මවුපියන් පෝෂණය කිරීම දෙවියන්ගේ ආශිර්වාද ලැබීමට හේතුවක්


 

රටක වැඩිහිටියන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ අයයි. ශ්‍රී ලංකාව ගත් කළ 2000 වර්ෂය වන විට අවුරුදු 60 ඉක්මවූවන් සෑම දහ දෙනෙකුටම එක් අයෙකු විය. දැනට අනුමාන කරන ආකාරයට 2025 වර්ෂය වන විට සෑම පස් දෙනකුටම වයස අවුරුදු 60 ඉක්මවූවන් එක් අයකු ද 2050 වන විට එය ලංකාවේ ජනගහණයෙන් සියයට 27.6ක් වෙන බව ද ගණන් බලා ඇත.
රට යන ක්‍රමවේදය අනුව අතීතයේ මෙන් නොව අද පවුලේ බාල පරම්පරාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. එදා පවුලක දරුවන් 10ක් 15ක් පමණ සිටියත් අද පවුලක දරුවන් 2 ට 3කට සීමා වේ. තත්ත්වය මෙසේම ගියොත් අනාගතයේ දරුවන් එක් අයකුට හෝ දරුවන් නැති පවුලක් වීමට ද ඉඩ ඇත. ඒ තත්ත්වය උඩ වැඩිහිටි ජනගහණය ඉක්මවීම අතිශය සාමාන්‍ය වන කාරණයක් බවට පත්වේ.


දැනට ලංකාවේ පවතින ජීවන ප්‍රශ්න, මෙන්ම ගෙදර දොර ප්‍රශ්න ද සමග වැඩිහිටියන් පවුල් සංස්ථාවට බරක් වශයෙන් සලකන තැනට වැටෙමින් පවතින බවක් පෙනේ. බොහෝ පවුල්වල දරුවන් තමන්ගේ වැඩිහිටි මවුපියන් කැමැත්තෙන් රැක බලා ගත්ත ද, තවත් කොටසක් එය කරන්නේ අකමැත්තෙනි. තවත් පිරිසක් එය නොකරනම නිසා එම වැඩිහිටියන්ට මහ මඟ උරුම වෙන තත්ත්වයක් උද්ගත වී ඇත. රජය වැඩිහිටි නිවාස, සාත්තු නිවාස කෙතෙක් ඉදිකළත් එය ඵලදායී ලෙස සිදු වෙන බවක් පෙනෙන්නට නැත.


ලංකාවේ ළමයකුගේ උපතේ සිට ළදරු සමය තුළ බොහෝ වරප්‍රසාද ලබා දේ. ඉගෙනුම ලබන සමයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියල්ල නොමිලයේ ලබා දේ. නමුත් වැඩිහිටියන්ට “පිං පඩිය” ලබාදීමෙන් පමණක් මෙය කළ හැකිද? දරුවන් විසින් මවුපියන්ට සැලකීම යුතුකමකි. දරුවන් එය නොකරන කළ රටේ වැඩිහිටි පුරවැසියකු පාරට වැටීමේදී රජය වගකීමෙන් තොරද? රජයට එතැනදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නොහැක. ළමා හා කාන්තා කාර්යාංශ වේ නම්, දැනට රට යන ක්‍රමවේද තුළ වැඩිහිටි පුරුවැසියන් වෙනුවෙන් ද රජයේ යම් යම් ආයතන බිහි විය යුතුය.


බටහිර රටවල වැඩිහිටියන්ට තමන්ගේ අසනීපයක් නිවසේ සිටම දුරකතනයෙන් දැනුම් දීම කළ හැකිය. එවිට ප්‍රතිකාර ඒකක පැමිණේ. වැඩිහිටියන්ට තමන්ගේ යැපීමට ජීවන ක්‍රමයක් ද, රක්ෂණාවරණ ද ලබාදී ඇත. ඇති හැකි කාලයේ රැකීරක්ෂා කර රජයට හාල්, සීනි ටිකෙන් පවා බදු ගෙවන අයට වැඩිහිටි සමයේ රැකවරණය දීම දැන් අවධානය යොමු කළ යුතු රාජ්‍ය වගකීමක් බවට පත්වෙමින් තිබේ. එයට ප්‍රමුඛ හේතුව වී ඇත්තේ වැඩිහිටි ජීවිත මේ වෙන විට අවදානම් තැනට පාත්‍රව තිබීමය.


