බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි 1006 ක්


ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට රුපියල් කෝටි 1006 කට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවට කොමිසමේ දී සාක්කි ඉදිරිපත් වූ බව පෙන්වා දෙන නීතී විශාරදයෝ කොමිසමට ඉදිරිපත් වූ සාක්කි හා ලේඛන මගින් එය රජයට සිදුවු පාඩුවක්ද යන්න පිළිබඳව කොමිසම සිය අවසන් වාර්තාව මගින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හෙළි කළ යුතු බව පෙන්වා දෙති.  

 

ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ විෂමාචාර සිද්ධීන්, නීත්‍යානුකූල නොවන සිද්ධීන් සහ නීතී විරෝධී අපරාධමය වැරදි ආදිය මෙන්ම ඒ සඳහා වගකිව යුතු අය කව්රුන්ද? ඒ සඳහා ඔවුන්ට එරෙහිව ඇති සාක්කි කවරේද? යන්න කොමිසම සිය වාර්තාව මගින් ජනාධිපතිවරයාට පෙන්වා දිය යුතු බව පෙන්වා දෙන නීති විශාරදයෝ එම නිර්දේශයන් දණ්ඩනීය ආකාරයේ නිර්දේශ (Punity) හා නිවාරණ ආකාරයේ නිර්දේශ (Preventive) යනුවෙන් වර්ගීයකරණය කොට ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දෙති. 

 
භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයෙන් අනතුරුව සිදුවන්නේ කුමක්ද?   
 වත්මන් රජය යටතේ 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් රජය යටතේ 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන් කටයුතු කරන ලදී.   


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු 2017 පෙබරවාරී 21 වැනිදා ආරම්භ කෙරුණු අතර ඊට පෙර අවස්ථා දෙකකදී පාර්ලිමෙන්තු කෝප් කමිටු දෙකක් මගින්ද මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා තිබිණි.   


ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝ්දාගොඩ මහතා, අතිරේක සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගෙන් සමන්විත නීතීඥවරු පිරිසක්ද එහි කටයුතු විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත​ෙම්න්තුවේ නිලධාරීන් පිරිසක්ද පත් කළහ. ඒ පිරිසට පොලිස් අධිකාරී එන්.වී. ලෝරන්ස්, පොලිස් පරීක්ෂකවරුන් වන ඉෂාන් රූබන් නලින්ද හේරත් පොලිස් සැරයන්වරුන් වන රණසිංහ සහ මහින්ද යන නිලධාරීන් ඇතුළත් වෙති.  


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයන්ට අනුව ආරම්භ කරන ලද මෙම කොමිසම 2017 පෙබරවාරි 21 වැනිදායින් අනතුරුව විවෘත විභාගයක් ආරම්භ කරන ලද අතර එදින සිට මෙම ඔක්තෝබර් 17 වැනිදා දක්වා මෙම කොමිසමේ කටයුතු දින 120ක් පුරා පැවැත්විණි.   


මෙම ඔක්තෝබර් 17 වැනිදා කොමිසම සිය සාක්කි විමසීමේ කටයුත්ත අවසන් කරන බව ප‍්‍රකාශයට පත් කළ පසු කොමිසම අවසන් වීම වෙනුවෙන් කොමිසම ඇමතූ වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතා අවසාන වශයෙන් කොමිසම නීතීපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත​ෙම්න්තුවේ නිලධාරීන්ට හා කොමිසමේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට කොමිසමේ කටයුතුවලට දැක්වූ සහයෝගයට කොමිසම සිය ස්තූතිය පුද කළහ.   


කොමිසම අවසන් වීම වෙනුවෙන් කොමිසම ඇමතූ වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම කොමිසමට සහය වන නීතීඥ මඩුල්ල ඉතා කුඩා කණ්ඩායමක් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත​ෙම්න්තුවේ සිටින්නේ නිලධාරීන් තිදෙනකු පමණක් බවත් පෙන්වා දුන් අතර මෙම ජ්‍යෙෂ්ඨ නීතීවේදීන් දෙදෙනා තමන්ට සහය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනාටද සිය ස්තූතිය පුද කළහ. “එම නිලධාරීන් දිවා රෑ නොබලා මෙම කටයුත්තට වෙහෙස වුණා. අපගේ කටයුතු තවදුරටත් නිමා වී නැහැ. අප තවදුරටත් වැදගත් සාක්කි සොයමින් සිටිනවා. අවශ්‍ය වුවහොත් ඒවා කොමිසමට ඉදිරිපත් කරනවා. මෙම සාක්කි කොමිසමට ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව සලසා දීම පිළිබඳව අප කොමිසමට ස්තූතිය පුද කරනවා” යැයි පැවසුහ.   


කොමිසමේ කටයුතු පැවැත්වූ දින 120 තුළ එහිදී සාක්කිකරුවන් 63 දෙනෙකු කොමිසම හමුවේ සාක්කි දුන් අතර මෙහිදී භාණ්ඩ වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් විය. එම ලේඛන අතර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමට මත්තෙන් ලංසු පිළිබඳ තොරතුරු දුරකතන ඇමතුම් මගින් පිටස්තර පුද්ගලයන්ට ලබාදීම් හා ලංසු ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දුන් දුරකතන ඇමතුම් විස්තරද ලංසු ඉදිරිපත් කළ යුතු ආකාරය දැක්වෙන ලංසු සටහන් ආදී විස්තර ඇතුළත් පිටු විශාල සංඛාවකින් සමන්විත සටහන් ගොනුද විය.   


පසුගිය මාස 08 ක කාලය පුරා දින 120ක දී සාක්කි වශයෙන් ඉදිරිපත් ව කරුණු ද කොමිසමට ඉදිරිපත් කොට ඇති ලිපිගොනු ද සාක්කි විමර්ශනයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සිද්ධිය පාදක කරගනිමින් වාර්තාව සකස් කොට ජනාධිපතිවරයා වෙත යැවීමේ සංකීර්ණ වගකීම මේ වන විට කොමිසම මත පැවරී ඇත.   


ඒ සඳහා, කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්කි ලේඛන, දුරකතන ඇමතුම් විස්තර ආදී සියලු තොරතුරු පරීක්‍ෂාවට ලක් කොට 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේදී ද ඊට පෙර හා පසුව සිදුවූ සිද්ධින් පිළිබඳව ද තොරතුරු ඇතුළත් කොට වාර්තාවක් සකස් කොට ජනාධිපතිවරයා වෙත සැපයීමේ වගකීම මෙම කොමිසමේ කොමසාරිස්වරුන් වෙත පැවරී ඇත.   


කොමිසමේ විමර්ශන හා සාක්කි විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව කොමිසමේ කාර්ය භාරය කුමක්දැයි අවබෝධයක් ලබා ගැනීම සඳහා, ‘ඉන් අනතුරුව සිදුවිය යුත්තේ කුමක්ද?’ යන්න පිළිබඳව මෙම කටයුත්ත පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නීතී විශාරදයන් කිහිප දෙනෙකුගෙන්ම කරුණු විමසීමී.   


එහිදී ඔවුහු මෙම කොමිසමේ කටයුත්ත විවිධ ආකාරයෙන් අර්ථකතනය කළහ.   


ජනාධිපතිවරයාගේ නියෝග මත ආරම්භ කෙරුණු කොමිෂන් සභාවේදී විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයන් තමන් කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරුමක් ලබාදෙමින් කොමිසම හමුවේ සාක්කි ලබා දුන්හ. ඔව්හු එම දිව්රුම මතම විවිධ ලේඛනද කොමිසමට ඉදිරිපත් කළහ. ඒ අතර මෙම බැඳුම්කර ගනුදෙනුවට අදාළ දුරකතන ඇමතුම් වාර්තා, ලංසු ලේඛන ද විය.   


මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් සාක්කිවල සාරාංශයක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන නීති විශාරදයෝ මේ සාක්කි විශ්වාස කළ හැකිද? විශ්වාසයට ගත නොහැකිද? යන්න කොමිසම සිය වාර්තාව මගින් පෙන්වා දිය යුතු බවද පවසති.   


එම සාක්කිවලදී මතුවූ ඇතැම් සාක්කි ඛණ්ඩ විශ්වාසනීය ද, ප‍්‍රශ්නගත සිද්ධියට එම සාක්කි ඛණ්ඩවල ඇති සම්බන්ධතාවන්ද, කොමිසම සිය වාර්තාව සකස් කිරීමේදී ගත යුතු බවද ඒවා පිළිබඳ පැහැදිලිව සඳහන් කළ යුතු බවද පෙන්වා දෙන ඔවුහු එයට උදාහරණ වශයෙන් 2015 පෙබරවාරී 27 වැනිදා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට පෙර දින එනම් පෙබරවාරි 26 වැනිදා උදෑසන ආහාර වේල අවස්ථාවේ දී පැවැත් වූ සාකච්ඡාව හා එහිදී එළැඹුණු තීරණ පිළිබඳ කොමිසම සැලකිල්ල දක්වමින් සිය වාර්තාවේ එය සඳහන් කළ යුතු බව පෙන්වා දෙති.   


ඒ ආකාරයෙන් කොමිසමේදී අනාවරණය වූ විවිධ කරුණු පිළිබඳව කොමිසම වෙන වෙනම විස්තර කළ යුතු බව ඔව්හු පෙන්වා දෙති.   
මෙම බැඳුම්කර ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් කෝටි 1006කට ආසන්න පාඩුවක් සිදුවී ඇති බව කොමිසමේදී සාක්කි ඉදිරිපත් වූ බව පෙන්වා දෙන ඔවුහු කොමිසමට ඉදිරිපත් වූ සාක්කි හා ලේඛන මගින් එය රජයට සිදුවු පාඩුවක්ද? යන්න පිළිබඳව කොමිසම සිය අවසන් වාර්තාව මගින් හෙළි කළ යුතු බවද පෙන්වා දෙති.   


ඒ පිළිබඳව හෙළි කිරීම සඳහා කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවල ඇති සත්‍යතාවන් හා අසත්‍යතාවයන්ද ඒවායේ ඇති වියහැකිභාවයන් හා වියනොහැකිභාවයන් සැලකිල්ලට ගතයුතු බව පෙන්වා දෙන ඔව්හු බැඳුම්කර ගනුදෙනුවේදී වී ඇත්තේ විෂමාචාර හැසිරීමක් පමණද? නැත්නම් මෙහි අපරාධමය වරදක් වී ඇද්ද යන්න පිළිබඳවද කොමසාරිස්වරු කොමිසමට ඉදිරිපත් වූ සාක්කි හා ලේඛන පාදක කරගනිමින් විශ්ලේෂණ කළ යුතු බවද එමෙන්ම ඒ පිළිබඳ නිගමනයකට එළැඹිය යුතු බවද පෙන්වා දෙති.   


කොමිසම ඒ පිළිබඳ නිගමනයකට එළැඹීමේ දී මෙහි සිදුවු   
1. විෂමාචාර සිද්ධීන්   
2. නීත්‍යානුකූල නොවන සිද්ධීන් හා   
3. නීතී විරෝධී අපරාධමය වැරදි.   


මොනවාද? යන්න වෙන වෙනම විග‍්‍රහ කළ යුතු බව ඔව්හු පෙන්වා දෙති.   


ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවේදීත් සිදුවූ විෂමාචාර සිද්ධීන්, නීත්‍යානුකූල නොවන සිද්ධීන් සහ නීති විරෝධී අපරාධමය වැරදි ආදිය මෙන්ම ඒ සඳහා වගකිව යුතු අය කව්රුන්ද? ඒ සඳහා ඔවුන්ට එරෙහිව ඇති සාක්කි කවරේද? යන්න කොමිසම සිය වාර්තාව මගින් පෙන්වා දිය යුතු බව ඔව්හු පෙන්වා දෙති.   


නිගමන මෙන්ම කොමිසම සිය වාර්තාව මඟින් නිර්දේශයන්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දෙන නීතී විශාරදයෝ එම නිර්දේශයන් දණ්ඩනීය ආකාරයේ නිර්දේශ (Punity) හා නිවාරණ ආකාරයේ නිර්දේශ (Preventive) යනුවෙන් ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දෙති.   


එහිදී දණ්ඩනීය ආකාරයේ නිර්දේශ වලදී මෙම සිද්ධියේ දී සිදුවූ විෂමාචාර සිද්ධීන්, නීත්‍යානුකූල නොවන සිද්ධීන් සහ නීති විරෝධී අපරාධමය වැරදි ආදිය මෙන්ම ඒ සඳහා වගකිව යුතු අය කව්රුන්ද? අපරාධ කළ අයට එරෙහිව ගතයුතු කි‍්‍රයාමාර්ග හා මෙහිදී රජයට සිදුවූ රුපියල් කෝටි 1006 කට ආසන්න මුදල රජයට ආපසු අයකර ගැනීමට ගතයුතු පියවර පිළිිබඳව ද රජයට නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවද නීතී විශාරදයෝ පවසති.   


නිවාරණ ආකාරයේ නිර්දේශවලදී අනාගතයේදී මෙවැනි සිද්ධීන් යළි ඇතිවීම වැළැක්වීමට මෙන්ම යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමට ද විනිවිද භාවයකින් යුතුව මෙම ක‍්‍රියාවලිය සිදුවීම් වීම සඳහා ඇතිවිය යුතු වෙනස් කම් මොනවාද? යන්න පිළිබඳව ද රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමේ වගකීමක් බව නීතී විශාරදයෝ පෙන්වා දෙති.   


ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීමට මෙම කොමිසම පත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය නිර්දේශ ඇතුළත් වාර්තාව කොමිසම විසින් ඉදිරිපත් කළ පසු කොමිසමේ එම වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් විවාදයක් වුව පැවැත්වීමට හැකියාව ඇති බවත් පෙන්වා දෙති.   


එමෙන්ම කොමිසමේ වාර්තාව මහජනතාවට ප‍්‍රසිද්ධියට පත් කළ යුතු බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.   


කොමිසම සිය වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු දණ්ඩනීය ආකාරයේ වැරදි ඒ ඒ ආයතනවලට යොමු කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.   


ඒ ආකාරයෙන් අපරාධ සිද්ධීන් - නීතිපති දෙපාර්තමේන්තුවට ද,   


අල්ලස් සිද්ධීන් - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද, එමෙන්ම යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීමේ නිර්දේශ සිද්ධීන් - මහ බැංකුවට හා මහ භාණ්ඩාගාරයටද, නව නීති සකස් කිරීම සඳහා අවශ්‍ය සිද්ධීන් - පාර්ලිමේන්තුවටද, යොමු කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.   


මේ වන විට කොමිසමේ සාක්කි විමසීම අවසන් කොට ඇති අතර නීති විශාරදයන්ගේ විග‍්‍රහ කිරීම් වලට අනුව කොමිසමේ වාර්තාව මෙම සිද්ධිය සෙවීම සඳහා කොමිසමක් පත් කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදුන් පසු සිදුවන්නේ කුමක්ද? අපි බලා සිටිමු.   

 

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර