මරණ සහතිකය ලැබුණෙත් අවුරුදු විසිනවයකට පස්සේ


87 අභයාරාම මැයි රැලියේදී ඝාතනය කළ ලෙස්ලි ආනන්දලාල් ගැන සොහොයුරා කියන කතාව


පළමු මැයි දිනය පැවැත්වූ 1927 පසුවී වසර 60ක් ගිය තැන මැයි 1 වැනිදා දවස පුවත්පතේ මුල්පිටුවේ මෙවැනි වාර්තාවක් පළකොට තිබුණි. දවස හරියටම කිවහොත් 1987 මැයි 1 වැනිදාය.


පෙළපාළි සහ රැලි තහනම්
(කාරියවසම් දයානන්ද විසිනි)
අද මැයි දිනයේ කොළඹ නගරයේ සමූහ වශයෙන් රැඳී සිටීම, සමූහ වශයෙන් ගමන් කිරීම, රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා ජනතාව ඒකරාශි කරවීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇත.


එසේ කිරීමට පෙලඹෙන්නේ නම් පොලිස් හමුදා විසින් පලවා හරින බවත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීල් වීරසිංහ මහතා ‘දවස’ට කීය.


මෙපමණක් නොව කණ්ඩායම් වශයෙන් සටන් පාඨ කීම, මහ මඟ සහ පිට්ටනිවල බැනර් ප්‍රදර්ශනය වනසේ උසුලාගෙන යෑම සහ පත්‍රිකා බෙදීම ආදියටද පොලිසිය ඉඩ නොදෙනු ඇත.


නමුත් ඊට පසුදින පුවත්පත් පෙරලූ විට 1987 මැයි දින 1 වැනිදා පැවැත්වූ ‘තහනම’ මැයි රැලි බොහොමයක විස්තර වාර්තා කොට ඇත. තරු 2කින් යුත් දවස මුද්‍රණයේ මෙවැනි ප්‍රවෘත්තියක් ‘උලුප්පා’ දක්වා ඇත.


කලබලකාරී තත්ත්වයක්
තරුණයෙක් නසී 
හතරකට තුවාලයි.


රන්ජිත් පද්මසිරි සහ ජේ.ටී. ද සිල්වා විසිනි.


මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් ඊයේ (01) සවස නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දින රැළිය අවසන් වීමෙන් පසු සහභාගී වූවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුමකින් වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාල ලැබූ එක් අයෙකු කොළඹ මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. 


තුවාල ලැබූ තවත් හතර දෙනෙකු දැනට කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇත. එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.


තහනම නොතකා පැවැත්වූ මෙම මැයි රැස්වීමට දහසක් පමණ දෙනා සහභාගී වූහ. තරුණ භික්ෂූන් වහන්සේලා 200ක් පමණද, වෙනත් විවිධ සංවිධානවලට අයත් පුද්ගලයෝ ද සිටියහ.


හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය පැවැත්විණි. මැයි රැලිය අවසන් වීමෙන් පසු එයට සහභාගි වූවන් පෙළපාලියක සේ විහාරස්ථ භූමියෙන් එළියට පැමිණෙමින් සිටියදී පොලිසිය මැදිහත්වී පෙළපාලිකරුවන් විසුරුවද්දී කලබලකාරී තත්ත්වයක් හට ගෙන ඇත.


ඉහතින් දැක්වූ 1987 මැයි 02 වැනි දින දවස පුවත්පතේ වාර්තාව පළ කළ දිනයේම ‘දිවයින’ පුවත්පතේ එම සිදුවීම වාර්තා කෙරී ඇත්තේ ධර්මන් වික්‍රමරත්න මහතා විසිනි. එහි ශීර්ෂ පාඨය “නාරාහේන්පිට වෙඩි තැබීමෙන් සිසුවෙක් මිය යයි” ලෙස සඳහන් වුවද එය ප්‍රධාන ශීර්ෂ පාඨය නොවේ.


ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව පොලිසිය සහ රැස්වීමට සහභාගී වූ පිරිසක් අතර සිදුවූ ගැටුමේදී එක් අයකු පොලිස් වෙඩි පහරින් මිය ගියේය. 


මේ පුද්ගලයා මියගියේ සිද්ධිය වූ ස්ථානයේදීමය. ශිෂ්‍යයකු වූ ඔහුගේ නම ලෙස්ලි වෙන්නවත්ත ය. වෙඩි වැදී කොළඹ මහ රෝහලේ වාට්ටු අංක 9ට ඇතුළත් කළ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කිත්සිරි රණවක නමැති ශිෂ්‍යයා බරපතළ තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.


මම සිදුවීම සිදුවී වසර 30කට පසු ‘ඉරිදා ලංකාදීප’ය ලෙස්ලිගේ අද පරම්පරාව සොයා ගැනීමට වැල්ලම්පිටිය ප්‍රදේශය පුරා ගොස් වැල්ලම්පිටිය පොලිසියටත් ගොස් මේ දශක තුනක ඉතිහාසය හාරා අවුස්සන්ට අවස්ථාව උදාකර ගැනුනි.


අප සමඟ කතාවට එක්වූයේ ලෙස්ලිගේ පවුලේ තුන්වැනියාය. ඔහු නමින් ගර්ලි කරිබත්ගොඩ වුවත් කවුරුත් කතා කළේ සෑම් යන නමිනි.


අපේ තාත්තා විදුහල්පතිවරයෙක්, අම්මා පුහුණු ගුරුවරියක්. අපේ පවුලේ ඔක්කොම හත්දෙනයි. ලොකු අක්කා තිලක් විවියන්, ඊළඟට ගාමිණී අයියා, තුන්වැන්නා මම, ඊට පස්සේ බර්ටි, පර්ල් අතිත්මයා චන්ද්‍රිකා නංගී. චන්ද්‍රිකා නංගියි පර්ලුයි අතර උපන් මල්ලි තමයි ඔය වෙඩි තියලා මරපු ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ. තාත්තා නිදහස් පක්ෂයට ළැදිව වැඩ කරපු නිසා අපේ තාත්තාට අවුරුද්දට දෙතුන් පාර ට්‍රාන්සර් හම්බවුණා”යි ලෙස්ලිගේ අයියා වූ සෑම් අප සමග ඉතිහාසය ටිකින් ටික මතක් කරමින් තිස්වසරකටත් එහාට අපගේ මතකයද අලුත් වෙන්නට විය.


1965 වසර ලෙස්ලිගේ පියාට ලැබුණේ අවසන් ට්‍රාන්සර් එකය. ඊට හේතු වූයේ ට්‍රාන්සර් දේශපාලනීකරණය නොවීම නොව ඔවුන්ගේ සදාරණීය පියාණන් මෙලොවින් සමුගැනීම නිසාය. 1965 ඔක්තෝබර් 20 වැනි දින තම පියාගේ අභාවයත් සමගම ලෙස්ලිගේ අම්මා තම සැමියා විදුහල්පති ධුරය හෙබවූ තෙල්දෙණිය සීනියර් විදුහලේ විදුහල්පතිනිය ලෙස ටික කලක් වැඩ බැලුවාය.


ඉන්පසු ඇය කොළඹට මාරුවීමක් ලබාගත්තේ සේදවත්ත සිද්ධාර්ථයටය. ඇය සහ දරු සත්දෙනාට නවාතැන් ප්‍රශ්නයක් නොවුණේ ඇය ඒ වන විටත් ඇගේ මහගෙදර එක් තට්ටුවක් ගොඩනගා හමාරකර තිබූ නිසාය. කුඩා ලෙස්ලි ආනන්දලාල්ද මවගේ දෑඟිලිවල දැවටෙමින් ඈ ශිල්ප දුන් පාසලේම සාමාන්‍ය පෙළ තෙක් උගත්තේ කිසිවකුට නොදෙවෙනි ලෙසය. ගෙදර බොහෝ වියදම් පියාවාගත්තේ මවගේ වැටුපෙන් නිසා ලෙස්ලිට උසස් පෙළට පෙනීසිටීමට අපහසු විය. ඔහු විවෘත විශ්වවිද්‍යාලය තම උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේය.


