දූෂණයෙන් වංචාවෙන් තොර පාලනයක් පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය, මෙන්ම, බැඳුම්කර කොමිසම ආදී ආන්දෝලනාත්මක දේශපාලන කාරණා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්රශ්නය - ලබන 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උළෙල ඔබතුමාගේ නායකත්වයෙන් පැවැත්වෙන 3 වන සංවත්සරයයි. මෙවර සංවත්සරයට පක්ෂයේ සූදානම කෙබඳුද?
පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ලබන 3 වැනිදා සවස බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වෙනවා. මම පක්ෂයේ සභාපති වශයෙන් 2015 ජනවාරි මාසයේ පත්වෙලා මුලින්ම පක්ෂයේ සභාපති විදියට ජනහමුවක් පවත්වන්න කටයුතු කළේ ඒ වසරෙ මැයි දිනයේ. එය අපි කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූවා. පක්ෂයේ 64 වන සංවත්සරය අපි 2015 පැවැත්වූවේ පොලොන්නරුවේ. රටේ සෑම ප්රදේශයකින්ම ජනතාව එයට සහභාගි වූවා. 15,000ක පමණ සෙනඟක් 64 වැනි සංවත්සරයට සහභාගි වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයත් ඒ රැස්වීමට ආවා. ඇවිත් අපි එක වේදිකාවේ වාඩිවෙලා හිටියේ. මගේ සභාපතිත්වයෙන් තියපු 64 වන සංවත්සරයට එතුමත් පැමිණියා. ඊළඟට අපි 2016 මැයි දිනය ගාල්ලෙ පැවැත්වූවා. හයිඩ් පිටියෙ මැයි දිනයට හිටියේ 10,000ක විතර සෙනඟක්. එවෙලේ පාක්ෂිකයින් සහ පක්ෂයේ ප්‍රධානීන් යම් පිරිසක් ඒ වෙලාවෙ මා ගැන වැරදි අවබෝධයකින් සිටි වෙලාවක්. 2015 මැයි දිනය එතරම් සාර්ථකයි කියා මම කියන්නෙ නැහැ.
නමුත් පොළොන්නරුවෙ පවත්වපු 64 වන සංවත්සරය සාර්ථකයි කියල මම කියනවා. ඉන් පසුව 65 වන සංවත්සරය අපි පැවැත්වූවේ කුරුණෑගල. 2016 ගාල්ලෙ පවත්වපු මැයි දිනයත් ඉතාම සාර්ථකයි. සාමාන්‍යයෙන් 60,000කට වැඩිය ගාල්ලට සෙනඟ ආවා. කුරුණෑගල පවත්වපු 65 වන සංවත්සරයත් ඉතාම සාර්ථකයි. අතිවිශාල ජනකායක් එයට සහභාගි වුණා. තිබුණු විශේෂත්වය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ කවදාවත් උතුරු නැගෙනහිරින් ඒ තරම් සෙනගක් ඇවිත් තිබුණේ නැහැ. උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවක් විශාල වශයෙන් සහභාගි වුණා.
මේ වසරේ මැයි දිනය අපි පැවැත්වූවේ නුවර. නුවර මැයි දිනයත් ඉතාම සාර්ථකයි. අධික වර්ෂාව මැද, මහනුවර ප්‍රධාන මාර්ග හතරකින් පෙළපාළිවලින් ඇවිත් සෙනඟ ගැටඹේට එකතු වුණා. ඉතාම සාර්ථක මැයි රැලියක්.
අපි 66 වන සංවත්සරය 3 වැනිදා කැම්බල් පිටියේ පවත්වනවා. එහි සංවිධාන කටයුතු පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්න යෝජනා සකස් කරන්න අපි කමිටු කීපයක් පත්කර තිබෙනවා. පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළ අපි එදාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට අපි සංවත්සරයට සහභාගි වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ අනුව පක්ෂයේ 66 වන සංවත්සරය අපි ඉතාම සාර්ථකව පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය - මෙවර සංවත්සරයේ තේමාව කුමක්ද?
පිළිතුර - ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් කියන එකයි අපේ තේමාව. පක්ෂයේ පෝස්ටර්, බැනර් සියල්ල යන්නෙ ඒ තේමාව යටතෙ. මෙතන පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් යන්නෙන් අපි අදහස් කරන්නෙ පුළුල් වැඩපිළිවෙළක්. අද ලංකාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලනය කරන බොහෝ අය පිළිබඳව ජනතාව ඉන්නෙ ප්රසාදයකින් නෙමෙයි.
