ඉපදී දින හතක් පමණ වයසැති පුංචි පුතකු නිවෙසේ සාලය මත පැදුරු කැබැල්ලක සිටියදී බල්ලකුට ගොදුරු වූ පුවත ඇසූ බොහො දෙනා අතිශයින් කම්පාවට පත් වූ බව අපි දනිමු. බල්ලා දඩාවතේ යන හෝ දඩයම් සඳහා හුරු කළ බවට හෝ සිතිය හැකිය. ඒ සිද්ධිය වාර්තා වූයේ පසුගිය සතියේ හබරණ, නාමල්පුර, ආසිරිගම ප්‍රදේශයෙනි. මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව එම ප්‍රදේශයේ මෙන්ම ඇසූ දුටු බොහෝ දෙනාගේ එකම ප්‍රශ්නය වූයේ “ඇයි දෙයියනේ මේ අම්මා තාත්තා මොකද කළේ” යන්නයි.
දඹුල්ල රෝහලේදී මේ පුංචි කිරි කැටියාගේ හදිසි මරණ පරීක්ෂණය පවත්වා දේහය නිවෙසට රැගෙන යාමට නොහැකිව එම මවත් පියාත් පැමිණ සිටි ඥාතීන් ඉතා සීමිත කීප දෙනෙක් මුහුණෙන් මුහුණ බලා සිට ඇත. දඹුල්ල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අජිත් අර්නනායක මහතා, වෛද්‍ය අධිකාරී ගාමිණී සේනානයක මහතා ඇතුළු හෙද හෙදියන් සහිත කාර්ය මණ්ඩල සියලු දෙනා එක්ව ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස දරුවාගේ දේහය ගමට රැගෙන යාමට හා අවසන් කටයුතු කර ගන්නට රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කරන්නට වූහ.
මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීම සඳහා අපි නාමල්පුර ආසිරිගම කියන ඉතා දුෂ්කර ගම්මානයට ගියෙමු. අප එම නිවෙසට යද්දී අසල්වැසි නිවෙසක සාලය මැද පුංචි පෙට්ටියක තබා බල්ලාගේ ගොදුරක් බවට පත්ව මිය ගිය කවිශ්ක සඳරුවන් නම් වූ සිඟිත්තාගේ සිරුරේ ඉතිරි වී ඇති කොටස් තැන්පත් කොට තිබිණි. දරුවාගේ මව වන එච්.එම්. නිෙරා්ෂා කුමාරි (24) මහත්මියත් පියා වන සම්පත් කුමාර (26) මහතාත් දේහය අසල සිටියහ. ඉතා වැහැරැලි අැඳුම් ඇඳගෙන ගමේ කිහිප දෙනෙක් මෙම නිවෙස ආසන්නයේ සිටියහ. එමෙන්ම බැලූ බැල්මට යම් මට්ටමකින් පිළිවෙළකට වූ කීප දෙනකු ද සිටිනු පෙනිණ. තරුණ හා වැඩිහිටි බහුතර දෙනා හොඳාකාරවම බීමතින් සිටින නුහුරු දසුන් මෙම ගම්මානයේදී අපට දැකගන්නට හැකි විය.
නොදියුණුකම, අධ්‍යාපන මට්ටම, ආර්ථික ප්‍රශ්න ආදී සිද්ධීන් නිසා මේ තත්ත්වයට පත්වීදෝ යන්න අපට ද පුදුම සහගත විය. මේ ගම්මානයට අප ගමන් කළේ කිරි කැටියකු බල්ලකු විසින් ගොදුරක් ගනු ලැබ අැති බවට වූ දුක්බර පුවත සොයා බැලීම සඳහාය. එහෙත් එම සිද්ධිය ගැන ගම්මුන් බොහෝ දෙනකු මුණිවත රකින ආකාරයක් ද අපට පෙනෙන්නට විය.
කෙසේ වෙතත් අපි මියගිය දරුවාගේ මව හමුවී මේ අවාසනාවන්ත සිද්ධිය වූ ආකාරය පිළිබඳව විමසීමක් කළෙමු. ඇය තම පවුල් පසුබිම ද සමඟ සියලු විස්තර අප සමඟ මෙසේ කීවාය.
“මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ නැති වුණේ තුන්වැනි පුතා. දවස් හතක් වෙනවා පුතා හම්බෙලා. ඒ දවස් හතේම මහත්තයට වැඩකට යන්න බැරි වුණා. එයා කැලේ ගිහින් බඹර කපනවා. මී කඩනවා. දඩයමුත් කරනවා. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. එදා සවස මහත්තයා ගියා කැලේ යන්ඩ දරුවෝ බඩගින්නේ ඉන්න නිසා.
