මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ පිරිසක් ලෙස රඟපා පන්නිපිටිය, ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට කඩා පැන කැරට් 720ක බරින් යුත් දියමන්තියක් ඇතුළු තවත් කෝටි දෙසීයක් පමණ වටිනා මැණික් ගල් රැසක් කොල්ලකෑම සම්බන්ධයෙන් වන විමර්ශන සත්‍ය ලෙසම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් ආරම්භ කෙරිණ. එසේම මේ සිදුවීමට ඩුබායිහි වෙසෙන මධුෂ් සම්බන්ධ බවට හෙළිදරව්වීමත් සමග කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයටද ඒ සම්බන්ධයෙන් වගකීම පවරනු ලැබිණ.
මේ කොල්ලය සම්බන්ධයෙන් මුලින්ම මිරිහාන අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වන්නේ නාලක රණසිංහ නොහොත් ලොකු අය්යා ය. ඒ පාදුක්කේදී ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදීය. ඔහු මාතර මල්ලි සමග පොලිස් ඇඳුමෙන් කොල්ලයට එක්ව ඇත. මාතර, රොටුඹ පදිංචිකරුවෙකු වන තුසිත මධුරංග නොහොත් මාතර මල්ලී රත්මලාන මැලිබන් හංදියේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මෙම කොල්ලයේදී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී කොල්ලය මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි. මෙම කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන ධනුෂ්ක සංජය නමැති අය පසුගියදා කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුටද මධුෂ් ඉමෝ මගින් කතා කර ඇති බව කරන ලද පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. එහෙත් මැණිකට අවසානයේ සිදුවූ දෙයක් ගැන ඔහු දන්නේ නැත. මෙම සැකකරු සිදුවීම වූ දිනයේ මාතර මල්ලීට ආයුධය ගෙනත් දුන් පුද්ගලයා බව ත්‍රිරෝද රථයකින් මගට පැමිණි පසු මධුෂ් කතා කර ‘දැන් ත්‍රීවිල් එක යවපන්, කාර් එකක් එයි ඒකේ පලයන්’ යැයි ඔහුට පවසා ඇති බවත් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙම සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දියමන්තිය නොවැම්බර් 08 වැනි දා නාලක හා මාතර මල්ලී විසින් නොහඳුනන දෙන්නෙකුට ගෙනවිත් දී ඇති අතර එය එදිනම ඩුබායිවල වෙසෙන මධුෂ් වෙත ලැබී තිබේ. එසේම මිරිහාන විශේෂ විමර්ශන ඒකකය පවසන පරිදි මෙම ගනුදෙනුව සිදුව තිබෙන්නේ දෙමටගොඩ සමන්තා චිත්‍රපට ශාලාව අසල දී වන අතර ඒ ආසන්නයට රංගන ශිල්පි රයන් වෑන්රෝයි හා ගායන ශිල්පී අමල් පෙරේරාද පැමිණ ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වී ඇත.
එසේම ඔවුන්ටද මධුෂ් කතා කර ඇති බවටද තහවුරු වී ඇත. ඒ අනුව මේ දියමන්තිය හා අනෙකුත් මැණික් මධුෂ්ට යවන ලද්දේ ඔවුන් හරහා බවට පොලිසිය සැකකරනු ලැබිණ.
කොල්ලය සිදුවන්නේ පසුගිය වසරේ නොවැම්බර් 05 වෙනිදාය. දැන් මේ දියමන්තියේ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක ගමන් කරමින් තිබේ. ඒ අහඹු ලෙස ලැබුණු තොරතුරක් ඔස්සේ කළ වෙනත් පරීක්ෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා ය.
කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරක් මේ සියලු වෙනස්කම්වලට හේතු විය. ඔවුන්ට ලැබුණ තොරතුර වූයේ මධුෂ්ගේ පියාගේ අවමංගල උත්සවයේ වීඩියේ කටයුතු සිදුකළ පුද්ගලයා කඩුවෙල පදිංචි හේමාල් නමැති අයෙකු බවටය. ඒ අනුව එම තොරතුර කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් පසු ඔහු එහි විමර්ශන කටයුතු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාරදෙනු ලැබිණ.
ඒ අනුව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතාගේ අධික්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන්ද සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විමර්ශන සිදුකළහ.