ආණ්ඩු වෙනස් වෙනවා. ආණ්ඩු මාරු වෙනවා. නමුත් වංචාව දූෂණය, අක්රමිකතාව කියන එක ප්‍රධාන වශයෙන්ම පසුගිය අවුරුදු දහයේ අත්දැකීම් එක්ක මුල්බැහැල තියෙන්නෙ. දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා පහළට මේ තත්ත්වය පෙන්නුම් කරනවා. හැබැයි සෑම කෙනෙක්ම නෙමෙයි. රාජ්‍ය නිලධාරීනුත් සෑම කෙනෙක්ම නෙමෙයි. රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසක් ඉතාමත් හොඳයි. නමුත් දේශපාලන ෙක්ෂ්ත්රය ගත්විට අපේ රටේ විශාල පිරිහීමක් තියෙන්නෙ. පළාත් පාලන ඡන්දයට එන පුද්ගලයාගේ සිට පාර්ලිමේන්තුවට එන කෙනා දක්වා දේශපාලන චින්තනයෙන් බැහැර වූ පෞද්ගලිකත්වය අරමුණු කරගත් දේශපාලනය තමයි අද හුරුවෙලා තියෙන්නෙ. මුදල් හම්බ කිරීම, තනතුරු අපේක්ෂාව, බලය පාවිච්චි කර කරන නොයෙකුත් වැරදි වැඩ යනාදිය තුළ දේශපාලනඥයින් පිළිබඳ විශ්වාසය බොහෝ සෙයින් පළුදු වෙලා.
පැවැති අන්ත දූෂිත ආඥාදායක පාලනයක්, පවුල්බැඳි පාලනයක් අවසන් කරලයි ජනතාව 2015 ජනවාරි 8 වැනිදා මා බලයට පත් කළේ. වර්තමාන ආණ්ඩුව පිළිබඳවත් ඇතිව තිබෙන චෝදනා සහ විවේචන දෙස බැලූවිට අද රටේ ජනතාව දේශපාලනඥයින් අති බහුතරයක් කෙරෙහි විශ්වාසයක් නැති තත්ත්වයක් ගොඩනැගිල තියෙනවා. ඒ නිසා රටට පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව දකිනවා. මම හිටපු තැනින් එළියට ඇවිත් අලුතින් ආණ්ඩුවක් පිහිටෙව්වෙ, රට තුළ නිදහස, ප්රජාතන්ත්රවාදය තහවුරු කරනවා වගේම, දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් සඳහායි. අද ඒ පිළිබඳවත් ජනතාවගේ සැකය අවිශ්වාසය ඇතිවෙලා තියෙනවා.
දූෂණයෙන් වංචාවෙන් තොර පාලනයක් පිළිබඳව ජනතාව තිබූ බලාපොරොත්තු සුන්වන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා අපි සියලු දෙනාට ආරාධනා කරනවා එක වැඩපිළිවෙළකට එක්වන්න කියලා. මේ අවුරුදු දෙක හමාර තුළ රටට දී ඇති නිදහස හා ප්රජාතන්ත්රවාදය ගැන නම් විවාදයක් නැහැ. ඒ ගැන කොහෙන්වත් චෝදනාවකුත් නැහැ. ප්රජාතන්ත්රවාදය හා නිදහස හොඳින් භුක්ති විඳිනවා. නමුත් දූෂණය වංචාව අකාර්යක්ෂමතාව සහ නාස්තිය පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු ගැන ජනතාවගේ පැත්තෙන් ප්‍රසාදයක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ සහ චරිතවලට වඩා පැහැදිලි ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් තුළ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් රටට අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙළක් විදියට බලාපොරොත්තු වෙන්නෙ ඒ තත්ත්වය ගොඩනගා ගැනීමයි. මෙතන තියෙන්නෙ කුමන දේශපාලන පක්ෂයද කියන කාරණය නොවෙයි. මේ රටේ හැම දේශපාලන පක්ෂයකම පැහැදිලි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට කැමැති සියලු දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙලා අලුත් වැඩපිළිවෙළක් අලුත් ගමනක් යමු කියලා අපි ආරාධනා කරනවා. ආයාචනය කරනවා. පක්ෂය අලුත් මුහුණුවරකින් ජනතාවගේ විශ්වාසය ඇතිවන ආකාරයේ වැඩපිළිවෙළක් එක්කයි ඉදිරියට යන්නෙ.
