පාසලක් මළගමක් කළ විනෝද චාරිකාව


 

‘දිවියේ ඇති අනියත ගැඹුරු බව 
අසුරු සැණින් පසක් කළ ඔබ’ 
මතක මංපෙත් කඳුළු සුසුමන් 
අතර සිරකර හැර ගියා ඔබ 


‘කඳන සිරිසීවලී මහ විදුහලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමාපියන්’


බදුල්ල කඳන සිරිසීවලී මහ විදුහලේ ගේට්ටුව අසළ බැනරයක එසේ සටහන්ව තිබිණ. 


සුදු කොඩි වැල් දිගේ මම විදුහලට පිය නැඟුවෙමි.

 
පාට පාට සාරි අඳින ගුරුතුමියෝ සුදුවතින් සැරසී පාසලට පැමිණෙති. 


ඔවුන් සියලු දෙනාගේම මුහුණු සංවේග ඉරියව්වලින් පිරී ඇත. 


වෙනදා මුලින්ම පාසලට පැමිණ කඩියන් මෙන් ඒ මේ අත යමින් සොයා බලන විදුහල්පති, බී.එස් අමරසූරිය මහතා, මෙම විදුහලේ චිත්‍ර ආචාර්ය ටී.එස්.කේ. චන්දිම හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විපුල බණ්ඩාර යන මහත්වරුද මෙම විදුහලේ ඉංග්‍රීසි ගුරුතුමිය වන නිල්මිණි මහත්මියගේ පුත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය චාරුක විදර්ශන ද යළි කිසි දිනක පාසල් එන්නේ නැත. 


ඔවුන් සියලු දෙනා විනෝද චාරිකාවට ගොස් සිටියදී මරුවා පැහැරගෙන ගොසිනි. 


නියෝජ්‍ය විදුහල්පති එම්. රංජිත් මහතා සිදුවූ විපත සැලකළේය. 


“අපේ ඉස්කෝලේ සුබසාධක සංගමය හැම වසරකම විනෝද චාරිකාවක් සංවිධානය කරනවා. මේ පාරත් ඒ විදියට සංවිධානය කළා. නතර වෙන්න හොඳ තැනක් හෙව්වම දමන එක්ගල්ඔය සංචාරක නිවාසය වෙබ් එකෙන් සොයාගත්තා. එතැනට කවුරුත් කැමති වුණා. 


අපේ ගුරුවරු 19 දෙනෙක් හා ඒ අයගේ පවුල්වල අයත් එක්ක 45 දෙනෙක් විතර මේ ගමනට එකතු වුණා. 


විදුහල්පතිවරයාගේ නායකත්වය යටතේ ගමන ආරම්භ වී තිබේ. බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් මහතාද සියලු සහයෝගය දෙමින් මේ ගමනට එක්විය. මුලින්ම ගියේ මහියංගණයටය. මහියංගණය විහාරය වැඳ පුදාගැනීමෙන් පසු උණුවතුර ළිං බලන්නට ගියහ. ඉක්බිති ගියේ අරන්තලාව විහාරස්ථානයටය. 


කොටි ත්‍රස්තවාදීන් ස්වාමීන් වහන්සේලා ඝාතනය කළ අයුරු පිරිසට විස්තර කළේ නඬේ ගුරා වූ විදුහල්පතිවරයාය. 


“හාමුදුරුවරුන්ගේ පමණක් නොවෙයි අපි කාගෙත් ජීවිත තාවකාලිකයි. හොඳින් ජීවත්වෙලා පිනක් දහමක් කරගෙන හිටියොත් එච්චරයි” විදුහල්පතිතුමා කියද්දී සියලු දෙනා හිස නමා පිළිගත්තේ යථාර්ථය තේරුම් ගනිමිනි. 
ඉක්බිති මහ සයුර වන් සේනානායක සමුද්‍රය දැක බලාගත්හ. 


දවස ගෙවීයද්දි දමන එක්ගල්ඔය නවාතැන වෙත ගියහ. එය නම් සිත්කලු ස්ථානයකි. 


එක්ගල්ඔය වැව පසුබිම කරගෙන නිර්මාණය කළ මෙම නිවාඩු නිකේතනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එකකි. එහි සියලු පහසුකම් විය. ඒ වෙනවිට සරතැස නිවී සැඳෑව උදාවෙමින් තිබිණ. ලැබුණු තේ කෝප්පය විඩාවට ජීවයක් විය. 


“වැවේ නාමු? මේ වගේ තැනක් ආයේ හම්බවෙන්නේ නැහැ” විදුහල්පතිතුමා කළ යෝජනාවට වැඩි දෙනෙක් කැමති වූහ.


“මේ දිනවල වතුර අඩුයි. ඒත් පරෙස්සමෙන් නාන්න” නිවාඩු නිකේතනයේ භාරකරු දියට බසින්නට පෙරම අවවාද කළේය. 


ඒ කෙසේ වෙතත් වැඩි දෙනෙක් වැවට බැස දියනාමින් අමන්දානන්දයට පත්වූහ. සෙස්සෝ වැව් තාවුල්ලේ සිට ජලකෙළි බලා විනෝද වූහ. 