එම විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හේමාල් අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී ඔහු දුන් තොරතුරු අනුව එම වීඩියෝ ගත කිරීම් සියල්ල සිදුකර තිබෙන්නේ රණාලේ කසුන්ගේ හා ඔහුගේ මාමා කෙනෙක් වන කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ මෙහෙයවීම මත ය. රණාලේ කසුන් අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් ලද තොරතුරු අනුව කිරිබත්ගොඩ දී කැලුම් නොහොත් කැවුමා අත්අඩංගුවට ගෙන තිබේ.
කැවුමාගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබී තිබෙන්නේ මධුෂ්ගේ කුඩු ජාවාරමට අදාළ සියලු මුදල් ගනුදෙනු, අවි ආයුධ ගනුදෙනු සියල්ල මෙහෙයවා තිබෙන්නේ කැවුමා විසින් ය. ඒ අනුව මීට වසර කීපයකට පෙරදි පොලිසිය ලුහුබඳිද්දි පොලිස් ඇස වසා දෙවුන්දර සිට කුඩු කිලෝ 120ක් පන්නාගෙන කොළඹට ගෙනවිත් තිබෙන්නේද, මාතර සිට තවත් කුඩු කිලෝ 300ක් කොළඹට ගෙනවිත් තිබෙන්නේද, පොළොන්නරුවේ සිට හාල් ගෝනියක සඟවා තවත් කුඩු තොගයක් කොළඹට ගෙනවිත් තිබෙන්නේද කැවුමා විසිනි. ඔහු අත්අඩංගුවට ගත් පසුවද වළදමා තිබූ කෝටි එකහමාරකට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගෙන තිබිණ.
කැවුමාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී පන්නිපිටිය දියමන්ති කොල්ලය ගැනද හෙළි වී ඇත. ඔහු පවසා ඇති පරිදි මේ කොල්ලයට මේ සැකකරුවන් තිදෙනාම සම්බන්ධ වී ඇත. ඔවුන් වෙනම වාහනයක ගමන් කර ඇති අතර අනෙක් වාහන දෙකේ ගමන් ගත් අයටද ස්මාට් ජංගම දුරකථන දෙකක් ලබාදී ගූගල් මගින් ඔවුන් සමග නිරන්තර සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සියල්ල මධුෂ්ද ඩුබායිවල සිට නිරීක්ෂණය කර ඇත. දියමන්තිය ඇතුළු මැණික් සියල්ල කොල්ල කෑ පසු ඒවා කොල්ලයට ගිය පිරිසගෙන් ලබාගත් කැලුම් ඇතුළු පිරිස කටුබැද්ද කරා ගොස් ඇත. කටුබැද්දෙන් මැණික් ටිකත් සමග බැස ගත් කැවුමා දියමන්තිය පානදුර නිවසේ සඟවා අනෙක් මැණික් සියල්ල කාන්තාවන් දෙදෙනෙකු මගින් ඩුබායිවලට යවා තිබේ. ඔවුන් උපත් පාලන කොපු භාවිත කරමින් ඒවා සඟවාගෙන ගිය බවයි කැවුමා පවසා තිබෙන්නේ.
මේ කොල්ලයෙන් පසු තමන් පොලිසියට කොටුවීම වළක්වා ගැනීමට ඔහු දැඩි ආරක්ෂාවක් කරගත්තේය. ඒ ප්‍රධාන රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදියෙකු මගින් සුප්‍රසිද්ධ ජ්‍යොතීර්වේදියෙකුගෙන් ආරක්ෂිත සුරයක් පලන්දා ගනිමිනි. මේ සුරයේ තැන්පත් කර තිබෙන්නේ කොංගෝ වනයේ සිංහයෙකුගෙන් ලබාගත් සිංහ තෙල් බව එම ෙජ්‍යතිර්වේදියා පවසා තිබේ. මෙය පැලදීමට පෙර සතියක් පේවී සිටි ඔහු කිරි ලීටර් හතළිහකින් නැහැවූ බවද ඔහු පවසා ඇත. මොන තරම් ආරක්ෂණ සුරයක් පැලඳ සිටියද රටේ ආරක්ෂක අංශවල ඇස සැමදා වසා තැබිය නොහැකි බව ඔහු දැන් වටහා ගෙන ඇතිවාට සැකයක් නැත.
