ඇඳුම, කතා කරන භාෂාව, අදහන ආගම අනුව සිංහල, මුස්ලිම්, දෙමළ ලෙසත් බෞද්ධ, ඉස්ලාම්, හින්දු ලෙසත් මිනිසා වර්ගීකරණය කර ඇත. එහෙත් ඉහත කී සියලු දේ දෙස නොබලා රතු රුධිරය ඇති සංවේදනා සහිත මිනිසුන් ලෙස බැලුවොත් ඔවුන් වර්ග කළ හැක්කේ ස්ත්‍රී පුරුෂ වශයෙන් පමණි.
මේ සියලු දෙනාම ටික කලක් ආයු වළඳා ජීවිත හැර යති. කිසිවෙකුත් සදාකාලික නොමැත්තේය. එහෙත් ඒ ජීවත්වන ටික කාලය තුළ ආගම්වාදය, ජාතිවාදය පතුරවමින් ම්ලේච්ඡයින් ලෙස හැසිරෙන්නේ කුමක් සඳහාදැයි ඔවුන්වත් නොදනිති. එසේ ඔවුන් වපුරන වෛරයේ ගිනි දලුවලින් පිච්චෙන්නේ අනාගතය භාර ගැනීමට සිටිනා නොදරුවන්ය. එය වෛරයෙන් වෛරය නැසීමේ ප්‍රතිවිපාකයක් වන්නේය. පසුගිය දිනක මහනුවර තෙල්දෙණියේ ඇතිවූ ගැටුම ජාතිවාදී ස්වරූපයක ගත්තේ ඒ නිසාවෙනි.
එහිදී ජීවිත හානි දේපොළ හානි සිදුවූවේය. ලංකාවේ නමට යළිත් කළු පැල්ලමක් එකතු වූ අතර එය ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් කතාවන අලුත් මාතෘකාවක් වූවේය.
මෙහිදී එක්තරා අන්තගාමීන් පිරිසක් නිසා රටට අපකීර්තියක් එකතු වුවද බෞද්ධ සංස්කෘතික සාරධර්ම අගයන ජනතාවක්ද සීලාදී ගුණයෙන් යුත් භික්ෂූන් වහන්සේලාද සිටින බව අමතක කළ නොහැකිය. ජාතික සංහිඳියාව උදෙසා පෙනී සිටින එවැනි භික්ෂු රත්නයන් නිසා සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වයම රැකෙන්නේය. ඊට හොඳම උදාහරණය තෙල්දෙණිය සිදුවීමේදී උපේක්ෂාවෙන් කටයුතු කළ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුකුඹුරේ ධම්මරතන හිමියෝය. එම සිද්ධි දාමයන් මුස්ලිම් ප්‍රජාව හා පල්ලි ආරක්ෂා කර ගනිමින් සිංහල දරුවන් වරදින් ගලවා ගත් ආකාරයත් පිළිබඳ ඒ හිමියෝ අදහස් දැක්වූයේ මෙසේය.
හාමුදුරුවනේ ඇත්තටම එදා මොකක්ද සිද්ධ වුණේ?
මහනුවර දිගන, තෙල්දෙණියේ ව්‍යසනයක් ඇති වුණා. එය පහුවදා වෙනකොට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක් දක්වා ව්‍යාප්ත වුණා. එහිදී මහනුවර අවට ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් ප්‍රජාවට හිරිහැර කරදර කරන්නට ඇතැම් පිරිස් උත්සහ දැරුවා.
අපේ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ බහුතර මුස්ලිම් ප්‍රජාවක් ජීවත්වන ප්‍රෙද්ශයක. විශේෂයෙන්ම දෙහිගම, දෙහියංග උතුර, මුරුතලාව, යහලතැන්න යන ප්‍රදේශ ඊට අයත්. ඒ මුස්ලිම් ප්‍රජාව ජීවත්වන ප්‍රදේශය අවට ඔවුන්ට වඩා වැඩි සිංහල ප්‍රජාවකුත් ජීවත් වෙනවා.
රැල්ලක් වගේ ව්‍යසනය පැතිර ආවා. මේ අවට ඉන්නේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු. ඒ අය සිංහල ජනතාවත් සමඟ සුහදව කටයුතු කරනවා. ප්‍රදේශයේ වගකිව යුතු බෞද්ධ සිද්ධස්ථානයක් හැටියට නෙල්ලිගල බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ අයව ආරක්ෂා කරගත යුතුයි කියන මතයේ සිටියා. ඒ අනුව අඟහරුවාදා රාත්‍රී 9.00 සිට උදෑසන දක්වා භික්ෂූන් වහන්සේලාත්, බෞද්ධ තරුණ ප්‍රජාවත් මේ මුස්ලිම් ජාතිකයන් ආරක්ෂා කරන්න විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන, නිවාස, ව්‍යාපාර සහ ජීවිත අපි රැකගත්තා. එය අතිශයින්ම සාර්ථක වුණා.
