බත් සමඟ වස කෑම


තුන් වේලටම බත් කෑ ශ්‍රී ලාංකික ජනතාව අද බත් නොව වහ කෑමේ තත්ත්වයකට මුහුණ පා සිටිති. බත් විතරක් නොව ඇතැම් අය විශේෂයෙන් ධාන්‍යවර්ග ආහාරයට ගැනීමට පුදුරුව සිටියේ අනාදිමත් කාලයක සිටයි. එහෙත් බත සපයන සහල්වලට මෙන්ම ධාන්‍යවලටද කල්තබා ගැනීම සඳහා සමහර වෙළෙඳුන් මිනිස් ශරීරයට බෙහෙවින් අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම නිසා බත් ඇතුළු ධාන්‍ය ආහාරයට ගැනීමේ අවදානමක් පවතී. මෙම රසායනික ද්‍රව්‍ය ආහාරයට ගැනීම පිළිකා ඇති කිරීමට මෙන්ම අක්මාව සහ වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමට බෙහෙවින් බලපාන බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. 

මිනිස් ජීවිතයට මෙවැනි විපත් කරන්නේ අජීවීන් නොව තවත් සජීවී මිනිස් ප්‍රජාවමය. ආහාර කල්තබා ගැනීම සඳහාත් මුදල් ඉපයීමේ පරමාර්ථයෙනුත් ඔවුන් මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍ය භාවිතා කිරීම බහුලව දක්නට ලැබිණ. 


සහල් හා ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පළතුරු සඳහාද බොහෝ වෙළඳුන් මෙන්ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ද රසායනික ද්‍රව්‍ය යෙදීමට දැන් පෙළඹී ඇත. විශේෂයෙන් මෑත කාලයේ සහල් ඇතුළු ධාන්‍ය වර්ගවලට මෙවැනි රසායනික ද්‍රව්‍ය යොදා කල්තබා ගැනීමේ අවස්ථා බහුලව වාර්තාවීම නිසා අපි මේ පිළිබඳව අංශ කිහිපයකින් විමසා බැලීමට තීරණය කළෙමු.


මුලින්ම මේ පිළිබඳව අනාවරණයවී ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයෙනි. සහල් ඇතුළු ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදන බවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු තමන් වෙත දන්වා සිටි බව පොලොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ අංශයේ ප්‍රධානි වෛද්‍ය මලිත් මෙත්තසූරිය මහතා පැවසීය. මෙයට පෙර මෙවැනි සිද්ධීන් වාර්තා වුවත් මෙවර නිෂ්චිත වශයෙන්ම මේ බව පැහැදිලි වී ඇතැයි වෛද්‍ය මෙත්තසූරිය මහතා සඳහන් කළේය. මේ සඳහා දැන් අවශ්‍ය පියවර ගැනීම පිණිස බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

 


● මේ පිළිබඳ ඔබට කරුණු අනාවරණය වූයේ කෙසේදැයි පැහැදිලි කළොත්?
මුලින්ම අපි ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූ කරුණු සොයා බලමින් සිටියා. ඒ අතර තුර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන්ම දැනගන්නට ලැබුණා රසායනික ද්‍රව්‍යයක් මාත්‍රාවකින් තොරව සහල් ඇතුළු ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා භාවිතා කරන බව. ඊට පසුව අපි මේ පිළිබඳව සොයා බැලීමක් කළා. බොහෝ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන බව අපට වාර්තා වුණා. කෙසේ වෙතත් මේක ඉතා කනගාටුවට කරුණක්. මොකද මෙයින් මනුෂ්‍ය ජීවිතයට සිදුවුණ හානිය බොහොම බරපතළයි. ඒ නිසා ජනතාවගේ ජීවිතයත් සෞඛ්‍ය තත්ත්වයත් ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙය නැවැත්වීමට බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් මිනිස් ජීවිතවලට සිදුවන හානියට වගකිවයුතු කෙනෙක් නැහැ. 


