මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඇප මුදල් අතින් ගෙවන්න වේද?


නීති විශාරද මතයක්

අංජුල මහික වීරරත්න

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේ දී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයන් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.  

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.  
මැතිවරණයට අදාළව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරීම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.  


එහෙත් මැතිවරණ කොමිසම අවසන් වරට මෙම නිලධාරීන් කැඳවා ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 වැනිදා බවත් ඉන් පසු මෙතෙක් ඔවුන් ඉහත කණ්ඩායම මුණ ගැසී නැති බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ දී හෙළි වී තිබේ.  


මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බරපතළ බාධාවක් යැයි නීති විශාරදයන්ගේ මතය වී තිබේ.  
මැතිවරණ කොමිසම මෙම නිසි ක්‍රමවේදයට කටයුතු කර නැතිනම් මැතිවරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලු පැන නැගෙනු ඇතැයි ද නීති විශාරදයන් රජයට දැනුම් දී ඇත.  
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වන විට නාම යෝජනා කැඳවා ඇති බැවින් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර තිබේ. එලෙස තැන්පත් කරන ඇප මුදල් මැතිවරණ ලේකම් කාර්යාලය මගින් මහාභාණ්ඩාගාරය වෙත යොමු කරනු ලබයි.  


එහෙත් මැතිවරණ කොමිසම නීත්‍යනුකුල ක්‍රමවේදයෙන් බැහැරව නාම යෝජනා කැඳවා ඇති බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයන් රජයට පවසා ඇත.