ප්රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා තමයි ශ්‍රීලනිපයේ තවමත් සභාපති කියලා. එතුමා අවුරුදු දෙක හමාරකට පසුවයි මේ කතාව කියන්නෙ. ඇත්තටම කවුද ශ්‍රීලනිපයේ නියම සභාපති.
පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගන්න කියලා මටනේ ආරාධනා කළේ. මමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත්වරු 50 ක් 60 ක් එතන හිටියා. එතැනදි මහින්ද රාජපක්ෂ මහත්තයා මගෙන් කෙටියෙන්ම ඇහුවෙ පක්ෂය බාරගන්න කැමතිද කියලයි. මම කිව්වා බාරගන්න කැමතියි. කියලා. හොඳයි එහෙනම් බාරගන්න කිව්වා. අලුත් නිලධාරි මණ්ඩලයක් තෝරගන්නවද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා මට බාරදෙනව නම් මම අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න ඕන කියලා.
ඒ විදියට කතා කර ගත්තට පස්සෙයි මධ්‍යම කාරක සභාව යෝජනා සම්මත කර ගත්තෙ මට ඇවිත් සභාපතිකම බාරගන්න කියලා. මම විජේරාම මාවතේ නිල නිවසේ ඉඳල පදනම් ආයතනයට යද්දි මධ්‍යම කාරක සභාවයි විධායක සභාවයි දෙකම රැස්වෙලා තිබුණා. ඒ දෙකේම යෝජනා සම්මත වෙලා තිබුණා. මම ගිහින් සභාපතිකම බාරගත්තා. ඊට පස්සෙ සමස්ත ලංකා කාරක සභාව කැඳෙව්වා. විධායක සභාව කැඳෙව්වා. අපි ව්‍යවස්ථාව සංශෝධනය කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, දි.මු. ජයරත්න මහත්තයා, රත්නසිරි වික්‍රමනායක මහත්තයා ඒ සියලු දෙනාම හිටපු ජනාධිපතිවරු, හිටපු අගමැතිවරු විදියට පක්ෂයේ උපදේශක සභාවට ඇතුළත් විය යුතුයි කියලා පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඊට කලින් උපදේශක සභාවක් පත්වෙලා තිබුණේ නැහැ.
ඒ අතරෙයි පොළොන්නරුවෙ 64 වන සංවත්සරය තිබුණෙ. ඒ සංවත්සරයටත් මහින්ද රාජපක්ෂ මහත්තයා ආවා. එහෙම මොකුත් ප්‍රශ්නයක් පෙන්නුම් කළේ නැහැ. දැන් එතුමා ඇයි එහෙම කියන්නෙ කියලා මම දන්න නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වගේ අපේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂ නෙවෙයි. අඩු නියෝජනයක් තියෙන සුළු දේශපාලන පක්ෂයකවත් ලේකම්කමත් සභාපතිකමත් තව කෙනෙකුට බලහත්කාරයෙන් ගන්න බැහැනෙ. අනෙක ඒ ගොල්ලන්ගෙන් පක්ෂයේ තනතුරක් කොහොමටත් බලෙන් ගන්න පුළුවන්ද?
ප්රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ පක්ෂෙය් සභාපතිවරයෙකු ලෙස වැඩිම අභියෝගවලට මුහුණ දුන්නු නායකයා ඔබ කියලා හිතෙන්නෙ නැද්ද?
පිළිතුර - මට වඩා අභියෝගවලට මුහුණ දුන්න කෙනෙක් තමයි බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක මහත්තයාටත් අභියෝගවලට මුහුණ දෙන්න වුණේ බලය නැතිවෙලාවෙ නෙමෙයි. බලයට ආවට පස්සෙයි. මම දන්න විදියට මේ රටේ නිදහසින් පසු රාජය නායකයින්ගෙන් බණ්ඩාරනායක මහත්තයා තරම් මානසික පීඩාවට ලක්වෙච්ච රාජ්‍ය නායකයෙක් නැහැ කියලයි හිතෙන්නෙ. එතුමගේ කැබිනට් මණ්ඩලය වර්ජනය කළා. එතුමා අවුරුදු තුන හමාරයි අගමැතිකමේ හිටියේ. දැන් ඔය අද තියෙන උද්ඝෝෂණ පෙළපාළි වැඩවර්ජන ඔයිටත් වඩා ඒ අවුරුදු තුන හමාරෙ තිබුණා. විපක්ෂයේ දෙන්න පුළුවන් වද ඔක්කොම දුන්නා. අනිත් එක තමයි බණ්ඩාරනායක මහත්තයා මැරුවේ එක්සත් ජාතික පක්ෂය හෝ එල්.ටී.ටී.ඊ.ය හෝ වෙනත් දේශපාලනයක පසුබිමකින් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අය සම්බන්ධ වෙලානෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙම බලවේගයකින් තමයි බණ්ඩාරනායක මැතිතුමා මරලා දැම්මෙ.
බණ්ඩාරනායක මහත්තයාගෙන් පස්සෙ අභියෝගවලට මුහුණ දුන්න පක්ෂයෙ නායකයා මම කියලයි සිතන්නෙ. මම ඒ ගැන එච්චර පුදුමයට පත්වෙන්නෙ නැහැ. අද අන්තර්ජාලය තුළ වෙබ් අඩවිවල ෆේස් බුක්වල මගේ දුප්පත්කම පවුල් පසුබිම අල්ලගෙන මට පහර ගහනවනේ. මමත් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ගිහිල්ලා ධනවත් වන ප්‍රභූ පවුලකින් ආව නම් මම දන්නවා මට මෙච්චර ගහන්නෙ නැහැ කියලා. දේශපාලනය කියන්නෙ කොහොම බැලුවත් ඒකෙ පන්ති පදනමක් තියෙනවා.
දේශපාලනය හැම වෙලේම ජාතික වශයෙන් ගත්තත් අන්තර්ජාතික වශයෙන් ගත්තත් තියෙන්නෙ නැති බැරි මිනිසුන්ගේ සහ ඇති හැකි අයගේ සටනක්. මේ රටේ එක්තරා ප්‍රභූ පන්තියකට මගේ ආගමනය ප්‍රශ්නයක්, අභියෝගයක්.
ප්රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙම කොටසක් හිටපු ජනාධිපතිතුමා සමග එකතු වෙලා ඉන්නවා. ඔබතුමා මේ තුළ ඉඳගෙන පක්ෂයෙ ප්රජාතන්ත්රවාදය ගොඩනගන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නිදහස පාක්ෂිකයෝ හැටියට කල්පනා කරන්නෙ මේ දෙගොල්ලන්ම එකට එකතු වෙලා ගමනක් යන්න ඕන කියලයි. 66 වන සංවත්සරයෙන් පස්සෙවත් එතනට තල්ලු වෙන වැඩපිළිවෙළක් පක්ෂය තුළ සාකච්ඡා වී නැද්ද?
පිළිතුර - කිසිතැනක මම වෙන්වුණේ නැහැනේ. මම වෙන් කළෙත් නැහැ. මට පක්ෂය බාර දුන්නට පස්සෙ මටත් අවශ්‍ය වූනේ පැරදිච්ච පක්ෂය ශක්තිමත් කරලා අනාගත ජයග්‍රහණයක් කරා පක්ෂය ගෙනියන්න. එතකොට මේ අලුත් පක්ෂ හැදුවෙ කාගෙ වුවමනාවටද? අලුත් පක්ෂ හැදුවෙ පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ වුවමනාවට නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව ඉන්න, පිිරිසිදු පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ වුවමනාවට නෙමෙයි ඔය අලුත් පක්ෂය හදල තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ඉතිහාසයක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වැඩ නොකරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය දන්නෙ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දර්ශනය හඳුනන්නේ නැති පිරිසක් තමයි ඔය අලුත් පක්ෂය හැදුවෙ. ඒ තුළ තමයි ඔය ඒ අය යන්නෙ. දැන් ඔය හදල තියෙන අලුත් පක්ෂයට තියෙන දර්ශනය මොකක්ද? අලුත් පක්ෂයට තියෙන වැඩපිළිවෙළ මොකක්ද? රට ගොඩනගන වැඩපිළිවෙළක් ගැන ජනතාවට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? ජනතාව ප්‍රතික්ෂේප කරපු පවුල් වාදයනෙ එතන තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව පෙන්නුම් කරනවා.
මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ අලුත් පක්ෂයේ රැස්වීම්වලට යනවා. ඒකෙ බැනර් දාගෙන වේදිකාවල ඉන්නවා. ඒකෙ බැනර් දාගෙන ප්රවෘත්ති සාකච්ඡාවල ඉන්නවා. ඒ ඉන්න ගමන් කියනවා එයා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සභාපති කියලා. ඒ ගොල්ලන්ගෙ වැඩපිළිවෙළ මොන තරම් ව්‍යාකූල තත්ත්වයක්ද තියෙන්නේ කියල ඒකෙන්ම පේනවා.
ප්රශ්නය - ඔය කියන කණ්ඩායමේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයේ තවමත් ඉන්නේ. ඔවුන් ශ්‍රීලනිපයෙන් ඉවත්වෙලා නැහැ. ඒ පිරිස එකතු කරගන්න සූදානම් නැද්ද?
පිළිතුර - ඉතින් මම හැම වෙලාවෙම කියල තියෙනවනෙ එකතු වෙන්න කියලා. මම එපා කියලා තියෙනවද? ඒ කාටවත් මම යන්න කියල නැහැනේ.
ප්රශ්නය - ඔවුන් කියන තර්කයක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් එකතු කරගෙන මේ ගමන යන්න ඕන කියන කාරණය.
පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි එළියට දාලා තියෙනවාද? නැහැනේ. අපි ඒ කවුරුවත් පක්ෂයෙන් වෙන් කරලා එළියට දාලා නැහැ. ඒ ගොල්ලො වෙනම පක්ෂයක් හැදුවා. වෙනම රැස්වීම් තියනවා. වෙනම මැයි දින තියනවා. අපි අපේ ඒවට එන්න එපා කියලා තියෙනවද? එහෙම ප්‍රශ්නයක් නැහැනෙ.
ප්රශ්නය - දූෂණයෙන්, වංචාවෙන් තොර පාලනයක් ගෙනියන්න ඔබතුමාට වුවමනාව තිබෙන බව පේනවා. නමුත් ඒක වෙන්න නැහැ. කොතනද ඒකට බාධාව තියෙන්නෙ.
පිළිතුර - බාධාවන් තියෙන්නෙ පක්ෂවල නෙමෙයි පුද්ගලයින්ගෙ. පුද්ගලයින්ගේ බාධාවල් තියෙන්නේ. මේ සමාජය දූෂිත වෙලා. දේශපාලනය පාවිච්චි කරලා හම්බ කරන්න එන ෙද්ශපාලනයත් එක්ක මේක දූෂණය වෙලා. රටේ දේශපාලනය අපිරිසිදු වුණේ මේ මනාප ඡන්ද ක්‍රමයත් එක්ක. මම හැමදාම කියන්නේ ඒ කාරණය. මනාප ඡන්ද ක්‍රමයත් එක්කයි දේශපාලන චරිත අපිරිසිදු වුණේ.
මේ රටේ දේශපාලනඥයින්ගේ ප්රතිරූප එහෙම පිටින්ම කඩාගෙන වැටුණේ මනාප ඡන්ද ක්‍රමයත් එක්ක. දේශපාලනඥයෙක් අවංකව මහජනයත් එක්ක දේශපාලන ව්‍යාපාරයක් කරන කොට ඒ අයට රටේ ජනතාවගේ සැලකිල්ල තිබුණ නමුත් මනාප ඡන්ද ක්‍රමයත් එක්ක කොහේහරි ගිහින් දිස්ත්‍රික්කයේ ඡන්ද ටිකක් එකතු කරගෙන, පාර්ලිමේන්තුවට එනවා. පළාත් සභාවට එනවා. ප්‍රාදේශීය සභාවට එනවා. පහුගිය අවුරුදු තිහක විතර කාලය තුළ තමයි මේ රටේ දේශපාලනයේ අන්ත පිරිහීමක් අති වුණේ. ඒ අන්ත පිරිහීමට හේතුව දේශපාලන පක්ෂ නෙමෙයි මේ මනාප ඡන්ද ක්‍රමයත් එක්ක දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගත්තා. ඒ නිසා මම කියන්නෙ, පක්ෂය බලන එක නෙමෙයි තියෙන්නෙ රටට සහ ජනතාවට ආදරය කරන පිරිසක් ඉන්නව නම්, ඒ අය එකතුවෙලා රට වෙනුවෙන් එක වැඩපිළිවෙළකට යමු කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අරමුණින් තමයි වැඩකරන්න බලාපොරොත්තු වෙන්නෙ.