ජපානයේ වැඩිහිටි හා සාත්තු නිවාස ඉදිකිරීම කළත් එහි යාන්ත්‍රණය ඉතා ඵලදායී වේ. ලංකාවේ බොහෝ වැඩිහිටි නිවාසවල යාන්ත්‍රණය වැඩිහිටියන්ට ඵලදායී බවක් පෙනෙන්නට නැත.


වැඩිහිටි මවුපියන් බලු කූඩුවලට දමන, අඳුරු කාමරවල සිර කරන, පහර දෙන අවස්ථා මාධ්‍යයට විවෘත වෙන්නේ අහම්බෙන් එකක් හෝ දෙකක් පමණි. නමුත් මීට වඩා සිය දහස් ගුණයකින් එය රටේ සතර දිග්භාගයේම ව්‍යාප්ත වී ඇති බවට රහසක් නැත.
වැඩිහිටි මවුපියන් අඳුරු කාමරයක සිරකර තබා සිටිද්දී හසු වීමෙන් ඍජු ලෙස ඇඟිල්ල දිගුවෙන්නේ දරුවන් වෙතය. නමුත් එවැනි ප්‍රශ්නයකදී දෙපැත්තක් බැලීම පිළිබඳ කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැත.


ඇතැම් මවුපියන් වයෝවෘද්ධ වෙන විට මානසික ආබාධවලින් පෙළේ. එවිට ඒ රෝගියාට ඔහු කරන්නේ කුමක්ද? කළ යුත්තේ කුමක් දැයි දරුවන්ට ද නොවැටහේ. එවැනි අය රැක ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. දරුවන් ජීවන අරගලයක යෙදී සිටින අතරේ පාසල් යන අයට උගන්වන අතරේ, තමන්ගේ රැකී රක්ෂා කරන අතරේ වැඩිහිටි මවුපියන් බලාගන්නට සිදුවේ. මෙවැනි වැඩ කටයුතු රාශියක් මැද මානසික ආබාධයෙන් පෙළෙන වැඩිහිටියන් නිවසට ඈතින් තැනක සිර කරවීම අප හඳුනා ගත් දෙයකි. මීට හේතු වී ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයන් කරණකොට ඒ ඒ අය ගන්නා ක්‍රියාමාර්ගයන්ය.


පසුගිය දිනක එක්තරා පවුලක් සිය දරුවා ද සමග ස්වාමින් වහන්සේ මුණගැසීමට පැමිණියහ. ඔවුන් සමග පැමිණි පුංචි දරුවා මානසික රෝගයකින් පෙළෙන බව මවුපියෝ පැවසූහ. එයට හේතුව හැටියට සඳහන් වූයේ නිවස තුළ වැඩිහිටි වයෝවෘධ පිරිස අබ්බගාත මට්ටමින් හතර දෙනෙක්ම සිටින බවය. මේ අය මළගෙදරක මෙන් හැම විටම විළාප තබන බව ද, ඒවා නිතර ඇසීමෙන් දරුවා ලෙඩ වී ඇති බව ද ප්‍රකාශ විණ.


දැන් මේ ප්‍රශ්නය ගෙදර අයට විසඳිය හැකිද? මේ වැඩිහිටියන් බලු කූඩුවට හෝ ගෙදරට ඈත හිර කර තැබීම කිසිසේත් විසඳුමක් ද නොවේ. මේ අයට රජය මැදිහත් වී යම් යම් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවිය යුතුය. වැඩිහිටි මවුපියන් කෙළින්ම ‘අංගොඩ මානසික රෝහල’ වෙත යවනවාට වඩා වැඩිහිටි රෝගීන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් එකම බිමක ප්‍රතිකාර මධ්‍යස්ථාන, සාත්තු නිවාස ඉදිවිය යුතුය. ඒවාට වෙනම වෛද්‍යවරු, සොයා බලන නිලධාරීන් පත්කර මේ වැඩිහිටියන් රටට ඵලදායී ලෙස මෙහෙයවා ගැනීමට සුදුසු ක්‍රමවේද බිහි විය යුතුය. එය රජයේ බලවත් වගකීමකි.


දැනට ලංකාවේ වැඩිහිටි නිවාස තුන්දහසක් රාජ්‍ය හා රාජ්‍ය නොවන මට්ටමින් පවත්වාගෙන යන බවත්, ඒවායේ තිස් දාහක පමණ පිරිසක් සිටින බවත් කියැවේ. මේවායේ සිටින අය ස්ව කැමැත්තෙන් සිටින්නේ නොවේ. තම පවුලේ අය සමග එකට ජීවත්වීමට නොහැකිව පැමිණි අයය. මේ පිළිබඳව ස්වාමින් වහන්සේ කරන ලද පර්යේෂණයක් තුළින් පෙන්නුම් කළේ සමහරු ගෙවල් ඇතුළේ දේපළ ප්‍රශ්න නිසා වැඩිහිටි නිවාස ගත වූවන් බවය. තවත් අය දරුවන්ගේ ප්‍රශ්න හේතුවෙන් පැමිණි බවය. සමහරු අවිවාහකයෝය. තවත් පිරිස තමන්ගේ ගේ ඇතුළේ ස්වාධීනව ජීවත් විය නොහැකිව හෙවත් කිසිවකුට යටත් නොවී සිටින්නට බැරිව පැමිණි අයය. තවත් අය රෝගීන්ය. එහි සිටින සමහර වැඩිහිටියෝ තමන්ගේ දරුවන් අද ඒවි යැයි සිතමින් මඟ බලා සිටිනු පෙනේ. නමුත් කවදාවත් ඔවුන් බැලීමට එන දරුවෙක් නැත.


මේ ප්‍රශ්නවලට විසඳුම කවරක්ද? ලංකාවේ මාපිය දූ දරු සම්බන්ධය බටහිර රටවලට වඩා හාත්පසින්ම වෙනස්ය.


බටහිර රටවල දරුවන්ට වයස අවුරුදු 15 වන විට ඔවුන් මවුපියන්ගෙන් ඈතට යයි. ඒ අය මල් පොකුරක් රැගෙන මවුපියන් දකින්නට එන්නේ මවුපියන්ගේ දිනයේදී පමණි. මේ තත්ත්වය දන්නා වැඩිහිටියෝ ද තමන්ට වයෝවෘධ සමයට මුහුණ දීමට ක්‍රමවේද සකස් කරගෙන සිටිති. රජයෙන් ඔවුන්ට විශේෂ ආරක්ෂණ ක්‍රමවේද, ප්‍රතිකාර ක්‍රමවේද, ගෙවීම් ආදිය හිමි වන නිසා දරුවන් නැතත් සතුටින් සැදෑ සමය ගත කිරීමට මඟ උදාවී ඇත.


ලංකාව තුළදී සියලු මවුපියන් දරුවන්ගෙන් පරිභාහිරව සිතන ජීවිත අභ්‍යාසයකට යොමු කිරීම ද වැදගත්වේ. දරුවන් තමාට සලකාවි යන්න කෙනෙක් විශ්වාස කළත් එය ඉටු නොවන අවස්ථා පිළිබඳ විශාල හිඩැසක් පවතී.


මේ නිසා බටහිර රටවල මෙන් ලංකාවේ වැඩිහිටියන් ස්වයං පාලනයකට වැඩි වැඩියෙන් ලක් විය යුතුය. මෙහිදී වඩාත් ආගම දහමට යොමුවීමට වැඩිහිටියන්ට හැකිය. එය තමන් තරුණ ළමා කාලයේ පටන් ගොඩනගා ගත යුතු පුහුණුවකි. බොහෝ තරුණ දරුවන් කියන්නේ “අම්මලාට දෙන දෙයක් කාලා, ඉන්න බැරි බවය”. නමුත් වැඩිහිටි මවුපියන් ඊට දෙන පිළිතුර “තමන්ට උන්ට යටත් වී ඉන්නට බැරි බවය”. 


මේ පීලි දෙකක ප්‍රශ්නයකි. යටත් නොවී සිටීම පෘථග්ජන ස්වභාවයට අයිති වුණත් වයෝවෘධ වෙන විට ඊට එකඟ වෙන්නට වෙන බව වැඩිහිටියන් කාලයේ කල්පනා කළ යුතුය. තමන්ගේ දේවල් දරුවන් විනාශ කරනවා දකින්නට බැරිව වැඩිහිටියෝ රණ්ඩු කරති. නමුත් ඒවා ඉවසිය නොහැකි තැන තමන් ඔවුන්ගෙන් වෙන්වීමේ ඉඩ හදා ගත යුතුය.


වැඩිහිටි ශ්‍රමය ඵලදායී ලෙස යොදවා ගැනීමට ගම් මට්ටමින් ක්‍රියාකාරී වැඩිහිටි සමිති බිහි විය යුතුය. ඒ හරහා ගමේ වැඩිහිටියන්ට පවතින ප්‍රශ්න සොයා බලා ඒවාට විසඳුම් දීමටත්, වැඩිහිටියන් මානසිකව උසස් තලයකට ගෙන යාමටත් ක්‍රමවේද ඇති විය යුතුය. සංයුත්ත නිකායේ දේවුසත්තවතපද සූත්‍රයේ බුදුරජාණන්  වහන්සේ සත්පුරුෂයන්ගේ ලක්ෂණ හතක් දේශනා කර ඇත. මවුපියන් පෝෂණය කිරීම දෙවියන්ගේ ආශිර්වාදයට පත්වීමට හේතුවක් බව එහි සඳහන් වේ. එසේම මහා මංගල, සිඟාලෝවාද ආදී සූත්‍ර ගණනාවක මාපිය උපස්ථානයහි වටිනාකම හුවා දක්වයි.


නමුත් මේ බෞද්ධ රටේ ඒවා ඒ ආකාරයටම ඉෂ්ඨ වීම පිළිබඳ බොහෝ ගැටලු දැන් උද්ගත වී ඇත.


ඒ නිසා ආගමික දෘෂ්ටිය එක පැත්තකින් තබා රට යන දෘෂ්ඨිය තව අතකින් බැලිය යුතුය. 


මෙය දරුවන්ට, වැඩිහිටි මවුපියන්ට පමණක් අයිති ප්‍රශ්නයක් නොවේ. ජාතික ප්‍රශ්නයකි.


මානසික ආබාධ සහිත පියකු සිටින නිවසක ඔහුගේ දරුවන්ට පවතින ජීවන අරගලය සමග තවත් ප්‍රශ්න තියෙන්නට පුළුවන. රැකියා ස්ථානවල ප්‍රශ්න සේම දූ දරුවන්ට විභාග ආදිය තියෙද්දී නිවෙසේ පවතින වාතාවරණය තුළ ගැටළු පවතින්නට පුළුවන. මේ සියල්ල තුළ තමන්ගේ මවුපියන් රු. 25,000ක් පමණ ගෙවා යම් තැනක හෝ කැපකරුවකු නවත්වා පෝෂණය කිරීමේ ගැටළු ද ඇත. එය කළ හැක්කේ රටේ ආර්ථික හැකියාවක් පවතින අයට පමණි. ඒ නිසා දැන්වත් රාජ්‍ය මට්ටමින් රටේ වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් වන අභියෝගයට ක්‍රමිකව සූදානම් වීම අත්‍යවශ්‍ය වේ. මීට අවුරුදු 20කට එහා පුවත්පත්වල මතු නොවුණු කතා දැන් දිනපතා අසන්නට ලැබේ. අනාගතය මීට වඩා අවදානම් වීමට පෙර වගකිවයුත්තන් සූදානම් විය යුතුය.