පාසල් දරුවන්ගේ සපත්තු කුට්ටමෙන් රුපියල් කෝටි තුනක් ගසා කෑ දේශපාලනඥයා


ජනතාවගේ අවධානය දිනාගැනීම සඳහා දේශපාලනඥයා විවිධ උපක්‍රම භාවිත කරයි. ජන සමූහයක් මැද සිටින දරුවකු වඩාගෙන සුරතල් කිරීමද ඒ අතර ප්‍රධාන වේ. නමුත් කැමරා කාචයක් නොමැති තැනක ඔවුහු එසේ නොකරති. මන්ද ඔහු එයින්ද මාධ්‍ය ප්‍රචාරයක් අපේක්‍ෂා කරන බැවිනි. අපේ රටේ දරුවන්ට සැබෑ ලෙසම ආදරය කර ඔවුන් වෙනුවෙන් සේවයක් කළ දේශපාලනඥයකු සිටියේ නම් ඒ ඉතා කලාතුරකිනි.


අඩු ආදායම්ලාභී දරුවන් සඳහා නොමිලයේ පිරිනැමෙන පාසල් සපත්තුවලින් රුපියල් ලක්‍ෂ තුන්සියයක් හෙවත් රුපියල් කෝටි තුනක් ගසා කෑ දේශපාලනඥයකු පිළිබඳ වාර්තාවෙයි. දේශපාලනඥයා සහ ඔහු වටා සිටින නිලධාරීන් විසින් මෙම මුදල ගසාකනු ලැබුවේ ඉතාමත් සැලසුම් සහගතවය.


එක්තරා ආයතනයක ඉහළ තනතුරක් උසුලන මෙම දේශපාලනඥයා කලක් සාටකයේ එල්ලී සිට යහ පාලන රජයේ ප්‍රධාන තනතුරකට පත්වීම ද අහම්බයෙන් සිදුවූවකි. එදා සිටම ප්‍රදේශයේ සංවර්ධනය කෙසේ වෙතත් තමාගේ සංවර්ධනයට මූලිකත්වය දුන් දේශපාලනඥයා වරක් එම ප්‍රදේශය නියෝජනය කරන ව්‍යාපාරිකයන් කොළඹට කැඳවා රටේ ඉහළම නායකයකු අතින් ඔවුන්ට සම්මාන පිරිනැමුවේය. දේශීය ව්‍යාපාරිකයා දිරිගන්වමින්, ආරක්‍ෂා කරමින් රටේ සංවර්ධනයට ඉහළම දායකත්වය ලබාදෙන බව දේශපාලනඥයා මෙහිදී සපථ කළේය.


ප්‍රදේශයේ සිටින අඩු ආදායම්ලාභී පාසල් දරුවන් වෙනුවෙන් සපත්තු ලක්‍ෂයකට වැඩි ගණනක් නොමිලයේ ලබාදීමට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර්පත් කැඳවූ අතර එහි සඳහන් වූ කොන්දේසි අතර විශේෂ එකක් වූයේ දින 14ක් ඇතුළත සපත්තු ලක්‍ෂයට වැඩි ගණනක් සැපයිය යුතු බවය. දේශීය සපත්තු නිෂ්පාදකයාට දින 14ක් තුළ සපත්තු යුගළ ලක්‍ෂයකට වැඩි ගණනක් නිපදවීම කිසිසේත්ම කළ නොහැකි අසීරු ඉලක්කයක් වුවද අභියෝගය ජයගැනීම සඳහා අදිටන් කරගත් දේශීය නිෂ්පාදකයෝ කිහිප දෙනෙක් ඒ සඳහා තරගකාරී මිල ගණන් ඉදිරිපත් කළහ.


දේශීය නිෂ්පාදකයන් ඉදිරිපත් කළ මිල ගණන් තිබුණේ එක් සපත්තු යුගලකට රුපියල් 700 - 800ත් අතර මිලකි. ටෙන්ඩරය තමන්වෙත ලැබුණහොත් දේශීය නිෂ්පාදකයෝ පිරිස එක් වී හෝ ඇණවුම ලබාදීමට එකඟ වී සිටියහ. එහෙත් අවසානයේ දේශීය නිෂ්පාදකයාට කොකා පෙන්වමින් ටෙන්ඩරය ප්‍රදානය කරනු ලැබූවේ මෙරට ප්‍රචලිත බහුජාතික සමාගමකටය.


ඔවුන් ඉදිරිපත් කර තිබුණු මිල ගණන වූයේ එක් සපත්තු යුවළකට රුපියල් 1200කට ආසන්න මුදලකි. කලින් සිට සැලසුම් කළ පරිදි දේශපාලනඥයා සහ නිලධාරීන් පිරිවර විසින් බහුජාතික සමාගමට ටෙන්ඩරය පිරිනැමීම මගින් එක් සපත්තු යුවළකට රුපියල් 300 බැගින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගසාකනු ලැබීය.


දේශීය නිෂ්පාදකයාට අසීරු ඉලක්කය වන දින දාහතරක සීමාව ලබාදුන්නත්, 2017 වසර සඳහා ලබාදිය යුතු සපත්තු යුගල වලින් කොටසක් මේ වනතුරුත් ලබාදී නොමැති බවත්, බහුජාතික සමාගම ද එය සපයනු ලබන්නේ කොටස් වශයෙන් බව ද දැනගන්නට තිබේ.


රටේම ජාතික ප්‍රශ්නයක්ව පවතින කසළවලින් ද දේශපාලනඥයා විශාල මුදලක් ගසාකෑවේය. පළාත් පාලන ආයතන සතු කසළ කළමනාකරණය හා බැහැර කිරීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හා කසළ බැහැර කරන ස්ථානවලින් ද දේශපාලනඥයාට ලොකු ලොකු මුදල් මිටි ලැබුණු බව පැවසේ. එසේම නීති විරෝධීව හා පරිසර විරෝධීව ක්‍රියාත්මක වන මුදල් ඉලක්ක කර ගත් කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථාන සඳහා නීත්‍යනුකූල හැඩයක් ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලනඥයා ඒ මගින් ද විශාල මුදලක් ගසා කෑවේය.


ග්‍රාමීය මූල්‍ය ආයතනයක් ජනතාවගේ තැන්පත් මුදල් නොගෙවා පැහැරහැර සිටියදී විශාල ජන විරෝධයක් පැමිණ ආයතනයට එරෙහිව පෙළ ගැසෙද්දී මෙම දේශපාලනඥයා ගත්තේ ආයතනයේ පැත්ත මිස ජනතාවගේ පාර්ශ්වය නොවේ.


බහුතරය දූෂිතයන් සේ සැලකෙන අපේ රටේ දේශපාලනඥයන් වංචාවට, දූෂණයට හා හොරකමට අත්පොත් තබන්නේ පහළ ස්ථානවල තනතුරු දරන විටය. මෙම දේශපාලනඥයා ද මේ වනවිට මේ අයුරින් පුහුණු වන්නේ ඉදිරියේ දී ඉහළටම ගොස් ජනතා මුදල් වැඩි වැඩියෙන් ගසා කෑමට දැයි ජනතාව ප්‍රශ්න කරති.

ආලවක