ප්රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන එකඟතාව වසර දෙකකින් අවසන් වුණාට පස්සේ ආණ්ඩුවෙන් යන්න ඕන කියල ශ්‍රීලනිපයේ පිරිසක් කියනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන අදහස කුමක්ද?
පිළිතුර - මෙහෙමයි. මම ජනාධිපති විදියට රට සහ මහජනයා වෙනුවෙන් මගේ නිලකාලයේ ආණ්ඩුව කරන්න ඕන. මගේ වගකීම මම ඉෂ්ට කරන්න ඕන. එතනදී මම කියන්නෙ, ඒ යන ගමනෙදි බොහොම පැහැදිලි, පිරිසිදු වැඩපිළිවෙළක් එක්ක අපි යමු කියලයි. අපි පැහැදිලි පිරිසිදු වැඩපිළිවෙළක් එක්ක යනවා නම්, ජනතාව අපිට සහයෝගය දෙයි. මෙතනින් කවුරු හරි යනවා නම් ඒ යන්නෙ කොතනටද? ඒ ගිහිල්ල මොකද්ද කරන්න හදන්නෙ. ඒ ප්‍රශ්නයත් අපිට තියෙනවනෙ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපට පුළුවන්කම තියෙනවා පැහැදිලි පිරිසිදු දේශපාලන වැඩපිළිවෙළක් ගෙනියනවා නම් ජනතාවගේ සහයෝගය ලබාගන්න. ඒ විශ්වාසය මට තියෙනවා. එතනදී පක්ෂයේ අනන්‍යතාව හෝ පක්ෂයේ වැඩපිළිවෙළ කිසි තැනක දුර්වල කරගන්න වුවමනාවක් නැහැ. මේ හැම දේකදීම අපි හිතන්න ඕන රට ගැනයි. බොහෝ අය තම තමන්ගෙ දේශපාලන න්යායපත්ර ගැන බලනවා. ඒ නිසා තමයි යම් යම් අදහස් තියෙන්නෙ. ආණ්ඩුවක් විදියට වැඩ කරනකොට අපට අද මෙනම හරි ප්‍රශ්නයක් තියෙනවා වගේම, විපක්ෂයේ වැඩපිළිවෙළ මොකද්ද?
මේ තියෙන දේශපාලන ව්‍යාකූලතාව සංකීර්ණ ස්වභාවය නිවැරැදි කර ගන්න නම් හිතට එකඟව අවංකව වැඩ කරන පිරිසක් එක්ක ඉදිරියට යා යුතුයි. එතනදී පක්ෂයේ ඉන්නවද? යනවාද අනෙක් පක්ෂය කුමක් ද එතන නෙමෙයි ප්රශ්නය තියෙන්නෙ. එතන පුද්ගලයින්ගෙ හැසිරීම් රටාව ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා.
ප්රශ්නය - ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා බලන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්නෙ කවද්ද කියලයි. 2020 එවැනි ආණ්ඩුවක් හදන්න මෙවර පක්ෂ සංවත්සරයෙදි පාක්ෂිකයාට ඒ බලාපොරොත්තුව ඔබතුමා ලබා දෙනවාද?
පිළිතුර - ඒ නිසානෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න සියලු දෙනාට එකතු වෙන්න කියල කියන්නෙ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය අලුත් පක්ෂ හදාගෙන යනවා නම්, කවුරු කොහොම කිව්වත්, ඔය අලුතින් හදන පක්ෂවලට වාසියක් ඇවිල්ල නැහැ. ඒක ඉතා පැහැදිලියි. අලුත් පක්ෂ හැදීම තුළ එහි වාසිය ගන්නෙ වෙන පිරිසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වගේම, රටට ආදරය කරන හැම කෙනෙක්ම හිතන්න ඕන ඔය කියන අරමුණට අපි යනවා නම් කොතනද ඉන්න ඕන කියන කාරණය.
ප්රශ්නය - ජාතික ආණ්ඩු සංකල්පය හරියට තේරුම් ගත්තෙ නැති පිරිසක් පක්ෂ දෙකේම ඉන්න බව ඔබතුමා පිළිගන්නවාද?