ක්‍රමයෙන් අඳුර පැතිර රාත්‍රිය උදාවිය. 


පසුදා අලුයම කලින්ම අවදිවූයේ විදුහල්පතිවරයාය. එපමණක් නොව සියලු දෙනා අවදිකළේ ඔහුය. 

 

ඉන්පසු සිදුවූයේ කුමක්ද?

 
වේලාව උදෑසන 6.30 පමණ විය. විදුහල්පතිවරයාත් චන්දිම ගුරුතුමාත් කැලුම්, විපුල, රංජිත්, ප්‍රේමා ගුරුතුමියගේ ඥෙති පුතුන් දෙදෙනාත් සංගීත ගුරුතුමීගේ පුතාත් වැවේ දිය නෑමට යාම සඳහා සූදානම් වූහ. 
නිල්මිණි ගුරුතුමියගේ පුතු 14 හැවිරිදි චාරුක වහා කාමරයට දිවගෙන ගොස් නිදි යහනේ සිටි නංගි අවදිකළේය. 


“නංගි අපිත් යමු නාන්න” යැයි අයියා කතා කළත් “බෑ අයියා යන්න” යැයි 9 හැවිරිදි අංජලි නංගි අනෙත් පැත්තට හැරී යළි නිදාත්තාය. 


මේ වෙලාවේ දෙමාපියන්ට නොකියා චාරුක පුතු නාන්න ගිය පිරිසට එකතු විය. 

 

 

වැව ළඟට ගියවිට නෑම පසෙක තබා එතැන තිබුණු ඔරු දෙකකට බැඳි පාරුවේ රවුමක් යමුයි යෝජනා විය. 


මේ නව දෙනා පාරුව දියට තල්ලු කර එහි නැගී හබල ලෙස තිබූ ලීයෙන් හබල්ගාමින් ඉදිරියට ගියහ. 


අපූරු අත්දැකීමක් බැවින් ඔවුහු අපමණ සතුටක් ලැබූහ. 


මේ වෙලාවේ ක්‍රීඩා ආචාර්ය සනත් අමරසිංහ, සිය 7 හැවිරිදි පුතාගේ මුහුණ සෝදවා නිකමට මෙන් වැව දෙසට ගියේය. 


හිරු රැස් වැටී වැව දිලිසෙන අපූරුව නරඹමින් තවත් වැවට ළංවෙද්දී පිරිසක් වැව මැද පාරුවේ සිටිනු දක්නට ලැබිණ. 


ඔවුන් ධීවර පිරිසක් විය හැකි යැයි සිතා තවත් ඉදිරියට යන විට එහි සිටියේ විදුහල්පතිතුමා සහ නඩයේ පිරිසක් බව හඳුනාගත්තේය. 


පාරුවේ සිටි ඔවුන් අත් වනා සතුට පළ කළෝය. 


“දුරට යන්න එපා. ඉක්මනට එන්නැයි” සනත් ගුරුතුමා කෑගසා කීවේය. 


සුළු මොහොතකින් පාරුව හරවා ආපසු එද්දි පාරුව කැරකී යන අයුරු දුටු සනත් අනතුරක සේයා දැක එතැන සිටි කීපදෙනෙක් වහා යවා ආරක්ෂක කබා ගෙන්වා ගෙන ජානක හා උපාලි යන ගුරවරු දෙදෙනා සමග එක්ව ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට සැණින් ඉදිරිපත් විය. 


එතැන තිබූ බෝට්ටුවක් දියට තල්ලු කර එහි තිබූ කඹයෙන් එක් කොනක් බෝට්ටුවේ ගැට ගසා කඹයේ අනෙක් කොන තම සිරුරේ දවටා ගෙන අනතුර සිදුවූ තැනට පීනමින් බෝට්ටුව ඇදගෙනයාමට ඔහු උත්සාහ කළේය. එම බෝට්ටුවේ ජානක හා නිශ්ශංක යන ගුරුවරුද වන සංරක්ෂණ සේවකයෙක් ද විය. 


සුළු මො​ෙහාතකින් පාරුව පෙරළී විදුහල්පතිවරයා දියට වැටෙන අයුරු සනත් දුටුවේය. විදුහල්පතිවරයා දිය යටට ගොස් ආපසු දිය මතට පැමිණ අත වනා ආධාර ඉල්ලා යළි දිය යට නොපෙනී ගියේය. සනත් හඬනගා හඬමින් ජීවිත බේරාගැනීමේ මෙහෙයුම තවත් වේගවත් කළේය. 


මේ වන විටත් ගොඩබිම සිටි නියෝජ්‍ය විදුහල්පති පී. ආරියනායක හා උපාලි ගුරුතුමා වහා ධීවර ගම්මානයට දිවගොස් ධීවරයන් ගෙන්වා ගත්හ. ධීවරයෝ බෝට්ටු දියත්කර ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට වහාම එක්වූහ. 
අනතුර සිදුවූ පාරුවේ ඒ වෙන විටත් තුන් දෙනෙක් එම ලෑලි බදාගෙන සිටියහ. 


මේ අතරේ ධීවර බෝට්ටුවක් අනතුර සිදුවූ පාරුව ආසන්නට ගොස් තිදෙනෙක් එයට දාගෙන ගොඩට ගෙන ගියහ. 


මුරකරු රංජි, ප්‍රේමා ගුරතුමියගේ ඥාති පුතකු වන දෙනුවන් (19) හා ඉන්ද්‍රානි ගුරුතුමියගේ පුතා වන 11 හැවිරිදි පසිඳු මරුවා පෙනි පෙනී සිටියදී මෙසේ ජීවිත බේරාගත්හ. 


සනත්, බෝට්ටුව ඇදගෙන පීනා යමින් අනතුර සිදුවූ පාරුව ළඟට යන විට තවත් ධීවර බෝට්ටුවක් පැමිණ කැලුම් හා ප්‍රේමා ගුරතුමියගේ අනෙක් ඥාති පුතා වන මෝදිත (18) පුතා ඒ බෝට්ටුවට නංවා ගන්නා අයුරු සනත් දුටුවේය. 


දෙදෙනෙක් බේරාගත් ධීවර බෝට්ටුවද ධීවරයන් දෙදෙනා සමග පෙරළී ගියේ එසැණනි. 


වහාම ක්‍රියාත්මක වූ සනත් තම බෝට්ටුවේ තිබූ කඹය ධීවරයන් දෙදෙනා ළඟට විසි කළේය. එය අල්ලාගත් ධීවරයෝ බෝට්ටුව පෙරළුණ ධීවර බෝට්ටුව ළඟට ළංකළහ. 


එම බෝට්ටුවේ ජීවිතයත් මරණයක් අතර සටහනක යෙදී සිටි කැලුම් හා මෝදිත, සනත් රැගෙන ගිය බෝට්ටුවට අසීරුවෙන් ගොඩවූහ. 


කෙසේ වෙතත් ඒ වෙනවිට සිවු දෙනෙක් වැවට වැටී දියේ ගිලී තිබිණ. 


උදෑසනින්ම නඩය අවදි කළ විදුහල්පතිවරයා දිය යට දී සදාකාලික නින්දට වැටී තිබිණ. 


වන්දිම නමැති ගුරුවරයා ද විපුල නමැති අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයාද, චාරුක ශිෂ්‍යයාද එලෙසම සදාකාලික නින්දට වැටී තිබිණි. 


විනෝද චාරිකාවේ කදඳුළු කතාව මෙනෙහි කරමින් මම එම මළ ගෙවල්වලට ගියෙමි. විදුහල්පති අමරසූරිය මහතාගේ නිවස පිහිටා ඇත්තේ බදුල්ල ඉඹුල්ගොඩ බෝගස්පිටිය ගම්මානයේය. 


එතුමාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම සඳහා විදුහලේ ගුරු දෙගුරු සිසු දරුවන් මෙන්ම පසුගිය කාලය පුරා එතුමාගෙන් සිප්සතර හැදෑරූ සිසුන් විශාල පිරිසක් වැල නොකැඩී පැමිණියහ. 


සිවු දරු පියකු වන ඔහුගේ උගත් දරුවන්ගේ යහළුවෝද ඒ අතර වූහ. 


චාරුක පුතාගේ දේහය තැන්පත් කර තිබුණේ රොක්හිල්හි පිහිටි නිවසේය. 


අම්මා වන නිල්මිණි ගුරුතුමිය මෙන්ම ග්‍රාම නිලධාරියකු වන පියා හඬා වැළපෙමින් දුක්වූයේ තමන් දෙදෙනාම මේ චාරිකාවට ගොස් සිටියත් පුතුට මේ ඉරණම අත්වීම පිළිබඳව ය. 


 අයියාට වූ විපත ගැන බදුල්ල විහාර මහාදේවි විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අංජලි නංගී අපමණ දුකින් සිටියාය. ඇයට මෙය අදහාගත නොහැකි සිද්ධියකි. 


“අයියා නාන්න යමු කිව්වම ගියා නම් මටත් මේ දේ වෙනවා” යැයි ඇය ඉකිබිඳිමින් කීවාය. 


 අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විපුල බණ්ඩාරගේ බදුල්ල මයිලගසන්තැන්නේ පිහිටි නිවසටද ඔහු සේවය කළ සිරි සීවලී විදුහලේ ගුරුවරු සිසුන් හා නෑදෑ හිතවතුහුද පැමිණ විපුලගේ දේහයට අවසන් බුහුමන් දැක්වූහ. 


ඔහුගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙදියකි. බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය විපුලගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට පැමිණියහ. 


චන්දිම ගුරුතුමා ද කා අතරත් ජනප්‍රිය චරිතයක් විය. බදුල්ල, පිංඅරාව ජයසිංහගම පිහිටි ඔහුගේ නිවසටද විශාල පිරිසක් පැමිණ දේහයට බුහුමන් දැක්වූහ. 


මේ සිවු දෙනාම බදුල්ල පොදු සුසානභුමියේදී මිහිදන් වූයේ සසර අනියතය යන බුදු වදන ට අනුගත වෙමිනි. 

 

 

 

 

 

සටහන-ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