මගේ පුතා මේ අපරාධය කළානම් එල්ලා මරන්න


 

ගිරිබාව සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි සන්ධ්‍යා මධුෂානි නමැති 17 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන කුලරත්නගේ හර්ෂණ සමන් කුමාර (36) නමැත්තාගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය මෙම සාහසික අපරාධය සිදුකළ මිනිමරුවා වන මාගේ පුතා එල්ලා මරා දමනවාට මගේ කිසිම අකමැත්තක් නොමැති බව සියලු දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි’’ යැයි සඳහන් කරමින් ලිපියක් එවා තිබු​ෙණ් ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය මහතා වෙතය.  


මෙම ලියුම එවීමෙන් පසු තමාට දුරකථනයෙන් කතා කළ එම කාන්තාව ‘අනේ මහත්තයෝ මම ඔබතුමාට එව්ව මේ ලියුම මධුෂානි දියණියගේ අවමඟුල් උත්සවය අවස්ථාවේ සැමට ඇසෙන සේ කියවන්න’ කියා ඉල්ලීමක් කළ බව ද සහකාර පොලිස් අධිකාරී දෙල්ගහපිටිය මහතා පවසයි.  


ඝාතනයට ලක්වූ තරුණියගේ අවසන් කටයුතු සිදු කෙරුණ ඉකුත් 26 වැනිදා පාංශුකුලය දීම සඳහා වැඩම කළ භික්ෂූන් වහන්සේ නමකට සැකකරුගේ මව එවා තිබූ ඒ අතිශය සංවේදී ලියුම සහකාර පොලිස් අධිකාරිවරයා බාර දුන්නේ ඇය කළ ඉල්ලීම අහක දැමීමට බැරි නිසාය.  


පාංශුකූලය දීමට වැඩම කර සිටි රාජාංගනයේ රතනවංශ හිමියෝ කුසුමාවතී එවා තිබූ ලිපිය අවමංගල්‍ය උත්සව සභාවේ දී කියවනු ලැබූහ.  


අපරාධයක් සිදු කළ අයකුගේ මවක් තම පුතා එල්ලා මරා දමන ලෙස ඉල්ලීමක් කරමින් මෙවැනි ආකාරයේ හැඟුම්බර ලියුමක් ලිවීම මෑත ඉතිහාසයේ සිදුවූයේ පළමු වරට බව තමා විශ්වාස කරන බවද සහකාර පොලිස් අධිකාරි දෙල්ගහපිටිය මහතා පවසයි.  


දරුවන් අපරාධ කරද්දී ඔවුන් සුදනන් කර බේරා ගැනීමට උත්සාහයක් කරන මව්වරුන් සිටින සමාජයක මේ මව ඉල්ලා සිටියේ දස මසක් කුසහොවා මෙලොවට බිහිකර ලේ කිරි කර දී උස්මහත් කළ එකම පුතා එල්ලා මරා දමන ලෙසයි.  


මෙවැනි පාපතර පුතෙක් බිහි කිරීම ගැන ඇය හදවතින්ම දුක් වෙන බවද පවසා තිබුණාය.  


පුතා එල්ලා මරා දමනවාට මාගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව පවසා ලිපියක් සහකාර​ පොලිස් අධිකාරි දෙල්ගහපිටිය මහතාට එවූ 17 හැවිරිදි තරුණියකට සාහසික අපරාධය සිදුකළ බව කියන ඒ අපරාධකරුගේ අම්මා සමඟ කතා බහ කළේ වැඩිදුර තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙනි.  


මේ ආර්.කේ. කුසුමාවතී මහත්මිය සමඟ හා කළ කතාබහයි.  


‘මහත්තයෝ මේ කඳුළු කැට කඩාහැලෙන්නේ මගේ එකා හින්දා නෙමේ. අර අහිංසක කෙල්ල වෙනුවෙන් යැයි ඇය පැවසුවාය.’  