පිළිතුර - පැහැදිලිවම දෙකේම ඉන්නවා. ඒක පුදුමයට කාරණයක් නෙමෙයි. ඒක ආණ්ඩුව විදියට නෙමෙයි රට වශයෙන් ගත්තත් අලුත් අත්දැකීමක්නෙ. අමාරු වැඩකට යන්න සුදුසු මානසිකත්වයක් හදා ගන්න ඕන. ඒ අමාරු වැඩේ කොහොමද කියල මනස හදාගන්නෙ නැතිව වැඩේ කරන එක පහසු නැහැ. මේ විදියේ ආණ්ඩුවක් කරන එක රටේ හැම කෙනෙකුටම අලුත් අත්දැකීමක්නෙ. දේශපාලනඥයින්ට, රජයේ නිලධාරීන්ට, රටේ ජනතාවට හැම කෙනාටම මේක අලුත් අත්දැකීමක්. ඒ අලුත් අත්දැකීම හරිම සංකීර්ණයි.
කලින් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව විසින් පරාජය කළේ ඇයි. ඒ පරාජය කරපු කරුණු නිවැරැදි කර ගන්න කොතනින්ද කටයුතු කරල තියෙන්නෙ. දැන් ඔය අලුත් පක්ෂයක් හදල ඒ කරපු වැරදි නිවැරැදි කරගෙන තියෙනවාද? ඒ කරන වැරදි නොකරනවා කියල සහතිකයක් ලැබිල තියෙනවද? එහෙම එකක් නැහැ. පටු දේශපාලන අදහස්වලින් තොරව, අවංකව ඉස්සරහට යන්නෙ කොහොමද කියල අපි කල්පනා කරන්න ඕන. දේශපාලනඥයින් සඳහා ආණ්ඩුවක් නෙමෙයි ඕන. රට වෙනුවෙන් ආණ්ඩුවක්. දේශපාලනයේ ඉන්න හුඟ දෙනකුට ඕන දේශපාලනඥයින් සඳහා ආණ්ඩුවක්.
ප්රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම තව ටික දවසකින් අවසන් වෙනවා කියල සමහරු කියනවා. එය අවසන් වනවාද එහෙම නැත්නම් නැවනත දීර්ඝ කරනවාද?
පිළිතුර - ඒවා තීන්දු කරන්නෙ පක්ෂයෙ මධ්‍යම කාරක සභාව. දැනට මධ්‍යම කාරක සභාව 2015 අගෝස්තු මාසයෙ තීන්දු කළේ 2017 දෙසැම්බර් වෙනකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කණ්ඩායම ආණ්ඩුව එක්ක ඉඳිමු කියලයි. දෙසැම්බර් වනවිට මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා එතනින් එහාට මන්ත්‍රීවරුන් පක්ෂයෙ අය කුමක්ද කරන්නෙ කියලා. නමුත් ඒ තීන්දු කරන්නෙ මන්ත්‍රී කණ්ඩායමනෙ. ආණ්ඩුව එක්ක ඉන්නවාද යනවාද ස්වාධීනව ඉඳල ආණ්ඩුවට සහයෝගය දෙනවද? නොයෙකුත් ක්‍රම අනුගමනය කරන්න පුළුවන්නෙ. ඒකෙන් අදහස්
කරන්නෙ මේ ඉන්න අය ආණ්ඩුවට විරුද්ධ වෙනව කියන එක නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධව සියලු දේ කරනවා කියන එක නෙවෙයි. ඒ එන දේශපාලන තත්ත්වයත් එක්කයි තීන්දු තීරණ ගන්නෙ.
ප්රශ්නය - නීතිපති දෙපාර්තමේන්තුව ගැන මේ දිනවල බහුල වශයෙන් කතා වෙනවා. ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ම චෝදනා කරනවා නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්රාහියි කියලා. සමහර ඇමැතිවරුන් සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදි ප්‍රශ්න කළ හැටි ගැටලු සහගතයි කියලා චෝදනා කරනවා. රාජපක්ෂවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ ප්‍රමාද කිරීම් නිසයි කියලත් ඔවුන් චෝදනා කරනවා. අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ වගේ ගැටලු සහගත ප්‍රකාශ ආණ්ඩුවේම අය කරද්දි අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය පුළුදු වීමක් වෙනව නේද?
පිළිතුර - නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කවුරු හරි දොස් කියනවා නම් මම ඒකට කැමැති නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැරැද්දක් මම දකින්නෙත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න ඕන.
ප්රශ්නය - අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබූ විජයදාස රාජපක්ෂ මහතා කියල තියෙන්නෙ එතුමා ඇමැතිධුරයෙන් ඉවත් කළේ බැඳුම්කර මගඩිය යට ගහන්න කියලයි. ඒ වගේම එතුමා කියල තියෙනවා හම්බන්තොට වරාය ගිවිසුම නිකම්ම නිකන් ලියැවිල්ලක් පමණයි කියලා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් මොකද කියන්නෙ.
