බැඳුම්කර වෙන්දේසි කළ ගැසට්ටුවේ අත්සන කාගේද


 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ පසුගිය දින ගණනාවක සිට විවිධ මත හා අදහස් පළවිය. මේ පිළිබඳ දිගින් දිගටම මතුවූ විරෝධතා නිසා මේ සම්බන්ධව කරුණු සොයා බලා විමසීමට ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක්ද පත්කෙරිණි. මෙම කොමිසමේ සාමාජිකයන් වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.කේ. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ය.


මහ බැංකු අධිපතිවරයා එම තනතුරින් ඉවත් කළද මෙම භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් අවශ්‍ය බවත් එහි ඇති විනිවිදභාවය පෙන්වන ලෙසත් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු දැඩිව ඉල්ලීමක් කළහ. ඊට අමතරව විවිධ සංවිධාන හා සිවිල් සමාජයෙන්ද මේ පිළිබඳ සොයා බලන ලෙස බලපෑම් එල්ල විණ.


යහපාලන ආණ්ඩුවට එල්ලවන මෙම විරෝධතා හමුවේ ආණ්ඩුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කෙරිණ.


මෙම කොමිසම පසුගිය 21 වැනිදා සිට සාක්ෂි විමසීම ආරම්භ කෙරිණ. කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ සුමතිපාල උඩුගමසූරිය මහතායි. මෙම කොමිසමේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක හා ඩිලාන් පෙරේරා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂහිඩා බාරි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා, නයෝමි වික්‍රමසේකර හා රජයේ නීතිඥ ධනුශන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීහු මෙම කොමිසමට සහය පළ කරති.


පසුගිය 21 වනදා ප්‍රථම වරට මෙම කොමිසම රැස්විය. එහිදී සාක්ෂිදීම සඳහා පළමුව කැඳවූයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි. ප්‍රථම දිනය තුළදී ඔහුගෙන් කොමිසම පැය 3ක කාලයක් සාක්ෂි විමසීය.


අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා  මහතා නැගූ ප්‍රශ්න හමුවේ සාක්ෂි දුන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී පෙර පැවැති ක්‍රමය ඉවත්කර නව ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. පැරැණි ක්‍රමවේදය නිසා ගැටලු රැසක් මතුවූ බවත් එම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.


බැඳුම්කර නිකුත් කිරීම සඳහා පෙර පැවැති සෘජු ස්ථානගත ක්‍රමය හා වෙන්දේසි ක්‍රමය එකතු කර නව බද්ධ ක්‍රමයක් හඳුන්වා දෙනවා. මේ පිළිබඳ දැනටමත් රජයේ අවධානය යොමුවී තිබෙනවා. බැඳුම්කර නිකුත් කිරීම සඳහා පෙර පැවැති සෘජු ස්ථානගත ක්‍රමය 2015 දී නවතා දැමුවා. මේ වන විට බැඳුම්කර නිකුත් කිරීම සිදුවන්නේ වෙන්දේසි ක්‍රමය යටතේයි. බැඳුම්කර වෙන්දේසියකදී එහි රහස්‍ය තොරතුරු යම් ප්‍රාථමික ගැනුම්කරුවකු අතට පත්වුවහොත් අනෙකුත් ගැනුම්කරුවන්ට වඩා එම ගැනුම්කරුවාට අයුතු ලාභයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම බැඳුම්කර වෙන්දේසියේදී රජය ඉල්ලා ඇති මුදලට වඩා වැඩි වටිනාකමකින් යුතු බැඳුම්කර විකුණා තිබෙනවා.