ප්‍රශ්නය- මේ ඔබේ පවුලේ කී වැනි දරුවාද?  
පිළිතුර- අපේ පවුලේ ඉන්න එකම දරුවා  


ප්‍රශ්නය-දරුවාගේ පියා කෝ. පවුලේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?  
දරුවාගේ පියා 2000 වසරේ කරන්ට් වැදිලා මිය ගියා. එයා පොළවල්වල බිස්නස් කළා. අපි ගමේ කාටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව හිටිය පවුලක්. අපි දෙන්නාත් හොඳින් පවුල් කෑව. සැමියා මිය ගියාට පස්සේ තමා ආර්ථික ප්‍රශ්න එන්න පටන් ගත්තේ. ඒ හින්දා මම මැද පෙරදිග ගෘහසේවිකා රැකියාවකට ගියා. පුතාව රැක බලා ගන්න කියා මගේ නැන්දා කෙනෙකුට බාරදුන්නා. දහදුක් විඳලා සල්ලි හම්බ කරලා ගෙදර වියදමටත් සල්ලි එව්වා. පුතා ඉස්කෝලේ ගියේ 8 වැනි වසරට විතරයි. එ්ත් පුතාට ලියන්න කියන්න බැහැ. යාන්තමට අස්සන ගහන්න විතරක් පුළුවන්. පුතා විවාහ වෙලා සිටියේ නැහැ.  


වසර 10 ක් විතර මම මැදපෙරදිග රටක රැකියාවක් කළා. ඒ අතරවාරයේ මම වරින් වර ලංකාවට ඇවිත් ගියා. මම වෙනත් විවාහයක් ගැන හිතුවෙත් නැත්තේ පුතාට තියෙන ආදරේටයි.  


ප්‍රශ්නය:- පුතා මේ වගේ දෙයක් කරලා කියලා ඔබ දැනගත්තේ කොහොමද? ඒ වෙලාවේ මොනව ද හිතුණේ.  
පිළිතුර:- මහත්තයෝ රට රස්සා කරලා අයෙත් රට යන්නෙ නැතුව ගෙදරට වෙලා හිටියා. කුලී වැඩ එහෙම කළා. දවස් දෙකක් කුලී වැඩ කරලා හම්බ කරගත්තු රුපියල් 2000 ක්ද අරගෙන මම අනුරාධපුරය පැත්තේ තියෙන දේවාලයක කපු මහත්තයෙක් හම්බවෙන්න ගියා. කපුවාට කියා ජීවම් කරපු සුරයක් පුතාගේ කරේ දාන්න ඉල්ලාගෙන බස් එකේ ගෙදර එමින් සිටියා. එතකොට සොහොයුරියක් මගේ ජංගම දුරකථනයට කතා කරලා වෙලා තිබුණ සිද්ධිය කිව්වා. පුතා අපරාධය සිදුකරලා පැනලා යද්දි ගමේ කට්ටියක් අල්ලාගෙන හොඳටම ගහලා පොලිසියට බාරදීලා කියාත් මගේ යෙහෙළිය පැවසුවා.  


මේ කතාව අහපු වෙලාවේ මට දරා ගන්න බැරි වේදනාවක් ඇතිවුණා. හැබැයි ඒ වේදනාව අර අහිංසක කෙල්ල මධුෂානි දුව හින්දා ඇති වෙච්ච වේදනාවක්. මගේ එකා ගැන වේදනාවක් ඇතිවුණේ නැහැ. ඒ වේදනාව ගැන කියන්න තරම් හැකියාවක් මට නැහැ. පුතා බස් එකක නැගලා පැනලා යද්දි ගමේ කට්ටියක් පස්සෙන් ගිහින් අල්ලාගෙන පහර දුන්නු අවස්ථාවේ මිය ගියා නම් මට ඒත් කිසිම දුකක් නැහැ. මහත්තයෝ මේ ඇත්තමයි මම කිව්වේ පුතා වුණත් අපරාධයක් කළා නම් ඒ අපරාධයට දඬුවවමක් ලැබෙන්න ඕනෑමයි. ඒහින්දාම තම පුතා එල්ලා මරනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැයි කියා ලියුමේ සඳහන් කළේ.  

 


ප්‍රශ්නය- ඔබගේ නිවසටත් පිරිසක් ගිනි තබා අලාභහානි සිදුකරලා නේද?  
පිළිතුර- අනේ ඔව්. මගේ ගෙදරටත් ගමේ කට්ටියක් ගිනි තියා අලාභහානි කරලා. ඒත් මම අද වෙනකම් ඒ පැත්ත පළාතකවත් ගියේ නැහැ. මම මේ අපරාධයට මොනම විදිහකටවත් සම්බන්ධ නැහැ. මගේ ගෙදරට මේ විදිහට ගිනි තිබ්බේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඒත් ඉතිං දැන් මොනවා කරන්නද?. පුතා එක්ක තිබුණ තරහට එහෙම කරන්න ඇති. මගේ ගෙට ගිනි තිබ්බ දරුවන්ට මම වෛර කරන්න යන්නේ නැහැ.  


ප්‍රශ්නය-ඔබ ආයෙත් ඒ ගෙදර පිළිසකර කර පදිංචියට යන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද?  
පිළිතුර:- අ​ායෙත් ඒ ගමට පදිංචියට යන්න කිසිම බලාපොරොත්තුවක් කොහෙත්ම නැහැ. ගමේ කට්ටිය මට ආයෙත් ඒ ගෙදර පදිංචියට එන්න කිසිම ප්‍රශ්නයක් ඔයාට වෙන්නේ නැහැ කියා කිව්වත් මම නම් යන්නේ නැහැ.  


ප්‍රශ්නය- එ් අැයි?  
පිළිතුර- මම කොහොමද මහත්තයෝ ඒ ගෙදර පදිංචියට යන්නේ. ඔය මධුෂානි දුව පදිංචිවෙලා හිටියේ. අපේ ගෙවල් කිට්ටුවමයි. මම හොඳට හඳුනනවා. දැක්කම නැන්දේ කියා මුව පුරා සිනාවෙලා කතා බහ කළා. හිනාවෙන් පිරිච්ච ඒ අහිංසක මුහුණ මට දැනුත් මැවිලා පේනවා. ඉතිං මම කොහොමද ඒ ගෙදර පදිංචියට ගිහින් ඉන්නේ. ඒ දුව මට මොහොතක් මොහොතක් පාසා මතක් වෙයි. නැන්දේ කියා කතා කරනවා දැනෙයි. එතකොට ඇතිවෙන වේදනාව මම කොහොමද දරාගෙන ඉන්නේ. මට ඒ පරිසරයෙන් ඈත් වෙලා ඉන්න ඕනෑ.

 

 
ප්‍රශ්නය-ඔබ එ් ගෙදර මොකද කරන්න බලාපොරොත්තුව.  

පිළිතුර:- මම ඔය ගේයි ඉඩමයි විකුණා දමනවා. ඒ සල්ලිවලින් කොටසක් මධූෂානි දියණිය වෙනුවෙන් පිංකම් කිරීමට යොදවනවා. ඉතිරි මුදල් මට ජීවත් වෙන්න තියා ගන්නවා.  

 


ප්‍රශ්නය-පුතාගේ නඩුවට වියදම් කරන්න ඒ සල්ලි යොදා ගන්නේ නැද්ද?  
පිළිතුර- පුතා කියා කියන්නත් ලජ්ජයි. මම මගේ සල්ලි සත පහක් වියදම් කරන්නේ නැහැ. බන්ධනාගාරයට බලන්න යන්නේවත් නැහැ. පුතා වුණත් මට ඒ මුහුණ බලන්න තරම් හිත හදාගන්න බැහැ. මගේ නෑදෑයින්ටවත් මම කියලා තියෙන්නේ කවදාහරි දවසක උසාවියෙන් ඇප ලැබු​ෙණාත් ඇප ලබාදෙන්නවත් යන්න එපා කියා. බලන්නවත් යන්න එපා කියා නෑදෑයන්ට පවසා තිබෙනවා. ඒතරමට මට පිළිකුල්.  

 


ප්‍රශ්නය- උසාවියට සාක්කි දෙන්න යන්න වුණොත් ඔබ යනවාද?  
පිළිතුර- මම මේ සිද්ධිය දැක්කේ නැහැ. ඒත් උසාවියෙන් මට සාක්කි දෙන්න එන්න කිව්වොත් අනිවාර්යයෙන්ම යනවා. උසාවි යන්න විතරක් නොවේ මහත්තයෝ මගේ එකාට විරුද්ධවත් සාක්කි දෙනවා.  


ප්‍රශ්නය- මධුෂානිගේ අවමඟුල් උත්සවයට යන්න බැරිවීම ගැන ඔබට ලොකු කනගාටුවක් තිබුණා නේද?  
පිළිතුර- ඔව්, මට ඒ ගැන ලොකු කනගාටුවක් අදටත් තියෙනවා. මට අවමඟුල් ගෙදරට ගියා නම් මධුෂානිගේ මිනී පෙට්ටිය ළඟ දණින් වැටිලා මගේ එකා කළ අපරාධය වෙනුවෙන් දහස්වාරයක් සමාව ඉල්ලනවා. ඒ දුවගේ අම්මගෙනුයි තාත්තගෙනුයි වැඳලා සමාව ඉල්ලනවා. කෝ ඒත් මට ඒක කරගන්න බැරිව ගියානේ. එහෙම කළා නම් මගේ හිතේ මහ මෙරක් උසට තියන දුක් ගින්දර ටිකත් හරි අඩුවේවි කියා හිතෙනවා. මේවාගේ ලියුමක් ලිව්වෙත් ඒ හිත් වේදනාව ටිකක් හරි අඩුවේවි කියා හිතලයි. අහිංසක කෙල්ලගේ මුහුණ මතක් වෙන මොහොතක් පාසා මගේ හදවත පැලෙන්න තරම් වේදනාවක් ඇති වෙනවා මහත්තයෝ.  
කුසුමාවතී මහත්මියගේ හදවතේ තෙරපෙමින් තිබූ වේදනාව බොහොම අමාරුවෙන් වචනවලට පෙරලා ලියා තිබූ ඒ සංවේදී ලියුම මෙසේය.  


‘‘අපරාධකරුවකුගේ මවක් වීමට තරම් අවාසනාවන්ත වූ මා හද තුළ කකියවන වේදනාවට මදකට සවන් යොමු කිරීමට ඔබ සැමට කරණා ඉතාමත්ම බැගෑපත් ඉල්ලීමයි මේ  
දයාබර නැගෙණියනි, මලනුවණි,  


අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් ඔබගේ දියණිය පිළිබඳව ඔබගේ හද තුළ ඇවිලෙන ගිනිදැල් හා සමානව ගින්නක් මගේ හද තුළ ද දැවෙන බව කීවද ඔබ විශ්වාස නොකරනු ඇත.  


නීච පාපතර අපරාධකාර පුතෙක් බිහිකළ පවට ඔබ සැමගේ සාපය මා හට පලදී ඇති බව මගේ හදවතේ බුර බුරා නැගෙන ගිනි දැල් සාක්කි දරනු ඇත. ඔබ ළඟට පැමිණ ඔබගේ දුක බෙදා ගැනීමට මහ මෙර තරමට අාසාව තිබුණ ද එයට මට අවසර නොමැත.  
හෙට දිනයේ ලොව දිනන්නට වෙර දැරූ ආදරණීය දියණියනි. ඔබගේ පරලොව ජීවිතයට ඔබ වෙනුවෙන් මා කරණා කුසලෙන් අනුමෝදන් වෙත්වා.  


මේ අවස්ථාවට රැස්ව සිටින ලොකු කුඩා සැම දෙනෙකුගේ අැස්වලින් වැටෙනා සෑම කඳුළු බිංඳුවකටම පාපතර පුතෙක් බිහිකළ පවට මම සමාව ඇයද සිටිමි. තවද මෙම සාහසික මිනිමරුවා එල්ලා මැරීමට මගේ කිසිම අකමැත්තක් නොමැති බව ඔබ සියලු දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි.  


මෙම ලියුම මාධ්‍ය හරහා පළවීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයාට එය ජනගත කිරීම වෙනුවෙන් සමාජයේ විවිධ මට්ටමේ අය ප්‍රශංසා කරමින් ලිපි එවා ඇත.  


නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්‍ඩාර සහ සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහතා ප්‍රධාන පොලිස් කණ්‍ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.   

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය