දැනට රටේ පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ ලබන සැප්තැම්බර් මාසය මැද දක්වා පමණක් බව අත්‍යවශ්‍ය භාණ්‍ඩ හා සේවා පිළිබඳ සොයා බැලීමට අගමැතිවරයා පත්කළ කමිටුවේ දී අනාවරණය වී තිබුණි. ලංකාවේ මාසික සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වන තැනට රට තල්ලු වුවහොත් ඉදිරි කාලයේ ඇතිවිය හැකි බවට කියැවෙන අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැත
අනාගතයේ අඳුරු පැතිකඩ නිරතුරුව හෙළි වෙමින් තිබේ. බරපතළ අර්බුදයකට ඉදිරි මාස කිහිපයේ දී මුහුණ දීමට සිදුවන බව රටේ ප්‍රධානීන්ගේ මුවින් නිතර පිටවන වචන කීපයකි. ඒ වචනවල ප්‍රායෝගිකත්වය මේ වන විටත් සාමාන්‍ය ජනතාව අත්විඳිමින් සිටිති. ඒ විඳින්නා වූ කටුකත්වය ඉදිරි කාලයේ දෙගුණ තෙගුණ වුවහොත් එයින් සිදුවනු ඇත්තේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීමය. දේශපාලන හා ආර්ථික අර්බුදය සමග ඇතිවෙමින් පවතින භයානක පරිසරය ඉදිරි කාලය තුළ රට තව තවත් අගාධයට ඇදගෙන යාම වැළැක්වීම බෙහෙවින්ම අසීරු කාරණයක් බවට පත්වනු ඇත.
දේශපාලන හා ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමක සිටිය දී මෙරට ශක්තිමත් වෙළෙඳපොළ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණි. එහෙත් ක්‍රමයෙන් ඔඩු දිවූ දේශපාලන ආර්ථික අර්බුදයේ බලපෑමෙන් එම වෙළෙඳ පොළ යාන්ත්‍රණය මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඒ ඔස්සේ විවිධ බලවේග ආණ්‍ඩුවට බලපෑම් කිරීමට පටන් ගත්තේය. මේ මොහොතේ රටේ පවතින බරපතළම අර්බුදය වී ඇත්තේ වෙළෙඳපොළේ ඇතිවී තිබෙන කඩා වැටීමය. පෙනෙන්නට තිබෙන ආකාරයට සහ බොහෝ දෙනා පෙන්නා දෙන ආකාරයට මේ කඩා වැටීම ඉදිරි කාලය තුළ තවත් උග්‍ර අතට හැරෙනු ඇත. මේ වන විටත් ජනතාවට අවශ්‍ය ආකාරයට නිදහසේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව අහිමි වෙමින් තිබේ. අවශ්‍ය අවස්ථාවට භාණ්‍ඩ මිල දී ගැනීමට නොහැක. මේ තත්ත්වය ඉදිරි කාලයේ දී උග්‍ර වීම යනු බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය වීමකි.
අද වන විට භාණ්ඩ බෙදා හැරීමට පවා නොහැකි වී තිබෙන්නේ වෙළෙඳපොළ කඩා වැටීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ වන විට නොපිර වූ ගෑස් සිලින්ඩර ලක්ෂ 36 ක් තිබේ. මෙවන් පසුබිමක දිනකට සපයන ගෑස් සිලින්ඩර ගණන 80,000 ට මදක් වැඩිය. එයද දිනපතා සිදු වන්නේ නැත. ගෑස් නැවක් හෝ දෙකක් පැමිණි පසු දින තුන හතරක් මේ ආකාරයට ගෑස් බෙදා හැරිය ද ඉන්පසු රටේ ගෑස් නැත. එම කාලයේ දී ගෑස් සිලින්ඩරය හිස්වන ජනතාවට තවත් ගෑස් නැවක් ළඟාවන තෙක් බලා සිටීමට ඒ අයට සිදුවනු ඇත. එසේ බලා සිටිය ද නිශ්චිත වශයෙන් තමන්ට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ලැබේ යැයි කිසිදු විශ්වාසයක් නැත. භාණ්ඩ බෙදා හැරීම සහ ඇණවුම් කිරීම වෙළෙඳපොළ ප්‍රශ්නයකි. වෙළෙඳ පොළේ භාණ්ඩ අවසන් වූ පසු භාණ්ඩ ඇණවුම් කිරීමෙන් සිදුවන්නේ හිඟයක් නිර්මාණය වීමය. එනිසා වෙළෙඳපොළ පවත්වාගෙන යාමට නම් කල් ඇතිව භාණ්ඩ ඇණවුම් කළ යුතුය. ඉන්ධන සම්බන්ධව ද ඇත්තේ මෙවන් තත්ත්වයකි.
එහෙත් පසුගිය කාලය පුරාවටම එවන් ක්‍රියාවලියක් සිදුවනු දක්නට ලැබුණේ නැත. ජනතාවට දැනෙන සහ ජනතාව දවන ප්‍රශ්න රාශියක් නිර්මාණය වී ඇත්තේ වෙළෙඳපොළ බිඳ වැටීමේ ඍජු ප්‍රතිඵලයක් වශයෙනි. දැන් කියැවෙන කතා අනුව ඉදිරි කාලයේ වෙළෙඳපොළේ හැසිරීම කෙසේ වේවි දැයි සිතා ගැනීමට ද නොහැකි පසුබිමක් තිබේ.
දැනට ලංකාවට අවශ්‍ය සහල් සහ වෙනත් අහාර අනිවාර්යයෙන්ම ආනයනය කරන්නට සිදුවනු ඇති බවට ඉඟි පළව අවසන්ය. මෙරට සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක අවශ්‍යතාවයක් තිබේ. පසුගිය මහ කන්නය මෙන් මෙවර යළ කන්නය අසාර්ථක වුවහොත් දැවැන්ත ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුවන බවට අනාවැකි පළව අවසන්ය. දැනට රටේ පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ ලබන සැප්තැම්බර් මාසය මැද දක්වා පමණක් බව අත්‍යවශ්‍ය භාණ්‍ඩ හා සේවා පිළිබඳ සොයා බැලීමට අගමැතිවරයා පත්කළ කමිටුවේ දී අනාවරණය වී තිබුණි. ලංකාවේ මාසික සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වන තැනට රට තල්ලු වුවහොත් ඉදිරි කාලයේ ඇතිවිය හැකි බවට කියැවෙන අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැත. සාගතයකට රට පත්වන තැන එතැනය.
මෙයින් පෙනෙන්නේ දැනට පවත්නා ඉන්ධන, ගෑස් පෝලිම්වලට අමතරව සහල් පෝලිම් ද ඉදිරි කාලයේ දී ඇතිවිය හැකි බවය. දැනටමත් ඇතැම් සුපිරි වෙළෙඳසැල්වලින් එක් පාරිභෝගිකයකුට නිකුත් කරන්නේ සහල් කිලෝ පහකි. පරිප්පු කිලෝ දෙකකි. සීනි කිලෝ දෙකකි. ආනයන සීමා වීමත් සමග මෙම සැපයීම් තවත් සීමා වීම අරුමයක් නොවේ. වරු ගණනක් පෝලිම්වල රැඳී සිටිමින් අත්‍යවශය භාණ්ඩ මිල දී ගැනීමට ජනතාවට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව මේ අනුව පැහැදිලි වන්නකි. පසුගිය 9 වැනිදා පුපුරා ගියේ සිස්ටම් චේන්ජ් කිරීම වෙනුවෙන් පැවැති අරගලයයි. එහෙත් ඉදිරි කාලයේ සහල් පෝලිම් ඇතුළු අත්‍යවශය භාණ්‍ඩ වෙනුවෙන් ජනතාවට පෝලිම් ගැසෙන්නට සිදුවුවහොත් පුපුරා යන්නේ එම ජනතාවගේ ජීවන අරගලයයි. ඔවුන් ඉල්ලා සිටින්නේ පාන්, ගෑස්‍්, කිරිපිටි මිල ගණන් අඩු කරන්න කියාය. ඉදිරි කාලයේ ඇති වන බවට අනතුරු ඇඟවෙන පසුබිම යටතේ මේ ජන කොටසේ අරගලය දියත් වුවහොත් බරපතළ ඉරණමකට රට තල්ලු වීම වැළැක්විය නොහැක.
ලබන අගෝස්තු මාසය වන විට ආහාර හිඟයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. දැනටත් වෙළෙඳ සැල්වල බොහෝ රාක්ක හිස්ය. සැමන් ටින් එකක් සොයා ගැනීමත් ප්‍රශ්නයකි. මහ බැංකු අධිපතිවරයා කියන ආකාරයට ඩොලර් සොයා ගැනීමට නොහැකි පසුබිමක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ හිඟවීම වැළැක්විය නොහැකි තැනට ගොස් තිබේ. කෑම බීමක් නොමැති ලෙඩට බෙහෙතුත් නොමැති පසුබිමක ස්වභාවය කුමක්දැයි වචනවලින් විස්තර කිරීම පහසු නැත. උද්ධමනය සම්බන්ධයෙන් කතා කිරීමට දෙයක් නැත. ලංකාවේ දත්ත කුමන අංක ගෙනහැර දැක්වුව ද ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කි දක්වන ආකාරයට මෙරට උද්ධමනය සියයට 132 කි. කිරිපිටි, ඉන්ධන, ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති වේගය අනුව මේ උද්ධමන අගය ව්‍යාජයක් නොවේ. අගමැතිවරයා දක්වන ආකාරයට මෙරට දත්ත අනුව උද්ධමනය සියයට 40 දක්වා ඉදිරි කාලයේ දී ඉහළ යන්නට පුළුවන. මීටත් වඩා වැඩි වේගයකින් යළි යළිත් භාණ්ඩ මිල ඉහළ ගියහොත් එය මෙරට ජනතාවට කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇත. එවන් වාතාවරණයක පෝලිම්වල රස්තියාදු වන ජනතාව වෙළෙඳසල්වලින් බලෙන් භාණ්ඩ ගන්නට යොමුවීම වැළැක්වීමට හැකිවේ ද?. ඉදිකිරීමක් හෝ වෙනත් කාරණයක් හෙටට කල් දැමිය හැකි වුව ද බඩගින්න හෙටට කල්දැමිය නොහැක. 77 ආණ්‍ඩු පෙරළුනේ ද බඩ ගින්න තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව අමතක නොකළ යුතුය.
දැනට ලංකාවට අවශ්‍ය සහල් සහ වෙනත් අහාර අනිවාර්යයෙන්ම ආනයනය කරන්නට සිදුවනු ඇති බවට ඉඟි පළව අවසන්ය. මෙරට සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක අවශ්‍යතාවක් තිබේ. පසුගිය මහ කන්නය මෙන් මෙවර යළ කන්නය අසාර්ථක වුවහොත් දැවැන්ත ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුෙවන බවට අනාවැකි පළව අවසන්ය.
කුස ගින්නේ පෙළෙන ජන කොටස මෙන්ම දරිද්‍රතාවට ශීඝ්‍රයෙන් තල්ලුවන පිරිස ද ඉදිරි කාලය තුළ වේගයෙන් වැඩිවන පෙර නිමිති පහළ වී අවසන්ය. මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි කාලයේ ලක්ෂ ගණනින් රැකියා අහිමි වීමේ අවදානමක් ගැනය. ඇඟලුම් කර්මාන්තවලින් සියයට තිහක් පමණ වෙනත් රටවලට ගෙන යාමට තීරණය වී ඇති බව ද ප්‍රකාශ වී තිබේ. ඒ වගේම මේ වන විට ලැබී ඇති ඇණවුම්වලින් යම් කොටසක් වෙනත් රටවලට ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද ඇතැම් පාර්ශ්වවලින් අසන්නට ලැබේ. එසේ වුවොත් එය මෙරට විදේශ විනිමය ලැබීම්වලට බරපතළ පහරක් වනු ඇත. වෙළෙඳ කලාප ආශ්‍රිතව සහ ඒවායේ සේවකයන් වරින් වර වැඩ වර්ජන උද්ඝෝෂණ ආදියට යොමුවුවහොත් එය රටේ ආර්ථිකයට මරු පහරකි. එක් දිනක් වෙළෙඳ කලාපයක් වසා තැබුවහොත් පාඩුව බිලියන 1.5 ක් පමණය. රට යොමුවන අර්බුදයේ දිග පළල කුමක් දැයි මේ කාරණා අනුව වටහා ගන්නට අමාරු නැත.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීම් නොකරන බව ලෝක බැංකුව 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරි කාලයේ අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය සහාය ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමද සිතන තරම් පහසු නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම ද ඒ ආකාරම වේ. ඒ වගේම ලංකාවේ තත්ත්වය හා සමාන අර්බුද මතුවන රටවල් 69 කට මුල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ. එයින් පෙනෙන්නේ ලංකාව තුළ මේ අර්බුදය විශේෂයෙන් මතුව තිබුණ ද තවත් රටවල් ගණනාවකට මේ අර්බුදය පැතිරෙමින් ඇති බවය. එහි ප්‍රධානම අර්බුදය වන්නේ ආහාර අර්බුදයයි. ලංකාව දැනටම මුහුණ දෙන ආහාර අර්බුදය විසඳීමට පාලකයන් ගෙන ඇති පියවර කුමක්ද? තිරිඟුපිටි අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගත්තේය. එය මෙරටට ප්‍රශ්නයක් නොවේද?. මේ ආකාරයටම ඉදිරි කාලයේ පාකිස්තානය, මියන්මාරය සහල් අපනයනය තහනම් කළොත් අපට මුහුණදීමට සිදුවනු ඇත්තේ උග්‍ර ආහාර හිඟයකටය.
කෑම බීම නැති, විදුලිය නැති, ඉහළ ගාස්තු නිසා ප්‍රවාහනය භාවිත කළ නොහැකි තැනකට ඉදිරි කාලයේ රට තල්ලු වේද යන ප්‍රශ්නය මේ වන විට සමාජය හමුවේ දිග හැරී අවසන්ය. මහ බැංකු අධිපතිවරයා ඇතුළු වගකිව යුතු පිරිස තිබෙන ප්‍රශ්න ජනතාවට කිය කියා සිටීමෙන් ප්‍රයෝජනයක් නැත. ඩොලර් නැති බව කීම ජනතා ගැටලුවට උත්තරය නොවේ. ඔවුන් එම තනතුරුවලට පත්කර ඇත්තේ ප්‍රශ්න ජනතාවට කීමට නොව ඒ ප්‍රශ්නවලට විසඳුම් දීමට. ව්‍යවස්ථා සංශෝධන යනාදියෙන් මේ මොහොතේ මේ ප්‍රශ්න විසඳිය නොහැකි බව දේශපාලන අධිකාරිය ද වටහා ගත යුතුය.
සටහන
චමින්ද මුණසිංහ