උසස් අධ්‍යාපනයෙන් පසු ලෙස්ලිට මුලින්ම රැකියාව ලැබෙන්නේ කැලණි කේබල් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙසය. ඉන්පසු ඔහු එක්වන්නේ ලංකා පෝර සමාගමයට. ලෙස්ලිගේ ජීවිතේ අවසන් රැකියාව වන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මික ශිල්පී තනතුරයි.


ලෙස්ලි ආනන්ද කුඩා කල සිටම තම පියාට ලැබුණු ට්‍රාන්සර් නොහොත් දේශපාලන පළිගැනීම් ගැන සිටියේ දැඩි උනන්දුවකිනි. ට්‍රාන්සර් එකක් ලැබුණු සැනිණි. තම පියාගෙන් කරුණු විමසීමට කුඩා ලෙස්ලි පියවර ගත්තේ ඒ නිසා විය යුතුය. ලංකාව පුරා ලග්ගල, පොල්පිතිගම, බලංගොඩ, කපුගල, තෙල්දෙණිය ආදී තැන්වලටත් වඩා දුෂ්කර ප්‍රදේශවලට පවා ලෙස්ලිගේ පියාට ට්‍රාන්සර් ලැබුණ අවස්ථා එමටය. දේශපාලනික වශයෙන් කරුණු සොයා බැලීමේදී පෙනීයන්නේ ලෙස්ලිගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භකයකු වී ඇති බවයි.


“අපි තෙල්දෙණියේ ඉන්නකොට දවසක් බණ්ඩාරනායක මහත්තයා ආවා අපේ ගෙදර “ආ ඉස්කෝලේ මහත්තයා කියලා”. අගමැති එනකොට ඔය මැරිච්චි මල්ලි එතකොට පොඩියි. ආවහම මල්ලිගේ ඔළුව එහෙම අතගානවා.”යි අප සමඟ සාකච්ඡාවට එක්වූ සෑම්, බණ්ඩාරනායක මහතා ගැන මතකය අවදිකළේය.


මේ පවුලේ කවුරුත් කේන්දර විශ්වාස නොකරන බව අපට පෙනී ගිය කරුණකි. පවුලේ අයට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ 1982 පමණ වන විට ලෙස්ලි කෙමෙන් වමේ දේශපාලනයට එක්වන බවය. ඔහු බොහෝ සබඳතා දක්වා ඇත්තේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත, මුරුත්තෙට්ටුවේ ආන්නද යන හිමිවරුන් සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමගය.


1987 මැයි 1 වැනිදා ඉරණම් දිනය එළඹිණි. ලෙස්ලි කුඩයක් අතට ගෙන තම පාපැදියට නැග්ගේ නාරාහේන්පිට අභයාරාමයේ ‘මව්බිම සුරැකීමේ’ මැයි දිනයට එක්වීමටය. එහිදී වූ සිද්ධිය මෙම ලිපිය ආරම්භයේම එදා පුවත්පත් වාර්තා කර තිබූ අයුරු අප උපුටා දැක්වූ නිසා මරණයෙන් පසු තත්ත්වය ගැන අපේ විශේෂ අවධානයට ලක්විය.


“අපි ඔක්කොම මිත්‍ර ක්‍රීඩා සංගමයේ සාමාජිකයෝ. එතැනට පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා ලෙස්ලිට වෙඩි තියලා මරලා කියලා. මම එවෙලේම ඇඳිරිනීතිය නොතකා මෝචරියට ගියා. පොලිසිය නීති තර්ක ගෙනල්ලා මට මල්ලිගේ මිනිය පෙන්නුවේ නෑ.” සෑම් අපට කීවේ දැඩි ස්වරූපයෙනි.


