බටලන්ද නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයෙන් කමිටුවක් බටලන්ද ගැන 16 දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පවත්වාගෙන යමින් තරුණ තරුණියන් රැසකට හිංසා පැමිණ වූ බව පැවසෙන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ බටලන්ද  ජනාධිපති  කොමිෂන් සභාවේ ආන්දෝලනාත්මක  වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට පෙරේදා (14දා) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වාර්තාවට  විවිධ පුද්ගලයන් ලබාදී ඇති සාක්ෂි දහසක් පමණ ඇතුළත් වේ. වාර්තාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. එසේම මෙම වාර්තාව නීතිපතිවරයාට ද දැනටමත් යොමුකර ඇති බව පැවසූ ඇමතිවරයා වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් ඉදිරියේ දී පත් කරන බවද  ප්‍රකාශ කළේය. ඇමතිවරයා මෙසේද පැවසීය.
“බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්  කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා. මේ වාර්තාව ගැන ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබෙනවා. මේ කොමිෂන් සභාව පිහිටවනු ලැබුවේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය.
මෙම වාර්තාවේ සාක්ෂි දහස් ගණනක් සටහන් වී තිබෙනවා. එදා මේ වාර්තාවේ පිටපතක් ජනාධිපතිනිය නීතිපතිවරයාට නොයැව්වේ ඇයි ද කියන එක අද පැහැදිලියි. වාර්තාව කැඳවූ අයම නිර්දේශ ක්‍රියාත්මක කළේ නෑ. නමුත් එය ඡන්දවල දී දේශපාලන පන්දුවක් ලෙස භාවිත කළා. මෙතෙක් මේ වාර්තාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කළේ නැහැ. කොමිෂන් සභා වාර්තාව නිකුත් කර වසර විසිපහක් වෙනවා. මෙය මරා දැමුණු අයගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සුසුම් වලින් අංශුමාත්‍රයක් නියෝජනය කරන වාර්තාවක්. විජයදාස ලියන ආරච්චි ඇතුළු පිරිසේ දුක් වේදනා ඇතුළත් මේ වාර්තාව සභාගත කරමි.
මෙවැනි සාහසික යුගයක් යළි ඇති නොවන පරිදි කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇත. මෙම වාර්තාව අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් ලබා ගැනීමට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතයි. සුදුසු අවස්ථාවක මේ ගැන දින දෙකක විවාදයක් පැවැත්වීමටත් බලාපොරොත්තු වෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 16 ද‌ා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ඔහුගේ මාධ්‍ය අංශය පවසයි.