සිංහල දරුවන් වරදින් මුදවා ගැනීමත් එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් නේද?
ඔව්. අපි මුස්ලිම් ප්‍රජාව රැකගත් නිසා සමාජ මාධ්‍ය ඔස්සේ අපිට චෝදනා ආවා. දුරකථනෙයන් තර්ජන ආවා. ඒත් අපි සැලුනේ නෑ.
අපි ඒ ආකාරයට කටයුතු කළා සේම මෙම ව්‍යසනයට සම්බන්ධ වෙලා වැරදිකරුවන් වෙන්න තිබුණ බෞද්ධ දරුවෝ ආරක්ෂා කර ගැනීමකුත් කළා.
මම එහෙම කියන්නේ මේ කළහයට සම්බන්ධ වෙන්න ආව දරුවෝ අවුරුදු, 15, 16, 17 වගේ අය. ඒ අය හදිසි නීතිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. නීතිය කැඩුවම ලැබෙන දඬුවම දන්නේ නෑ. ඒ වගේම ආවේගශීලීව හැසිරිලා වැරදිකරුවෝ වුවොත් මාස තුනකටද අවුරුදු 20 කටද හිෙර් යන්නේ කියන හැඟීමක් ඔවුන්ට නෑ.
එදා ඔවුන් වැරදිකරුවෝ වූවා නම් ඔවුන්ට රැකියාවක් කරන්න බෑ. පොලිස් සහතිකයක් ගන්න බෑ. විදේශ ගමනකට යන්න බෑ. ආරක්ෂක අංශවල රැකියාවකට යන්න ලැබෙන්නේ නෑ. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඳුරේ වැටෙනවා.
මේ දරුවෝ සන්නද්ධ වෙනවා කියලා ආරංචිය ලැබෙන තැන්වලට අපි ගියා. මේකේ තියෙන ආදීනව පහදලා දුන්නා. බදාදා දිනයේදීත් එම කටයුතුවල නිරත වුණා. අපි සතුටුවෙනවා. ඒ ආකාරයට අපේ දරුවෝ බේරගන්න පුළුවන් වෙච්ච එකට.
ඒ දරුවෝත් අපි කියන දේ ඇහුව නිසා නීතියේ වරදකරුවන් වූවේ නෑ. ඒ ආකාරයටයි අපි මුස්ලිම් ප්‍රජාව හා සිංහල දරුවෝ බේරගත්තේ.
මේ සිදුවීමට සම්බන්ධ වුණේ කවුරුන් කියලද ඔබ වහන්සේට හිතෙන්නේ.
අවට ඉන්න දරුවෝ නිතර දකින දරුවෝ හිටියේ අවම වශයෙන්. ගොඩක් අය පිටින් ආව අය.
මේ සිදුවීමෙන් පස්සේ ඔබවහන්සේ ක්‍රියා කළ ආකාරයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මුලින් අපට යම් යම් චෝදනා ආවත් පසුව ඔවුන් අප කළ සේවාව තේරුම් ගත්තා. පිට පළාත්වල සිට පැමිණි අය නීතියෙන් දඬුවම් ලබන විට අපේ ප්‍රදේශයේ දරුවෝ තේරුම් ගත්තා අනවශ්‍ය කරදරයකින් මිදුණ බව. එය තේරුම් ගත් අය අපට ස්තූති කළා.
මේ වගේ තත්ත්වයක් යළි ඇති නොවෙන්න දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
මහනුවරින් ඇතිවෙච්ච මේ ප්‍රශ්නය ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ස්වෙච්ඡා සංවිධාන එකතුවෙලා ව්‍යර්ථ කළා. මේකේ ඵලය තවම නෑ. හේතුව රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ හේතුව නැති කිරීමේ වගකීම අපි හැමෝටම තිබෙනවා.
මේ ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් අපේක්ෂා කිරීම විහිළුවක්. ස්වෙච්ඡා සංවිධානවලට සක්‍රිය දායකත්වයක් දෙන්න පුළුවන්. ඒ වගේම එහි විශාල වගකීමක් ආගමික නායකයන්ට පැවරෙනවා. විශේෂයෙන් මහා සංඝරත්නයට හා මව්ලවිතුමන්ලාට අපි සියලුදෙනාම එකට එකතුවිය යුතුයි. ඉන් ආගමික හා ජාතික ත්‍රස්තවාදය දුරු කළ හැකියි. ඒ වගේම ඒ සමාජගත කරන කරුණු ඒ ඒ පිරිස් දෙස ගෞරවයෙන් බැලිය හැකි වාතාවරණයක් ඇතිකරවනසුලු විය යුතුයි.
මේ කටයුත්තේදී මට කිව යුතු විශේෂ කාරණා කීපයක් තිබෙනවා. එක් ඇමැතිවරයෙක් පවසනවා සමස්ත සිංහල ජනතාව මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බව. ඒවා දේශපාලන වාසි තකා කරන ප්‍රකාශන. මම එය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. මොකද මේ ගැටලුවට සමස්ත සිංහලයාම සම්බන්ධ නෑ. මේක සුළුතර වූ සිංහල බෞද්ධ අන්තවාදය ඉස්මතු කරගත්ත දෙයක්. සමස්ත බෞද්ධයන් මෙම ක්‍රියාදාමය හෙළා දකිනවා.
ඊළඟ කාරණය තමයි මේ ගැටලුව නිරාකරණය කර ගැනීම. ඒ සඳහා යෝජනාවලි කීපයක් තිබෙනවා.
එකක් තමයි ආගම් දෙකේම ඉන්න අන්තගාමී ආගම්වාදීන් නැතිවීම. මුස්ලිම් ආගමේ ගත්තොත් ජමහත් සංවිධානය. ඒ සංවිධානය ඉතාම කැත විදියට බුදුදහම විවේචනය කරනවා. ඒකේ අබ්දුල් රාෆික්, අන්වර් වැනි අය මුස්ලිම් අන්තවාදය පතුරුවා හරිනවා. සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව එම අන්තවාදය පරාජය කිරීමට එකතු විය යුතුයි.
ඒ වගේම සිංහල ප්‍රජාව එක්වී සිංහල අන්තවාදී බලවේග පරාජය කළ යුතුයි. ඒ වගේම මේ ප්‍රශ්නය සියුම්ව අධ්‍යයනය කරද්දී රිසාද් බදුර්දීන් වගේ ඇමැතිවරු කටයුතු කරන ආකාරය හරි අපැහැදිලියි. ඔහු මේ ගැටුම ඇතිවෙද්දී මුස්ලිම් ජනතාවට ආයුධ අතට ගන්න වෙනවා වගේ ප්‍රකාශ නිකුත් කළා. එය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වගේ දෙයක්. එය නොවිය යුතුයි. එයා කොළඹ ඉඳන් ප්‍රකාශ කරපුවාම එහි පීඩනය දරන්න වුණේ සිංහල ගම්වලින් වටවෙලා ඉන්න අහිංසක මුස්ලිම් ජනතාවටයි. එය සමස්ත මුස්ලිම් ජාතියටම කළ අසාධාරණයක් ලෙසයි අපි දකින්නේ.
එ් වගේම මේ ප්‍රශ්නයේදී අවධානයට ගතයුතු තවත් ක්‍රියාදාමයක් පවතිනවා. පසුගිය වසර ගණනාවක කාලය අධ්‍යනය කරද්දී මුස්ලිම් ජනතාවගෙන් කොටසක් විශාල පරිවර්තනයකට ලක්වෙලා තිබෙනවා.
බුදුන්වහන්ෙස් ඉපදුණේ ඉන්දියාවේ. ඒ බුදුදහම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාප්ත වුණා. ඒ ඒ රටවලට අනුවයි බුදුදහමේ පිළිවෙත් සැකසුණේ. සංස්කෘතිය සැකසුණේ.
මේ රටේ අතීතයේ සිටම සිටියේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය බැතිමතුන්. ස්වෙච්ඡා සංවිධාන හා දේශපාලන සංවිධාන ඒ සම්ප්‍රදායික ඉස්ලාමීය බැතිමතුන් අරාබිය ඉස්ලාමීය බැතිමතුන් බවට පත් කළා. එය මේ රටට අලුත් දෙයක් වුණා. උදාහරණයකට ගත්තොත් සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක් ලස්සනට සාරිය ඇඳලා හිසවසාගෙන පාරේ යන කොට ඇතිවෙන්නේ ගෞරවයක්. ඒත් කළු පාට බුර්කාවකින් මුළු සිරුරම වසා යන කාන්තාවක් දැක්කම ලොකු සැකයක් ඇතිවෙනවා.
ඒ වගේම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම උසාවි, වෙනම බැංකු ඇති කළා.
එකට ජීවත් වූ සිංහල ප්‍රජාවෙන් වෙන් වූ වෙනස්ම කොටසක් බවට පත් කළා. මෙහිදී මුස්ලිම් ජනතාව අවධාරණය කරගත යුතුයි ඔවුන් ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් බව. ඔවුන් අරාබි ඉස්ලාමීය බැතිමතුන් ලෙස හැසිරීමෙන් පීඩාව ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ඉස්ලාමීය බැතිමතුන්ට.
පසුගියදා වුණ සිදුවීම මම අනුමත කරන්නේ නෑ. මම දෙපැත්තේම තිබෙන ආගමික ත්‍රස්තවාදය නැති කිරීමට භික්ෂුන් වහන්සේලාත්, මව්ලවිතුමන්ලාත් එක්විය යුතු බවට යෝජනා කරනවා. ඒ වගේම අපේ බෞද්ධ මධ්‍යස්ථානයේ ජාතික ආගමික සංහිඳියාව සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒකට සියලු පාර්ශ්වීය පූජකතුමන්ලාට ආරාධනා කරනවා. අපේ දුරකථන අංකය 0117373730
සටහන කුමාරි හේරත්