මහවැලි නදියේ වැලි ජාවාරම


 

-වැලි ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව අනිවාර්යෙන්ම තොරතුරු ලබා දෙනවානම් පොලිසිය ක්‍රියාත්මක වෙනවා.
 ඕනෑම වේලාවක ඉහළ නිලධාරීන්ට වැලි ජාවාරම් සම්බන්ධයෙන්  දැනුම් දෙන්න පුළුවන්. දූෂණ මර්දන මධ්‍යස්ථානයක් තියෙනවා.
ඒකට දැනුම් දෙන්නත් පුලුවන්. එහෙමත් ක්‍රියාත්මක වුණේ නැත්නම් පෞද්ගලිකවම මගේ දුරකථන අංකයට කථාකරලා දන්වන්න.

 

මගේ දුරකථන අංකය 0718 592020. ඒකට දැනුම් දෙන්න යැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගිය දා මහියංගන රිදිමාලියද්ද ගමේ දී මාධ්‍යයට කියා සිටියේය.


ඒ තරමට අද වැලි ජාවාරම අපේ රටේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන තිබෙනවා. මහියංගණය ඇතුලු ප්‍රදේශවල ගංගාවන්වල ඇතැම් පිරිස් නීති විරෝධීව සිදු කෙරෙන වැලි ජාවාරම නතර කිරීමට විෂය සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට ද බැරි තරමට ජාවාරම් බවට පත්ව ඇත. ඉවක් බවක්  නොමැතිව පරිසර නීතිරීති උල්ලංඝණය කරමින් රටේ අනාගත පරපුරේ ජීවනාලිය බඳු පරිසරය මෙලෙස අමු අමුවේ විනාශ කර දමමින් සාක්කුවට මුදල් පුරවා ගන්නේ හෙට දවසේ තම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය ද උදුරා ගනිමිනි.


ඒ ආණ්ඩුව ආවත් මේ ආණ්ඩුව ආවත් පාක්ෂිකයන් දේශපාලකයාගෙන් ඉල්ලන්නේ රැකියා නොව වැලි බලපත්‍රයකි. ඒ ලෙහෙසියෙන්ම සල්ලි හම්බකරන්න පහසුම ක්‍රමය එය වන බවට ඔවුන් සිතන නිසාවෙනි. පරිසරය විනාශ වුණත් ඔවුනට කමක් නැත. සාක්කුවට මුදල් වැටෙනවානම් ඔවුනට සතුටුය. තිබුණු ආණ්ඩුව සමයේ ගංගා ආශ්‍රිතව තම පාක්ෂිකයන් හට විශාල ප්‍රමාණයක් බලපත්‍ර ලබා දුන්නේය.  විපක්ෂයේ අය බලා  සිටින්නේ තමන්ගේ ආණ්ඩුවක් පැමිණෙන තුරුයි. ඒ ආපු ගමන් ඇමතිට, මන්ත්‍රීට කියලා වැලි තොටක් කොහොමහරි ගන්න පුළුවන් වෙයි කියලා හිතන බොහෝ පිරිස් කණ්ඩායම් වර්තමානයේ සිටිති. ඒ අනුව ද බොහෝ පිරිසක් ක්‍රියා කරති. ආණ්ඩුව මාරු වූ ගමන් වැලි  කැණීම් බලපත්‍ර ඉල්ලා විශාල ලෙස කාර්යාලවලට ඉල්ලුම් පත් ලැබෙයි. මේ වනවිට අපේ රටේ තත්ත්වය එයයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පොලිස් නිලධාරීන්ට ද, මැති ඇමතිවරුන්ට ද අද වැලි තොටවල් තිබේ_. සමහරුන්ට එකක් නොව බුරුතු පිටින් ඇත. මේ මහවැලි ගංගාව ආශ්‍රිතව ජීවත්වන ගැමියන් කියන කතාවකි.
මහියංගණයේ වැලි කිව්වොත් අද මේ රටේ කව්රුත් දනිති. මහියංගණයේ වැලිවලට විශේෂ තැනක් හිමිව තිබේ. සමනල කඳු මුදුනින් ගලා බසින ලංකාවේ දිගම ගංගාව මහවැලි ගඟයි. ඒ ගංගාවේ රංටැඹේ ජලාශයට පහළින් සිට විල්ගමුව දක්වා වූ  මහියංගණය, විරාණගම, ගිරාදුරුකෝට්ටේ, මිණිපේ, හසලක, හීංගම, කොලොන්ගොඩ, විල්ගමුව යන ප්‍රදේශවලින් ගලායන ස්ථානවල වැලි ව්‍යාපාරයත් සමග පරිසරය විනාශ කරන ජාවාරමත් ජයටම සිදුවෙති.