අවසානයේ සෑම්ට තම ලෙස්ලි මල්ලිව පෙන්වීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය. එහි ඔළුව කුඩු වී තිබුණු අතර බුදු මැදුර තුළ සිට ලෙස්ලිට පොලිසිය අඩි 5ක් ඈත සිට ඔළුවට වෙඩි තබා තිබුණි. ඔහුගේ සිරුර වසා තිබී ඇත්තේ සිවුරකිනි. වෙඩි වැදුණු අනෙක් තරුණයා වූ කිත්සිරි රණවක බලන්න සෑම් අමතක කළේ නැත. දින 3ක් රඳවාගත් ලෙස්ලිගේ දේහය දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර සහ බාලාතම්පෝ මැදිහත් වීම නොවුණේ නම් සැලසුම්කර තිබුණේ රහසිගතව ආදාහනය කරන්නටය.


අධිකරණ නියෝගයක් යයි. 1987 මැයි 3 වැනිදා සවස 2ට ගෙනා ලෙස්ලිගේ දේහය පැය 3ක් තුළ මිහිදන් කිරීමට පොලිස් අණක් ලැබී තිබුණි. වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත මහගෙදර තිබූ මළගෙදර අමුත්තන්ට වඩා සිටියේ කැරලි මර්දන පොලිසියයි. මුළු නිවසම පොලිස් ට්‍රක්රථ හරස් කොට එකම යුද පිටියක සිරිගෙන තිබී ඇත. කොඩිවැල් දැමීම පවා තහනම් කටයුත්තක් විය. සිරුර ගෙදරින් එළියට ගෙන පාංශකූලය දුන්විට ලෙස්ලිගේ අක්කා එංගලන්තයේ සිට ආවේය. මෙහිදී පොලිස් නිලධාරියකු අවශ්‍ය නම් තව වෙලා දේහය තබාගන්නා ලෙස දන්වා ඇත. ලෙස්ලිගේ අක්කා එම නිලධාරියාට බැණවැදුණේ ප්‍රසිද්ධියේය.


“ලංකාවේ සිරිතක් තියෙනවා පාංශකූලේ දුන්නම ආයි මිනියක් ගේ ඇතුළට ගන්නෑ. ඒක උඹලගේ මහ එකාට කියාපන්.” 
පසුව දේහය කොහිලවත්ත සුසානයේ මිහිදන් කෙරිණි. එහි එක් ගොක් අත්තක් හෝ සැරසීමක් මෙන්ම ස්මාරක ඉදිකිරීමද තහනම් විය. දේහය මිහිදන් කරන තුරු කොතෙකුත් හඬා වැටුණු ලෙස්ලිගේ මව මිහිදන් වූ දේහය දෙසබලා හඬා වැලපුණාය. වසර ගණනකින් මියගිය ඇගේ මරණයට ප්‍රධාන හේතුවක් වූයේද මෙම ලෙස්ලිගේ මරණය විය යුතුය.


මෙරට ජනසන්නිපාතයක් සමඟ 30 වසරකට පෙර අවසන් ගමන් ගිය ලෙස්ලි හා කිත්සිරිගේ මරණ ගැන කැඳවූ නඩුවේ නඩු අංක 255/87 දැන් අස්ථානගතව ඇත. ලෙස්ලිගේ මරණ සහතිකය 29 වසරකට පසු ගිය වසරේ නිකුත් කොට ඇත. නමුත් ප්‍රශ්නය ලෙස්ලිගේ මරණයෙන් පසු ඔහුගේ මවගේ සුවදුක් බලන්නට ආ දේශපාලඥයන් කවුරුන්ද? යන පැනයයි. ලෙස්ලිගේ නිසල දේහය 30 වසරක් ඉකුත්වීත් නිසොල්මනේ කොහිලවත්ත සුසානයේ කියා පාන්නේ මේ කුරිරු ලෝකයේ ලෝධර්මතා මෙයයි කියන්නාක් මෙනි!

සටහන- ඩී.ජී. ලියනගේ