පිළිතුර - ඒවා ඉතින් එක එක්කෙනාගෙ අදහස්නෙ. තම තමන්ගෙ මතයන් ඉදිරිපත් කරනවා.
ප්රශ්නය - ඊළඟ ජනාධිපතිවරණයෙදි මධ්‍යම කාරක සභාව ඔබතුමාට කීවොත් නැවත ජනාධිපතිවරණයට එන්න කියල මොකද කරන්නෙ.
පිළිතුර - ඔය ඊළඟ ජනාධිපතිවරණයක් ගැනකතා කරන හැම කෙනෙක්ම මම දකින්නෙ රට වෙනුවෙන් නෙවෙයි කතා කරන්නෙ කියලයි. ඔය පොදු අපේක්ෂකයො ගැන කතා කරනවා. ඊළඟට ජනාධිපතිවරණය ගැන කතා කරනවා. අද දවසේ ප්රශ්නය ඕක නෙවෙයි. අද දවසේ ප්රශ්නය අද රටේ තියන ප්‍රශ්න විසඳන්න සියලු දෙනා එකතු වෙලා කටයුතු කිරීමයි. මේ රටේ අනාගත නායකත්වයක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම අද ප්‍රශ්නයට විසඳුම් දෙන තැනක ඉන්න ඕන. මම නම් ඊළඟ ජනාධිපතිවරණය ගැන නෙමෙයි හිතන්නෙ. අද තියෙන ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද කියලයි. සියලු දෙනා එකතු වෙන්න ඕන එහෙමයි.
ප්රශ්නය - පොලිස්පතිවරයා සේවකයකුට පහර දෙන බවට වන වීඩියෝ පටයක් පසුගියදා සමාජ ජාලා වෙබ් අඩවිවල ගියා. ඔහු සම්බන්ධයෙන් ඔබතුමා පියවරක් ගන්නවාද?
පිළිතුර - පොලිස් දෙපාර්තමේන්තුවේ වැරැදි තියෙනවා නම් පොලිස් කොමිසම ඒක බලාගන්න ඕන. පොලිස් කොමිසමක් තියෙන්නෙ ඒකට තමයි.
ප්රශ්නය - බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු හේතුවෙන් රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වුණා. කොමිසමේ දැන් තත්ත්වය සහ එහි වාර්තාව ලැබුණ පසු ගන්නා පියවර කුමක්ද?
පිළිතුර - බැඳුම්කර කොමිෂන් සභාවේ කටයුතු අවසන් වෙලා නිර්දේශ එම කොමිසම මගින් ලබාදෙන්න ඕන. කොමිෂන් සභා වාර්තාව ලැබුණ පසුව එතනින් එහාට කටයුතු කිරීම නීතිපතිවරයා හරහා අපි කරනවා.
විපක්ෂය නම් ඔය කොමිසම දානකොටත් කිව්වෙ කොමිසම වැඩක් නෑ. ඔය ප්රශ්නය යට ගහන්නයි දාන්නෙ කියලා. විපක්ෂයෙ ඔක්කොම වගේ අය කිව්වා ඔය කොමිසම වැඩක් නෑ කියලා. නමුත් කොමිසම කටයුතු කරගෙන යනකොට මේ රටේ මෙතෙක් කල් තිබුණු කොමිෂන්වලට වඩා මේ කොමිෂන් සභාවේ වෙනසක් රටේ ජනතාවට පෙනිල තියෙනවා. කොමිෂන් සභා ගැන තිබුණු සැකය අවිශ්වාසය මේ කොමිෂන් සභාව හොඳට වැඩ කරන නිසා බිඳලා තියෙනවා. ඒ නිසා ඉදිරියටත් ඒ විදියට කටයුතු කරයි කියලයි මම විශ්වාස කරන්නෙ. අපි හැම දේම අශුභ විදියට බලන්න හොඳ නැහැ. සුබවාදී විදියට බලන්න ඕන. අපි බලාපොරොත්තු වුණු අරමුණට යන්න ඕන. විවේචන එනවා. ඕවා සාමාන්‍ය තත්ත්වයන්.
සංවාද සටහන
අජන්ත කුමාර අගලකඩ
ඡායාරූප සුදත් සිල්වා
අජන්ත කුමාර අගලකඩ
ඡායාරූප සුදත් සිල්වා