විශේෂයෙන් අපේ රටේ බොහෝ ගම්බද පළාත්වල ජනතාව තවමත් පුරුදුව ඇත්තේ උදෑසන ආහාරයට බතක් හෝ ධාන්‍ය වර්ගයක් සකස් කර ගැනීමටයි. 


පසුගිය කාලයේ පාසල් යන කුඩා ළමුන්ගේ ආහාරයට ධාන්‍ය වර්ගයක් එක්  කළ යුතු යැයි ප්‍රකාශ විය. එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි ජනතාවටද බත හෝ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම පිළිබඳ දෙවරක් සිතිය යුතු නොවේද? එහෙත් එවැනි ප්‍රමිතියකින් තොරව සහල් හෝ ධාන්‍ය වර්ග මිලදී ගන්නේ කෙසේද යන්න පාරිභෝගික ජනතාවට බලපාන තවත් ප්‍රශ්නයකි. එවැනි දේ නැතුවාට නොවේ. එහෙත් පාරිභෝගිකයන් ඒ සඳහා දැනුවත් ද යන්න තවත් ගැටලුවකි. 


ඇත්තටම සහල් හෝ ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යයක් යොදනවාද? අප මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් කළේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ගෙනි. 

 


● ඇත්ටම සහල් ඇතුළු ධාන්‍ය වර්ග කල්කබා ගැනීමට රසායනික ද්‍රව්‍යයක් යොදනවාද? 
අපි වෛද්‍ය ජයසුමන මහතාගෙන් විමසුවෙමු. 


සාමාන්‍යයෙන් ධාන්‍යවලට කෘමීන් බෝවීම වැළැක්වීමට භාවිතා කරන්නේ “ඇලුමීනියම් පොස්පයිඞ්” කියන රසායනික ද්‍රව්‍යය. ඒක තමයි සම්මත ක්‍රමය. නමුත් විදේශ රටවල ඒවා පාවිච්චි කරන කොට නිසි මාත්‍රාවක් තිබෙනවා. බොහොම ආරක්‍ෂාකාරී විදිහට තමයි ඒවා පාවිච්චි කරන්නේ. එහෙත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැහැ. ඒක කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්න ඕනෑ. අපේ රටේ නීතියේවත්, පලිබෝධ නාශක කාර්යාංශයේ නිලධාරීන්වත් දැනුවත් නැහැ. කවුරුත් එහෙම දෙයක් හරි ආකාරව නියාමනය කිරීමක් නැහැ. එහෙත් මේ කර්මාන්ත ශාලාවල, එහෙමත් නැතිනම් හාල් මෝල්වල සිටින අය ඒක පාවිච්චි කරනවා. නමුත් ඔවුන් නියමිත කාලසීමාවකදී, නියමිත මාත්‍රව අනුව පාවිච්චි කිරීමක් සිදුවන්නේද කියා සොයා බලන්න අපේ රටේ ක්‍රමවේදයක් නැහැ. නමුත් අපේ රටේ ඒවා පාවිච්චි කරන්නේ නියමිත කාලයක් තුළදී නියමිත මාත්‍රාවක්  නොවෙයි. ඒවා පාවිච්චි කරන්න පුහුණුව ලබපු නිලධාරීන් පිරිසක් අපේ රටේ නැහැ. ඒ තමයි ඇත්ත තත්ත්වය. ඒක තමයි පළමු කාරණය. 


දෙවැන්න තමයි ඒවා බලන්න, ඒවා නිරීක්‍ෂණය කරන්න පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය යටතේ පුහුණුව ලත් නිරීක්‍ෂකයන් පිරිසක් ඉන්න ඕනෑ. එවැනි පිරිසකුත් නැහැ. ඒක තමයි     “ඇලුමීනියම් පොස්පයිඞ්” වගේ ලෝකේ රටවල් භාවිතා කිරීමේදී යොදා ගන්න ඕනෑ. මූලික සංකල්පය වත් නැහැ. දැන් ප්‍රශ්නය තිබෙන්නේ “ඇලුමීනියම් පොස්පයිඞ්” නොවෙයි ඊට වැඩිය සැර ද්‍රව්‍ය මේ කාරණය සඳහා, ඒ කියන්නේ සහල් හෝ ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා භාවිතා නොකරන රසායනික ද්‍රව්‍යයක් සහ “ප්‍රී ත්‍රොයිඞ් මැංකොසෙබ්” ඡහරු ඔයැරදසා ඵබජද‘ැඉ එතකොට ඒවා භාවිතා කරලා තිබෙනවා. ඒවා තමයි “ඕගනෝ පෝස්පේට්” ධරට්බද ඡයදිචය්එැ පාවිච්චි කිරීම ඉතාම භයානකයි. මොකද ඒවා සහල් හෝ ධාන්‍ය වර්ගවලට උරාගෙන ඒවා එහි තැන්පත් වෙලා අවසාන වශයෙන් නවතින්නේ අපේ ශරීරගත වෙලා. ඒවායින් ඇතිවන සෞඛ්‍යය ප්‍රශ්න තමයි ප්‍රධාන වශයෙන් අක්මාවට හා වකුගඩුවලට බලපෑම. ඒ වගේම පිළිකා ඇතිවන්නත් හේතු කාරක වෙනවා. ලෝකයේ කළ පරීක්‍ෂණවලින් මේවා පෙන්වලා දීලා තිබෙනවා. අපි දන්නවා මේ රෝග තුනම පසුගිය වසර දහයේදී පමණ අසාමාන්‍ය ලෙස අපේ රටේ වර්ධනය වීගෙන යනවා. මේ සඳහා නිවැරැදි පැහැදිලි කිරීමක් හෝ මොකක්ද මේ තත්ත්වයට හේතුව කියන එක ගැන විසඳුම් සෙවීමට නොහැකි වෙලා තිබෙනවා.


එතකොට අපේ ප්‍රධාන ආහාරය බත් නේ. ඒ කියන්නේ සහල් නේ බත් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒ සහල්වලට මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඇතිවෙන්නේ ඉතා භයානක තත්ත්වයක්. එහෙත් කනගාටුව අපේ රටේ ඒ පිළිබඳ පරීක්‍ෂණ පවතින්නේ විධිමත් ක්‍රමවේදයක් නොමැතිවයි.

 


● මේ සම්බන්ධයෙන් ඔබ ගන්නා ඉදිරි පියවර පැහැදිලි කළොත්?
අපි පසුගිය වසර පහක කාලයක ඉඳලම මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා. පළමුවැනි කාරණය තමයි අපි පැහැදිලි කළේ අපේ රටට ආනයනය කරන කෘමිනාශක හා අනිකුත් පළිබෝධ නාශක වර්ග නිසි ප්‍රමිතියකින් යුතුව ගෙන්වන්න කියන කාරණය. මොකද දැන් එහෙම ගෙන්වන කෘමි නාශක හෝ රසායන ද්‍රව්‍ය නිදහස් කරන්නේ නිසි ප්‍රමිතියකින් තොරවයි. එහි මුල් නිෂ්පාදකයා සපයන තොරතුරු පදනම් කරගෙන තමයි මේවා නිදහස් කරන්නේ. මේ පළිබෝධනාශක බෝතල් ඇතුළේ තිබෙන්නේ මොනවද කියලා ඒවා නිදහස් කරන අයට හරියට දැනුමක් නැහැ. ඉතින් එතනදී ඒ වගකීම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් හරියට ඉෂ්ට කරලා නැහැ. අද ඊයේ නොවෙයි මෙයට වසර 50ක් පුරාවටම. 


ඊළඟ කාරණය තමයි මේවා නියාමනය කරන්න නීති රීති ඉතාම දුර්වල තත්ත්වයකයි තිබෙන්නේ අපේ රටේ. ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙස මෙතෙක් අරගෙන නැහැ. 


