විවිධ පුරෝකථනයන් මධ්‍යයේ පසුගිය 20 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට පැමිණියේය. මාස නවයක් පුරා සිදුකළ කොමිසමේ කටයුතු අවසානය සනිටුහන් කරමින් මෙන්ම වාර්තාද පිහිටුවමින් ඔහු මෙලෙස කොමිසම හමුවට පැමිණියේය.
20 වැනිදා උදෑසන 10.00ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොමිසමට පැමිණීමට නියමිත විය. මේ කටයුත්ත මාස නවයක් පුරා වාර්තා කළ මාද එදින උදෑසනින්ම එහි ගියේ මේ සුවිශේෂී අවස්ථාව වාර්තා කිරීමටය.
උදේ 9.50ට පමණ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සියලු දෙනාගේ අාචාර මධ්‍යයේ කොමිසම තුළට පැමිණි අතර ඒ වෙනවිට නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගෙඩ මහතා ඇතුළු නීතීපති දෙපාර්තෙම්න්තුවේ නිලධාරීහු මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතාද කොමිසමට පැමිණ සිටියහ. කොමිසමට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා නීතීපතිවරයා ඇතුළු එහි සිටි නීතීඥවරුන් සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සාක්කි විමසීමට මත්තෙන් කොමිසමේ කටයුතු ආරම්භ වූ සැනින් විශේෂ ප‍්‍රකාශයක් කළ කොමිසමේ සභාපති විනිසුුරු කේ.ටී. චිත‍්‍රසිරි, මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත කොමිසමෙන් යවන ලද ප‍්‍රශ්න 48 සඳහා ඔහු විසින් දිව්රුම් ප‍්‍රකාශ මඟින් ලබාදෙන ලද උත්තර සම්බන්ධයෙන් යම් යම් පැහැදිලි කරගැනීම් සඳහා ඔහු කොමිසමට කැඳවනු ලැබූ බව දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සීටීම සම්බන්ධයෙන් කොමිසම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සිය ස්තූතිය පළකරන බවද සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.
අග‍්‍රාමාත්‍ය ධුරයේ වැඩකටයුතු සඳහා කාලයේ ඇති වැදගත්කම සලකා මුලින්ම කොමිසම පසුගිය ඔක්තෝබර් 20 වැනිදා ප‍්‍රශ්න 28ක් යොමු කළ බවත් ඉන් අනතුරුව නොවැම්බර් 16 වැනිදා තවත් ප‍්‍රශ්න 20ක් යොමු කළ බවත් එම ප‍්‍රශ්න සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිතුරු සැපයූ බවත් මෙම ප‍්‍රශ්න පිළිබඳව යම් යම් පැහැදිලි කිරීම් කරගත යුතු හෙයින් වික‍්‍රමසිංහ මහතා කොමිසමට කැඳවනු ලැබූ බවද පැවසීය.
කොමිසමේ කටයුතු සඳහා සහයවන නීතීඥ මඩුල්ල මෙහෙයවීමට මැදිහත්වීම සම්බන්ධයෙන් නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතාටද සිය ස්තූතිය පුද කළ සභාපති විනිසුරුවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දිව්රුම් ප‍්‍රකාශ මඟින් පිළිතුරු සැපයූ ප‍්‍රශ්න පිළිබඳව පැහැදිලි කරගත යුතු යම් යම් පැහැදිලි කරගැනීම් පමණක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කළ අතර එම කරුණුවලට අමතරව පැහැදිලි කළ යුතු කරුණු ඇත්නම් කොමිෂන් සභා පනතේ 23 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයාට අවස්ථාව ලබා දෙන බවද සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
උදෑසන 10.00ට විනිසුරුවරුන් කොමිසමට පැමිණ කොමිසමේ කටයුතු ආරම්භ කළ අතර උදෑසන 10.15ට රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් සාක්කි විමසීම ආරම්භ කෙරිණි. දවල් 11.15 දක්වා පැයක කාලයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්න කරන ලදී.
කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් ආණ්ඩුව සමයේදී මාර්ග සංවර්ධනයට ගත් ණය පිළිබඳව කිසිදු පැහැදිලි සටහනක් නැති බවත් මාර්ග සංවර්ධනයට ගත් ණය ඉල්ලමින් තවමත් ලිපි ලැබෙන බවත් පසුගිය සතියේදී ද සිංගප්පූරු සමාගමකින් එවැනි ලිපියක් ලැබුණු බවත් පැවසූ අතර පසුගිය ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකී බවත් මූල්‍ය රෙගුලාසි, අණ පනත්, ආදිය නොතකමින් එම සමයේදී පැවති රජය කටයුතු කළ බව ද පැවසීය.
කොමිසම විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යවන ලද ප‍්‍රශ්න මෙන්ම ඒ සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා එවන ලද පිළිතුරුද කියවා පැහැදිලි කළ කොමිසම පැහැදිලි කරගත යුතු තැන් පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ප‍්‍රශ්න ඉදිරිපත් කළේය.“අර්ජුන් ඇලෝෂියස්, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් යන්න පමණක් මා දැන සිටි අතර ඔහු පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ අනෙකුත් සමාගම්වල තනතුරු දැරූ බව හෝ එම සමාගමේ කොටස් හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ මා දැන සිටියේ නැහැ. ඇලෝෂියස් 2015 වසරේ ජනවාරි මාසයෙන් පසුත් පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් ප‍්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් කැපිටල් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම්වල අධ්‍යක්ෂධුර හෙබ වූ බව මා දැන සිටියේ නැහැ. එහෙත් ඇලෝෂියස් කොටස් හිමිකාරීත්වය හොඳ මිලකට විකිණීම සඳහා යම් කාලයක් ඉල්ලා තිබූ බව අර්ජුන් මහේන්ද්‍රන් මට කීවා.”
ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු කටයුතු මූල්‍ය නීති පනතට අනුව සිදුවිය යුතු බව මා දැන සිටියා. එසේ වුවත් ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවට සහ අමාත්‍යවරුන්ට සහ ලේකම්වරුන්ට උපදෙස් දීමේ අයිතියක් තිබෙනවා. රාජ්‍ය මුදල්වල වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එහෙත් පසුගිය කාලයේදී එසේ සිදු වූයේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකීවේ නැහැ. මූල්‍ය අණ පනත් හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට පිළිතුරු දිය යුතුයි. ඒ වගේම නීතිපතිවරයාගේ බලය තවදුරටත් ශක්තිමත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් අපි උපදෙස් දී තිබුණා. භාණ්ඩාගාර ලේකම්වරයා සහ අනෙක් නිලධාරීන්ටත් අපි උපදෙස් දී තිබුණා. ඔවුන් කටයුතු කළේ කෙසේදැයි කියන්න මම දන්නේ නැහැ.
මහ බැංකුවේ අධිපතිවරයා මූල්‍ය මණ්ඩලයේ අණ පනත්, රෙගුලාසිවලට හා ප‍්‍රතිපත්තිවලට අනුව කටයුතු කළ යුතු බව මා දැන සිටියා. අපට අවශ්‍ය වුණෙත් එය නැවත ස්ථාපිත කිරීමයි. පසුගිය ආණ්ඩුව සමයේදී එසේ සිදුවූයේ නැහැ. මහ බැංකු අධිපතිවරයා කටයුතු කළේ පාර්ලිමේන්තුවට පිළිතුරු දෙමින් නොවේ, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමද අපට අවශ්‍ය වුණා. එහෙත් විනිමය අනුපාත හෝ පොළී අනුපාත තීරණය කිරීමේ කටයුතුවලට අපි මැදිහත් වුණේ නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන් වුවමනාවෙන් මා රැවටුවා කියා මා හිතන්නේ නැහැ ගාමිණි පිටිපන කොමිසමෙන් හෝ කෝප් කමිටු වාර්තාවලින් හෝ ඔහු වැරැදිකරු බව සනාථ වුණේ නැහැ. ගාමිණි පිටිපන වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදුන්නා. පළමු කෝප් කමිටුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කළා. දෙවැනි කෝප් කමිටුව අවස්ථාවේදීත් මහේන්ද්‍රන් සිටියා. අපි තීරණය කළ යුත්තේ වෙන්දේසිය වූයේ යහපත් චේතනාවෙන්ද අයහපත් චේතනාවෙන් ද යන්නයි. ඒ වගේම අපි පාර්ලිමේන්තුවට බලය දී තිබෙනවා.
2015 වසරේ පෙබරවාරි මාසයේදී සෘජු ස්ථානගත නතර කළා. විනිවිදභාවයකින් තොර නිසා සහ එය බලහත්කාරයෙන් වෙළෙඳපොළ පාලනය කරන බලවේගයක්. ඒ නිසා ප‍්‍රසිද්ධ වෙන්දේසි ක‍්‍රමයට යන්න තීරණය කළ බව මා දැන ගන්නා විට මා සිටියේ පාර්ලිමේන්තුවේ. කි‍්‍රයාකාරී අරමුදල් ක‍්‍රමය යටතේ සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය යටතේ 2008 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙනවා. එය විනිවිදභාවයෙන් තොරයි.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව 2015 දක්වා තොරතුරු නැතත් 2015 න් පසුව තොරතුරු තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිසි ක‍්‍රමවේදයට බැඳුම්කර නිකුත් කළා. එහෙත් අපැහැදිලි නිශ්චිත තොරතුරු නොමැති කාල පරාසයක් තිබෙනවා. රුපියල් බිලියන ගණනින් මූල්‍ය ගනුදෙනුවී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ තිබූ ප‍්‍රශ්නය එයයි. ඒවා පිළිබඳ සොයා බැලිය යුතුයි.
ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් ප‍්‍රසිද්ධ නිකුතුව යටතේ භාණ්ඩාගාර නිකුත් කිරීමට මා අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් දුන්නා. මූල්‍ය මණ්ඩලයට හා ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුකූලව ඔහු කටයුතු කරනු ඇතැයි යන්න පිළිබඳව මෙන්ම මගේ උපදෙස් මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි මා අපේක්ෂා කළා. ඒ වගේම සෘජු ස්ථානගත කිරීමකට යනවා නම් එය කළ යුතු නෛතික ආකාරයක් තිබුණා. එහෙත් එහි විනිවිදභාවය අඩුයි. ඒ නිසා සෘජු ස්ථානගත කිරීම නවත්වන්නැයි මා උපදෙස් දී තිබුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි මා උපදෙස් දී තිබුණා. එහෙත් එහි රික්තයක් තිබුණා. එය කුමන හෝ ආකාරයකින් පිරිවිය යුතුව තිබුණා. එම උපදෙස්වලට අනුව ඔහු කටයුතු කළාදැයි මා දන්නේ නැහැ.
අර්ජුන් මහේන්ද්‍රන් අදාළ කරුණු මූල්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරන ලෙස මා ඔහුට උපදෙස් දී තිබුණත් ඒ සම්බන්ධයෙන් මා ඔහුගෙන් දීර්ඝ වශයෙන් විමසා සිටියේ නැහැ.
2015 අපේ‍්‍රල් මාසික මූල්‍ය ප‍්‍රවාහ සටහනට අනුව රුපියල් බිලියන 13.55ක අවශ්‍යතාවක් තිබෙන බව පෙන්නුම් කර තිබෙනවා. ඊට අමතරව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 15ක කඩිනම් ඉල්ලීම අවශ්‍යතාව ඇතිවී තිබෙනවා. ඒ ඉල්ලීම ගැන මා දන්නවා. එය ඉල්ලීම් දෙකක්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ සෑම වියදමක්ම අයවැයේ සඳහන් විය යුතුයි. එහෙත් පසුගිය කාලයේදී එය නිසි ලෙස සිදුවූයේ නැහැ. ආණ්ඩුවෙන් වියදම් වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් කෙරෙනවා. එහෙත් පසුගිය වසරවලදී අයවැයෙන් කරන ලද අනුමත කිරීම් විසර්ජන කෙටුම්පත්වල සඳහන්ව නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලද සීමා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගිවිසුම් පවා තිබෙනවා. ඒ සීමා පවා සඳහන්ව නැහැ. ඒ නිසා අපට ගෙවීම් ආකාර දෙකක් සිදු කරන්න වුණා. එකක් විසර්ජන පනත් කෙටුම්පත්වල සඳහන් වියදම්. අනෙක්වා එසේ සඳහන් නොවන වියදම්. මහාමාර්ග සඳහා රුපියල් බිලියන 75ත් 100ත් ප‍්‍රතිපාදන ගෙවීම් කර තිබෙනවා. උතුරු අධිවේගි මාර්ගය කටයුතු සම්බන්ධයෙන් සිංගප්පූරු සමාගමකින් අපට ලියුමක් ලැබුණා. එම කටයුතු 2013 වසරේදී සහ 2014 වසරේදීයි සිදුව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නැහැ. අපිට තවමත් ගෙවීම් කරන්න තිබෙනවා. ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් සටහන් නැහැ. මේ දේවල් සොයා බැලිය යුතුයි. එය හරියට වෝහාරික පරීක්ෂණයක් වගෙයි.