ඔහුගෙන් ලද තොරතුරු අනුව ජංගම දුරකථන 126ක්, ජීව උණ්ඩ 1000ක්, ජීව අත්බෝම්බයක්, බෝර 16 පතොරම් තොගයක්, පොලිස් අත්විලංගු දෙකක්, බන්ධනාගාර අත්විලංගුවක්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් දෙකක්, හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කීපයක්ද සොයාගෙන ඇත. එසේම ලංකාවේ ඉහළම වටිනාකමින් යුත් කමිස තොගයක්ද ඔහු පදිංචිව සිටි කටුබැද්දේ නිවසේ තිබී ඇත. ඔහු පිටිගල මුල් පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.
කෙසේ වුවද දැන් දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා දෙකක් ඉදිරිපත්ව ඇත. දියමන්තියද ලැබී තිබේ. එය තමන්ගේ දියමන්තිය බව හිමිකරු හඳුනාගෙන ඇත. දියමන්තිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පසු මෙහි වටිනාකමක් ලංකාව තුළ තක්සේරු කළ නොහැකි බව පවසා ඇති බවද පොලිසිය පවසයි. දැන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවල පවතින සත්‍ය අසත්‍යතාව කුමක්ද? ඔවුන් තාක්ෂණික ක්‍රම මගින් තහවුරු කරගත් බව කියන රයන් හා අමල් මේ ගනුදෙනුවට පවතින සම්බන්ධතාව ගැන කියන කතාවල ඇත්ත නැත්ත කුමක්ද? කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සොයාගත් තොරතුරුවල ඇත්ත නැත්ත කුමක්ද? මේ දියමන්තිය නැතිවූ දියමන්තියම නම් අනෙක් ගල් විදේශගත කර දියමන්තිය පමණක් ලංකාවේ තබාගත්තේ ඇයි? නාලකලා, මාතර මල්ලිලා, රයන්ලා, අමල්ලා අතර කිසිදු ගනුදෙනුවක් තිබී නැද්ද? මේ සියල්ලට ඉදිරියේදී පිළිතුරු ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
කෙසේ වුවද මේ දියමන්තිය සම්බන්ධයෙන් තවත් ගැටලු රැසක් තිබේ. දියමන්තියේ හිමිකරු ඩේවිඩ් පීරිස් මහතා පවසන පරිදි ඔහුට එය ලැබී තිබෙන්නේ ඩුබායිහි කේටරින් සර්විස් එකක සේවය කරමින් සිටියදීය. ඒ 1994 වසරේදීය. ඒ පස්ගොඩක තිබියදීය. තිරිවාන ගල්කැටියක් වන මේ ගල තමන් ඇහිඳගත්තේ මැණික් ව්‍යාපාරයේ කලක් යෙදී සිටි අයෙක් ලෙස තිබූ අත්දැකීම හා ගලක් දුටුවිට ඇතිවන ආසාව අනුව බවද ඔහු කියා සිටී. ඒ පස්ගොඩ ගෙනවිත් දමා තිබෙන්නේ දකුණු අප්‍රිකාවෙන් බවට දැනගන්නට ලැබුණ බවද ඒ අනුව මෙය දකුණු අප්‍රිකානු රටක හැදුන දියමන්තියක් බවට සැක කළ හැකි බවද ඔහු පැවසීය. මෙය ලැබුණ පසු ලංකාවට පැමිණි ඔහු පසුව තමන්ගේ නුගේගොඩ පිහිටි නිවසද විකුණා ලද මුදල් යොදවා යළිත් මැණික් ව්‍යාපාරයේ නියැළුණ බවද මේ ගල තමන් සතුව තිබුණත් එහි බරක් හෝ වටිනාකමක් තක්සේරු කරගැනීමට තරම් තමන්ට හැකියාවක් නොවුණ බැවින් බොහෝ කලක් ගල තමන් සතුව තිබූ බවද ව්‍යාපාරිකයා අප සමග පැවසීය.
ඔහු පවසන පරිදි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව දියමන්තිවල බර මැනීමේ යන්ත්‍රයක් හෝ ඒ ගැන අවබෝධයක් ඇති අයෙක් නැති බැවින් පෞද්ගලිකව යන්ත්‍ර ගෙන්වා ගෙන බර මැනීමට කටයුතු කළද එයද මේ දියමන්තියට ප්‍රමාණවත් වී නැත. ඒ නිසා දියමන්තිය අලෙවි කිරීමට ඔහු තැරැව්කරුවන්ගේ සහය පතා ඇත. මධුෂ් එවූ බව කියන ඔස්ට්‍රියන් ජාතිකයා පැමිණ ඇත්තේ ඒ අනුව ය.
මුදිතා දයානන්ද