ඒ වගේම තමයි ආහාර ගබඩා කිරීමේදී නිසි ක්‍රමවේදයක් නැහැ. ඒවා ගබඩා කිරීම පිළිබඳවද නීති රීති සැකසීමේ නිසි ආයතනයක් නොමැති කමත් තවත් කාරණයක්. එක එක අය එක එක්කෙනාට බෝලය පාස් කිරීමක් අපි දකින්නේ. ඒක ආහාර පාලන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ගැන වසර ගණනාවක සිට කරුණු පැහැදිලි කළා.


එකක් තමයි හොඳ විද්‍යාගාරයක් අපේ රටේ ස්ථාපනය කළ යුතුයි මේවා පරීක්‍ෂා කරන්න. ඒ විද්‍යාගාරයට බලපෑම් නොකරන ආයතනයක ස්ථාපනය කළ යුතුයි. එය ජනාධිපති කාර්යාලයේ හෝ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ හෝ ස්ථාපනය කළ යුතුයි. මොකද එතකොට එයට බලපෑම් කරන්න කිසිවෙකුටත් බැහැ. ඒ වගේම තමයි ආහාරවල විස ද්‍රව්‍ය පරීක්‍ෂාකරන්න ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්නම අවශ්‍යයි. මේ ගැන අපි වසර 5 ක් පුරාම කථා කරනවා. එහෙත් ඒ පිළිබඳ මුනිවත රැකීමක් තමයි අදාළ බලධාරීන් සිදු කරන්නේ. දේශපාලනඥයන් හා තීන්දු ගන්න අයට නොතේරෙනවා වෙන්න නම් බැහැ. තේරිලා නොතේරුණා වගේ ඉදීමක් තමයි අපි නම් දකින්නේ. 


වස විස වලින් තොරව සහල්, ධාන්‍ය, එළවළු මෙන්ම පලතුරු ආහාරයට ගත් අපේ පැරැන්නෝ පරමායුෂ උපරිම අයුරින් භුක්ති වින්දහ. ඔවුහු දැනට අසන්නට ලැබෙන විවිධ රෝගාබාධවලින් තොරව ජීවත්වූහ. එහෙත් අද ඉපදෙන කුඩා දරුවෝ පවා නොයෙකුත් රෝගාබාධවලට මුහුණ දී සිටිති. ප්‍රමාණවත් ආහාර නොමැතිකම මෙන්ම ප්‍රමිතියකින් යුතු ආහාර නොගැනීම නිසා ඔවුහු මේ තත්ත්වයට මුහුණ දී සිටී. 


● මේ තත්ත්වයට මුහුණ දෙන පාරිභෝගිකයන් ආරක්‍ෂාකර ගත යුත්තේ කෙසේද? ඔවුනට මේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ කොහොමද? 
මෙය අප ඉදිරියේ පවතින බැරෑරුම් ප්‍රශ්නයකි. 


අපි මේ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රංජිත් විතාන මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ ක්‍රමවත් වැඩපිළිවෙළක් හෝ නීති රාමුවක් නොමැතිවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇති බවයි.

 


● මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද?
අපි දන්න විදිහට සහල්, පරිප්පු, මුං ඇට හා කව්පි වැනි ධාන්‍ය වර්ග රැසකටම කෘමිනාශක යොදනවා ගබඩා කරන කොට. මොකද එතකොට කල්තබා ගැනීමට පහසුයි. අපි දකින්නේ මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ ප්‍රමාණවත් නීති රීති මදිකම. මොකද මේ ගැන සොයා බැලීමට නිසි ආයතනයක් නැහැ. ඒ නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඔවුනට හිතු හිතු පරිදි මේ රසායන ද්‍රව්‍ය යොදවනවා. ඔවුන්ට ප්‍රමිතියක් හෝ නියමිත මාත්‍රාවක් පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඔවුනගේ මූලික අරමුණ තමයි වැඩි කාලයක් ඒ ද්‍රව්‍ය කල්තබා ගැනීම. මොකද එසේ කළහොත් ඔවුනට වැඩි වාසි අත්වනවා. 


