මෙච්චර දුප්පත් රටේ හමර් පදින අයත් ඉන්නවා


 

  • මෙම රථයක වටිනාකම කෝටි 10 කට ආසන්නය. 1992 වසරේ AM General විසින් M998 Humvee වාහනයේ සිවිල් අනුවාදයක් 'Hummer' යන වෙළෙඳ නාමය යටතේ මහජනතාවට අලෙවි කරන්නට පටන් ගෙන තිබිණි. ඒ අලෙවි කරන ලද පළමු Hummer H1 හා H2 වාහන සුපිරි හොලිවුඩ් නළු Schwrazenegger විසින් මිලදී ගෙන තිබේ.   
  • හමර් රථය රේගුව විසින් ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් මිලියන 40 කටය. එය රේගු ටෙන්ඩර් මණ්ඩලය විසින් වෙන්දේසියේදී රුපියල් මිලියන 27 කට අලෙවි කර ඇත. 

 

 

රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මේ කාලයේ රුපියල් කෝටි ගණනේ වාහන භාවිතා කරන පුද්ගලයින් සිටීම විශ්මය ජනකය. එවැනි ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අසන ලද ප්‍රශ්නයකට අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබාදුන් පිළිතුර නිසා මේ පුවත බොහෝ දෙනකු අතර ප්‍රචලිත විය.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වාහන ආයනයනය තහනම් කර තිබියදී 2022 පෙබරවාරි මාසයේදී නීති විරෝධී ලෙස ලැම්බොගිනි රථයක්, රෝල්ස්රොයිස් රථයක් සහ හමර් රථ දෙකක් ලංකාවට ගෙන්වා ඇති බවයි. 

 
මෙලෙස නීති විරෝධී ලෙස ආනයනය කරන ලද හමර් රථයක් රාජ සන්තක කිරීමෙන් පසු පැවැති වෙන්දේසියේදී එය ආනයනය කළ පුද්ලගයාටම අලෙවි කර තිබේ.   
හමර් රථය රේගුව විසින් ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් කෝටි 4කටය. එය රේගු ටෙන්ඩර් මණ්ඩලය විසින් වෙන්දේසියේදී රුපියල් දෙකෝටි හැත්තෑ  ලක්ෂයකට අලෙවි කර ඇත.   


රඳවාගත් වාහනයක් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා 10% අඩුවෙන් වෙන්දේසි කිරීමට ටෙන්ඩර් මණ්ඩලයට බලයක් නැති බවත් එය නීති විරෝධී ලෙස ආනයනය කළ පුද්ගලයාටම ඇස්තමේන්තුගත වටිනාකමට වඩා අඩුවෙන් වෙන්දේසි වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටත් රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.   


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වනවිටත් භාරදී තිබේ.   
නිල නොවන තොරතුරුවලට අනුව මෙම හමර් රථය ආනයනය කළ පුද්ගලයාම මෙම රථය නීති විරෝධී ලෙස ගෙන්වීම සම්බන්ධ ඔත්තුව රේගුවට ලබාදී ඇති බවද සඳහන්වේ. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකදී අදාළ තොරතුරු ලබාදෙන පුද්ගලයාට අදාළ භාණ්ඩයේ වටිනාකමෙන් 30% කොටස් මුදලක් ලැබෙනු ඇතැයි පැවසේ. එම වාසිය මත මෙය කරන්නට ඇති බවද සඳහන්ය. මේ සිදුවීමට අදාළ පුද්ගලයා ව්‍යාපාරිකයෙකි. ඔහු රේගුවට දී තිබෙන කට උත්තරයේ සඳහන් වන්නේ ඔහුට යම්කිසි ණය මුදලක් ලබා දෙන්නට තිබූ හිතවතෙක් ඔහුට නොදන්වාම මෙම රථය ලංකාවට එවා ඇති බවයි.   