අපි ජීවත් වෙන්නේ පුංචි කටුමැටි ගැසූ එක කාමරයක. මම පුංචි පුතා කාමරයේ මැද පැදුරේ නිදිකරවලා මොනවා හරි අනෙක් දරුවෝ දෙන්නට කන්ඩ උයලා දෙන්ඩ කියලා කුස්සියට ගියා. අපේ ගේ ඉස්සරහා දොරක් විතරයි තියෙන්නේ. පිටිපස්ස මැටි ගහලා වහලා තියෙන්නේ.
ලොකු දුවට කිව්වා අපේ අම්මලාගේ ගෙදර ගිහින් රෑට උයන්ඩ හාල් හුන්ඩු දෙකක් ඉල්ලං එන්ඩ කියලා, තාත්තා කැලේ ගිහින් ආවාම අරගෙන දෙන්නම් කියලා. එනකල් මම ලිපත් පත්තු කරලා වතුර කළයක් ගේන්ඩ ගියා ළිඳට. ඇවිත් මුට්ටියට වතුර ටික දාලා රත්වෙන්ඩ ලිප තියන්ඩ හදනකොට චූටි දුව කිව්වා මල්ලි කෙඳිරිගානවා වගේ කියලා. මම එ්ත් එක්කම ගියා ඉස්සරහට. ගිහින් ගේ ඇතුළට යනකොට බල්ලෙක් මගේ පුතාගේ ඔලුව පැත්ත කනවා. මම කෑ ගහලා බල්ලා එළවලා පුතා උස්සගෙන මැණිකේ අක්කලා ගෙදර දිව්වා. මම ඒ බල්ලා කවදාවත්ම දැකලා නැහැ. ඌ සුදුපාට බල්ලෙක්.”
මෙම මියගිය කරිකැටියාගේ පියා වූ සම්පත් කුමාර මෙසේ කීවේය.
“මම එදා හිටියේ නෑ, කැලේ ගිහින් හිටියේ. එතකොට තව කෙනකුට කෝල් එකක් ඇවිත් තමයි මට පණිවිඩය ලැබුණේ. මම ගෙදර එනකොට එයාලා දඹුල්ලේ ඉස්පිරිතාලේ. ඒ නිසා මම රෑ ගියේ නැහැ. උදේ තමයි ගියේ. ඒ යනකොට දැනගත්තා පුතා නැති වෙලා කියලා.”
මේ යුවළ එතරම් අධ්‍යාපනයක් ලබා නොමැති වීම නිසාම ඔවුන් ඉතා අසරණව සිටින ආකාරයක් මෙහිදී අප දුටුවෙමු. අසල්වැසි නිවෙසක කුඩා බිළිඳාගේ මළසිරුර තබා තිබියදී අපි මෙම සිද්ධිය වූ නිවෙසට ගිෙයමු. ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන ඔවුනගේ ජීවිතවල සැබෑව දර්ශනය වූයේ එම නිවෙසෙන් සහ මුළුතැන්ගෙයි දසුන්වලිනි.
අසල්වැසි නිවෙසේ කාන්තාවක් බව කියූ අයකු මේ සිද්ධිය ගැන මෙසේ කීවාය.
“සවස මට මේ ගෙදර කට්ටිය කෑ ගහනවා අැහුණා. මම එළියට එනකොට ගෙදර පැත්තේ ඉඳලා ගුරුපාට ටිකක් ලෝම හැලුණු බල්ලෙක් අපේ ගෙදර පැත්තට දුවගෙන ආවා. ඌ මගේ දිහා බලාගෙන හිටියා. මම ඒ බල්ලා දැකලා තිබුණේ නෑ. අර ගෙදර කෙනාත්, පුංචි දුවලා දෙන්නත් අඬනවා අහුණා. මම හිතුවෙ එයාලා ගෙදර ගෝරි වෙනවා කියලා. පස්සේ රෑ තමයි මම දන්නේ බල්ලා කාලා කියලා.”
නම කීමට අකමැති ගමේ මඳක් හෝ අධ්‍යාපනයක් ලබා අැති ආගමට දහමට සමාජයට යමක් හෝ කරන්නට උත්සාහ දරන කීප දෙනකු අපට හමුවිය. ෙම් පිරිස අපූරු කතාවක් කියන්නට වූහ.
“මේ සිඟිත්තා නිසා ලොවම කම්පනයට පත්වුණා. ඒත් මේ ගම්මානයේ බොහෝ දෙනකුට ඒ දුක ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ මොකද ගමේ වැඩි දෙනකුගේ රැකියාව බවට පත්වෙලා තියෙන්නේ සත්තු මරණ එක, මස් විකුණන එක. බඹර කූඩු මී පැණි කූඩු කඩා දමලා ඒ අයගේ ආහාරයට තියෙන පැණි ටික හූරාගෙන එන එක. ගමේ හැම තැනම දඩයම් බල්ලෝ හුරු කරලා. මේ පැත්තේ එළු පැටියෙක් හරක් පැටියෙක් අලුතෙන් දාන්ඩ බෑ මේ බලු රැළ කනවා. දඬුලේනෙක් තලගොයෙක් බැරි වෙලාවත් ආවොත් බල්ලෝ වට කරලා අල්ලාගෙන කනවා. නැතිනම් උන්ගේ හාම් පුතාලාට ගෙහුන් දෙනවා. මේ ගමේ මිනිස්සුන්ට කරන්න වෙන වැඩක් නෑ.