පාරිභෝගික අධිකාරිය කියන්නේ ඔවුනට මේ පිළිබඳ සෙවීමට අයිතික් නැහැ කියලා. එතකොට සෞඛ්‍යය අමාත්‍යාංශය කියන්නේ ඒ පිළිබඳ නියාමනය කිරීම ඔවුන්ගේ වගකීමක් නොවන බවයි. එතකොට මුලින්ම සිදුකළ යුත්තේ ඒ පිළිබඳ නීති රීති සකස් කරලා එයට වග කියන ආයතනයක් ඇති කිරීම. එහෙම නැති නිසා සහල් ඇතුළු ධාන්‍ය ගබඩා කරන අය ඔවුනට හිතු හිතු ආකාරයට ක්‍රියා කරනවා. ඔවුන්ට එරෙහිව නීතියකුත් නැහැ. ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවන්නත් නීතියක් නැහැ. අපේ රටේ ඒක එක කාරණයක්.
අනික ඒ කියන ආයතනයට හැකියාව තිබෙන්න ඕනෑ මහ පරිමාණ මෝල් හිමියන්, බීජ මිලදී ගන්නන් අන්න ඒවගේ අය මේවා ගබඩා කරන ස්ථාන පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුම් දීමට. සමහරු මෙය නොදැනුවත්කමින් කරනවා. තවත් අය මෙය හිතාමතාම කරනවා. ඒ නිසා මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දීපව්‍යාප්තව සිදු කිරීම අවශ්‍යයි. මේ ප්‍රශ්නය අපේ රටේ දීර්ඝ කාලයක ඉඳලා තිබුණා. නමුත් මේ ඊයේ පෙරේදා මේ පිළිබඳ කථිකාවක් ඇති වුණා ඒක හොඳයි. මේ පිළිබඳව සමාජය තුළ අවධානයක් යොමුවීම වැදගත්. එතකොට අපට එතන ඉඳලා මෙය පටන් ගන්න පුළුවන්. අපේ පැත්තෙන් අපි යෝජනා කරන්නේ අදාළ තැන්වල අවධානය යොමුවිය යුතුයි. මේ වෙලේ පාරිභෝගිකයා අසරණයි. දැන් බලන්න පිටරටවලින් ගෙන්වන මෙවැනි භාණ්ඩවලට කෘමීන්ගෙන් වෙන හානිය අඩුයි. මොකද ඔවුන් මේ සඳහා භාවිතා කරන්නේ අති භයානක රසායනික ද්‍රව්‍ය. මේක දැන් භයානක තත්ත්වයක් වෙලා. ප්‍රමිතියෙන් යුතුව නිපදවන ඒවාට නම් ගැටලුවක් නැහැ. 


ඒ විතරක් නොවෙයි අස්වැන්නටත් මේ රසායනික ද්‍රව්‍ය යොදනවා. ගබඩා කිරීම එක පැත්තක. සාමාන්‍යයෙන් ක්‍රමය අස්වැන්නට පළිබෝධක යොදලා අස්වැන්න නෙළිය යුත්තේ සති දෙකකට පසුවයි. දැන් කරන්නේ පළිබෝධක යොදපු ගමන් අස්වැන්න නෙළනවා. ඊට පස්සේ පලදාව ගබඩා කරනකොටත් මේ දේම සිද්ධ වෙනවා. එතකොට අවස්ථා ගණනාවකදීම මේ රසායනික ද්‍රව්‍ය අපේ ආහාරයට එකතු වෙනවා. ඒක නොදැනුවත්වම අපි වගේම අපේ දරුවනුත් ඒ ආහාර පරිභෝජනය කරනවා. ඒ නිසා විශාල ලෙස පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ඉබේම ඇති වෙනවා. තවත් සොයා ගත නොහැකි රෝග ගණනාවකටම මේ තත්ත්වය බලපානවා. නමුත් අපි දකින්නෑ සෞඛ්‍ය බලධාරීන් හෝ දේශපාලන අධිකාරිය හෝ මේ පිළිබඳව වගකිවයුතු ප්‍රතිපත්ති සම්පාදකයන් හෝ කිසියම් ආකාරයක මැදිහත් වීමක් පිළිබඳව. 

 


● මේ සම්බන්ධයෙන් ඔබ සංවිධානය කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම රජය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරනවා, මේ සඳහා නීතියක් හඳුන්වා දෙන්න කියලා. ඒ වගේම අපි සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් හෝ පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා වගකිවයුතු ආයතනයක් ස්ථාපනය කරලා, ඒ ආයතනය වෙත වගකීම පවරලා මේ නිෂ්පාදකයෝ, තොග මිලදී ගන්න පිරිස දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. ඒ ඉල්ලීමට සවන් දුන්නේ නැතිනම් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා එසේ නැත්නම් අපි සංවිධානයක් විදිහට මූලික වෙලා අපි ඔවුන් දැනුවත් කරන්න ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් පාරිභෝගිකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා. ඒක තමයි අපේ මූලික ඉල්ලීම. 


රසායනික ද්‍රව්‍ය යොදා ආහාර කල්තබා ගැනීමේ නියමිත ක්‍රමවේදයක් පිළිබඳ ආහාර ගබඩා කරන්නන් දැනුවත් කිරීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති කම විශාල ගැටලුවකි. 


මේ නිසා එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව මේ කාලය තුළ ඉතා වටිනා බවයි පාරිභෝගිකයන් පවසන්නේ. 


මේ පිළිබඳව අප පළිබෝධනායක කාර්යාලයෙන් විමසීමක් කළෙමු. 


එහි ප්‍රකාශකයකු සඳහන් කළේ සාමාන්‍යයෙන් සහල් හා ධාන්‍ය ඇතුළු ආහාර වර්ග කල්තබා ගැනීමට විශේෂිත වූ රසායනික ද්‍රව්‍යයක් මෙතෙක් නිර්දේශ කර නොමැති බවයි. එහෙත් ආහාර කල්තබා ගැනීමේදී පළිබෝධ හානියක් සිදුවෙනවා නම්, ඒ සඳහා අනුමත කළ පළිබෝධ නාශකයක් තිබෙනවා. “කොස්ඔෆ්සින්” ගෑස් එකක් වගේ. ඒක යොදපුවම ගැටලුක් ඇති වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඒ වායුව ගිහිල්ලා සත්තු සිටිනවනම් ඒවා විනාශ වෙනවා. ඒකෙන් ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. 


අනුමත නොකළ රසායනික ද්‍රව්‍ය යොදවනවද කියන එක පිළිබඳ මෙතෙක් දැනුවත්වී නැතැයි එම ප්‍රකාශකයා පැවසීය. එහෙම තිබෙනවනම් ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

 


● ඒවගේ සිද්ධින් වාර්තා වෙලා තිබෙනවා. ඒ ගැන විසඳුමක් ගන්න බැරිද?
මෙහෙමයි, එහෙම ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ බව සනාථ කළ යුතු කරුණු අවශ්‍යයි. නිසි සාධක ඇතිව පළිබෝධනා්‍යක කාර්යාලයට වාර්තා කළහොත් අපට සොයා බැලිය හැකි බව එම ප්‍රකාශකයා කීය. 
කෙසේ වෙතත් මෙයින් නැසෙන්නේ මනුෂ්‍යයාමය. ඒනිසා මිනිස් ජීවිතවල වටිනාකමක් දන්නා උදවිය මෙය වහාම නවතාලිය යුතු කාලය දැන් උදාවී තිබේ.

 

සටහන:- නිශාන්ත කුමාර බණ්ඩාර