කූඹි ගුලක කුහුඹුවන් වෂාවකට පෙර ආහාර සොයන්නාක් සේ මහවැලි ගඟේ ෆයිබර් බෝට්ටු යොදා වැලි කණින අවස්ථා ද තිබේ. ට්‍රැක්ටර් ගඟට බස්සවා කඩි මුඩියේ වැලි පටවති. එදා සුන්දරව මහ මුහුදට ගලා බැසි සුන්දර මහවැලි නදිය අද දිස්වන්නේ කර්මාන්ත  පුරයක් බඳුය. වැලි කැණිය හැකි දිනයන්වල දී මහවැලි නදිය අද දිස්වන්නේ මිනිස් හිස් ගොඩකිනි. යන්ත්‍ර සුත්‍රවලිනි. ට්‍රැක්ටර්, ෆයිබර් බෝට්ටු රැසකිනි. බොහෝ තොටුපළවල ට්‍රැක්ටර් රජයේ ලියාපදිංචිය ද සිදුකර නොමැත. කර්මාන්ත ශාලාවක් මෙන් දිස් වූ මහවැලි ගංකෝමලිය වැලි ගොඩ දැමිය නොහැකි දිනයන්ට දිස් වන්නේ කාන්තාරයක් ලෙසටය. එදා සුන්දරව දිස් වූ මහවැලි ගං කොමළිය අද සුන්දර නැත. හැමතැනම වැලි කැණීමට හාරා ඇත. ආගාධ මෙන් විශාල වළවල්ය. එදා අඩි 20-30 ක් උසට තිබු වැලි කඳු ඟං පතුල අද කළු ගල් මතුව ඇත. පසුගිය වසර 10ක් වැනි කෙටි කාලයක් තුළ සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනසකි. පරිවර්තනයකි. 


පරිසරය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් කොන්දේසි රැසකට යටත් කර වැලි කැණීම සඳහා බලපත්‍ර ලබාදේ. ඉන් රජයට ආදායමක් ද ලැබේ. බලපත්‍ර ලබාදුන් ආයතන ද එම බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව වැලි කැණීම් සිදු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා රාජකාරි මට්ටමින්ම නිලධාරීහු බැඳී සිටිති. එසේ සිටිය දී අද වෙන විට වැලි කර්මාන්තය පරිසරය විනාශ කරමින් ජාවාරමක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. වැලි ව්‍යාපාරය හේතුවෙන් මේ වන විට ගම්මාන රැසක ජීවත් වෙන ගැමියන්ට පාරිසරික, සෞඛ්‍ය, සමාජීයිය ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුව ඇත.


සීමාව ඉක්මවා අධික වැලි කැණීම හේතුවෙන් මහවැලි ගඟ දෙපස බොහෝ ප්‍රදේශවල ළිංවල බීමට ජල පොදක් නොමැති තත්ත්වයක් උද්ගත වීමෙන් ගම්වාසීන් හා ගම්මාන රැසක් පීඩාවට පත්ව තිබෙන අතර දියපොදක් සොයා ගම් ගණනින් දෙපයින් ගමන් කරන්නට ගැමියන්ට සිදුව ඇත. වැලි ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල ටිපර් රථ හේතුවෙන් ගම්මාන රැසක මාර්ග පද්ධති මේ වන විට දැඩි ලෙස අබලන් වී ඇත. උදෑසන හා දහවලට පාසල් දරුවන් හට එම අතුරු මාර්ගවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. වර්ෂා සමයට එවැනි මාර්ග වැපිරිය හැකි කුඹුරු වැනිය. මඩවගුරු බවට පත් වෙති. වියළි කාලවලට අධික දූවිලිය. දූවිලි හේතුවෙන් මාර්ගවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. නිවාස දූවිල්ලෙන් වැසී යයි. ඒ හේතුවෙන් ගම්වාසීන්, පාසල් දරුවන් විශාල වශයෙන් පීඩා විඳිති.


මෙම වැලි කර්මාන්තයන් තුළින් වාසි ලබන්නේ සුළු ව්‍යාපාරිකයන් පිරිසකි. අනෙක් සියලු_ දෙනා පීඩා විඳිති. ඔබ කියාවී අපිට වැලි ව්‍යාපාරය නිසා ගමේ තරුණයන්ට රැකියා ලැබුණා කියා. ඔව්, එය සත්‍යයකි. නමුත් ඔවුන් නිසි වැටුපක් නොලබති. දවස පුරා ජලයේ බැස සිටීම හේතුවෙන් සීතල දරා ගැනීමට මත් වතුරට ඇබ්බැහි වෙති. විශේෂයෙන් කසිප්පුවලට ඇබ්බැහි වෙති. එමගින් පවුලේ සමගිය මෙන්ම ආර්ථිකය ද යළි කඩා වැටෙති.
 

එසේම මහවැලි ගඟට පෙරැළී යටවී මැරුණ විශාල කුඹුක් ගස් කුට්ටිකර නීතියට හොරා විකිධෑමේ ජාවාරමක් ද වැලි ජාවාරම්කරුවන් හා ව්‍යාපාරිකයන් අතින් සිදුවන්නකි. මෙයත් පරිසර විනාශයකි. මෙම විනාශයන් නිසා වේවැල් කූඩවලින් වැලි ගොඩ දැමීමේ ක්‍රමයක් අදාළ ආයතන හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන්නේද නීතිය හරියටම පිළිපදින සුළු වැලි ව්‍යාපාරිකයන් පිරිසක් පමණි. මේ වන විට බොහෝ ගම්මානවල ගම්වාසීන්හට නිදහසේ මහවැලි ගඟට ගොස් දිය පොදක පහස ලැබීමට අවස්ථාව අහිමි වී ඇත. දිය නෑම සඳහා තොටුපලක් නොමැත. නිදහසේ රෙදි ටික සෝදා දිය නෑමට අවස්ථාව නොමැත.

විශේෂයෙන් කාන්තාවන් විශාල වශයෙන් මෙම ගැටලුව හේතුවෙන් පීඩා විඳිති. ශීග්‍රයෙන් සිදුවන වැලි කැධෑම් හේතුවෙන් මහියංගණ ප්‍රදේශයේ දී මහවැලි ගඟ හරහා 1969 දී සාදා නිම කර විවෘත කරනු ලැබු වේරගංතොට මහවැලි පාලමේ කණුවල පාදම කොටස පෑදී පෙරළීමේ අවදානමක් ඇති බවට පසුගිය දා අනාවරණය කරනු ලැබිණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සිදුකළ මහියංගණ ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණාවීරට හසලක පොලිසිය තුළදීත්, වෙළෙදසැලකදීත් වැලි තොටුපල හිමිකරුවන් රැසක් මරණිය තර්ජනය සිදු කරනු ලැබුවේ ද පොලිස් ස්ථානය තුළ දී පොලිස් නිලධාරින් ඉදිරියේ වීම කනගාටුවට කරුණකි. වැලි සම්බන්ධයෙන් පොලිස් රාජකාරි සිදුවන්නේ කෙසේද? යන්න ඉන් රටටම මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. මහවැලි පාලම සෑදීම සඳහා සුදු මහත්වරු එවකට ස්ථාන 3ක් පරීක්ෂා කළ බවත් පිහිටි කළුගල හමුවනතුරු ඔවුන් එදා ගං පතුල හෑරු බවත්, වර්තමානයේ වේරගංතොට පාලම පිහිටි ස්ථානයේ අඩි 40කින් මව් පාෂාණය හමු වූ බවත්, ඒ මත පාලම තැනීම ආරම්භ කළ බවත් ඒ පිළිබඳ තතුදත් ගම්වාසියෙකු අප සමග පැවැසීය.