2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා පැවැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මාත් අර්ජුන් මහේන්ද්‍රත් අතරත් දුරකතන සංවාද සිදු වූවා. මට ඇති දුරකථන පද්ධතියේ ඇති අංකයෙන් එදින මා ඇමතුම් ලබාගත්තා. මේ ලියවිල්ලේ තිබෙන අංකය නිවැරැදියි. ආරක්ෂක හේතූ නිසා දුරකතන අංක කිහිපයකින් ඇමතුම් ගන්නවා. එදින මේ අංකයෙන් දුරකතන ඇමතුමක් ගත්තා. වෙනත් දිනකදී එම අංකයෙන් ඇමතුම් ගන්න බැහැ.
මා පෞද්ගලිකව එම ඇමතුම්වලට ප‍්‍රතිචාර දක්වන්නේ නැහැ. මා සිටින්නේ මගේ කාර්යාලයේ. දුරකතන පද්ධතිය තිබෙන්නේ ඊට පිටතින්. කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ තමයි දුරකතන ඇමතුම්වලට ප‍්‍රතිචාර දක්වන්නේ. මම හිටපු මහ බැංකු අධිපතිවරයාට වගේම වත්මන් මහ බැංකු අධිපතිවරයාටත් දුරකතනයෙන් අමතනවා. ඇතැම් දිනවලදී දවසකට වරක්, දෙවරක් හෝ තුන්වරක් හෝ අමතනවා. ඇතැම් දිනවලදී අමතන්නේම නැහැ.
මහ බැංකු අධිපතිවරයා මට ඇමතුවා. කනගාටු වෙන්න කරුණක් නැහැ ප‍්‍රමාණවත් තරම් මුදල් තිබෙන බව කීවා. ඉන් අනතුරුව රුපියල් බිලියන 10ක මුදලක් ඉපැයීමට හැකි බව ද කීවා. එහෙත් එදින අනෙකුත් ඇමතුම්වලදී කීවේ මොනවාදැයි මට නිශ්චිතවම මතක නැහැ.”
කොමිසමේ සභාපති විනිසුරුවරයාගේ ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටිමින් සහයවන නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න ඇසීමට ඇත්නම් ඉදිරිපත් කරන ලෙස සභාපති විනිසුරුවරයා කළ දැනුම් දීමකින් අනතුරුව කොමිසම හමුවේ පෙනී සිටි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රශ්න කිහිපයක් යොමු කරන ලද අතර එම ප‍්‍රශ්නවලට අග‍්‍රාමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් 2015 වසරේදී සෘජු ස්ථානගත කිරීමට ගියා. නමුත් විය යුතුව තිබුණේ ප‍්‍රසිද්ධ නිකුතුවකට යෑමයි. අප අදටත් ගෙවිය යුතු ණය ප‍්‍රමාණය කුමක්දැයි නිශ්චිතව දන්නේ නැහැ. ඒ ගැන තවමත් සොයනවා. අපිට දිගුකාලීන සහ කෙටිකාලීන ණය තිබෙනවා. එම කටයුතු නිසි ආකාරයෙන් නොකළොත් අපි ගී‍්‍රසිය වගේ වෙනවා. අපි මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළා. සී.පී.ආර්. පෙරේරා සමඟත් සාකච්ඡා කළා. ඔහු මූල්‍ය මණ්ඩලයට පත්වුණේ අර්ජුන් මහේන්ද්‍රන්ට පසුවය. අපි ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයෙන් විශේෂ නියෝජිතයෙක් ගෙන්වූවා. අපි වර්ධන උපායමාර්ගයක් ද සකස් කළා. මේ කාලයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිධුරයට පත්වුණා. මෙහිදී වගකීම් කළමනාකරණය, පහළ උද්ධමන ආදිය සම්බන්ධයෙන් ලියවිලි තුනක් ඉදිරිපත් කිරීමට කැමැතියි. ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සම්බන්ධ ගිවිසුම් ද ඉදිරිපත් කරනවා. සාර්ව ආර්ථික නිදහස්කරණය සම්බන්ධයෙන් එම ගිවිසුම්වල සඳහන් වෙනවා. ගෝලීය ආර්ථිකයට සම්බන්ධවීම සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වීමට නම් සාර්ව ආර්ථික නිදහස්කරණය කළ යුතුව තිබුණා. සියලු ප‍්‍රශ්න මතුවෙන්න ගත්තේ 2017 වසරේදීයි. ඊට පෙර වසරවල වැරැදි තීන්දු තීරණ පියවරවල අර්බුද පටන්ගත්තේ 2017 වසරේදි බව කිව යුතුයි. ලබන වසරේදී පරිණත වෙන ණය පොළී තිබෙනවා. දේශීය ණය වෙළෙඳපොළත් ක‍්‍රමිකව ඉහළ යනවා. වාණිජ ණයත් ක‍්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසර 2023 දීත් 2027 වසරවලදී පරිණත වන ණය පොලී එක්සත් ජනපද ඩොලර් බිලියන 600ත් 1200ත් ඉක්මවා යනවා. ඒ නිසා අපට කෙටිකාලීනව සහ දිගුකාලීනව ණය පියවීම සඳහා උපායාමාර්ග අවශ්‍ය වෙනවා.
වසර 2015 දී මහ බැංකු අධිපතිවරයාට කිසිදු වෙනස්කමක් කරන්න ලැබුණේ නැහැ. මොකද මහ බැංකුවේ තොරතුරු හා දත්ත තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් නිවැරැදි දත්ත හා තොරතුරු කිසිවක් තිබුණේ නැහැ. මහා භාණ්ඩාගාරයේ හෝ මහ බැංකුවේ වෙනස්කම් කරන්න අපට ලැබුණේ නැහැ. මේ සියලු දේවල් හොයාගන්න අපට 2015 වසරත් 2016 වසරේ කාලයකුත් ගතවුණා. ඉන් අනතුරුව තමයි සියලු තොරතුරු විනිවිදභාවයෙන් තිබුණේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පැමිණියා. තොරතුරු අනාවරණය කිරීමේ හැකියාව ලැබුණේ 2016 වසරේදී බව කිව යුතුයි.
2015 වසරේ මාර්තු 28 සහ 30 යන දිනවලදී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම් පවත්වා 29 සහ 31 වෙන්දේසිවලදී අඩු පලදායීතා අනුපාතවලට ලංසු තබන්නැයි පවසා තිබීම ගැන මා දන්නේ නැහැ. කටකතා ආරංචි නොතකා වෙළෙඳපොළ බලවේග අනුව ඒ අවස්ථාවේ අනුපාත සලකා කටයුතු කරන්නැයි මා කීවා.
ලබැඳියන්ගේ ගැටුමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් කියා සිටියා. මේ අනුව බලන කළ මෙය අවසන් වුණේ පෙබවාරි මාසයේ අගදී. මා ඔහුට කතාකළේ ජනවාරි මාසයේදී. පර්පෙචුවල් ටේරෂරීස් සමාගමෙන් ඉවත් වෙන බව කීවා. ඔහු අධ්‍යක්ෂධුරයෙන් ඉවත් වී තිබුණා. තමන් දැන් මෙන්ඩිස් ස්කාගාර සමාගම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය කර තිබෙන බව ඇලෝෂියස් උත්සවයකදී මා සමඟ කියා සිටියා. එහි නව නිෂ්පාදන කිහිපයක් ද මට පෙන්නුවා. ඒ හැරෙන්නට ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් මා දන්නේ නැහැ. ලබැඳියන්ගේ ගැටුම් සම්බන්ධයෙන් විමසා සිටියේ අපියි. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සහෝදරියත් පර්පෙචුවල් සමාගමේ කටයුතු කළා. අපි අර්ජුන් ඇලෝෂියස්ට ඉවත් වන්නැයි කියා සිටියා. අපි ගාමිණි පිටිපන කොමිසම පත් කළා. ඒ කොමිසමෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිවැරැදිකරු බව සනාථ කළා. එහෙත් වෙනත් ප‍්‍රශ්න නැගුණා. අලුත්ගමගේ මන්තී‍්‍රවරයා මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා. මම මුදල් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා. ඔහුත් එවැනි ප‍්‍රශ්නයක් නැතැයි කීවා. අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙනවා. එම ලියකියවිලි ඔබේ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. පරීක්ෂණ කරනවාද නැද්ද කියන කරුණ තිබෙන්නේ ඔබේ අතෙයි.
අර්ජුන් මහේන්ද්‍රන් වුවමනාවෙන් මා රැවටුවා කියා මා හිතන්නේ නැහැ ගාමිණි පිටිපන කොමිසමෙන් හෝ කෝප් කමිටු වාර්තාවලින් හෝ ඔහු වැරැදිකරු බව සනාථ වුණේ නැහැ. ගාමිණි පිටිපන වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදුන්නා. පළමු කෝප් කමිටුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කළා. දෙවැනි කෝප් කමිටුව අවස්ථාවේදීත් මහේන්ද්‍රන් සිටියා. අපි තීරණය කළ යුත්තේ වෙන්දේසිය වූයේ යහපත් චේතනාවෙන්ද අයහපත් චේතනාවෙන් ද යන්නයි. ඒ වගේම අපි පාර්ලිමේන්තුවට බලය දී තිබෙනවා. අපි පාර්ලිමේන්තු මූල්‍ය කමිටුවක් ද පත් කළා. රාජ්‍ය මූල්‍ය පාලනය හා එහි වගකීම තිබිය යුත්තේ පාර්ලිමේන්තුවටයි. මහ බැංකුවේ තොරතුරු දැනගැනීමට හැකි අයුරින් අපි නීති සකස් කරනවා. ඒ නිසා මේ රටේ සිද්ධ වූ වැරැදි නැවත සිදුවෙන්නේ නැහැ.
පිටිපන වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා එම නිර්දේශ අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී අවශ්‍ය කරන පියවර සඳහන් කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ඒ අනුව කටයුතු කළාදැයි සොයා බැලූ අතරම පිටිපන කමිටුව මෙම කොමිසමේ වාර්තාව සහ අනෙකුත් වාර්තා සියල්ල සලකා බලා තවත් විදේශීය උපදේශකයන්ගෙත් කරුණු සලකා බලා ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
2015 වසරේ මාර්තු 28 සහ 30 යන දිනවලදී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම් පවත්වා 29 සහ 31 වෙන්දේසිවලදී අඩු පලදායීතා අනුපාතවලට ලංසු තබන්නැයි පවසා තිබීම ගැන මා දන්නේ නැහැ. කටකතා ආරංචි නොතකා වෙළෙඳපොළ බලවේග අනුව ඒ අවස්ථාවේ අනුපාත සලකා කටයුතු කරන්නැයි මා කීවා.
පාස්කාරලිංගම් මුදල් අමාත්‍යාංශයේ රැස්වීම් ගණනාවකට සහභාගි වෙනවා. ඒ සෑම රැස්වීමක් පිළිබඳවම ඔහු මට දැනුම් දෙන්නේ නැහැ. අවශ්‍ය සහ වැදගත් දෙයක් තිබුණොත් පමණයි ඔහු මට දැනුම් දෙන්නේ.
පැයක පමණ කාලයක් පුරා රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් සාක්කිය එතෙකින් අවසන් විය.
කොමිසමේ සාක්කි දීමෙන් අනතුරුව දවල් 11.15ට පමණ රනිල් වික‍්‍රමසිංහ මහතා කොමිෂන් සභාවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී එහි රැස්වී සිටි මාධ්‍යවේදීන් අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් වැරැදීම් සිදුවිය හැකි නමුත් සැඟවීමට කිසිවක් නැති බවත් යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බවත් පැවසීය.
‘‘වැරදීම් වෙන්න පුළුවන්. අපි වැරැදි හදාගෙන ඉදිරියට යනවා. යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යනවා. මට අද ගොඩක් කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.
ආර්ථික ප‍්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානිය ආදී බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට මට අවස්ථාවක් ලැබුණා. අපේ යහපාලන ආණ්ඩුව දිගටම යනවා. අපිට සඟවන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේදී ගත යුතුව තිබූ නිවැරැදිම හා හොඳම තීන්දුවක් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තා. කඩා වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම අපි බාරගත්තා. අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා’’ යැයි කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ කරුණු හෙළි කිරීමට අවස්ථාව සළසාදීම වෙනුවෙන් කොමිසමට සහ එහි සභාපතිවරයාට ස්තූතිය පුද කළේය.
සටහන :
මනෝප‍්‍රිය ගුණසේකර