඇයි? කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අප ඒ පිළිබඳව කළ විමසීමේදී ඔවුන් පෙන්වා දුන්නේ මේ අය ආරක්ෂක නිලධාරින් නොවන බවය. මෙම ගණිත ගුරුවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හතළිහක් පමණ සේවය කරන බවද ඒ අයගෙන් පහක්, හයක් පමණ ඒ ඒ වැඩසටහන්වලදී අවශ්‍යතාව අනුව ඔහු සමග දේශනවලට සම්බන්ධ වීමට ගමන් කරන බවද තහවුරු වූ බවද පොලිසිය පැවසීය.   
 කවුද මේ දිනේෂ් අමරතුංග? දිනේෂ් උපන්නේ ඉංගිරිය උතුර, ගාල්ලේගම ග්‍රාම නිලධාරී වසමේය. දිනේෂ් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සහෝදරයෙකු හා සහෝදරියක්ද සිටී. පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකි. දිනේෂ් උසස් පෙළ සමත්ව සබරගමු විශ්වවිද්‍යාලයට ගියේ උසස් අධ්‍යාපනය ලැබීමටයි. එහෙත් උපාධිය සම්පූර්ණ කරගන්න කලින් ඔහු හිටිගමන් අතුරුදන් වූ බව තමයි ඔහු සමග ඉගෙන ගත් අය පවසන්නේ. ඔහු කූට ලේඛන සකස් කර පංති තහනමට ලක්වූ බවට වසර කීපයකට පෙර ඇතැම් මාධ්‍ය ඔස්සේද හෙළිදරව් කර තිබේ.   


 විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීම ගණිතය විෂය පිළිබඳව පෞද්ගලික පංති පවත්වා ඇත. එසේම පරිගණක මූලික පංතිද පවත්වා ඇතැයිද පැවසේ. එසේ ඔහු ඉංගිරිය පාදුක්ක, හොරණ ප්‍රදේශවල පංති පවත්වන අතර ඔහු පරිගණක ශිෂ්‍යත්වයක් ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇතැයිද දැනගන්නට තිබේ. පරිගණකයක් ලබාගන්න නම් සිසුවා මුලින්ම රුපියල් දහදාහක් ලබාදිය යුතුය. එයට අඩුපාඩුව මේ ගුරුවරයා සපයන බවටද පොරොන්දු ලබාදී ඇත. පොරොන්දු වූ පරිදි පරිගණකයක්ද ලබාදී ඇත. එහෙත් ඒ පරිගණක වැඩි කලක් ක්‍රියාකරන්නේ නැතැයි පවසමින් ඇතැමුන් ඔහුගේ ඉංගිරියේ පිහිටි නිවසටම පැමිණ ගැටුම් ඇති කරගත් බවද ගම් වැසියෝ පවසති. ඔහුගේ මේ පරිගණක හොරකම ගැනද මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණ.  


 ඔහු එක් උපක්‍රමයක් යොදා මුදල් හම්බ කරද්දී ගැටලුවක් ඇති වුවහොත් අලුතෙන් තවත් වැඩක් පටන් ගැනීම පුරුද්දක් කරගෙන සිටින්නෙකු බවද ඔහු ගැන හොඳින්ම දන්නා විශ්වවිද්‍යාල මිතුරෝ පවසති.  


 දිනේෂ් නුවන් අමරතුංගගේ නමින් වන මුහුණු පොතේ ඔහු තමන් ඉගෙන ගත් විශ්වවිද්‍යාල ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය ආදිය සඳහන් කර ඇත. එහෙත් කිසිම තැනක ඔහු තමන් ඇත්තටම ඉගෙන ගත් සබරගමු විශ්වවිද්‍යාලය ගැන සඳහන් කර නැත. එසේම ඔහු තමන්ව හඳුන්වාදී තිබෙන්නේ නීතිඥයෙකු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු හා ඉංජිනේරුවෙකු ලෙසය.   


 එහෙත් ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හදාරා විභාගයට පෙනී සිට ඇති නමුත් නීතිඥයෙකු නොවන බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ.