මේ වන විට එම පාලමේ පාදස්ථය/පාදම කොටස මව් පාෂාණය දක්වාම පෑදී ඇත. මෙම වැලි හෑරීම මේ අයුරින් කර ගෙන ගියහොත් ඉදිරි මහ වැසි සමයේ මහවැලි ගඟ දෙගොඩතලා යන අවස්ථාවන්හි දී පාලමට අනතුරක් සිදු වීමට ඉඩ ඇතැයි ද තම ජීවිත කාලයටම නොදුටු මහා කළුගල් විශාල ප්‍රමාණයක් මේවන විට මහවැලි ගඟේ පතුලින් මතුවීමට පටන්ගෙන ඇතැයි ද ගම්වාසීහු අප සමග පැවැසූහ. වැලි සංගම් දැන් බලධාරීන්ට නැතුවම බැරිය.

හරියට ගමේ මරණාධාර සමිතිය වැනිය. රාජ්‍ය ආයතන, පොලිස්ථානවලට ඔහුන්ගේ සේවය අත්‍යාවශ්‍යය. එම ස්ථානවල අඩු පාඩු සපුරාලීම සඳහා නිරන්තරයෙන් සහයට ගන්නේ වැලි සංගම්ය. ඒ හේතුවෙන් වැලි සංගම් හා තොටුපළ හිමියන් සිතන්නේ අපේ සේවය රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ වුූ එකක් බවයි. ඒ හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් මොන වැරැද්ද කළත් ඒ සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය ආයතන ක්‍රියා කරනුයේ ඉතා මන්දගාමී ලෙසය. වැලි ගොඩ දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා භු විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය වැනි ආයතන රැසක කටයුතු සිදු කෙරෙනා අතර විශේෂයෙන් වැලි කැධෑම සඳහා භුවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය මගින් වැලි කැධෑමේ දී අනුගමනය කළ යුතු කොන්දේසි 36ක් සහිතව කොන්දේසි පත්‍රයක් නිකුත් කෙරේ. එහි දී පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ විශේෂ කොන්දේසි රැසක් ද ඊට ඇතුළත් කර තිබෙන්නේ පරිසරය රටේ ජීවය ලෙස සලකාගෙනයි. බලපත්‍රයේ සඳහන් කොන්දේසි අංක 16 - පාරවල් කපා රථ වාහන ගඟට ඇතුල් කළ නොහැක.

බලපත්‍ර කොන්දේසි අංක 19 - ගං ඉවුර හානි නොකළ යුතුයි. බලපත්‍ර කොන්දේසි 20 - ගං පතුල හෑරීම නොකළ යුතුයි. බලපත්‍ර කොන්දේසි 24 - වැලි ගොඩදැමිය හැක්කේ සඳුදා, බදාදා හා සිකුරාදා දිනයන්හි පමණි. බලපත්‍ර කොන්දේසි 25 - ප්‍රකාරව මසකට ගොඩදැමිය හැක්කේ වැලි කියුබ් 210ක් වන අතර ඇතැම් ජාවාරම්කරුවන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එවැනි ප්‍රමාණයන් සියගුණයකින් ගොඩදමා තිබෙන බව ද දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු කියති. වත්මන් ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන මෙම යුගයේ පරිසර විනාශයන් පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන සමයක මහවැලි ගංගාවේ වැලි ව්‍යාපාරයත් සමග සිදුවන නීතිවිරෝධී පාරිසරික විනාශයන් පිළිබඳව සොයා බලා අප රටේ ජීවනාලිය බඳු වූ මහවැලි නදිය රැකදෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති. මහියංගණය ශ්‍රී පූර්වාරාමයේ විහාරාධිපති අම්බාලේ රතන හිමියෝ මෙසේ පැවසූහ. -මහවැලි ගංගාව කියන්නේ අපට තියන ජාතික සම්පතක්. ගංගාව ආරම්භයේ සිටම අවසානය තෙක්ම ගොවියාට බත සපයන ජල සම්පතක්. මේ වන විට මහියංගණය ප්‍රදේශයේ විශාල වශයෙන් වැලි ව්‍යාපාරයක් සමග ජාවාරමක් සිදු වෙනවා. නීති රීතිවලට පරිබාහිරව වැලි කැධෑම නිසා ගංගාව අඩි 40ක් පමණ යටට හෑරිලා. ගොවි බිම්වලට ජලය ගන්නත් බෑ. ගංගාවේ දෙපස ජල උල්පත් ඇළ දොළ දිනෙන් දින සිඳී යනවා.

අද මුදලට නීතිය යටවී තිබෙනවා. අදාළ නිලධාරීන්ට ලැබෙන සුළු වාසි නිසා නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. වන සතුන් නිතර ගැවසෙන තැන්වලත් ජාවාරම සිදුවෙනවා. ව්‍යාපාරිකයන් අතරත් තරගයක් හා ගැටුම්කාරී තත්ත්වයක් පවතින බව අපිට ඇතැම් පිරිස් කියනවා. බුදුන් වැඩිය මහියංගණය පිංබිමත් අනාගතයේ දී අපිට අහිමි වෙන්න පුළුවන්. ජනතාවට වැලි අවශ්‍ය නමුත්, අපි කියන්නේ පරිසරය විනාශ නොකර මේ ව්‍යාපාර කරගෙන යා යුතු බවයි. අද මේ විනාශය පිළිබඳව රටටම හෙළිදරව් කරන ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ටත් ප්‍රහාර එල්ල වෙද්දී නීතිය කරන බලධාරීන් නිහඬයි. මහියංගණය හසලක යා කරන වේරගංතොට පාලමත් අපිට අහිමිවෙන දවස ඈතක නොවන බවත් කවුරුත් දැනගත යුතුයි.” සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතා : මහියංගනය කියන්නේ කෘෂි ආර්ථිකයක් පවතින ප්‍රදේශයක්. මෙහි ජීවනාලිය මහවැලි ගංගාවයි. මහවැලි ගංගාව භාවිත කරමින් අසූව දශකයේ කුඩා පරිමාණයෙන් ආරම්භ කළ වැලි ව්‍යාපාරය පසුව මහා පරිමාණය දක්වා ව්‍යාප්ත වුණා.

මෑතක දී වැලි ගොඩ දැමීමට බලපත්‍ර ලබා දීමත් අයථා ලෙස සිදුවෙන්න පටන් ගත්තා. වැලි ගොඩ දැමීමට බල පත්‍ර ලබාදීම නිසි ප්‍රමිතියකින් තොරව සිදුවීම නිසා වැලි ගොඩ දමන්නන්ගේ සහ බලපත්‍ර දෙන ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මත මහවැලි ගඟ මේ වනවිට විනාශ වෙමින් පවතිනවා.” ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ : -අද පරිසරය ආරක්ෂා කිරීම ගැන මුළු ලෝකයම කතා කරනවා. ලෝකයම පරිසරය ගැන කතා කළත් අපි පරිසරය ගැන හිතන්නේ නෑ. මිනිස්සු පරිසරයට හානි කරාම පරිසරය මිනිසාට හානි ගෙන එනවා. අද සමාජයේ මිනිසුන් තරගකාරී ජීවන රටාවක් ගෙන යන නිසා ආශාවන්, තණ්හාවන් වැඩියි. පරිසරයට මොනවා වුණත් මිනිසා මුදල් හම්බකළ යුතුයි කියන යුගයක් තමයි අද තියෙන්නේ.” -මහියංගන ප්‍රෙදේශයෙන් ගලා යන මහවැලි ගංඟාවට සිදුකෙරෙන විනාශය නිසා බුදුන් වැඩිය මහියංගණ විහාරයත් අනාගතයේ අපිට අහිමි වෙන්න පුළුවන්. අතීතයේ අපි දැක්ක මහවැලි ගඟ අද අපිට දකින්න ලැබෙන්නේ නෑ. අද සම්පූර්ණයෙන්ම වැලි ගොඩ දැමීම නිසා විනාශයට පත්වෙලා.” -අද ගංගාව අඩි 40-50ක් ගැඹුරුයි. අවට ජල උල්පත් ඇළ දොළ සියල්ල සිඳී යනවා. ප්‍රදේශයම කාන්තාරයක් බවට පත්වෙනවා. වැලි සංවර්ධනයට අවශ්‍යයි. නමුත් පරිසරය විනාශ වෙන ආකාරයට ගගෙන් වැලි ගන්න එපා කියලයි අපි කියන්නේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා : -ඉංග්‍රීසි ජාතිකයන් මේ රට අල්ලාගෙන කරපු විනාශයට වඩා අද අපේ අය මේ රටේ ස්වභාවික සම්පත විනාශ කරනවා. මහවැලි ගංගාවේ අද ගලා යන්නේ වතුර නෙවෙයි. බදුල්ලේ මිනිසුන්ගේ මානුෂ්‍යයයි. මම මේක හැමදාම කියන කතාවක්. කලින් බලපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම් සතුව තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව අපිට තිබුණ බලතල ඉවත් වුණා. මේ ගංගාව දිනෙන් දින විනාශයට පත් වෙනවා. විනාශය ගැන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීත් නිතර කතා බහට ලක් වෙනවා. මෙහෙම ගියොත් අනාගතයේ දී මහවැලි ගංගාවක් නැතිවෙයි.

ගංගාවේ විනාශය රටට අණාවරණය කරන ජනමාධ්‍යව්දීන්ටත් අද වැලිජාවාරම්කරුවන් පහර දෙන තැනට ඇවිත්. මේක මහා ඛේදවාචකයක්.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සත්ජන ද සිල්වා මහතාගේන් විමසීමේ දී මෙසේ පැවසීය. -මහියංගණ ප්‍රෙදේශයෙන් ගලායන මහවැලි ගංගාවේ වැලි කැධෑම් නිසා පරිසර හානි සිදුවන බව මටත් වාර්තාවී තිබෙනවා. බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස කැධෑම් කිරීම සහ කිසිම බලපත්‍රයක් නොමැතිව කැධෑම් සිදු කරන ජාවාරම්කරුවන් නිසා මේ පරිසර විනාශයන් සිදුවෙන බව මට කියන්න පුළුවන්. අපි මේ පරිසර විනාශයන් පිළිබඳව නිතරම වැටලීම් සිදුකර ජාවාරම්කරුවන් හා ට්‍රැක්ටර් බෝට්ටු අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. බලපත්‍ර උල්ලංඝනය කළ අයගේ බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් කියන්න පුලුවන්. මම පුද්ගලිකවම මැදිහත් වී පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා වැටලීම් විශාල ලෙස සිදුකර තිබෙනවා. ඉදිරියටත් නිතර වැටලීම් කරන්න කටයුතු කරනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම පරිසර විනාශයන් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. අපි නිතරම මේ ගංගාව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම ජනමාධ්‍යවේදියෙකු විදිහට ඔබ මාධ්‍ය වාර්තාකරණය තුළින් මෙවැනි පාරිසරික විනාශයන් මැඩ පැවැත්වීමට ගන්නා උත්සාහයට මා ස්තූතිවන්ත වෙනවා” යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි


 

වැලි ජාවාරම්කරුවන්ගෙන් පහර කෑ මාධ්‍යවේදියා කියන කතාව

 

මහියංගණ මහවැලි ගංගාව ආශ්‍රිතව නිතර සිදුකෙරෙන බව කියන වැලි ජාවාරම පිළිබඳව තොරතුරු ජනමාධ්‍ය මගින් අනාවරණය කළ මහියංගණ ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණාධීර මහතා ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරවලට කිහිප වතාවක්ම ගොදුරුවීම කනගාටුවට කරුණක් බව කිව යුතුව තිබේ.


පරිසර විනාශයන් රටටම හෙළි කිරීමත් සමඟම කෝපයට පත්වන ඇතැම් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරවලට නිතර රංජිත් කරුණාධීර මහතා ලක්වෙයි.


පසුගිය 27 දින තම නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකරන පෙදරේරුවන්ට දිවා ආහාරය ගෙන ඒමට ගිය මොහොතේදී මහියංගණ වේරගංතොට වෙළෙඳසලකදී වැලි ව්‍යාපාරිකයකු අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් රංජිත් කරුණාධීර මහතාට දින දෙකක් මහියංගණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය. මාධ්‍යවේදියාගේ පැමිණිල්ලට අනුව හසලක පොලිසිය පහරදීමට සම්බන්ධ බව කියන වැලි ව්‍යාපාරිකයකු වන තිලක් විදානගමගේ නමැත්තෙකු මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා නියෝග කළේය. 


මහවැලි ගඟේ කැණීම් සිදුකරන ව්‍යාපාරිකයන් පිරිසක් මීට මාස තුනකට පෙරත් හසලක පොලිසියේ නිලධාරීන් ඉදිරිපිට මෙම මාධ්‍යවේදියාට අමානුෂික ලෙස බැණවැදී පහරදීමකට සැරැසී තිබුණත් එහිදී පොලිසිය ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගත් බවත් රංජිත් කරුණාධීර මහතා පවසයි.


තමන්ට ලැබෙන මුදල, බලය හා නම්බුව අහිමිවීමෙන් ප්‍රකෝපකාරීවන ඇතැම් පුද්ගලයින් දිගින් දිගටම මාධ්‍යවේදීන් බියවැද්දීම්, පහරදීම් දක්වා භීෂණයක් පතුරුවා හරිමින් සිටිති.


මහියංගණය විද්‍යුත් හා මුද්‍රිත ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණාධීර මහතා මෙසේ පැවැසීය.


-මහවැලි ගංගාවේ ඇත්තටම පරිසර විනාශයක් සිදුවෙනවා. වැලි කැණීම් කරන ව්‍යාපාරිකයන් විශාල පිරිසක් බලපත්‍ර ගෙන නීත්‍යානුකූලව ව්‍යාපාර කළත් ඒ අතර ඇතැම් ජාවාරම් කරන අය තමයි පරිසර විනාෂ කරන්නේ.


මම ප්‍රාදේශීය මාධ්‍යවේදියා. හැම කෙනාම මේ පරිසර විනාශයන් ගැන කියන්නේ මට. මමත් පරිසරයට ආදරය නිසා මාධ්‍ය මගින් ආවරණය කරනවා. ඒ නිසා ජාවාරම්කරුවන් ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙන කෝපයටයි මට ප්‍රහාර එල්ල කරන්නේ. වගකිව යුතු ඇතැම් රජයේ නිලධාරින් හරියට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. එහෙම නොකිරීමටත් හේතු තියෙනවා.


ප්‍රදේශයේ සිදුවෙන ප්‍රධාන දූෂණ හා විනාශයන් පිළිබඳ මම හැමදාම මාධ්‍ය මගින් දැනුවත් කරනවා. මොන තාඩන පීඩන ආවත් මගේ වගකීම යුතුකම මම ඉටු කරනවා” යැයි රංජිත් මහතා පැවැසීය.