 සුරැකුම් පත් සෘජු නිකුත් කිරීම යනු කුමක්ද යන හරස් ප්‍රශ්නයට පිළිතුරු දුන් ප්‍රශ්නයට පිළිතුරු දුන් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී මුලින්ම නිශ්චිත මිලක් නියම කරන බවයි. එහි ක්‍රම ගණනක් තිබෙනවා. ප්‍රාථමික ගැනුම්කරුවන්ට නිශ්චිත මිලකට වඩා ලංසු තැබිය යුතුයි. මෙහිදී ප්‍රාථමික ගැනුම්කරුවන්ට දැනුම් දෙනවා තමන්ට අවශ්‍ය ආකාරයකට හිතු හිතූ අයුරින් ලංසු තැබීමට ඔවුනට හැකියාවක් නැහැ. බැඳුම්කර වෙන්දේසි ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න කොමිසම ඇසූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දුන් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ වෙන්දේසි ක්‍රමය සම්පූර්ණයෙන්ම පරිගණක ගතකර ඇති බවයි. වෙන්දේසි ක්‍රමය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් තමයි සිදුකෙරෙන්නේ. වෙන්දේසි කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් බැඳුම්කර නිකුත් කිරීමේදී මූලික ගැනුම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ප්‍රාථමික වෙළඳපළ ගැනුම්කරුවන්. සෑම ගනුදෙනුකරුවෙකුම 10% වටිනාකමකට ලංසු තැබිය යුතුයි. මහබැංකුව මගින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අලෙවි කිරීම පටන් ගනු ලැබුවේ 1997 වසරේදීයි. එය මුලින්ම සිදුවූයේ සෘජු ස්ථානගත ක්‍රමයකටයි. මෙම බැඳුම්කර ක්‍රියාවලියට සාමාන්‍ය පුද්ගලයන් සහභාගි කරගැනීමට හැකියාවක් නැහැ. ඔවුන් සුරැකුම් වෙළඳපළ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳවත් භාණ්ඩාගාර ක්‍රියාකාරිත්වය පිළිබඳවත් විශේෂඥයකු විය යුතුයි.


මෙම කොමිසමේදී ලිවේරා මහතා නැගූ හරස් ප්‍රශ්නයට වූයේ සුරැකුම්පත් වෙළඳපළ ක්‍රියාත්මක වන්නේ කවර පුද්ගලයන්ටද? යන්නයි. ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිල්ලර ආයෝජකයන්ට, විදේශ බැංකුවලට හා විදේශ ආයෝජකයන්ට බව පැවසීය. ඔවුන් සියලු දෙනා මධ්‍ය තැන්පතු ඒකකයේ ලියාපදිංචිය ලබාගත යුතු යයිද ප්‍රකාශ කළේය. මේ සියල්ලම ඉතාමත් විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වන බවයි ඔහු ප්‍රකාශ කළේ.


ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 පෙබරවාරි 01 වනදාත් මාර්තු 31 වනදාත් අතර කාලයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සොයා බැලීම සඳහායි මෙම කොමිසම පත්කර ඇත්තේ.


 තමන් මහබැංකු අධිපති ධුරයේ වැඩ බාරගත්තේ 2016 ජූලි 04 වනදායි. මා මේ තනතුරට පැමිණීමට පෙර එහි කටයුතු කළේ අර්ජුන මහේන්ද්‍ර මහතායි. ඉන්පසු මහබැංකු අධිපතිවරයා මෙන්ම එහි විධායක නිලධාරියා ලෙසද කටයුතු කළේ තමන් බවද මහබැංකු අධිපතිවරයා පැවැසීය.


2015 පෙබරවාරි 01 දා සිට 2015 මාර්තු 31 වනදා අතර කාලය තුළ මහ බැංකුවෙන් බැඳුම්කර නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ලංසු කැඳවන විට තමන් මෙරට රැඳී නොසිටි බවද ඔහු ප්‍රකාශ කළේය.