ගොවිතැන් කරන්න වතුර නෑ. ඉඩම් නෑ. කුලී වැඩක් නෑ. ඉතින් දරු පැටව් රක්ෂා කරන්ඩ තමයි දඩයමේ යන්නේ. අනික තමයි ආසිරිගම කියන ගමේ නම ඇහුව ගමන් හැමෝම දන්නවා දඩයක්කාරයෝ ඉන්න ගමක් කියලා. ඒ නිසා ගමේ අනෙක් අයටත් මේ හැදෙන දරුවන්ටත් හොඳ නෑ. මේවා කියලා දෙන්ඩ බැහැ. මොකද උන් ඉගෙනගෙන නෑ. සත්තු වගේ ඉන්නේ. උදේ ඉඳලා රෑ වෙනකල් බීලා ඉන්නවා. බොහෝ දෙනකුට හරි හමන් ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා නෑ. කිසිම කෙනෙක් මේ මිනිස්සු සුගතියකට ගන්න එන්නෙත් නැහැ. පොලිසිය ආවත් තවත් රජයේ නිලධාරීන් ගමට ආවත් එන්නේ ඒ අයගේ පාටියට, උපන්දිනයට, සාදයට මස් ඕඩර් කරන්න. දඩමස් ගෙනියන්න. දඩමස් කිලෝවක් ගමෙන් දෙන්නේ රුපියල් 300කට.
මේ ලෝකේ ඇසූ දුටු මිනිස්සු හදවත් කම්පා කරවන මේ සිද්ධිය අපේ ගමෙන් වාර්තා වෙන්න එකම හේතුව තමයි මේ දඩයම. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ මියගිය කිරි කැටියාගේ නාමයෙන් මේ ගමේ සිදුවන දුරාචාර, වනසතුන් දඩයම නවත්තලා, මේ පිරිසට කුමන හෝ ආදායම් මාර්ගයක් ලැබෙන වැඩපිළිවෙළක් තෝරලා ඉස්කෝලේ නොයන දරුවෝ ටික ඉස්කෝලේ යවලා යමක් කරලා දෙන්න කියලා. නැත්නම් තවත් මේ වගේ අපරාධ වෙන්න පුළුවන්.”
ඔවුන් අප සමඟ එසේ කීෙව් ගම්මුන්ට විරුද්ධව නොවේ. එනම් තම ගමට අැති ආදරය, මිනිස්සුන්ට ඇති ආදරය නිසාය.
ඉතා අවාසනාවන්ත අන්දමට ලොව හදවත් සසල කරවමින් බල්ලකුගේ ගොදුරක් බවට පත්ව මියගිය පුංචි දරුවාගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ එම ගම්මානයේම විහාරාධිපති රත්නපුරේ සීලරතන හිමියන් විසිනි. උන්වහන්සේ ඉතා තදින් මේ අවස්ථාවේදී ගම්මුන්ට මෙන්ම දරුවාගේ ඥාතීන්ට අවවාද කරන්නට වූහ. අවමඟුල් අවස්ථාවේදී වෙනත් කිසිදු අයකුට කතා කරන්නට ඉඩ නොදුන් උන්වහන්සේ ජාතක කතාවක් හුවා දක්වමින් වන සතුන්ට ගිනි බිඳින අයට සිදුවන ඵල විපාක ගැන පැහැදිලි කරන්නට වූහ.
ගම භාරව සිටින රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන අධිකාරිය, ප්‍රභූන් සියලු දෙනා මෙම ඛේදජනක සිද්ධියට වක්‍රව හෝ වගකිව යුතු බවත්, මෙම ගම්මුන් පව්කාර ක්‍රියාවලියෙන් බේරා ගන්නවා වෙනුවට තව තවත් වන සතුන්ගේ මස්වලට ගිජුව මිලදී ගැනීමෙන් මෙවැනි අපරාධ සිදුවිය හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.
ගමේ බොෙහා් දෙනාගේ මතය වූයේ දඩයම් සඳහා හුරු පුරුදු කළ බල්ලකු මේ ක්‍රියාව සිදුකරන්නට ඇති බවත්, එසේ නොමැතිව කිසි දිනක නිවෙසක ඇති කරන බල්ලකු මේ ආකාරයට මිනිසකු ගොදුරට නොගන්නා බවය.
කෙසේ වෙතත් මෙම බිළිදාගේ සිද්ධිය අනෙකුත් මව්වරුන්ට, පියවරුන්ට තවත් පාඩමක් කියා දෙයි. එනම් ඇස් දෙක වගේ හදාගන්නා හෙට රට භාර ගැනීමට සිටින තම දරුවන් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්නය.
දඹුල්ල කාංචන කුමාර අාරියදාස