   
 ඔහුට ගමේ අය කියන්නේ සිහින ජනාධිපති කියාය. එසේ පවසන්නේ කවදා හෝ ජනාධිපති වීම තමන්ගේ ආසාව යැයි ඔහු පවසන නිසාම නොව ප්‍රභූවරයෙකු ලෙස ගමේ හැසිරීමට ඔහු දක්වන උනන්දුව නිසාය. ගමේ ගෙදරට එන්නෙත් ඔහු ආරක්ෂක නිලධාරින් ලෙස හැඟී යන ආකාරයේ විශේෂ ඇඳුම් ඇඳගත් තරුණයන් පිරිසක් සමග බවද ඔහුට වාහනයෙන් බසින්නද මේ ආරක්ෂකයින් ලෙස හැසිරෙන තරුණයෙකු වාහනයේ දොර ඇරිය යුතු බවද ගම්මු පවසති.   


 මෙලෙස ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කිරීමේ වුවමනාවක් ඔහුට ඉතිහාසයේ පටන්ම තිබූ බව ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරෝද පවසති. මුහුණු පොත් සටහන් තබන එක් මිතුරෙක් විශ්වවිද්‍යාලයේ ආදි සිසුන්ගේ සුහද හමුවකටද ඔහු ඇමතිවරයෙක් සේ ආරක්ෂකයින් පිරිසක් පිරිවරාගෙන පැමිණි බවත් ඔහු සමග කතා කිරීමටවත් එහි සිටි පිරිසට ඉඩක් නොලැබුණ බවද පවසා තිබේ.   


 දේශපාලනයට පිවිසීමේ ඔහුගේ සිහිනය නිසාම මීට වසර කීපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ හොරණ ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් පෝස්ටරයක් ඇලවූ බවද දැනගන්නට තිබේ.   


 මේ කියවෙන කතාවල ඇත්ත නැත්ත තහවුරු කළ හැක්කේ පොලිස් පරීක්ෂණවලිනි. කෙසේ වුවද කළගෙඩිහේනේදී සිදුකළ මැර ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණයට භාරවීමට දිනේෂ් අමරතුංග කටයුතු කිරීම අගය කළ යුතුය. බොහෝ ධනවතුන් මුදල් බලය යොදාගෙන අධිකරණය මගහැර ඉන්න උත්සාහ කරද්දී ඔහු භාරවීම අගය කළ යුතුය. එහෙත් මුලින්ම ඔහු භාර වූයේ නැත. ඒ වෙනුවට තමන්ගේ ගෝලයින් සිව්දෙනෙකුට පොලිසියට භාරවන ලෙස උපදෙස් දුන්නේය. ඔවුන් භාර වූ පසුවද බේරුමක් නොවූයෙන් අවසානයේ ඔහු ඉතිරි තිදෙනාද සමග භාර වූයේ සිදුවීම වූ අවස්ථාවේ ගමන් කළ වාහනද පොලිසියෙන් සොයා ගත් පසුවය.   


 මුලින්ම පොලිසියට භාර වූයේ ගාමිණී වීරසූරිය, ගීත් ප්‍රසන්න බණ්ඩාර, මාර්කස් පීටර්, රුවන් ප්‍රසන්න, සඳුන් පුෂ්ප කුමාර යන අයයි. ඒ පසුගිය 20 වැනිදාය. එනම් සිද්ධිය වී දින හතරකට පසුවය. අත්තනගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙම මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබිණ.   


 දිනේෂ් නුවන් අමරතුංග අධිකරණයට භාර වෙන්නේ පසුගිය 22 වැනිදාය. ඒ වෙන විට ඔහු ගමන් කළ ප්‍රාඩෝ රථයද මහරගම ඇල්හේන පාරේ නිවසක තිබී සොයා ගෙන ඇත. එය ඔහුගේම නමට ලියාපදිංචි කර ඇති අතර ඩිෆෙන්ඩරය ලියාපදිංචි කර තිබෙන්නේ ඔහුගේ බාල සහෝදරයා වන ඉන්දුල ශ්‍රී සම්පත්ගේ නමටය. ඔහුද සේවය කරන්නේ දිනේෂ් යටතේය.   


 කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අතර නිට්ඹුව, මහරගම, පොලිස් ස්ථානවල සහයද ඒ සඳහා ලැබේ. 

 


(පොලිස් පරීක්ෂණ ඇසුරිණි) 

 

මුදිතා දයානන්ද සමග
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