මධ්‍යම පංතියේ පවුල් ලක්ෂ 11ක් දුප්පත් වෙලා


උපුල් වික්‍රමසිංහ

මෙරට ජනගහනයෙන් සියයට 40ක් පමණ වන මැදි ආදායම්ලාභී පවුල්වලින් සියයට 20කට වැඩි ප්‍රතිශතයක් නොහොත් පවුල් ලක්ෂ 11ක් පමණ ගෙවුණු මාස නවයක කාලය ඇතුළත දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් බවට පත්ව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලද පර්‌යේෂණයකින් හෙළිව තිබේ.

ඒ අනුව එම පවුල් ලක්ෂ 11ට අයත් පුද්ගලයන් ලක්ෂ 21කට අධික පිරිසක් මෙලෙස දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයන් බවට පත්ව ඇතැයි වර්තමාන දරිද්‍රතාවයේ ස්වරූපය පිළිබඳ අධ්‍යයනයක් මැයෙන් සිදුකරන ලද අදාළ පර්‌‌යේෂණයේදී අනාවරණය වී ඇත.   


නිල දරිද්‍රතා මායිම ගෙවුණු මාස නවයක කාලය ඇතුළත සියයට 74කින් පමණ ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එම සමීක්ෂණය සාමාජිකයන් සිව් දෙනකු සිටින පවුලකට මාසිකව ජීවත් වීමට අවශ්‍ය අවම මුදල 2021 වසරේ දී රුපියල් 31,652ක් ලෙස දැක්වුණ ද මේ වන විට එම අගය රුපියල් 55,088 දක්වා ඉහළ ගොස් ඇති බව කියයි.   
මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි දළ ආදායමක් උපයන අය බද්දකට යටත් කිරීම ඇතුළු ආණ්ඩුවේ ඍජු බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම හරහා ඉදිරියේ දී මධ්‍යම පාන්තිය නියෝජනය කරන ඉතිරි සියයට විස්සක ප්‍රතිශතය ද දැඩි පීඩාවකට පත්විය හැකි බව මහාචාර්ය අතුකෝරාළ මහතා පෙන්වා දෙයි.