 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී මහ බැංකුවේ මූලික කර්තව්‍යවය කුමක්ද යන්න කොමිසම නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රටට අවශ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම, රජයට අවශ්‍ය සුරැකුම්වල ශක්තිය දියුණු කිරීම, ආර්ථික සංවර්ධනයට අවශ්‍ය තීරණ ගැනීම ආදිය කෙරුණු බවයි. ශ්‍රී ලංකා මහබැංකුවේ සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර පසුව ඒවා ද්විතියික වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා. දේශීය ණය සම්පාදනය කිරීමට අවශ්‍ය වූ විට ප්‍රාථමික වෙළෙඳපොළට සුරැකුම්පත් නිකුත් කිරීම රජයේ ණය දෙපාර්තමේන්තුවයි තීරණය කරන්නේ.


රජයේ ණය උපකරණ නිකුත් කිරීම පාලනය වන්නේ කෙසේද යන්න නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා රජයේ ණය උපකරණ පනත යටතට භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර හා අනෙකුත් සුරැකුම් යටත් වෙනවා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හා අනිකුත් සුරැකුම් නිකුත් කිරීමේදී ඉදිරි කාර්යාල, මැද හා පසු කාර්යාල යටතේ කොටස් තුනකින් ක්‍රියාත්මකයි. එම කොටස් තුනේදී රජයට කොපමණ මුදල් අවශ්‍යදැයි තීරණය කරනවා. අවශ්‍ය විටක තාක්ෂණ ඇගයීම් කමිටු ඇතුළු කමිටු කිහිපයක් පත්කරනවා. අවශ්‍ය වුවහොත් ලංසු කැඳවීමක් කොට අවසන් තීරණය මහබැංකු අධිපතිවරයාට දැනුම් දෙන බවය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ කොමිසම හමුවේ සාක්ෂි දුන් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.


මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හදිසියේම අත්හිටුවීමට සිදුවූයේ මෙම ආන්දෝලනාත්මක බැඳුම්කරය ඇතුළත් ගැසට් පත්‍රය මුද්‍රිත දිනය සම්බන්ධයෙන් ඇතිවූ ගාටළුවක් නිසාය.


බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මෙම ගැටලුව මතු වූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් සිටියදීය. ඒ අනුව ඒ මහතාගෙන් සාක්කි විමසීම ලබන 27 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට එහි කොමසාරිස්වරු තීරණය කළහ.


භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ 1895/19 දරන ගැසට් නිවේදනය පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරද්දී එම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය පිළිබඳව අවධානය යොමු කළ විට 2015 ජනවාරි 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහන් වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇති බව එහි දැක්විණි.


ඒ පිළිබඳ කොමිසමට කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එල්.එච්.එස්. සමරතුංග මහතා 2015 ජනවාරි 01 වැනිදා වන විට තමා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ නැතැයි ද ඒ වන විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ පී.බී. ජයසුන්දර මහතා යැයිද කියා සිටියේය.


ඒ අනුව අදාළ ගැසට් නිවේදනය පිළිබඳව අවධානය යොමු කළ කොමසාරිස්වරු මෙම ගැසට් නිවේදනයේ සඳහන් දිනය දැකීමෙන් තමන් මවිතයට පත් වූ බව සඳහන් කළහ.


මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා මෙම දිනය පිළිබඳ කිසිදු ගැටලුවක් නැතැයිද 2015 ජනවාරි 01 වැනිදා සිට 2015 දෙසැම්බර් 31 වැනිදා දක්වා සම්පූර්ණ කාලයේදී සිදු වූ බැඳුම්කර නිකුත් කිරීම් සියල්ල එක් කොට වර්ෂ අවසානයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන්නේ යැයි ද ඒ අනුව මෙම දිනය ගැසට් නිවේදනයට ඇතුළත් වී ඇතැයිද පැවසීය.


කෙසේ වෙතත් ගැසට් නිවේදනයට මෙම දිනය ඇතුළත් වූයේ කෙසේදැයි යන්න හෙළි කරගත යුතුව ඇතැයි පැවසූ කොමසාරිස්වරු ඒ අනුව අදාළ දිනය කවදාද යන්න හෙළි කරගැනීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිවරයාගෙන් වහාම ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියම කළේය.

 සටහන- නිශාන්ත කුමාර බණ්ඩාර