මෙම රථයක වටිනාකම කෝටි 10 කට ආසන්නය. 1992 වසරේ AM General විසින් M998 Humvee වාහනයේ සිවිල් අනුවාදයක් 'Hummer' යන වෙළෙඳ නාමය යටතේ මහජනතාවට අලෙවි කරන්නට පටන් ගෙන තිබිණි. ඒ අලෙවි කරන ලද පළමු Hummer H1 හා H2 වාහන සුපිරි හොලිවුඩ් නළු Schwrazenegger විසින් මිලදී ගෙන තිබේ.   
අද වනවිට මෙම හමර් රථ H1, H2, H3 යනුවෙන් මාදිලි තුනකින් යුක්තව තිබේ. ඒවායේ වටිනාකම් වර්ගය අනුව එකිනෙකට වෙනස්ය.   
එකම ව්‍යුහය සහ බොහෝ යාන්ත්‍රික සංරචක සහිත සිවිල් හමර්ස් මෝටර් රථ ග්ලොස් තීන්තවලින් නිම කරන ලද අතර වායු සමීකරණය, ශබ්ද පරිවරණය, වැඩි දියුණු කළ උඩුමහල, ස්ටීරියෝ පද්ධති, දැව සැරසිලි සහ පහසු පැකේජ වැනි මගී මෝටර් රථ වැඩි දියුණු කිරීම් මේ වෙනුවෙන් එකතු කර ඇත.   
2006 වසරේ Hummer අපනයනය කිරීම සහ රටවල් 33ක ආනයනකරුවන් සහ බෙදාහරින්නන් හරහා විකිණීම ආරම්භ වී තිබිණි. 2006 ඔක්තෝබර් 10 ජාත්‍යන්තර වෙළෙඳපළ සඳහා දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් කම්හලේ Hummer H3 නිෂ්පාදනය ආරම්භ කරන ලදී.   


මුලින් එහි ඉදිකරන ලද Hummers වම් අත ධාවකය පමණක් වූ නමුත් දකුණු අත ධාවකය අනුවාද එකතු කර ඔස්ට්‍රේලියාවට සහ අනෙකුත් වෙළෙඳපළවලට අපනයනය කර ඇත. මේ රථ ලංකාවට ගෙන්වා තිබෙන්නේ 2006 වසරේ පමණ සිටය. එකල මේවා ගෙන්වා ඇත්තේ ඩොලර් 55,000, 60,000 පමණය. ගෙන්වූ වාහන ගණන නිල වශයෙන් සඳහන් වී නොමැත.   


මෙම වාහන ගෙන්වා නඩත්තු කිරීමට හැක්කේ අසීමිතව මුදල් වියදම් කිරීමට හැකි පිරිසකට පමණි. මෙය අධික ලෙස තෙල් දහනය වන රථයකි. ලංකාව වැනි රටකට මෙවැනි රථ සුදුසුද යන්න අද වනවිට ප්‍රශ්නාර්ථයකි. වාහනවල නඩත්තු කිරීම් සඳහා අමතර කොටස් ගෙන්වීමට පවා නොහැකිව ආර්ථික මට්ටමින් රට පහළටම වැටී ඇති කාලවකවානුවක මෙවැනි සුඛෝපභෝගී වාහන පදවන සුර සැප විඳින පුද්ගලයන්ද මෙරටේ ජීවත් වේ.  


අද වන විට මිනිසුන්ට එදාවේල සරි කරගන්නටවත් හැකියාවක් නොමැත. ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ ගොසිනි. දරුවෙකුට පාසලේ රැස්වීමක එක දිගට විනාඩි 30ක් හිටගෙන සිටින්නටවත් ශක්තියක් නොමැතිව ඇදගෙන වැටෙන කාලයක් උදාවී තිබේ. බොහෝ පාසල්වල හොරෙන් කෑම කෑ දරුවන් පිළිබඳ ඛේදනීය සිදුවීම් රැසක්ම දිගින් දිගටම වාර්තා වුණි. උදේ සවස සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ දෑස් අග කඳුළක් එක් කරන්නට සමත් කරන කතා පුවත්ය.  


දරුවන්ට, මව්පියන්ට කෑමවේලක් සරි කරන්නට නොහැකිව සොරකම් කළ පුද්ගලයන් කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබිණි. ඔවුන් කළ ඒ පුංචි සොරකමට දඬුවම් දී තිබුණේ සාපරාධී අපරාධකරුවන්ට මෙනි.   


ඒවා දැකීමටත් අප පව් කර ඇතැයි වරෙක සිතේ. ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව දැඩි අසරණකමින්, කල කිරීමෙන් බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවක අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන කොටසක් මෙරටේ සිටීමත් අදහාගත නොහැක්කකි.

සටහන
ධනු විජේරත්න